PSTA: ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පත ගැන එක්සත් ජාතීන්ගෙන් නිර්දේශ 9ක්

OHCHR
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 5

ශ්‍රී ලංකාවේ යෝජිත 'ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත' (Protection of the State from Terrorism Act) සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා රජයට නිර්දේශ 9ක් ඉදිරිපත් කර තිබේ.

එම කාර්යාලය පවසන්නේ, ශ්‍රී ලංකාවේ යෝජිත 'ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත' තුළ ඇතුළත් කර ඇති අතිරේක ආරක්ෂණ විධිවිධාන සහ වැඩිදියුණු කිරීම් ගණනාවක් OHCHR විසින් සාදරයෙන් පිළිගන්නා බව ය.

ඒ අතර ම, එය ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට පූර්ණ ලෙස අනුකූල වන බව සහතික කිරීම සඳහා තවදුරටත් සංශෝධන අවශ්‍ය බව එම කාර්යාලය සලකයි.

  • ත්‍රස්තවාදී වැරදි පැහැදිලිව සහ පටු ලෙස අර්ථ දැක්වීම සහතික කිරීම,
  • නීත්‍යනුකූල අදහස් ප්‍රකාශ කිරීම සහ සිවිල් ක්‍රියාකාරකම් ආරක්ෂා කිරීම,
  • අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම් පිළිබඳ අධිකරණ අධීක්ෂණය ශක්තිමත් කිරීම,
  • වධහිංසා පැමිණවීම් සහ අයුතු ලෙස සැලකීම්වලින් ආරක්ෂා කිරීම,
  • නිසි ක්‍රියාවලිය සහ සාධාරණ නඩු විභාග පිළිබඳ සහතික කිරීම් ශක්තිමත් කිරීම,
  • ඵලදායී අධීක්ෂණය සහ පිළියම් සහතික කිරීම,
  • සිවිල් පොලිසියේ ප්‍රමුඛතාව පවත්වා ගැනීම මේ අතර ඇති ප්‍රධාන ක්ෂේත්‍ර වේ.

මෙම පනත් කෙටුම්පත නීතියක් බවට පත් කිරීමට පෙර, ඒ ගැන හොඳින් සොයා බලා මහජනතාව සහ විද්වතුන් සමග සාකච්ඡා කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි. එමෙන් ම, මේ සඳහා රජයට අවශ්‍ය තාක්ෂණික උදව් සහ උපදෙස් ලබා දීමට තමන් සූදානම් බව ද එම කාර්යාලය සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය රජයට ඉදිරිපත් කර ඇති නිර්දේශ මෙසේය.

1. ත්‍රස්තවාදය සහ ඒ ආශ්‍රිත වැරදි පිළිබඳ අර්ථ දැක්වීම පටු කර පැහැදිලි කිරීම; ආරක්ෂිත ප්‍රකාශනය සහ සිවිල් ක්‍රියාකාරකම් අපරාධකරණය කළ හැකි විධිවිධාන ඉවත් කිරීම හෝ සැලකිය යුතු ලෙස සංශෝධනය කිරීම

නීතිය මගින් ත්‍රස්තවාදය පැහැදිලිව අර්ථ දැක්විය යුතු අතර, එය මරණය හෝ බරපතළ තුවාල සිදුකිරීම හෝ ප්‍රාණ ඇපයට ගැනීම වැනි ත්‍රස්තවාදී අරමුණක් සහිතව සිදුකරන ඉතා බරපතළ, චේතනාන්විත ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා පමණක් සීමා කළ යුතු ය. අපැහැදිලි හෝ ඉතා පුළුල් ලෙස දක්වනු ලබන වැරදි හේතුවෙන් සාමාන්‍ය අපරාධ හෝ කථනය සහ ප්‍රකාශනය, සාමකාමී රැස්වීම සහ ඇසුර ඇතුළු මූලික නිදහස නීත්‍යනුකූල භුක්ති විඳීම ත්‍රස්තවාදය ලෙස සැලකීමේ අවදානමක් පවතී.

2. සෑම අත්අඩංගුවට ගැනීමක් සහ රඳවා තබා ගැනීමක් සඳහා ම කඩිනම්, ස්වාධීන සහ ඵලදායී අධිකරණ අධීක්ෂණයක් නියම කිරීම

තැනැත්තා අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිසිය, සන්නද්ධ හමුදා හෝ වෙරළාරක්ෂක බළකාය විසින් ද යන්න නොසලකා, සෑම අත්අඩංගුවට ගැනීමක් සහ රඳවා තබා ගැනීමක් ම විනිසුරුවරයෙකු විසින් කඩිනමින් සමාලෝචනය කළ යුතු ය. රඳවා තබා ගැනීමේ නියෝග සමාලෝචනය කිරීමට, පුද්ගලයන් නිදහස් කිරීමට හෝ ඇප ලබාදීමට විනිසුරුවරුන්ට බලය තිබිය යුතු ය. රඳවා තබා ගැනීමේ තීරණයක් හුදෙක් විධායක නිලධාරියෙකු විසින් පනවනු ලැබීම සහ අධිකරණය විසින් එය ස්වයංක්‍රීයව පිළිගැනීම සිදු නොවිය යුතු ය.

3. වධහිංසා පැමිණවීම, අයුතු ලෙස සැලකීම, අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම සහ බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට එරෙහි ආරක්ෂාව ශක්තිමත් කිරීම

රහසිගතව රඳවා තබා ගැනීම සහ නීතිමය පදනමකින් තොරව රඳවා තබා ගැනීම වැළැක්විය යුතු ය. නීතිඥවරයෙකු වෙත කඩිනම් සහ රහසිගත ප්‍රවේශය, විනිසුරුවරයෙකු සහ මානව හිමිකම් කොමිෂන් සභාව සමග රහසිගතව සාකච්ඡා කිරීම සහ ස්වාධීන වෛද්‍ය පරීක්ෂණ සපයා දිය යුතු ය. කාලානුරූපීව පවුල් දැනුවත් කිරීම, පුද්ගලයන් රඳවා තබා ගන්නා ස්ථාන ලියාපදිංචි කිරීම සහ අර්ථවත් ලෙස පවුලේ සම්බන්ධතා පැවැත්වීමට ඉඩ සැලසීම කළ යුතු ය. නිලධාරීන් මෙම ආරක්ෂණයන් අනුගමනය කිරීමට අපොහොසත් වන විට ඊට එරෙහිව පියවර ගැනීම් සහ පිළියම් ද පැවතිය යුතු ය.

4. නිසි ක්‍රියාවලිය සහ සාධාරණ නඩු විභාග පිළිබඳ සහතික ශක්තිමත් කිරීම

චෝදනා ලැබූ සෑම පුද්ගලයෙකුට ම සාධාරණ ලෙස සැලකිය යුතු අතර තමන් වෙනුවෙන් පෙනී සිටීමට සැබෑ අවස්ථාවක් ලබා දිය යුතු ය. වරදකරු බව ඔප්පු වන තෙක් නිර්දෝෂී ලෙස පූර්ව නිගමනය කිරීම, චෝදනා සහ නඩු කටයුතු තේරුම් ගැනීම, නීතිඥවරයෙකු වෙත රහසිගතව ප්‍රවේශ වීම, අවශ්‍ය විටක ස්වාධීන භාෂා පරිවර්තන සහය ලබාගැනීම සහ සාක්ෂි මෙන්ම රඳවා තබා ගැනීමේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක්කිරීමට හැකිවීම මෙයට ඇතුළත් වේ. වධහිංසා පැමිණවීම්, තර්ජන, නීති විරෝධී ලෙස රඳවා තබා ගැනීම් හෝ අවශ්‍ය ක්‍රියා පටිපාටි අනුගමනය කිරීමට බරපතල ලෙස අපොහොසත් වීම හරහා ලබාගත් පාපොච්චාරණයන් ඇතුළු සාක්ෂි භාවිතා නොකළ යුතුය.

5. ආක්‍රමණශීලී සෝදිසි කිරීම්, ඇතුළු වීම් සහ අල්ලා ගැනීම් බලතල සඳහා අධිකරණ වරෙන්තු රීතිය ඇතුළත් කිරීම

ස්ථානයකට ඇතුළු වීමට හෝ සෝදිසි කිරීමට, පුද්ගලයන් සෝදිසි කිරීමට හෝ දේපළ අත්අඩංගුවට ගැනීමට පෙර බලධාරීන් විනිසුරුවරයෙකුගේ අවසරය ලබා ගත යුතු ය. ව්‍යතිරේක අදාළ විය යුත්තේ පටු ලෙස අර්ථ දක්වා ඇති හදිසි අවස්ථාවන් සඳහා පමණක් වන අතර, ඒවා ඉක්මන් අධිකරණ සමාලෝචනයට යටත් විය යුතු ය. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගේ අනුමැතිය, ලිඛිත හේතු දැක්වීම් සහ ඉහළ නිලධාරියෙකුගේ කඩිනම් සමාලෝචනය ද ඊට ඇතුළත් විය යුතු ය.

6. සිවිල් පොලිසියේ ප්‍රමුඛතාව සහතික කිරීම

අත්අඩංගුවට ගැනීම්, සෝදිසි කිරීම්, ප්‍රශ්න කිරීම් හෝ රඳවා තබා ගැනීම් සඳහා යුද්ධ හමුදාවන්ගේ හෝ වෙරළාරක්ෂක බළකායේ මැදිහත්වීම සුවිශේෂී සහ පැහැදිලිව ම සීමිත විය යුතු ය. පොලිස් බලතල භාවිත කරන යුද්ධ හමුදා නිලධාරීන්, ඔවුන්ගේ ක්‍රියාමාර්ග සඳහා පැහැදිලි අධීක්ෂණයක් සහ වගකීමක් සහිතව, සිවිල් පොලිස් බලධාරීන්ට වගකීමට බැඳී සිටිය යුතු ය.

7. ඵලදායී ස්වාධීන අධීක්ෂණය, වගවීම සහ පිළියම් ස්ථාපනය කිරීම

මෙම බලතල භාවිත කරන ආකාරය පරීක්ෂා කිරීමටත්, වැරදි ක්‍රියා හඳුනා ගැනීමටත්, වගකිව යුතු නිලධාරීන් වගකීමට යටත් කිරීම සහතික කිරීමටත් ස්වාධීන ආයතනවලට හැකි විය යුතු ය. උල්ලංඝනය කිරීම් අභියෝගයට ලක් කිරීමට, නීති විරෝධී ලෙස රඳවා තබා ගැනීමෙන් නිදහස් වීමට, වාර්තා නිවැරදි කිරීමට සහ නිසි පරීක්ෂණ, වන්දි හෝ වෙනත් සහනයන් ලබා ගැනීමට ජනතාවට ප්‍රායෝගික මාර්ග තිබිය යුතු ය.

8. නිර්මුක්ති විධිවිධාන පටු කිරීම

තමන් යහපත් චේතනාවෙන් හෝ තමන්ගේ නිල රාජකාරියේ කොටසක් ලෙස කටයුතු කළ බව ප්‍රකාශ කළ පමණින් නිලධාරීන් නීතිමය වගකීමෙන් ආරක්ෂා නොවිය යුතු ය. නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම්, වධහිංසා පැමිණවීම්, අයුතු ලෙස සැලකීම්, බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්, නොසැලකිලිමත් ක්‍රියා, බරපතල ලෙස නොසලකා හැරීම් හෝ වෙනත් බරපතල අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ, නඩු පැවරීම් හෝ වන්දි ලබාදීම් නීතිමය ආරක්ෂණයන් මගින් බාධා නොකළ යුතු ය.

9. තවදුරටත් නීති සම්පාදන ක්‍රියාමාර්ග ගැනීමට පෙර අර්ථවත් ලෙස මහජන උපදේශන ක්‍රියාවලියක් පැවැත්වීම

ඉදිරියට යාමට පෙර, යෝජිත නීතිය සමාලෝචනය කිරීමට බලපෑමට ලක්වූ ප්‍රජාවන්ට, ප්‍රජා සංවිධානවලට, නීති විශේෂඥයින්ට, ස්වාධීන ආයතනවලට සහ ශ්‍රී ලංකාව පුරා සිටින අනෙකුත් අයට සැබෑ අවස්ථාවක් ලබා දිය යුතු ය. මෙම ක්‍රියාවලිය විවෘත සහ සියලු දෙනා අන්තර්ගත කර ගන්නා එකක් විය යුතු අතර, නීතියක් බවට පත්වීමට පෙර එය සමාලෝචනය කිරීමේදී සහ නැවත ලියන විට අදහස් සලකා බැලිය යුතු ය.