ටිරාන් අලස් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම තහනම් කරමින් අභියාචනාධිකරණයෙන් ආඥාවක්

ටිරාන් අලස්
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 3

වාණිජ ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඉදිරිපත් වී තිබෙන පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයක් මත හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, සිලෝන් නිවුස්පේපර්ස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් හා නියෝජිතයින්, සේවකයින් අත්අඩංගුවට ගැනීම තහනම් කරමින් අභියාචනාධිකරණය විසින් පොලිස්පතිවරයා ඇතුළු වග උත්තරකරුවන් වෙත රිට් ආඥාවක් නිකුත් කරනු ලැබී ය.

කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම හෝ අලුතින් සාක්ෂි අනාවරණය වුවහොත් ඒ ඔස්සේ ගැනීමට සිදුවන නීතිමය කටයුතුවලට මෙම තීන්දුව තුළින් බාධාවක් සිදු නොවන බවත් එම නඩු තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සිලෝන් නිවුස් පේපර්ස් සමාගම ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව එහි තීන්දුව දෙමින් ශෂී මහේන්ද්‍රන් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චිගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබා දුන්නේ ය.

චෙක්පත් සම්බන්ධ ගැටලුවක්

පෙත්සම්කාර සමාගම අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර තිබුණේ, තම සමාගම පුවත්පත් ප්‍රකාශයට පත් කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතර මව්බිම සහ සිලොන් ටුඩේ යනුවෙන් පුවත්පත් දෙකක් ප්‍රකාශයට පත් කරන බව ය.

ඊට අදාළ කඩදාසි මිල දී ගැනීම වග උත්තරකාර එල්.පී.එල්. කේසර ලංකා පෞද්ගලික සමාගම වෙතින් ලබාගත් බවත් පෙත්සමේ සඳහන් වේ.

එහෙත්, මහජන ආරක්ෂක අමාත්‍ය ධූරයෙන් ටිරාන් අලස් ඉවත්වීමෙන් පසුව කඩදාසි මිල දී ගැනීමේදී අනාගත දින යොදා ලබා දුන් චෙක් පත් කීපයක් මාරු කිරීමේදී ඇති වූ ගැටලුවක් මත වග උත්තරකාර කේසර ලංකා පෞද්ගලික සමාගම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊට අදාළව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ බවත් පෙත්සමේ සඳහන් වේ.

පෙත්සම්කරුවන් ප්‍රකාශ කරන්නේ, මෙය හුදෙක් ව්‍යාපාරික ගනුදෙනුවක් මත උද්ගත වූ සිවිල් නඩුකරයක් බව ය.

Skip podcast promotion and continue reading
WhatsApp BBC News සිංහල
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඊට අපරාධමය මුහුණුවරක් ලබා දෙමින් අපරාධ සිද්ධියක් වශයෙන් හුවා දක්වා සිදුකරන විමර්ශන නීතියට පටහැනි බවත්, ඒ ඔස්සේ තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා සූදානමක් පවතින බවත් පෙත්සම තුළින් පෙන්වා දී තිබේ.

ඒ අනුව, තමන්ව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම තහනම් කෙරෙන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබිණ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවත් සාමාජික විනිසුරුවරයාගේ එකඟත්වය ඇතිව තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනා අධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන්, ඉදිරිපත් වූ කරුණු පරීක්ෂා කිරීමේදී මෙම සිද්ධිය වාණිජ ගනුදෙනුවක් බවත්, අපරාධමය වරදක් සම්බන්ධයෙන් පෙත්සම්කරුවන් වරදකරුවන් කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවත් තීන්දු කළේ ය.

ඒ අනුව, අදාළ පෙත්සම තුළින් ඉල්ලා තිබෙන පරිදි හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ පෙත්සම්කාර සමාගමේ අධ්‍යක්ෂවරුන්, නියෝජිතයින් සහ සේවකයින් අත්අඩංගුවට ගැනීම සහ භාරයට ගැනීම තහනම් කරමින් රිට් ආඥාවක් නිකුත් කරන බවත් තීන්දුවේ සඳහන් විය.

ඒ අනුව, අදාළ රිට් ආඥාව පොලිස්පතිවරයා, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා වෙත නිකුත් කරන බවත් තීන්දුවේ සඳහන් කර තිබේ.

මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධනගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියේ ය.