රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ: අද අධිකරණයේදී සියලු පාර්ශව අනාවරණය කළ කරුණු

රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ

ඡායාරූප මූලාශ්‍රය, Facebook

Published
කියවීමේ කාලය: මිනිත්තු 5

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටි හරක් කටා හෙවත් නඳුන් චින්තක නමැති සැකකරුගේ බිරිඳගෙන් රුපියල් කෝටි දොළහක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නීතිඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනෙකුගේ ඇප ඉල්ලීම් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය සහ සැකකරුවන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මෙම නියෝගය නිකුත් කළේ ය.

මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, එම සැකකරුවන් ලබන 17 වන දා දක්වා තවදුරටත් රිමාන්ඞ් භාරයේ තැබිය යුතු බව ය.

අල්ලස් කොමිසමේ කරුණු දැක්වීම්

මෙම නඩුකරය අද (ජූලි 03) කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනූෂා සම්බන්ධප්පෙරුම අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ පැවසීය.

"ස්වාමීනි… මේ සිද්ධිය සම්බන්ධයෙන් කොමිසම වැඩිදුර විමර්ශන සිදු කළා. මෙම සැකකරුවන් විසින් රුපියල් කෝටි දෙකක මුදලක් හරක් කටා නමැති සැකකරුගේ බිරිඳට ලබා දී තිබෙන්නේ හර්බි හෙවත් නිර්මාණ බණ්ඩාර නමැති අයගේ මිත්‍රයෙකු වන ලසන්ත මංජුල ද සිල්වා නමැත්තෙකු මාර්ගයෙන්. පසුව එම මුදල් මිදිගම ලසා විසින් ඇයට ලබා දී තිබෙනවා. නුගේගොඩ, නාවල පාරේ, විජයබා මාවතේ පිහිටි ස්ථානයකදී තමයි මේ මුදල් ලබාදීම සිදුකර තිබෙන්නේ. එම ස්ථානයේ තමයි දෙවන සැකකාර රඛිත රාජපක්ෂගේ පියාගේ නිවස පිහිටා තිබෙන්නේ. වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වුණා මේ ස්ථානයේදී තමයි මේ මුදල් ලබාදීම සිදුවෙලා තිබෙන්නේ කියලා."

වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය, "මෙම සැකකරුවන් තුන් දෙනා හරක් කටා නමැත්තාගේ බිරිඳ වන මහේෂිකා මධුවන්ති නමැත්තියගෙන් මුදල් ලබා ගැනීම සඳහා ඩුබායි රාජ්‍යයට මෙරටින් පිටත්ව ගොස් තිබෙන්නේ, 2023 වසරේ මාර්තු 25 වන දා. ඔවුන් යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන්නේ 2023 වසරේ මාර්තු මස 29 වන දා. එම අවස්ථාව වන විට දෙවන සැකකරු වූ රඛිත රාජපක්ෂගේ පියා ඩුබායි රාජ්‍යයේ රැදී සිටි ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. ඔහු ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් තිබෙන්නේ, 2023 වසරේ මාර්තු මස 21 වන දා. එම නිසා මෙම දෙවන සැකකරුගේ පියා ඩුබායි රාජ්‍යයට ගියේ කුමන අවශ්‍යතාවක් සඳහා ද? ඔහු හමුවී තිබෙන තැනැත්තන් සහ ඔහු මෙම අපරාධයට සම්බන්ධ වී තිබේ දැයි වැඩිදුර විමර්ශන සිදු කරනවා," යනුවෙන් පැවසීය.

වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය මෙසේ ද පැවසීය.

"ස්වාමීනි..මේ සිද්ධිය සම්බන්ධයෙන් cybernewslk නමැති පිටුවේ වාර්තාවන් පළකර තිබෙනවා. පසුව එය පලකළ අනූප එරංජිත් රාජපක්ෂ නමැත්තාගේ නිවස ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් පරීක්ෂාවට ලක් කරලා මොහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්පසුව අසභ්‍ය දර්ශන සහිත ද්‍රෘඩ තැටියක් ළඟ තබා ගැනීම සහ රාජ්‍ය නිලධාරීන් බිය ගැන්වීම සම්බන්ධයෙන් ඔහුට නඩු පවරා පසුව නිදහස් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් එම පුද්ගලයා මූලික අයිතිවාසිකම් පෙත්සමක් සහ වන්දි ඉල්ලා නඩු පවරා තිබෙනවා."

"සැකකරුවන් විසින් මෙසේ අල්ලස් වශයෙන් ලබා ගත් මුදල් රැගෙන ආ ආකාරය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනවා. මෙම මුදල් උන්ඩියල් ක්‍රමයට රැගෙන විත් තිබෙන බවට මුල් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. සැකකරුවන්ගේ ජංගම දුරකතන විමර්ශන නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා. ඒ හරහා මොවුන් හුවමාරු කරගෙන තිබෙන වට්ස්ඇප් ඇමතුම්, ඇතුළු දුරකතන ඇමතුම් පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනවා. ඊට අමතරව මොවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව අපරාධයකින් උත්පාදිත වත්කම් පිළිබඳ පනත යටතේ විමර්ශන සිදු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා. ඊට අමතරව හරක් කටා නමැති සැකකරු මැඩගස්කරයේ සිට මෙරටට රැගෙන ඒමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටියදී එහි ඇතැම් නිලධාරීන් ක්‍රියාකර ඇති ආකාරය සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කරනවා."

විත්තියේ කරුණු දැක්වීම්

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඉන් අනතුරුව සැකකාර චරිත් අබේසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශෝක වීරසූරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ පැවසීය.

"මේ සැකකරුවන් කෝටි දෙකක මුදලක් ලබා දුන් බවට අල්ලස් කොමිසම කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනවා. මෙවැනි කරුණු සෑලකිල්ලට භාජනය විය යුත්තේ නඩු විභාගයකදී. මේ අවස්ථාවේදී අප කරුණු ඉදිරිපත් කරන්නේ ඇප සම්බන්ධයෙන්. අල්ලස් කොමිසම මේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ මේ වන විට රැඳවුම් භාරයේ සිටින ප්‍රබල අපරාධකරුවන් බව කියන හරක් කටා සහ මිදිගම රුවන් යන පුද්ගලයින්ගේ ප්‍රකාශ මත යි. ඔවුන් ප්‍රකාශ කර තිබෙන කරුණුවල සත්‍ය අසත්‍යතාව තීරණය වන්නේ නඩූ විභාගයකදී. මේ අවස්ථාවේදී නෙවෙයි. මේ සැකකරුට තුන් නිවුන් දරුවන් සිටිනවා. ඔහු වාහන ලබාගෙන සිටින්නේ ලීසිං ක්‍රමයට යි. ඉතා අමාරුවෙන් තමයි ඒවා ගෙවාගෙන යන්නේ."

එලෙස සඳහන් කළ නීතිඥවරයා සිය සේවාදායකයා ඇප මත මුදා හරින ලෙසත් ඉල්ලා සිටියේ ය.

අනතුරුව සැකකාර රඛිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ පැවසීය.

"ස්වාමීනි... අල්ලස් කොමිසම පවසන ආකාරයට මෙම වරද සිදුවී තිබෙන්නේ දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක වීමට පෙර යි.එසේනම් මෙම සැකකරුවන් නඩුව අවසන් වන තෙක් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස දන්වා සහතිකයක් ඉදිරිපත් කිරීමට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලයක් ලැබෙන්නේ නැහැ. එසේ සහතිකයක් ඉදිරිපත් කර තිබේ නම් එය නීතියට පටහැනි යි. ඒ නිසා ඇප දීමට මහේස්ත්‍රාත්වරයාට තිබෙන බලය සීමාවීමක් සිදුවන්නේ නෑ. අපි උත්සහ කරන්නේ ඔබ තුමාගේ බලය ආරක්ෂා කරන්න යි. ඔබ තුමාට ඇප දෙන්න පුළුවන්. ඔබ තුමා ඇප දෙයි කියලා අපි හිතනවා. මේ සැකකරු රටින් පැනලා යන්නේ නෑ. සාක්ෂිකරුවන්ට බලපෑම් කරන්නෙත් නෑ. දැන් ඉතිරි වෙලා තියෙන්නේ තාක්ෂණ සාක්ෂි සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට යි. ඒවාට බලපෑම් කිරීමට ඔහුට හැකියාවක් නෑ," යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා සිය සේවාදායකයාට ඇප නියම කරන ලෙසත් ඉල්ලා සිටියේ ය.

ඉන්පසුව තුන් වන සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගීත් කරුණාරත්න ද අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ, සිය සේවාදායකයා ඇප මත මුදාහැර හරින ලෙස ය.

මහේස්ත්‍රාත්ගේ ප්‍රකාශය

ඉන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කළේ ය.

"මෙම සැකකරුවන්ට එරෙහිව දූෂණ විරෝධී පනතේ 149 (1) වගන්තිය යටතේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඉදිරිපත් කර තිබෙන සහතිකය නීතියට පටහැනි බවට විත්තිය විසින් තර්කයක් ඉදිරිපත් කළා. එම ස්ථාවරය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනවා. එම සහතිකයේ වලංගුභාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට යා යුතු බවට මතයක් ඉදිරිපත් වුණා. එහෙත් එම සහතිකයේ වලංගුභාවය පිළිබඳව මෙම අධිකරණය දැනටමත් තීන්දු ලබා දීලා තිබෙනවා. සැකකරුවන්ට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරනු ලබන්නේ සහතිකය යටතේ අධිකරණයට බලය නැති නිසා නොවෙයි. සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවීම නිස යි. මෙම සැකකරුවන් නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා තිබෙනවා. නමුත් අධිකරණය එසේ කරන්නේ නැහැ. සුවිශේෂී කරුණු මතු වන අවස්ථාවක ඇප ඉල්ලීම් ඉදිරිපත් කළ හැකි යි. එය ලිඛිතව කරනවා නම් අධිකරණයට පහසු යි. ඊට අමතරව මේ වියෝගය සම්බන්ධයෙන් අතෘප්තියට පත් වන්නේ නම් ඒ සම්බන්ධයෙන් ඉහළ අධිකරණයට යාමට හැකියාව තිබෙනවා."

ඒ අනුව මෙම අවස්ථාවේදී සුවිශේෂී කරුණු ඉදිරිපත් කිරීමට සැකකරුවන් අපොහොසත් වීම නිසා ඔවුන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ ය.

ඉන් අනතුරුව සැකකරුවන් තුන් දෙනා ලබන 17 වන දා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියම කළේ ය.