11 හැවිරිදි දරුවෙකු පැදවූ කැබ් රථයක ගැටී මිය ගිය තායි භික්ෂූන් සංඛ්‍යාව 10 දක්වා ඉහළට

Authorities investigating the truck that is smashed at the front on the side of the road

ඡායාරූප මූලාශ්‍රය, Mukdahan Provincial Administrative Organisation

ඡායාරූප ශීර්ෂ වැකිය, අනතුරට හේතුව සම්බන්ධයෙන් බලධාරීන් විමර්ශනය කරමින් සිටින අතර, අනතුරට හේතු වූ වාහනය පොලිසිය භාරයට ගෙන ඇත
    • Author, ඔලිවියා අයර්ලන්ඩ්
    • Author, පනීසා අයිමෝකා
    • Role, බීබීසී තායි සේවය
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

තායිලන්තයේදී වයස අවුරුදු 11ක පිරිමි දරුවෙකු පදවාගෙන ගිය කැබ් රථයක් මාර්ගයේ ගමන් කරමින් තිබූ පෙරහැරක ගැටීමෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලා 10 දෙනෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ.

එරට පොලිසිය පවසන්නේ, දරුවාගේ දෙමාපියන්ට අයත් කැබ් රථයක් එම දරුවා පදවාගෙන ගොස් ඇති බව ය.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ භික්ෂූන් වහන්සේ 35 නමක් සහ ගිහි උපාසකයන් පස් දෙනෙකු මුක්දහන් පළාතේ මාර්ගයක් ඔස්සේ පෙරහරක නිරතව සිට ඇත.

මාර්ගය අසල විසිරී ඇති සිවුරු සහ භාණ්ඩ මෙන් ම බරපතළ ලෙස හානි වූ වාහනයක් ද ඉන්ටර්නෙට්හි පළ කර ඇති දර්ශනවල දැක්වේ. පොලිසිය පවසන පරිදි, භික්ෂූන් වහන්සේ පස් නමක් එම ස්ථානයේදී ම මියගොස් ඇති අතර තවත් පස් නමක් පසුව රෝහලේදී මියගොස් ඇත.

AFP පුවත් සේවයට අනුව, අදාළ පිරිමි දරුවා අවසරයකින් තොරව කැබ් රථය රැගෙන ගොස් ඇති අතර රථය පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා භික්ෂූන් වහන්සේලා එහි ගැටී ඇති බව පොලිසිය පවසා තිබේ.

පොලිස් මේජර් ජෙනරල් පයිරෝජ් තයිපුට්සා පැවසුවේ, ඉදිරියේදී එම පිරිමි ළමයා සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු නීතිමය ක්‍රියාවලිය සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව ය.

"සැකකරු දරුවෙක්. අනතුරට හේතුව තීරණය කිරීම සඳහා වාහනය විද්‍යාත්මක පරීක්ෂණයකට කරලා තියෙනවා," ඔහු පැවසීය.

පසුව තයිපුට්සා බීබීසී තායි සේවයට පැවසුවේ, අදාළ පිරිමි දරුවා තම භාරකරුවන් සහ වෛද්‍යවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සමග තවදුරටත් රැකවරණය යටතේ සිටින බව ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මූලික තොරතුරු අනුව ඔහු විශේෂ අවශ්‍යතා ඇති දරුවෙකු වන බව පෙන්වා දෙන නමුත්, මේ වන විට ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු නොමැති බව තයිපුට්සා පැවසීය.

තුවාල ලැබූ භික්ෂූන් වහන්සේලා සඳහා හදිසි රුධිර පරිත්‍යාග ලබා දෙන ලෙස මුක්දහන් රෝහල ඉල්ලීමක් කර ඇත.

භික්ෂූන් වහන්සේලා තුන් දෙනෙකු තවමත් අතිශය බරපතළ තත්ත්වයේ පසුවන අතර, අවම වශයෙන් තවත් පස් දෙනෙකු බරපතළ තුවාල ලබා ඇත. තවත් පිරිසක් සුළු තුවාලවලට ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය බලධාරීහු පැවසූහ.

එම පෙරහරට සහභාගි වී සිටි භික්ෂුවක වූ ප්‍රා සොම්පොන්ග් පැවසුවේ, අනතුර සිදුවීමට පෙර තමන් "බුද්ධෝ, බුද්ධෝ" යන භාවනා මන්ත්‍රය සජ්ඣායනය කරමින් සිටි බව යි.

"කැබ් රථයක් පදවාගෙන එන පිරිමි ළමයෙකු මම දැක්කා... ඊට පසුව හදිසියේ ම රථය ඉතා ම වේගයෙන් අපේ පැත්තට ආවා," එම භික්ෂූන් වහන්සේ ප්‍රාදේශීය සහන සේවකයින් විසින් ඉන්ටර්නෙට්හි පළ කළ වීඩියෝවක පවසති.

"වාසනාවකට, තවත් එක් භික්ෂුවක් සහ මම හරි වෙලාවට එතැනින් පැන ගන්න සමත් වුණා."

"පේළියේ මුලින් හිටිය භික්ෂූන් වහන්සේලා නව දෙනා බේරුණා. නමුත් හැප්පුණු අය විසි වෙලා ගියා."

බුදුන් වහන්සේගේ ඉගැන්වීම් සුරකිමින් ඒවා පරම්පරාවෙන් පරම්පරාවට ප්‍රචාරය කිරීමේ වගකීම ඔවුන් සතු බැවින්, බෞද්ධ භික්ෂූන් වහන්සේලා තායිලන්තයේ ඉහළ ගෞරවයට පාත්‍ර වෙති.

මහ ජනතාව සම්බන්ධ වන පෙරහැරවල් අසාමාන්‍ය නොවන අතර, මහ ජනතාව බොහෝවිට ගෞරවය පළ කිරීමක් ලෙස ආහාර සහ මූලික අවශ්‍යතා වැනි දේ දාන ලෙස භික්ෂූන් වහන්සේලාට පිරිනමති.

අනතුරට පෙර නිවසේ සිට ඇත්තේ, පාසල් නොගිය එම දරුවා පමණක් බව මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බව ද පොලිසිය පැවසීය. අනතුර සිදුවූ දින ඔහු අසනීපව සිටි බැවින් පාසල් ගොස් නොතිබිණි.

කැබ් රථය නිවසේ නොමැති බව දරුවාගේ භාරකරුවන් දැනගත් පසු ඔවුහු ඒ බව පොලිසියට දැනුම් දී ඇත.

මුක්දහන් පළාත් ආණ්ඩුකාර වොරායන් බුන්නරත් පැවසුවේ, මෙම සිද්ධිය තායිලන්තයේ මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් පුළුල් අනතුරු ඇඟවීමක් ලෙස සලකා බැලිය යුතු බව ය.

"අපි පසුගිය වසර කිහිපය පුරා මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා දැඩි ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. මෙම සිද්ධිය අපේ පළාතට විතරක් නොවෙයි, මාර්ග අනතුරු වැළැක්වීම සම්බන්ධයෙන් පොදුවේ මහ ජනතාවටත් පාඩමක් විය යුතු යි," ඔහු පැවසීය.

"මෙයට සම්බන්ධ සියලු දෙනා, විශේෂයෙන් දෙමාපියන්ට, සහයක් ලැබිය යුතු යැයි මම සිතනවා. මොක ද මෙවැනි දෙයක් සිදුවෙනවාට කවුරුත් කැමති නැති නිසා."