බල නහරයකට හානියක් සිදු වුණොත් ඔබ වහා අනුගමනය කළ යුතු පියවර මොනවා ද?

putting pressure to the wound

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 5

ධමනි අපගේ ශරීරයේ වැදගත් කාර්යයක් ඉටු කරයි. ඒවා හදවතේ සිට පිරිසිදු රුධිරය ශරීරය පුරා ගෙන යයි.

ධමනියකට සිදුවන හානියක් ඔබගේ ජීවිතය මිනිත්තු කිහිපයකින් නැති කරදැමීමට තරම් බලවත් හානියක් බව ඔබ දැන සිටියා ද?

පොදු ව්‍යවහාරයේ 'බල නහර' ලෙස හඳුන්වන්නේ ද ශරීරය පුරා රුධිරය රැගෙන යන ප්‍රධාන ධමනි ය.

නිවසේදී, මාර්ගයකදී හෝ වැඩබිමකදී ධමනියකට හානියක් සිදුවූ විට හෝ, එසේත් නැත්නම් සිතාමතා ම හානි කරගත් අවස්ථාවක හෝ එසේ නොමැතිව වෙනත් අයෙකුගේ ධමනියකට හානියක් සිදුවූ අවස්ථාවක ජීවිතය බේරා ගැනීමට ඔබ මිනිත්තු කිහිපයක් තුළ අනුගමනය කළ යුතු පියවර කිහිපයක් තිබේ.

එවැනි අවස්ථාවක ඔබ දැනගෙන තිබිය යුතු මූලික ප්‍රථමාධාර ක්‍රියාමාර්ග මොනවාද, සහ ජීවිතය රැකගැනීමට ඔබට එම මොහොතේ කළ හැකි දේ මොනවා ද යන්න මෙම ලිපියෙන් විස්තර කෙරෙයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර දැනගැනීම සඳහා බීබීසී සිංහල විසින් හදිසි අනතුරු සහ ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් විදේශ රටවල් ගණනාවක විශේෂිත පුහුණුවක් ලබා සිටින ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සිල්වා සම්බන්ධ කරගන්නා ලදී.

බල නහරයකට හානි වීම බරපතළ ඇයි?

බල නහර, එසේත් නැතිනම් රුධිරය ගෙන යන ප්‍රධාන ධමනිවලට හානියක් සිදුවීම බරපතළ වන්නේ අයිදැයි බීබීසී සිංහල විසින් ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරිනියගෙන් විමසා සිටියේය.

"බල නහරයක් කියන්නේ ධමනියක්. ධමනියක් කැපුණොත් හදගැස්මේ වේගයත් සමග පයිප්පයක් දිගහැරියා වගේ රුධිරය පිටවෙලා විනාඩි කිහිපයක ඇතුළත මරණය සිදු කරන්න පුළුවන්," ඇය පෙන්වා දුන්නා ය.

එක් ධමනියකට වඩා හානි වීම තත්ත්වය වඩාත් බරපතළ කරන බව ඇය පවසයි.

"එකකින් එහෙම දෙයක් වෙන්න පුළුවන් වගේ ම තුන හතරකට හානි වුණොත් ඒක බරපතළ වැඩියි."

අතේ මැණික් කටුව ආසන්නයේ, පාදයේ වළලුකර ආශ්‍රිතව මෙන් ම ගෙල වැනි ස්ථානවල මෙවැනි ප්‍රධාන ධමනි පිහිටා ඇති බැවින් ඒ ආශ්‍රිතව තුවාල සිදුවීමෙන් සිදුවන රුධිර වහනයන් සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බව ඇය පෙන්වා දුන්නා ය.

1. රුධිරය ගැලීම පාලනය කිරීම

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

බල නහරයකට හානි වූ විටකදී මුලින් ම කළ යුත්තේ රුධිරය ගැලීම පාලනය කිරීම බව ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සිල්වා පැවසුවා ය.

"අංක එකට කරන්න ඕනේ රුධිර ගැලීම පාලනය කිරීම. ඔබ ඉන්න තැනත් එක්ක, ඒ තැනේ තියෙන දේවල් යොදාගනිමින් තමයි ඔබට මේ දේ කරන්න වෙන්නේ," ඇය පැවසුවා ය.

එමෙන් ම වෙනත් අයෙකු එලෙස තුවාල වී සිටින අවස්ථාවලදී ඔබ රුධිරය ස්පර්ශ කිරීමෙන් හැකි තරම් වැළකිය යුතු බව ද ඇය පවසයි.

"මතක තබාගත යුතුයි ආරක්ෂාවකින් තොරව රුධිරය අතපත ගාන්න එපා. වෙනත් කෙනෙකුගේ අසනීප ඔබට බෝවෙන්න පුළුවන්."

ඉන්පසුව අනුගමනය කළ යුතු පියවර ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සිල්වා මෙලෙස විස්තර කළා ය.

"තමන් ඉන්න තැන අනුව රෙදි කැබැල්ලක් හෝ ඉටි කවරයක් තුවාල වූ ස්ථානයට තියලා තද කරලා අල්ලන්න."

"තමාගේ ජීවිතයට හානියක් කරගන්න උත්සහ කරන කෙනෙක් නම් අපට එයා ලවා මේ දේ කරවගන්න බෑ. වැරදීමකින් තුවාල වුණ කෙනෙක් නම් අපට කියන්න පුළුවන් ඔයාගේ අත් දෙකෙන් එතන තද කරගන්න කියලා. එක තැනක් නම් ඒ ස්ථානයේ අර විදිහට රෙදි කෑල්ලක් තියලා තද කරලා ඉහළට ඔසවාගෙන ඉඳලා රුධිර වහනය පාලනය කරගෙන ගිලන් රථයකට ඇමතුමක් දෙන්න පුළුවන්,"ඇය විස්තර කළා ය.

"කෙනෙක් තමන්ගේ ම ශරීරයට හානියක් කරගෙන නම් හෝ ධමනි කිහිපයකට හානි වෙලා තියෙන අවස්ථාවක නම් එක පුද්ගලයෙකුට තනියම මේ දේවල් කරන්න බෑ," ඇය පවසයි.

එවැනි අවස්ථාවක අවට සිටින අයගේ සහයෝගය ද ලබා ගත යුතු බව පැවසු ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරිනිය පෙන්වා දුන්නේ තමා සිටින ස්ථානය අනුව ක්ෂණික තීරණ ගෙන අවට ඇති දේ යොදාගනිමින් මෙය කළ යුතු බව ය.

"තමන්ගේ අවට තියෙන දේවල් යොදාගෙන මේ දේවල් කරන්න ඕනේ. තමන්ට එළියට ඇවිල්ලා උදව් ඉල්ලන්න වෙලාවක් යනවා නම් උදාහරණයක් විදිහට කැලයක වගේ නම් වැල්පොටකින් ගැටගහලා හරි රුධිර වහනය නවත්වා ගන්න ඕනේ. තමන්ගේ අවට තියෙන ආරක්‍ෂිත කුමක් හෝ දෙයක්, රෙදි කැබැල්ලක් තියලා තද කරලා වැල්පොටකින් හෝ රෙදි පටියකින් ඉස්සෙල්ලා ලේ ගලන තැන් ගැටගහන්න. ඒ කොටස් ඉහළට ඔසවාගෙන ගිලන් රථයකට කතා කරන්න," ඇය පවසයි.

"ගිලන් රථයකට කතා කරන ගමන් ම මේ ක්‍රියාවලිය කරන්න පුළුවන් නම් වඩා හොඳයි. මොකද මේක ඉතා ම ඉක්මනින් කරන්න ඕනේ. මෙහෙම දෙයක් වුණා ම ඉතා ම වේගයෙන් රුධිරය ගලනවා. රුධිරය ගොඩක් ගියොත් රෝගියාගේ ජීවිතය බේරාගන්න අපහසු වෙන්න පුළුවන්. එහෙම බැරි වුණොත් රෝගියා මිය යන්නේ අධික රුධිර වහනයෙන්," ඇය තවදුරටත් පැවසුවා ය.

"මේ වගේ ධමනියකට හානියක් වුණ මොහොතේ ම මේක කරගන්න පුළුවන් නම් හොඳයි. එතකොට රෝගියාගේ ජීවිතයට තියෙන අවදානම අවම කරගන්න පුළුවන්."

2. තුවාලයට ඉහළින් පටියක් ගැටගැසීම අවසන් තෝරාගැනීම

තුවාල වූ ස්ථානයට ඉහළින් පටියකින් තද කර ගැටගැසීම සම්බන්ධයෙන් ද ඇය විස්තර කළා ය.

"ඒක අපි කරන්නේ අවසාන තෝරාගැනීම විදිහට."

"ඔන්න අපි තද කරලා ඉහළින් ලොකු ගැටයක් ගහනවා, එතකොට එතනින් එහාට රුධිරය ගලන්නේ නෑනේ. ඒ විදිහට ගොඩක් වෙලා තිබුණොත් රුධිර ගැලීමක් නැති නිසා පහළ කොටස මැරෙන්න පුළුවන්," හෙද නිලධාරිනිය පෙන්වා දුන්නා ය.

එසේ කරන්නේ නම් ඒ සඳහා දැනුමක් සහිත පුද්ගලයෙකු විසින් සිදු කිරීම වැදගත් බව ඇය පෙන්වා දුන්නා ය.

"ඒක කරන්න දන්නා කෙනෙක් ඒක කරන්න ඕනේ. ඒ වගේ ගහගහනවා නම් සන්ධියට ඉහළින් ගැටගහන්න ඕනේ. නැවෙන ස්ථානයට ඉහලින් තමයි ගැටේ ගහන්න ඕනේ. එහෙම ගැටගැහුවත් විනාඩි 10කට 15කට සැරයක් ඒක ලිහිල් කරලා බලන්න ඕනේ. නැත්තම් එතනින් පහළ කොටසට ම රුධිරය නැති වෙනවනේ. ඒ නිසයි ඒ ගැන දන්නා කෙනෙක් ඒක කරන එක වැදගත් කියන්නේ."

සාමාන්‍ය ජීවිතයේදී මෙවැනි අවස්ථාවකට මුහුණ දීමේදී මුලින් සඳහන් කළ පියවර අනුගමනය කිරීම සිදු කළ යුතු බව ද හෙද නිලධාරිනිය පෙන්වා දුන්නා ය.

"හරි දැනුම තියෙනවා නම්, ධමනියක් කැපුන තැන ඉහළින් අතින් තද කිරීමෙනුත් රුධිරය ගැලීම නවත්වගන්න පුළුවන්."

"දැන් සාමාන්‍ය කෙනෙක්නෙ ගොඩක් වෙලාවට මේක කරන්නේ. ඒ නිසා කැපීම මත රෙදි කැබැල්ලක් තියලා පීඩනය යොදලා වෙලන්න පුළුවන්. දක්ෂ කෙනෙක් නම්, පාදයක නම් දණහිසට ඉහළින් ගැටේ ගහලා, විටින් විට ඒක ලිහ ලිහා තද කරන්න ඕනේ."

එලෙස දීර්ඝ කාලයක් ගැටගසා තැබීමෙන් අයෙකු මිය ගිය බව ද ඇය පැවසුවා ය.

"එක වතාවක් නම් සර්පයෙක් කාලා පිරිමි ළමයෙකුගේ කකුල පැය 24ක් ඒ විදිහට ගැටගහලා තිබීම නිසා ඔහු මිය ගියා. මොකද රුධිරය යන්නේ නැති නිසා ඒ කොටස වැඩ කළේ නෑ, පසුව ඒ කොටස නරක වුණා, ඒ විෂබීජ ශරීර ගත වෙලා ඔහු මිය ගියා."

3. වහා ම රෝහලකට ගෙන යන්න

මෙවැනි රුධිර වහනයක් සිදුව එය පාලනය කරගැනීමෙන් පසුව රෝගියා රෝහලකට රැගෙන යාම වැදගත් බව ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යානි ද සොයිසා පෙන්වා දුන්නා ය.

"රෝගියාගේ රුධිරය ගොඩක් එළියට ගියාට පස්සේ ඒ නැතිවුණ රුධිරය රෝගියාට නැවත ලබා දෙන්න ඕනේ. ඒ සඳහා ඒ රෝගියා ඔසවාගෙන හෝ ළඟ ම රෝහලට අරන් යන්න ඕනේ. එතකොට ඒ රෝහලේදී රෝගියාට රුධිරය ලබා දීමක් සිදු කරනවා," ඇය පවසයි.

"රුධිරය මද කම නිසා ඇතිවන හයිපෝ වොලීමික් කියන තත්වය නිසා තමයි ආපසු රුධිරය ලබා දෙන්නේ. ඒ විදිහට කරන්න බැරි වුණොත් රෝගියා මිය යන්නේ ඒ හයිපෝ වොලීමික් කියන තත්ත්වයෙන්."

මේ නිසා මෙවැනි තත්ත්වයක් ඇති වන ඕනෑම අවස්ථාවක වේගවත්ව, නිවැරදි පියවර ගැනීමෙන් ජීවිතයක් ආරක්ෂා කිරීමට හැකි බව ඇය පෙන්වා දුන්නා ය.