අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ලැයිස්තුව ලක්ෂ 4කින් අඩුකර ඇත්තේ ඇයි? මින් ඉදිරියට ප්‍රතිලාභ ලැබෙන්නේ කාට ද?

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

දිළිඳු ජනයාගේ සමාජ ආරක්ෂණය වෙනුවෙන් රජය ක්‍රියාත්මක කළ අස්වැසුම ප්‍රතිලාභය ලක්ෂ 4කට වැඩි පිරිසකට ජූනි මාසයේ සිට අහිමි වන බව ශුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනට සමගාමීව දිළිඳු ජනතාව ඉලක්ක කර ගනිමින් සමාජ ආරක්ෂණ වැඩසටහනක් ලෙස අස්වැසුම ප්‍රතිලාභ ක්‍රමය 2023 වසරේ සිට ක්‍රියාත්මක විය.

ශුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ දත්තවලට අනුව එම වැඩසටහන ආරම්භ කළ මුල් අවධියේ සිට ලක්ෂ 16කට ආසන්න ජනතාවක් එම ප්‍රතිලාභ ලබා ගැනීමට සුදුසුකම් සපුරා තිබිණි.

කෙසේ වෙතත්, පසුගිය වසරේ සහ ජූනි මාසයේ සිට ප්‍රතිලාභ අහිමි වන පවුල් ඒකකවලින් ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් සපුරාලන පවුල් සඳහා ඉදිරියටත් ප්‍රතිලාභ ලබා ගන්නා ආකාරය ද ශුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය පැහැදිලි කළේ ය.

සංක්‍රාන්තික කාණ්ඩයේ ප්‍රතිලාභ ගෙවීම් නැවතීම

කෙසේ වෙතත් එහි යාවත්කාලීන වීම් අනුව ප්‍රතිලාභ ලබන විවිධ කාණ්ඩ වෙත ප්‍රතිලාභ ලබා දීම අත්හිටුවන අතර, ඒ යටතේ මේ වසරේ ජූනි මාසයේ සිට හාර 425,000 දෙනෙකුට අස්වැසුම ප්‍රතිලාභ අහිමි වන බව ශුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ, දුක්ගැනවිලි කළමනාකරණ අංශයේ සහකාර කොමසාරිස් අශාන් දර්ශන පවසයි.

"සංක්‍රාන්තික, අවදානමකට ලක්වූ, දුප්පත් සහ අන්ත දිළිඳු කියන කාණ්ඩ 4 යටතේ අපි 2023 වසරේ ගෙවීම් ආරම්භ කරපු ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ, ලක්ෂ 16කට ආසන්න ප්‍රමාණයකට පළමු අදියරේදී ගෙවීම් කටයුතු සිදු කළා. මේක කාලානුරූපීව වෙනස් වෙන යෝජනා ක්‍රමයක් බවට පත් වෙනවා. ඒ වගේ ම රටේ පවතින සමාජ ආර්ථික තත්ත්වයත් එක්ක මේක වෙනස් වෙන යෝජනා ක්‍රමයක් බවට පත් වෙනවා. මේක කාටවත් ජීවිත කාලයට ම ලබා දෙන යෝජනා ක්‍රමයක් බවට පත්වුණේ නැහැ," ඔහු පෙන්වා දෙයි.

සංක්‍රාන්තික කාණ්ඩයේ ගෙවීම් නැවත්වීම සම්බන්ධයෙන් ඔහු මෙලෙස පැහැදිලි කළේ ය.

"සංක්‍රාන්තික කාණ්ඩය යටතේ ගෙවීම් සිද්ධ කරපු ප්‍රතිලාභීන්ගේ ගෙවීම් අපි 2025 අප්‍රේල් මාසයේ නැවැත්වීමට කටයුතු කළා. එතකොට අප්‍රේල් මාසයෙන් පස්සේ හතර වෙනි කාණ්ඩය යටතේ තුන් ලක්ෂ පහළොස් දහසකට ආසන්න පිරිසකට ගෙවීම් සිදු කරපු සංක්‍රාන්තික කාණ්ඩයේ හිටපු ප්‍රතිලාභීන්ට අපි ගෙවිම් නැවත්වීම සිදු කළා," යැයි සහකාර කොමසාරිස් අශාන් දර්ශන පැවසීය.

දිට්වා නිසා දීර්ඝ වූ ලක්ෂ 4කට වැඩි පිරිසකගේ ප්‍රතිලාභ ජූනි මාසයෙන් අවසන්

අවදානමට ලක්වූ කාණ්ඩයේ පිරිස්වලට ගෙවන ලද ප්‍රතිලාභ ගෙවීම 2025 දෙසැම්බර් මාසයේ අවසන් කිරීමට තිබුණ ද, දිට්වා සුළි කුණාටුව ඇති වීම හේතුවෙන් රජය ගත් තීන්දුවක් මත එම ගෙවීම් නතර නොකළ බව පැවසූ සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ, දුක්ගැනවිලි කළමනාකරණ අංශයේ සහකාර කොමසාරිස්වරයා, එම කාණ්ඩයේ ගෙවීම් ජුනි මාසයේ සිට නතර වන බව කියා සිටියේ ය.

"2025 දෙසැම්බර් මාසයේ රටේ ඇති වෙච්ච දිට්වා තත්ත්වය හේතුකොට ගෙන රජය ගත්ත තීරණ මත පදනම්ව අවදානමට ලක්වූ කාණ්ඩයේ ගෙවීම් සිද්ධ කළ හාර ලක්ෂ විසිපන්දාහක ප්‍රමාණය මේ අවුරුද්දේ ජූනි මාසය දක්වා ගෙවීම් සිද්ධ කිරීමට කටයුතු කළා. අවදානමට ලක්වූ හාර ලක්ෂ විසිපන්දාහක ගෙවීම් කටයුතු මේ අවුරුද්දේ ජුනි මාසයෙන් නැවැත්තුවා," ඔහු පැවසුවේ ය.

ගෙවීම් නතර කළ කාණ්ඩ නැවත ප්‍රතිලාභ ගන්නේ කොහාම ද?

අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය කාලනුරූපීව වෙනස් වන යෝජනා ක්‍රමයක් බැවින් ගෙවීම් නවත්වන ලද කාණ්ඩවල පිරිස් වෙත ද නැවත ප්‍රතිලාභ ලබා ගැනීමේ අවස්ථාවක් පවතින බව ද සහකාර කොමසාරිස් අශාන් දර්ශන පැවසීය.

මේ දක්වා ප්‍රතිලාභ ගෙවනු ලැබුවේ මීට දෙවසරකට ලබා ගත් දත්ත මත පදනම්ව බවත්, මේ වන විට ගෙවීම් නවතා දමන ලද කාණ්ඩ දෙකෙහි තවමත් සමාජීය හා ආර්ථික තත්ත්වය පහළ මට්ටමක සිටින පිරිස් වෙත එසේ නැවත ප්‍රතිලාභ ලබා ගැනීමට අවකාශ සලසා ඇති බවත් ඔහු සඳහන් කළේ ය.

2023 වසරේ ආරම්භ කළ අස්වැසුම යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභීන් නැවත යාවක්තාලීන කිරීම මේ වන විට රට පුරා ක්‍රියාත්මක වන බව පැවසූ සහකාර කොමසාරිස් අශාන් දර්ශන, ගෙවීම් අවසන් කළ කාණ්ඩ දෙකෙහි පිරිස් තොරතුරු යථාවත් කිරීමට ක්‍රියාවලියට ඉල්ලුම් කර අදාළ තොරතුරු සංගණන නිලධාරීන්ට ලබා දෙමින් පවතින බව ද කියා සිටියේ ය.

"ඒ ලබා දෙන තොරතුරු මත පදනම්ව, ඔවුන්ගේ සමාජ, ආර්ථික තත්ත්වයේ යම් වෙනස් වීමක් වෙලා තියෙන්නේ ද, [යන්න සලකා බලා] ඔවුන්ට නැවත මේ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට ඔවුන් ලබා ගන්න ලකුණු මත පදනම්ව නැවත යෝජනා ක්‍රමය ඇතුළට එන්න අවකාශ තියෙනවා," ඔහු පැවසුවේ ය.

දුප්පත් සහ අන්ත දුප්පත් කාණ්ඩවලට 2027 දක්වා ප්‍රතිලාභ

ජූනි මාසයෙන් පසුව අස්වැසුම ප්‍රතිලාභ ලබා දෙනුයේ දුප්පත් සහ අන්ත දුප්පත් කාණ්ඩයට අයත් ප්‍රතිලාභීන් වෙත පමණක් බවත්, ගෙවීම් අවසන් කළ කාණ්ඩ දෙකෙහි පිරිස් අතර තවදුරටත් ගෙවීම් සිදු කරනු ලබන කාණ්ඩවලට අයත් විය යුතු පවුල් ඒකක තිබේ නම් ඔවුන්ට නැවත ප්‍රතිලාභ ගෙවීම සිදුවන බව ද සහකාර කොමසාරිස්වරයා පෙන්වා දුනි.

දුප්පත් සහ අන්ත දුප්පත් යන කාණ්ඩ සඳහා අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම 2027 ජූනි මස දක්වා ලබා දීමට සැලසුම් කර තිබේ.