ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඩිකැප්‍රියෝගේ රංගනයෙන් අමරණීය වූ දරුණු වලස් ප්‍රහාරයකට ලක් වුවත් මරණය ප්‍රතික්ෂේප කළ දඩයක්කරු
අවවාදයයි: BBC Radio 4හි History's Toughest Heroes වැඩසටහනේ මෙම කතාවේ ඇතැම් පාඨකයන්ට කම්පනයට පත් කළ හැකි අතිශය ප්‍රචණ්ඩකාරී සිදුවීම් සහ ශාරීරික තුවාල පිළිබඳ විස්තර ඇතුළත් වේ.
2016 වසරේ තිරගත වූ The Revenant චිත්‍රපටයේ හොලිවුඩ් සුපිරි තරුවක් වන ලියනාඩෝ ඩිකැප්රියෝ නිරූපණය කළ චරිතය එතෙක් සුළු පිරිසක් පමණක් අසා තිබුණු ඇමෙරිකානු ඉතිහාසයේ වීරයෙකු කෙරෙහි ලෝකයේ ම අවධානය යොමු විය.
නමුත් සැබෑ ජීවිතයේදී වන සතුන් දඩයම් කළ හියු ග්ලාස්ගේ (Hugh Glass) සැබෑ කතාව, කිසිසේත් ම ජයගත නොහැකි යැයි සිතූ අභියෝගයන්ට මුහුණ දෙමින්, ජීවත් වීම සඳහා ඔහු දැරූ නොපසුබට උත්සහය පෙන්නුම් කරන්නකි.
වර්ෂ 1823දී ඇමෙරිකානු ඝන වන මැදින් එක්තරා මිනිසෙක් බඩගාමින් ඉවතට පැමිණියේ ය. ඔහු මාරාන්තික ග්රිස්ලි වලසෙකුගේ දරුණු ප්‍රහාරයකට ලක්ව සිටි අයෙකු වූ අතර ඔහුගේ සගයන් පවා ඔහු මිය යනු ඇතැයි සිතා අතහැර ගොස් තිබිණි. ඔහුගේ ශරීරයේ තිබූ දරුණු තුවාල හේතුවෙන් වනගත ජීවිතය පිළිබඳ මනා පළපුරුද්දක් තිබූ දඩයක්කරුවන් පවා සිතුවේ ඔහු පැය කිහිපයකින් මිය යනු ඇති බවයි.
එක්සත් ජනපදයේ ඉන්ඩියානා ප්‍රාන්තයේ නෝත්‍ර දාම් විශ්වවිද්‍යාලයේ ඉතිහාසඥයෙකු වන ජෝන් කෝල්මන් පවසන පරිදි, හියු ග්ලාස් පිළිබඳ පළමු සවිස්තරාත්මක වාර්තාව හමුවන්නේ 1825 වසරේදී ය.
සැන්ටා ෆේ මාර්ගයේ ගමන් කරමින් සිටි සංචාරකයින් පිරිසකට, සිය බඩුබාහිරාදිය රැගෙන යාමට යොදා ගත් සතුන් අහිමි වූ "ලෝම ලබා ගැනීම සඳහා සතුන් දඩයම් කරන්නන්" පිරිසක් මුණගැසුණු ආකාරය එම කතාවෙන් විස්තර කෙරේ.
"ලෝම සඳහා සතුන් දඩයම් කරන්නෙකු" යනු වන සතුන් අල්ලා එම සතුන්ගේ වටිනා ලොම් සහිත සම, ඇඳුම් පැළඳුම් සහ අනෙකුත් භාණ්ඩ නිෂ්පාදනය සඳහා අලෙවි කරන පුද්ගලයෙකි.
කෝල්මන් පවසන පරිදි, මෙම දඩයම් කරන්නන් අතර ග්ලාස් සිටි අතර ඒ වන විට ඔහු 40 හැවිරිදි වියේ පසුවුව ද පෙනුමෙන් ඔහුගේ සැබෑ වයසට වඩා දශක කිහිපයක් මහලු පුද්ගලයෙකු මෙන් පෙනෙන්නට විය.
රෝලන්ඩ් විලර්ඩ් නමැති තරුණ වෛද්‍යවරයාගේ අවධානය වහා ම ඔහු වෙත යොමු විය.
ග්ලාස්ගෙන් වයසට වඩා වැඩි පෙනුමක් නිරීක්ෂණය වුණු අතර ඔහුගේ සිරුර පුරා ම දැඩි විඩාව සහ අධික මත්පැන් භාවිතයේ සලකුණු පැහැදිලිව ම දිස්වන්නට විය.
ආසන්න වශයෙන් මීටර් 1.75ක් (අඩි 5යි අඟල් 9ක්) පමණ උස, අඳුරු පැහැයෙන් යුතු සමක් සහ සවිමත් සිරුරක් හිමි අයෙකු ලෙස ඔහු පිළිබඳව විස්තර කෙරේ. ඔහුගේ කම්මුල් මත පැපොල වැළඳීම නිසා ඇති වූ කැළැල් තිබූ අතර තද කළු පැහැති හිස කෙස්වලින් සහ හැඩිදැඩි සිරුරකින් ඔහු සමන්විත විය.
ඔරොත්තු දීමේ හැකියාව ගැන ඇදහිය නොහැකි කතාවක්
වසර දෙකකට පෙර තමන් මුහුණ දුන් අත්දැකීමක් ග්ලාස් වෛද්‍යවරයා වෙත පැවසුවේ ය. ඒ, තමන් තැනිතලාවකදී මෘගයෙකු එනම්, ග්රිස්ලි වලසෙකුගේ දරුණු ප්‍රහාරයකට ගොදුරු වූ ආකාරයයි.
තමන් ලද බිහිසුණු අත්දැකීම විස්තර කරන අතරතුර ඔහු ඇඳ සිටි කමිසය ගලවා දැමුවේ ය.
ඔහුගේ එක් බාහුවක් පුරා විහිදී තිබුණු විශාල තුවාලයක කැළලක් සහ සිරුරේ එක් පසෙකින් පහළට දෙසට තිබුණු ගැඹුරු කැළැල් රැසක් එහිදී දැකගත හැකි විය. එම ග්රිස්ලි වලස් ප්‍රහාරය කෙතරම් ප්රචණ්ඩ සහ බිහිසුණු එකක් වූයේ ද යන්න ඉන් අනාවරණය විය.
එම බිහිසුණු කැළැල් දැකීමෙන් වික්ෂිප්තභාවයට පත්වූ වෛද්‍ය විලඩ් මතු පරපුර උදෙසා මෙම කතාව ලියා තැබුවේ ය.
මිනිසාගෙන් මිත්‍යාව ඈත් කිරීම
"හියු ග්ලාස්ගේ කතාව පවසන බොහෝ පිරිසක් සිටිනවා," කෝල්මන් පවසයි. "නමුත් ඔබ හියු ග්ලාස්ගේ සැබෑ තොරතුරුවලට ළඟා වෙනවා කියලා සිතන සෑම අවස්ථාවක ම සැබවින් ම ඔබ සිටින්නේ ඔහුට වඩා බොහෝ ඈතින්."
අප සතුව ඇති හොඳ ම වාර්තා වන්නේ ලිපි, වෙනත් අයගෙන් දැනගන්නට ලැබුණු තොරතුරු සහ මිනිසුන් අතර කටින් කට පැවත ආ තොරතුරු වේ.
ග්ලාස්ගේ ජීවිතයට ඍජුවම සම්බන්ධ වන ලිඛිත ලේඛන කිහිපයෙන් එකක් වන්නේ, මිසූරි ගඟ ආශ්‍රිතව වෙසෙන අරිකාරා නමැති ස්වදේශික වැසියන් සමග ඇති වූ ගැටුමකදී මියගිය ජෝන් ගාඩ්නර් නම් සගයෙකුගේ මව්පියන් වෙත ඔහු විසින් යොමු කරන ලද ලිපියකි. ඔහු ද සතුන් දඩයම් කරමින් ලොම් එකතු කරන්නෙකු ලෙස කටයුතු කළ අයෙකි.
එම ලිපියෙහි තමන් ද තුවාල ලැබූ බව ග්ලාස් විස්තර කර තිබේ.
ඔහු නැවියෙකු වූ අතර මෙක්සිකෝ බොක්ක ආශ්‍රිතව ක්‍රියාත්මක වූ ජෝන් ලෆීට් නමැති මුහුදු කොල්ලකරු විසින් ඔහු බලහත්කාරයෙන් කොල්ලකෑමේ කටයුතුවලට සම්බන්ධ කරගන්නට ඇත.
ග්ලාස් සහ ඔහුගේ සගයෙක් ගැල්වස්ටන් බොක්ක හරහා පිහිනා ගොස් දිවිගලවා ගැනීමට සමත් වූහ.
අනතුරුව ඔවුන් දෙදෙනා මධ්‍යම මහා තැන්නෙහි ජීවත් වූ ප්රමුඛ පෙළේ ඇමෙරිකානු ස්වදේශික ගෝත්‍රයක් වූ 'පෝනි' කණ්ඩායමක ග්‍රහණයට නතු විය.
ජනප්‍රවාදයන්ට අනුව, ග්ලාස්ගේ සගයා පෝනි ගෝත්‍රිකයන් විසින් අතිශය අමානුෂික ලෙස වධහිංසා පමුණුවා මරා දමා ඇත.
නමුත් ග්ලාස් එම බිහිසුණු ඉරණමෙන් ගැලවුණේ තම ජීවිතය රැකගැනීම සඳහා කළ අවසන් උත්සහයක් වශයෙනි. ඔහු තම සාක්කුවේ තිබූ 'වර්මිලියන්' නමැති ස්වභාවික දීප්තිමත් රතු පැහැති සායම් වර්ගයක් ගෝත්‍රික නායකයා වෙත තෑගි කළේ ය.
"මෙයින් අතිශයට ම පැහැදුණු ගෝත්‍රික නායකයා, ග්ලාස් තමන්ගේ ම පුතෙකු ලෙස හදාවඩා ගැනීමට භාර ගත්තා," The Revenant චිත්‍රපටයේ ඉතිහාසඥයෙකු සහ උපදේශකයෙකු ලෙස කටයුතු කළ ක්ලේ ලෑන්ඩ්රි පවසයි.
පෝනි ගෝත්‍රිකයෝ ග්ලාස්ට වනයේ මාර්ග සොයාගෙන ගමන් කරන ආකාරය ඉගැන්වූහ.
ලොම් වෙළෙඳාම — සහ භයානක සූදුවක්
1820 දශකය වන විට සත්ව ලොම් වෙළෙඳාම ශීඝ්‍රයෙන් දියුණු වෙමින් පැවතිණි. යුරෝපය පුරා බීවර් සතුන්ගේ ලොම් සඳහා ඉහළ ඉල්ලුමක් තිබූ අතර, විලියම් ඈෂ්ලි සහ ඇන්ඩෲ හෙන්රි වැනි ව්‍යාපාරිකයන් දඩයක්කරුවන් බඳවා ගැනීමට කටයුතු කළේහ. ඒ, මිසූරි ගඟ දිගේ ඉහළට, විවිධ ගෝත්‍රික ගැටුම් පවතින අන්තරායකර ප්‍රදේශ වෙත ගමන් කිරීම සඳහා ය.
මේ වෙනුවෙන් ඈෂ්ලි විසින් වසරකට ඩොලර් 200ක මුදලක් ලබා දීමට පොරොන්දු වූ අතර සමාජ තත්ත්වය, මුදල් හෝ වික්‍රමාන්විත ක්‍රියා සඳහා කැමැත්තක් දැක්වූ පිරිමි ඒ සඳහා ආකර්ෂණය වූහ.
ඈෂ්ලිගේ මෙම ව්‍යාපාරික උපක්‍රමය, සාම්ප්‍රදායික ලොම් වෙළෙඳාමේ නිරතව සිටි ස්වදේශික අතරමැදියන්ව හිතාමතාම එම ක්ෂේත්රයෙන් ඉවත් කිරීමට හේතු විය. මෙම තීරණය නිසා දෙපාර්ශවය අතර පැවති නොසන්සුන්කාරී තත්ත්වය සහ ප්රචණ්ඩත්වය තවදුරටත් උග්‍ර අතට හැරිණි.
දරුණු සිදුවීමට මුහුණ දීමට සිදුවූයේ ඉන් පසුව ය.
වලස් ප්‍රහාරය
1823 අගෝස්තු මාසයේදී ප්‍රධාන කණ්ඩායමට ඉදිරියෙන් ග්ලාස් පිටත් කර හැරියේ අනතුරු පිළිබඳ සලකුණු සොයා ගෙන ඒමට ය.
තමන් දරුණු ග්රිස්ලි මව් වැලහින්නක සහ ඇගේ පැටවුන් අතරට පිවිසි බව ඔහු දැන සිටියේ නැත.
එය මාරාන්තික අත්වැරැදකි. වැලහින්න ක්ෂණිකව ඔහුට පහර දුන්නා ය.
ඇගේ දිගු නියපහරවලින් ග්ලාස්ගේ සම ඉරී ගිය අතර, ඇගේ සපාකෑම් හිස සහ ගෙළ තුවාල වන්නට විය.
ඇය ඔහු සොලවා දැමුවා ය. ඔහුගේ ගෙළ අභ්‍යන්තරයේ කොටසක් පවා බාහිරට නිරාවරණය වී තිබිණි.
ග්ලාස්ගේ කෑ ගැසීම ඇසුණු ඔහුගේ සගයන් වහා ම ඔහු සිටි දෙසට දිව එන්නට විය.
ඔවුහු වැලහින්නට වෙඩි තැබූහ. වැලහින්න ඔහුගේ සිරුර මතට ම ඇද වැටිණි.
දඩයක්කරුවන් මියගිය වැලහින්නගේ සිරුර ඉවත් කළේ, ඊට යට වී සිටි ග්ලාස් ඒ වන විටත් මියගොස් ඇතැයි සිතමිනි. නමුත් ඔහු සිටියේ සිහියෙනි.
අධික කම්පනය නිසා ඔහුගේ දෑස් අඩවන් වී තිබූ අතර, ඔහුගේ ශ්වාසනාලය සිදුරු වී තිබිණි.
ඔහු හුස්ම ගත්තේ දැඩි අසීරුවකිනි. එය හඳුනාගත හැකි වූ එක ම ක්‍රමය වූයේ, ඔහුගේ උගුර ප්‍රදේශයෙන් රුධිරය බුබුලක් ලෙස මතු වන අයුරු දැකීම ය.
ඔවුන් ඔහුගේ සිරුරේ තිබූ තුවාල 15ක් පමණ ගණන් කළ අතර, ඉන් සෑම එකක් ම මාරාන්තික මට්ටමේ ඒවා විය. ඔවුහු තමන්ට හැකි උපරිම අයුරින් ඒවා වෙළා දැමූහ.
කණ්ඩායම ඔහු ගිලන් මැස්සක තබාගෙන දින ගණනාවක් තිස්සේ රැගෙන ගියහ.
ආරක්ෂිත ස්ථානයක් වෙත ළඟා වීමට තවත් කිලෝමීටර් සිය ගණනක් තිබූ අතර, අවට ප්‍රදේශවල සතුරු ගෝත්‍රිකයන්ගේ ද අඩුවක් නොවිණි. මේ නිසා ඔවුන්ගේ නායකයා අවසානයේ එක් තීරණයකට එළඹුණේ ය. ඒ, ග්ලාස් කෙසේ හෝ මියයනු ඇති බවයි.
එක් අයෙකු නතර වී ඔහු මියගිය පසු නිසි පරිදි භූමදානය කර නැවත කණ්ඩායම සමග එකතු විය යුතු යැයි තීරණය විය.
මෙම කාර්යය භාර ගැනීමට කැමති වන ඕනෑ ම අයෙකුට ප්‍රසාද දීමනාවක් ලබා දීමට ඇන්ඩෲ හෙන්රි ඉදිරිපත් විය.
පුද්ගලයන් දෙදෙනෙක් ඊට එකඟ වූහ. ඒ, ජිම් බ්‍රිජර් නමැති නව යොවුන් වියේ පසුවූ තරුණයෙකු සහ වයසින් අයෙකු වූ ජෝන් ෆිට්ස්ජෙරල්ඩ් ය. ඔවුහු රාත්‍රිය පුරාවට ග්ලාස් මිය යන තුරු බලා සිටියහ.
"ඔහුට හුස්ම ගැනීමට හැකි වුවත් කතා කිරීමට නොහැකි වුණා," ලෑන්ඩ්රි පවසයි. "ඔහුට වරින් වර සිහිය ලැබෙමින් සහ නැති වෙමින් පැවතුණා. මේ නිසා වැඩිමහල් පුද්ගලයා වූ ෆිට්ස්ජෙරල්ඩ්, 'අපි යමු' යැයි පවසමින් ලාබාල සගයාව (ග්ලාස්ව අතහැර දමා යාමට) පොළඹවා ගත්තා."
ග්ලාස් ඒ වන විටත් මියගොස් ඇති සේ අඟවමින්, ඔවුහු ඔහුගේ සියලු ආයුධ රැගෙන ගියහ. ජීවිතය රැක ගැනීම සඳහා ඔහුට අත්‍යවශ්‍ය ම වූ පිහිය, ගිනිගල සහ යකඩ කැබැල්ල මෙන් ම ඔහුගේ ගිනිඅවිය ද ඒ අතර විය. ඔවුන් ඔහුට කිසිදු දෙයක් ඉතිරි කළේ නැත.
මරණය ආසන්නයේ සිට නැවත සිහි එළඹි ඔහු බඩගාමින් අසල තිබූ දිය පහරක් වෙත ගොස් ජලය ස්වල්පයක් පානය කළේ සිහිසුන් වීමට පෙර ය.
පසුව, ඔහු ආහාරය සඳහා ඇඹුල් රසැති රතු පැහැති බෆලෝ බෙරි වර්ගයක් සොයා ගත්තේ ය.
දින කිහිපයක් ගත වූ පසු, දිනක් ඔහු අවදි වන විට තමන් අසල ගිගිරි පොළඟෙකු සිටින බව දැක ගැනීමට හැකිවූ බව පැවසේ. එම සත්වයා මරා දැමූ ග්ලාස් දින කිහිපයක් ගතවන තුරු එම මස් ආහාරයට ගත්තේ ය. එමගින් ඔහුගේ සිරුරට යම් ප්‍රෝටීන් ප්‍රමාණයක් සහ ශක්තියක් ලැබිණි.
නමුත් ඔහුගේ තුවාල පැසවන්නට විය.
ලෑන්ඩ්රි පවසන පරිදි, ආසාදනය වීම නිසා ග්ලාස්ගේ පිට ප්‍රදේශයේ මස් කුණු වී තිබිණි.
"ග්රිස්ලි වලසා ඔහුගේ පිට ප්‍රදේශය දෙවතාවක් ම දරුණු ලෙස සපා කෑම නිසා ඔහුගේ පිට ප්‍රදේශයට අතිශය දරුණු ලෙස තුවාල සිදුව තිබුණා."
නමුත් වාසනාවකට මෙන්, එම කුණු වූ මස් මත මැස්සන් බිත්තර දමා තිබූ අතර, ඉන් හටගත් පණුවන් එම මැරුණු මස් කොටස් ආහාරයට ගන්නට වූහ.
"ඒ පණුවන් ඔහුගේ තුවාලය පිරිසිදු කර දුන්නා."
දින සති බවට පත් වූ අතර බඩගාමින් ආ ගමන වාරු නගමින් යන්නට විය.
අනතුරුව ග්ලාස්ට ස්වදේශික ගෝත්‍රික කණ්ඩායමක් වූ ලකෝටා වැසියන් පිරිසක් මුණගැසුණේ ය.
ඔවුහු ඔහුගේ තුවාල පිරිසිදු කර බෙහෙත් ගැල්වීමට උපකාර කළහ.
අනතුරුව ඔක්තෝබර් මාසයේ මුල් භාගයේදී මිසූරි ගඟ ආශ්‍රිතව පිහිටි ලොම් වෙළෙඳ මධ්‍යස්ථානයක් වූ ෆෝර්ට් කියෝවාහි දොරටු අභියසට අසීරුවෙන් ළඟා වීමට ග්ලාස් සමත් විය.
පළිගැනීම
"මේ කතාවේ වඩාත් ම තීරණාත්මක තැනක් තමයි පළිගැනීමේ චේතනාව මතු වන අවස්ථාව," ලෑන්ඩ්රි පවසයි. "තමන්ව මරණයට කැප කර දමාගිය මිනිසුන්ව මුහුණට මුහුණ හමුවීමට ග්ලාස්ට අවශ්‍ය වුණා. ඒ වගේ ම තමන්ගේ රයිෆල් තුවක්කුව නැවත ලබා ගැනීමටත් ඔහුට උවමනා වුණා."
මේ අනුව, සතියක් පමණ විවේක ගෙන සුවය ලැබීමෙන් පසු, තමන්ට ද්‍රෝහී වූ එම පුද්ගලයන් දෙදෙනා සොයා ග්ලාස් සිය ගමන ආරම්භ කළේ ය.
වාර්තාවලට අනුව, ඔහුට පළමුව මුණගැසුණේ ජිම් බ්‍රිජර් ය.
ලැජ්ජාවට පත්වූ එම තරුණයා තමන් කළ වරද පිළිගත්තේ ය.
ග්ලාස් ඔහුට සමාව දුන් අතර, සියලු වැරදි පටවනු ලැබුවේ වයස්ගත පුද්ගලයා වූ ෆිට්ස්ජෙරල්ඩ් වෙත ය.
මාස කිහිපයකට පසු ඔහු ෆිට්ස්ජෙරල්ඩ් සිටින ස්ථානය සොයාගත් නමුත් ඔහු මරා දැමීමට තමන්ට නොහැකි බව ග්ලාස් වටහාගත්තේ ය.
ඒ වන විට ෆිට්ස්ජෙරල්ඩ් එක්සත් ජනපද හමුදාවට එක්වී සිටි බැවින්, ඔහුව ඝාතනය කළහොත් ග්ලාස්ට මරණ දණ්ඩනයට මුහුණ දීමට සිදු වීමේ අවදානමක් පැවතිණි.
තමන් සතු වූ රයිෆල් තුවක්කුව පමණක් නැවත ලබා ගැනීමට ග්ලාස් කටයුතු කළේ ය.
ඉන්පසුව ද වනය අත්නොහැර ඒ තුළට ම වී සිටි ඔහු, නැවතත් සත්ව ලොම් එකතු කිරීමේ වෘත්තියට අවතීර්ණ විය.
බිහිසුණු මරණය
වලස් ප්‍රහාරයෙන් වසර දහයකට පසු, යෙලෝස්ටෝන් ගඟ අසලදී අරිකාරා ස්වදේශික ගෝත්‍රිකයන් අතින් හියු ග්ලාස් ඝාතනය විය.
ඔහුගේ සිරුර භූමදානය කළ ස්ථානය සොයා ගත නොහැක.
ඔහුගේ කතාව ඇමෙරිකානු ඉතිහාසයේ ලියැවුණු, අතිශය බිහිසුණු මෙන් ම සදා නොමියෙන මිනිසෙකුගේ දරා ගැනීමේ ශක්තිය පිළිබඳ අපූර්වතම කතාන්දරයක් ලෙස ඉතිරිව පවතී.
නොසැලෙන ධෛර්යයේ සහ ජීවත්වීමේ අභිලාෂයේ සලකුණක් බඳු වූ ග්ලාස් අදටත් ලොව පුරා වෙසෙන මිනිසුන් මවිතයට පත් කරන්නේ එබැවිනි.
වාර්තාකරණය අහමන් ඛවාජා සහ ඇන්ඩෲ වෙබ් - බීබීසී ලෝක සේවය