ශ්‍රී ලංකාවේ සිය පාරිභෝගික බැංකු මෙහෙයුම් අවසන් කළ HSBC බැංකුව මෙරට බැංකු කේෂ්ත්‍රයට සිදු කළ වෙනස්කම් මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
HSBC බැංකුව විසින් මෙරට පවත්වාගෙන යනු ලැබූ පාරිභෝගික බැංකු කටයුතු ඊයේ (අප්‍රේල් 30) දිනෙන් නිල වශයෙන් අවසන් කර තිබේ.
ඒ, HSBC බැංකුවේ මෙරට පාරිභෝගික බැංකු කටයුතු නේෂන්ස් ට්‍රස්ට් බැංකුව වෙත පැවරීම අවසන් කිරීම සමඟිනි.
හොංකොං ඇන්ඩ් ෂැංහයි බෑන්කින් කෝපරේෂන් (HSBC), ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන පාරිභෝගික බැංකු කටයුතු නේෂන්ස් ට්‍රස්ට් බැංකුව වෙත පැවරීම සඳහා 2025 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමැතිය ලැබුණි.
HSBC බැංකුවේ ගනුදෙනුකරුවන්ට සිදුවන්නේ කුමක් ද?
2025 සැප්තැම්බර් මාසයේදී නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහ HSBC විසින් බැඳීම් සහිත විකුණුම් සහ මිලදී ගැනීමේ ගිවිසුමක් අත්සන් කරන ලද අතර එය මේ වන විට සම්පූර්ණ වී ඇත.
ඒ අනුව 2026 මැයි 1 වන දා සිට HSBC හි ප්‍රමුඛපෙළේ බැංකුකරණ ගනුදෙනුකරුවන්, ක්‍රෙඩිට් කාඩ්පත්, පෞද්ගලික ණය ඇතුළුව දළ වශයෙන් ගනුදෙනුකරුවන් 200,000කගේ ගිණුම් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට නිල වශයෙන් හිමි වනු ඇති බව HSBC බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
HSBC බැංකුව සතු ATM යන්ත්‍ර ඇතුළුව HSBC ශාඛා සහ අධිවේගී බැංකු මධ්‍යස්ථාන ඊයේ (අප්‍රේල් 30) සවස 3 ට වසා දැමීමට කටයුතු කරන බවත්, එදින පස්වරු 7 දක්වා HSBC ගිණුම් සහ ක්‍රෙඩ්ට් සහ ඩෙබිට් කාඩ්පත්, අන්තර්ජාල සහ ජංගම බැංකුකරණ කටයුතු භාවිතා කිරීමට හැකියාව ලැබෙන අතර ඉන්පසු එම සියළුම අන්තර්ජාල බැංකු කටයුතු අක්‍රීය වන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
මේ අතර HSBC ශ්‍රී ලංකා නිල ෆේස්බුක් පිටුව ද අප්‍රේල් 30 වනදාට පසු ක්‍රියාත්මක නොවනු ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
HSBC බැංකුවේ මෙරට ඉතිහාසය
HSBC බැංකුව මෙරට සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කර මේ වන විට වසර 130කට අධික බව එම බංකුවේ වෙබ් අඩවියේ ඇති තොරතුරු වලින් සනාථ වේ.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
හොංකොං සහ ෂැංහයි බැංකුව සිය පළමු ශාඛාව පිහිටුවා වසර 27 කට පසු එනම් 1892 ජූලි 1 වන සිකුරාදා HSBC බැංකුව ශ්‍රී ලංකාවේ නිල වශයෙන් තම බැංකු කටයුතු ආරම්භ කළ බව සඳහන් වේ.
1892 දී, HSBC බැංකුව විසින් වර්තමාන ඩෙල්මේජ් ෆෝසයිත් සහ සමාගමේ පූර්වගාමියා වූ ඩෙල්මේජ් රීඩ් සහ සමාගම මෙරට සිය බැංකු කටයුතු සඳහා වන තම නියෝජිත ආයතනය ලෙස පත් කරන ලදී.
1894 දී ශ්‍රී ලංකාව පුරා ප්‍රචලිත බෝගයක් වූ කෝපි වගාව වෙත ව්‍යාප්ත වූ රෝගයක් නිසා සම්පූර්ණයෙන්ම වගා විනාශ වූ විට රටේ ආර්ථිකය දැඩි පසුබෑමකට ලක් විය.
මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙරට ක්‍රියාත්මක වෙමින් පැවති ඔරියන්ට් බැංකුව වසා දැමිණි.
එවැනි පසුබිමක HSBC බැංකුව 1920 වසරේ මුල් භාගයේදී මදුරාසි බැංකුවට යාබද ඉඩමක් මිලදී ගෙන එහි සිය බැංකු ගොඩනැගිල්ල ඉදිකිරීම් ආරම්භ කළේය.
ඒ අනුව HSBC විසින් අංක 24, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවතේ පිහිටි ගොඩනැගිල්ලේ තම පළමු බැංකු ශාඛාව පිහිටවනු ලැබීය.
1927 දී ආරම්භ වූ "චෙට්ටි අර්බුදය" ඇතිවූ සමයේදී HSBC බැංකුව මෙරට ව්‍යාපාරික ප්‍රජාවට සහය දැක්වීමට ඉදිරිපත් වූ බව සඳහන් වේ.
දෙවන ලෝක යුද්ධ සමයේදී බ්‍රිතාන්‍ය ගුවන් හමුදාව ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවල ස්ථානගත කිරීමත් සමඟ, HSBC ක්‍රියාකාරකම්වල මධ්‍යස්ථානයක් බවට පත්විය. මෙම කාලය තුළ සහ 1956 දක්වා, ලංකා රජය HSBC සමග ඉතා සැලකිය යුතු ආදායම් ගිණුමක් පවත්වාගෙන ගිය බව බැංකුවෙ වෙබ් අඩවිය වාර්තා කර සිටියි.
මෙරට බැංකු කේෂ්ත්‍රයට ලබා දුන් දායකත්වයන් මොනවා ද ?
HSBC බැංකුව මෙරට බැංකු කර්මාන්තයට නව තාක්ෂණික මෙවලම් හඳුන්වා දුන් බැංකුවක් ලෙස සැලකේ.
1986 දී ප්‍රථම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය (ATM) ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් HSBC බැංකුව ඉන් පසුව බැංකු කටයුතු සඳහා අද වන විට නැතිවම බැරි පරිගණකගත බැංකු මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දීමේ පුරෝගාමියා ලෙස ද සැලකේ.
එමෙන්ම 1994 දී මෙරට තුළ පළමු වරට ක්‍රෙඩිට් කාඩ්පතක් නිකුත් කරමින් මෙරට බැංකුකරණයේ විප්ලවීය වෙනසක් සිදු කිරීමට HSBC බැංකුව සමත්විය.

































