දේශීය ආදායම් පනත සංශෝධනය: නඩු පවරා සිරගත කිරීමට හැකි වැරදි මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය සඳහා රජය ඉදිරිපත් කළ පනත් කෙටුම්පත අද (මැයි 19 වැනිදා) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
දැනට පවතින බදු ක්‍රමයේ සංකීර්ණතා ඉවත් කිරීම සහ බදු පරිපාලනය කිරීමේ දී හඳුනාගත් අවිනිශ්චිතතා ඉවත් කර ගැනීම ඇතුළු පියවර වෙනුවෙන් සංශෝධන කෙටුම් පත ඉදිරිපත් කරන බව එම කෙටුම්පත සම්බන්ධව (මැයි 19 වෙනිදා) පැවති දෙවන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර කියා සිටියේය.
එමෙන්ම, මෙම කෙටුම් පත හරහා ඉදිරිපත් කරන ලද සංශෝධන මගින් බදු පරිපාලනය සහ බදු සරල කරන ක්‍රම පිළිබඳව ද අමාත්‍යවරයා දිර්ඝ ලෙස අදහස් දැක්වීය.
අධිකරණය මෙම පනත් කෙටුම් පත සම්බන්ධව ලබා දී ඇති සංශෝධන සහ නිර්දේශ ඊට ඇතුළත් කරන බවත් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
කෙසේ වෙතත් මෙම සංශෝධනය හරහා බදු ගෙවන්නේ හඳුනා ගැනීමේ අංකයක් (TIN) ලබා නොගැනීම ඇතුළු කරුණු කිහිපයක් අපරාධ චෝදනා ලෙස නම් කර තිබීම විපක්ෂය දෝෂ දර්ශනයට ලක් කර තිබේ.
පනත් කෙටුම් පතෙහි සඳහන්ව ඇත්තේ කුමක් ද?
රජය ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට අනුව, යම් තැනැත්තෙකු වාර්ෂික වාර්තා ගොනු නොකිරීම, ආදායම් වාර්තා ගොනු නොකිරීම 102 වගන්තිය යටතේ නියම කර ඇති පරිදි කොමසාරිස් ජනරාල්වරයා වෙත ලියාපදිංචි නොකිරීම, 123 වන වගන්තිය යටතේ දෙන ලද දැන්වීමකට අනුකූලව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ඉදිරියේ පෙනී නොසිටීම සහ 126 වන වගන්තිය යටතේ බදු වාර්තාවක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම අධිකරණයේ නඩු පවරා සිරගත කිරීමට හැකි වරදවල් ලෙස දක්වා ඇත.
"කොමසාරිස් ජනරාල්වරයා විසින්, දැන්වීම භාරදුන් දිනයේ සිට දින තිහක් ඇතුළත ඒ තැනැත්තා විසින් මේ පනතේ විධිවිධානවලට අනුකූලව කටයුතු කිරීම සඳහා අවශ්‍ය පියවර ගනු නොලැබුවහොත් මේ වගන්තිය යටතේ ඔහුට විරුද්ධව නඩු කටයුතු ආරම්භ කරන බව සඳහන් කරමින් ලිඛිත දැන්වීමක් ඒ තැනැත්තාට භාර දිය යුතුය."
"සාධාරණ හේතුවක් නොමැතිව, (1) වන උපවගන්තිය යටතේ කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද දැන්වීමට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වන යම් තැනැත්තකු මේ පනත යටතේ වරදක් සිදු කරනු ලබන අතර, මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියේ පවත්වනු ලබන ලඝු නඩු විභාගයකින් පසුව වරදකරු කිරීමේ දී, රුපියල් ලක්ෂ හතරක් නොඉක්මවන දඩයකට හෝ මාස හයක් නොඉක්මවන කාලසීමාවක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකට ම හෝ යටත් විය යුතු ය." යනුවෙන් පනත් කෙටුම් පතේ දැක්වේ.
'රටේ සංවර්ධනය මොට්ට කරන්නට දරපු උත්සාහයක්'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
"බදු එකතු කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදය කෙලෙසමින් ඒ වගේම බදු එකතු කිරීමේ ක්‍රියාවලියේ යම් කිසි අඩුපාඩුකම් සිදුවෙනකොට යම් කිසි පුද්ගලයින්ගෙන්, ආයතනනවලින්, ව්‍යාපාරවලින්, ව්‍යවසායකයින්ගෙන් එය සාපරාධී ක්‍රියාවක් බවට පත් කරන්නට රජය ගන්න මේ පියවර අපි ඇත්ත වශයෙන්ම ඉතාමත්ම වැරදි පියවරක් හැටියට මේ අවස්ථාවේ කියන්න කැමති." යැයි විවාදයට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේය.
බදු නොගෙවීම, බදු ගොනුවක් ක්‍රියාත්මක නොකිරීම, TIN අංකයක් ලබා නොගැනීම වැනි ක්‍රියාවන් චේතනාන්විතව සිදු නොකරන්නේ නම් පමණක් සපරාධී ක්‍රියාවක් බවට පත් කිරීම යෝග්‍ය බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
"අසීමිත පීඩනයකට, අසහනයකට ලක්වුණු ඒ ජනතාවට අද බදු ගෙවීම අතපසු වීම සාපරාධී ක්‍රියාවක් බවට පත් කරලා තවත් අමතර පීඩනයක් ඇති කරනවා. මේ වගේ තත්ත්වයක් තුළ අලුත් ව්‍යාපාර නිර්මාණය වීම, අලුතෙන් ආයෝජකයෝ බිහි වීම, සෘජු විදේශ ආයෝජන අපේ රටට ලැබීම, විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර, විවිධ සංචාරක ක්ෂේත්‍ර දියුණු කිරීම ඒ පැත්තට ජනතාව යොමු නොකරන ක්‍රියාවලියක් මේ සාපරාධී ක්‍රියාවක් බවට මේ ක්‍රියාව හඳුන්වමින් ඇත්ත වශයෙන්ම මේ රටේ සංවර්ධනය මොට්ට කරන්නට දරපු උත්සාහයක් හැටියටයි අපි මේක දකින්නේ." යි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
මෙම කෙටුම්පත වෙනුවෙන් සමගි ජනබලවේගය සංශෝධන ඉදිරිපත් කරන බවත් ඒවා ඇතුළත් කර එම ක්‍රියාවලිය යම් තාක් දුරකට හෝ සාධාරණ ක්‍රියාවලියක් බවට පත් කිරීමට කටයුතු කරන මෙන් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.
'TIN නම්බර් එක නැති නම් නඩු දානවාලු'
ආණ්ඩුව විසින් අසීමිත ලෙස බදු පනවා, යම් කිසි හේතුවකින් එම බදු ගෙවීමට නොහැකි වුවහොත් මර්දනය ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරන බවට විවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ චෝදනා කළේය.
"අසීමිත විදයට බද්ද වැඩි කරලා දැන් කියනවා TIN නම්බර් එක නැති නම් නඩු දානවාලු. මාස 6ක් හිරේ දානවා TIN නම්බරේ නැති නම්. මෙතුමන්ලා බලයට එන්න කලින් TIN නම්බරය ගැන සමාජයේ කතිකාවක් හැදෙනකොට, ආණ්ඩුව ප්‍රතිපත්තියක් විදියට ඒක ක්‍රියාත්මක කරන්න ලෑස්ති වෙනකොට මොකක්ද මෙතුමන්ලා කිව්වේ. TIN නම්බර් ඕනේ නෑ කිව්වා රට හදන්න. හැබැයි දැන් බලයට ආවාට පස්සේ මොකක්ද කියන්නේ. TIN නම්බරේ නැති නම් හිරේ දානවලු."
නීතිය වෙනස් කළේ ඇයි?
දේශීය ආදායම් පනත සංශෝධනය කිරීමේ දී නීතිමය ක්‍රියා මාර්ග දැඩි කිරීමට හේතු වූ කරුණු පිළිබඳ මෙම පනත් කෙටුම් පත පිළිබඳ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පැහැදිලි කළේය.
"මේක අපරාධ වරදක් බවට පත් කරන්නත්, ඒ වගේම ආදායම් දෙපාර්තුමේන්තුවට මේ පිළිබඳ අවසාන තීරණය ලබා දීමටත්, ගත්ත තීරණය තමයි මේ දක්වා බදු නැවත අය කරගන්න ගියාම, බදුවලට ඇසෙස්මන්ට් ඉෂු කළාම ඒවා පිළිගන්න තැනක් තිබුණේ නැහැ. අධිකරණයට ඒවා පිළිගන්න හැකියාවත් තිබ්බේ නැහැ. ඒ නිසා නඩු බොරුවට අවුරුදු දහය පහලොව ඇදගෙන යනවා. ඔය කියපු සියලු දෙනාගේ නඩු ෆයිල්වල නඩු දාලා තියෙන්නේ, ඒවාට ඇක්ෂන් අරන් තියෙන්නේ. නමුත් අපිට ක්‍රියාත්මක කරන්න ක්‍රියාවලියක් තිබ්බේ නැහැ ඒ නිසා තමා මේ වෙනස වෙන්නේ."
වක්‍ර බදු අඩු කර සෘජු බදු ප්‍රතිශතය වැඩි කර ගැනීමේ ක්‍රමයක් ලෙස පනත් සංශෝධනය ඉදිරිපත් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පැවසීය.
'කාලීන විදියට කටයුතු කිරීම ගැන බදු ගෙවන ජනතාවට ගැටලුවක් නෑ'
බදු ගෙවීමට උනන්දු කිරීමට, බදු නොගෙවීම වරදක් යන මානසිකත්වය ඇති කිරීම වැනි කරුණු සම්බන්ධව වගකීමක් ඇති කිරීම නව සංශෝධනය හරහා ඇති කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර දේශිය ආදායම් පනත් සංශෝධන කෙටුම් පත් විවාදයේ දී පැවසුවාය.
"බදු ගෙවන්න තියෙන උනන්දුව, බදු ගෙවන්නේ නැති එක වරදක් කියන මානසිකත්වය, තමන් බදු නීතිය යටතේ ඉදිරිපත් කරන්න ඕන ලේඛන ඉදිරිපත් කරන්න ඕන කියන අදහස ඒක ඇති කිරීම, ඒ සම්බන්ධයෙන් වගකීමක් ඇති කර ගැනීම නරක දෙයක් නෙමෙයි. මම හිතන්නේ නැහැ අපේ රටේ නීතියට ගරු කරන, වැදගත් ජනතාවක් ලංකාවේ ඉන්නේ මේ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු වගේ නෙමෙයි. අපේ රටේ ජනතාව, බදු ගෙවන ජනතාව වැදගත් ජනතාවක් ඉන්නේ. මම හිතන්නේ නැහැ ඔවුන්ට ප්‍රශ්නයක් තියෙනවා කියලා තමන් බදු ගෙවීම සම්බන්ධයෙන්, තමන් බදු ගෙවීමට ඉදිරිපත් කරපු ලේඛන සම්බන්ධයෙන් කාලීන විදියට තටයුතු කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට ගැටලුවක් ඇති වෙනවා කියලා මම හිතන්නේ නැහැ."


































