නොවැම්බර් 01 දා සිට TIN සහතිකය නැතිව කරන්න බැරි වැඩ මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
බදු ගෙවන්නා හඳුනා ගැනීමේ සහතිකය හෙවත් TIN සහතිකය ලබා ගැනීම මේ වන විට අනිවාර්ය කර තිබේ.
ඒ අනුව, වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලංකාවේ වාසය කරන සියලු ම පුද්ගලයින් අනිවාර්යයෙන් TIN සහතිකය ලබා ගත යුතු ය.
TIN සහතිකය ලබා ගත යුතු වයස
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මහ ජනතාවට දැනුම් දෙන්නේ, '2023 දෙසැම්බර් 31 දිනට වයස අවුරුදු 18ක් වන හෝ 18ට වැඩි සියලු ම වාසික පුද්ගලයින් මෙන් ම 2024 ජනවාරි 01 දින හෝ එදිනට පසු වයස අවුරුදු 18ට එළඹෙන වාසික පුද්ගලයින් (එම වයසට එළඹීමෙන් අනතුරුව) බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් (Tax Identification Number – TIN) ලබා ගැනීම අනිවාර්ය බව ය.
2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ (සංශෝධිත) 102(3) වන වගන්තිය ප්‍රකාරව නිකුත් කරන ලද 2023 මැයි 31 දිනැති අංක 2334/21 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව එසේ කළ යුතු වේ.
2026 නොවැම්බර් 01 වන දා සිට TIN සහතිකය අනිවාර්ය කර ඇති කාර්යයන් මොනවා ද?
2026 නොවැම්බර් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි පහත සඳහන් කාර්යයන් සිදු කිරීමේදී වලංගු TIN සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මහජනතාව වෙත දැනුම් දෙයි.
- යම් බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ගිණුමක් විවෘත කිරීම
- ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබා ගැනීම
- මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීම
- මෝටර් වාහන බලපත්‍රය අලුත් කිරීම
- ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කිරීම
- ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම
- ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීම
- ණය කාඩ්පතක් ලබා ගැනීම
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් උපදෙස්
ඒ අනුව, ඉහත නිශ්චිතව දක්වා ඇති යම් කාර්යයක නිරත වීමට අදහස් කරන සියලු ම තැනැත්තන් වෙත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පහත දැක්වෙන උපදෙස් නිකුත් කර තිබේ.
- ඔබ දැනටමත් TIN අංකයක් ලබාගෙන නොමැති නම්, TIN අංකයක් ලබා ගන්න.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ-සේවාව හරහා එය ඉල්ලුම් කළ හැකිය: මෙතැනින් පිවිසෙන්න.
- ඔබ සතුව වලංගු TIN සහතිකයක් තිබෙන බව තහවුරු කර ගන්න.
TIN අංකය තහවුරු කිරීම සඳහා: මෙතැනින් පිවිසෙන්න.
- අවශ්‍ය විට අදාළ ආයතනය හෝ නිලධාරියා වෙත TIN සහතිකයේ පිටපතක් ලබා දෙන්න.


































