නොමිලේ රත්තරන් සහ ගෑස් සිලින්ඩර්: තමිල්නාඩු මැතිවරණයේදී විජෙයි දුන් සුවිශේෂී පොරොන්දු 14ක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, දිනුක් හේවාවිතාරණ
- Role, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 4
ගතවූ දශක 5ක ඉතිහාසය තුළ ඉන්දියාවේ තමිල්නාඩු මහ මැතිවරණයකදී සුවිශේෂී වෙනස්කමක් සිදුකිරීමට ජනප්‍රිය චිත්‍රපට නළුවෙකු මෙන් ම දේශපාලඥයෙකු වන 'තලපති විජෙයි' හෙවත් ජෝසෆ් විජෙයි චන්ද්‍රසේකර් ප්‍රමුඛ TVK පක්ෂයට හැකි විය.
ඉන්දීය මැතිවරණ කොමිසම විසින් නිකුත් කරන ලද ප්‍රතිඵලයට අනුව, TVK පක්ෂය මැතිවරණ කොට්ඨාස 105ක් ජයග්‍රහණය කළ තනි විශාලතම පක්ෂය බවට පත්වී සිටින නමුත්, මන්ත්‍රීවරුන් 234කින් යුත් සභාවේ බහුතරය වන මන්ත්‍රී ධූර 118 සීමාවට තවමත් ළඟා වී නොමැත.
මේ අතර, විජෙයි අද (මැයි 07) තමිල්නාඩු මහ ඇමති ධූරයේ දිවුරුම් දීමට සුදානම්ව සිටි බවට වාර්තා පළ වූ නමුත් පසුව එය කල් දැමු බව එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, TVK VIJAY Official Web Site
විජෙයිගේ මැතිවරණයේ සුවිශේෂී සිදුවීම්
නව දේශපාලන පක්ෂයක් වූ TVKහි නායක විජෙයි සිය පළමු මැතිවරණයෙන් ම ලැබූ ජයග්‍රහණය පිළිබඳව බොහෝ රසවත් සිදුවීම් එරට මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබේ.
සිය පෞද්ගලික රියැදුරු වන රාජේන්ද්‍රන්ගේ පුත්‍රයා වූ ආර්. සබ්රිනාදන්ට මහ මැතිවරණය සඳහා තරග කිරීමට අවස්ථාව උදාකර දීමට විජෙයි කටයුතු කර තිබූ අතර එහිදී සබ්රිනාදන් සිය මැතිවරණ කොට්ඨාසය ජයග්‍රහණය කිරීමට සමත් විම කැපී පෙනෙන සිදුවීමක් ලෙස ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.
කාන්තාවන්ගේ ආරක්ෂාව සහ ගෘහ ශුභසාධනයේ සිට රැකියා, පාලන තන්ත්‍රයේ විනිවිදභාවය සහ ගොවි ජනතාවගේ ආරක්ෂාව ඇතුළුව එදිනෙදා ජනතාව මුහුණ දෙන ගැටලු ඍජුව ම ආමන්ත්‍රණය කිරීම උදෙසා ඉතා සූක්ෂම ලෙස ව්‍යුහගත කරන ලද කරුණු 40කින් යුත් විජෙයිගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන ද මෙවර මැතිවරණයේදී බොහෝ දෙනාගේ අවධානය යොමු විය.

ඡායාරූප මූලාශ්‍රය, TVK VIJAY Official Web Site
විජෙයි දුන් සුවිශේෂී මැතිවරණ පොරොන්දු මොනවා ද?
1. තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන කාන්තාවන්, දරුවන් සහ වැඩිහිටියන්ගේ ආරක්ෂාව සඳහා කැපවූ දෙපාර්තමේන්තුවක් පිහිටුවීම.
2. මාතෘ මූලික පවුල් සඳහා (වයස අවුරුදු 60 දක්වා) රුපියල් 2,500ක මාසික ආධාරයක් ලබා දීම. මෙම ආධාර මුදල රජයේ සේවකයින් සිටින පවුල් වෙත හිමි නොවේ.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
3. සෑම පවුලකට ම වසරකට LP ගෑස් සිලින්ඩර 06ක් නොමිලේ ලබා දීම.
4. විවාහ දිවියට එළඹෙන සෑම තරුණියක් සඳහා ම රත්තරන් ග්‍රෑම් අටක් සහ සිල්ක් සාරියක් ලබා දීම.
5. ළමුන් පාසල් හැරයාම වැළැක්වීම සඳහා මාතෘ මූලික පවුල් සඳහා වාර්ෂිකව රුපියල් 15,000ක මූල්‍ය ආධාරයක් ලබාදීම (1-12 වසර දක්වා ළමුන් සඳහා)
6. තමිල්නාඩුව පුරා කාන්තාවන් සඳහා නොමිලේ බස් සේවාවක් හඳුන්වාදීම.
7. කාන්තාවන්ට එරෙහි අපරාධ අවම කිරීම උදෙසා විශේෂ ඒකක ස්ථාපනය කිරීම.
8. කාන්තාවන්ට එරෙහි අපරාධ විමර්ශනය කිරීම සඳහා වෙන්වූ අධිකරණ පිහිටුවීම.
9. තමිල්නාඩු ප්‍රාන්තය තුළ අලුත උපන් සෑම බිළිඳෙකු සඳහා ම රන් මුද්දක් සහ ළදරු භාණ්ඩ කට්ටලයක් ලබාදීම.
10. දැඩි නීති, ප්‍රජා පොලිස් කටයුතු සහ පාසල් සහ විශ්වවිද්‍යාලවල මත්ද්‍රව්‍ය විරෝධී සංසද පිහිටුවීම තුළින් තමිල්නාඩුව මත්ද්‍රව්‍යවලින් තොර ප්‍රාන්තයක් බවට පරිවර්තනය කිරීම.
11. රුපියල් ලක්ෂ 20ක් දක්වා ඇප රහිත ණය (12 ශ්‍රේණියෙන් පසු ආචාර්ය උපාධිය දක්වා)
12. රැකියා විරහිත පුද්ගලයින් සඳහා මාසික ආධාර ලබා දීම: මාසිකව උපාධිධාරීන් සඳහා රුපියල් 4,000ක් සහ ඩිප්ලෝමාධාරීන් සඳහා රුපියල් 2,500ක්.
13. ව්‍යවසායකත්ව යෝජනා ක්‍රමය: රුපියල් ලක්ෂ 25ක් දක්වා ඇප රහිත ණය ලබාදීම.
14. තමිල්නාඩු ප්‍රාන්තයේ පොලිස් නිලධාරීන් සඳහා රු. 18,200 සිට රු. 25,000 දක්වා වැටුප් වැඩිවීමක්.


































