නාමල් රාජපක්ෂට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව පෙබරවාරි 11ට කල් දමයි: ඊට බලපෑ හේතුව කුමක් ද?

නාමල් රාජපක්ෂ
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 2

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 15ක මුදලක් NR consultancy නමැති සමාගමක ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කළ බවට සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් පිරිසක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව මෙතෙක් නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබී නොමැති බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද (ඔක්: 29) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ය.

යහපාලන රජය සමයේ මෙම විමර්ශනය ආරම්භ කර 2016 වසරේ විමර්ශන අවසන් කර උදෘත නීතිපතිවරයා වෙත යොමු කර තිබිණි.

මෙම නඩුකරය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබිණි.

එම අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් කර නොතිබිණි.

සෙසු සැකකරුවන් කවුද?

ඇප මත මුදා හැර සිටින සෙසු සැකකරුවන් වන සුජානි බෝගොල්ලාගම, නිත්‍ය සමරනායක, සුදර්ශන බණ්ඩාර යන සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේ, මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර උදෘත නීතිපතිවරයා වෙත යොමු කර තිබෙන බවත් මෙම නඩු කෘත්‍යය පිළිබඳ නීතිපතිවරයාගෙන් මෙතෙක් උපදෙස් ලැබී නොමැති බව ය.

ඒ අනුව, මෙම නඩුකරය පෙබරවාරි මස 11 වන දා යළි කැඳවන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින නීතිපති උපදෙස් පිළිබඳ කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් නියම කළේ ය.

චෝදනාව කුමක් ද?

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් NR consultancy නැමති සමාගමක යෙදවීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් හතර දෙනෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් යහපාලන රජය සමයේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.