2022-2024 කාලය තුළ ජල බිල්පත් අසාමාන්‍ය ලෙස ඉහළ දමා පාරිභෝගිකයින් අපහසුතාවයට පත් කළ බව විගණන වාර්තාවකින් හෙළිවෙයි

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය

ඡායාරූප මූලාශ්‍රය, NWSDB

    • Author, අමන්දිකා කුරේ
    • Role, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 5

ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 48.10%කට පමණ නල ජලය සපයන්නේ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය යටතේ ය.

2022 වසරේ සිට 2024 දක්වා අවස්ථා කිහිපයකදී ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ගාස්තු වැඩි කිරීමට කටයුතු කළේ පැවති ගාස්තුවලට සාපේක්ෂව විශාල ප්‍රතිශතයකින් ය.

මෙම ගාස්තු වැඩිවීම සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විසින් විශේෂ විගණනයක් සිදු කර ඇති අතර, 2022 සහ 2023 වසරවල සිදුවූ ගාස්තු සංශෝධනයන් පැවති ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටි ජල පාරිභෝගිකයින් මහත් අපහසුතාවයකට පත්වන සේ අසාමාන්‍ය ලෙස ඉහළ දමා ඇති බව විගණනයෙන් නිරීක්ෂණය කර තිබේ.

ගාස්තු වැඩි වූ අයුරු

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මෙහෙයුම් සහ නඩත්තු පිරිවැය ආවරණය කර ගැනීමේ අරමුණින් එම ආයතනය පිහිටුවා ඇති පනත ප්‍රකාරව ගාස්තු වැඩි කිරීමේ බලයක් පවතියි.

ඒ අනුව 1990 වර්ෂයේ සිට, 2005, 2009, 2012, 2022, 2023 සහ 2024 වසරවලදී ගාස්තු සංශෝධනයක් සිදු කර තිබිණි.

මෙම ගාස්තු වැඩි කිරීමේදී 2022 සැප්තැම්බර් 01 සහ 2023 අගෝස්තු 01 සිට ක්‍රියාත්මක වූ ජල ගාස්තු 2012 සංශෝධනයේ සිට පැවති මිල ගණන්වලට සාපේක්ෂව පිළිවෙලින් 70%ක් සහ 100%ක් දක්වා ප්‍රතිශතයකින් ඉහළ දමා ඇති බව ජාතික විගණන කාර්යාලය විසින් සිදු කළ විගණනයේ පෙන්වා දී තිබේ.

මෙලෙස ගාස්තු ඉහළ දැමීමට හේතු වූ කරුණු ලෙස, බැංකු පොළී අනුපාත ඉහළ යාම, විදුලි ගාස්තු, ඉන්ධන සහ අමුද්‍රව්‍ය මිල ඉහළ යාම සහ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණ වීම ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් හඳුනාගෙන ඇතැයි වාර්තාව සඳහන් කර තිබේ.

කෙසේවෙතත් මණ්ඩලයේ මිනිස්බල පිරිවැය ඉහළ යාම, ව්‍යාපෘති ප්‍රමාදය මත ජල සැපයුම් ඉලක්කගත කාලය තුළ සිදුකර ගත නොහැකි වීම නිසා ඉලක්කගත ආදායම් අහිමි වීම මෙන් ම ව්‍යාපෘති පිරිවැය ඉහළ යාම, බලශක්ති පිරිවැය අවම කිරීමේ ව්‍යාපෘති ප්‍රමාදවීම වැනි කළමනාකරණ දුර්වලතා ද ඉහළ ප්‍රතිශතයකින් ජල ගාස්තු වැඩි කිරීමට හේතු වූ කරුණු ලෙස විගණනයෙන් හඳුනාගෙන තිබේ.

තව ද මණ්ඩලයේ මුළු වත්කම්වලින් 76%ක් පමණ රජයේ ප්‍රදානවලින් සහ මහා භාණ්ඩාගාරය විසින් පියවන ණය ශේෂයන්ගෙන් සමන්විත වී තිබුණ ද, එම ප්‍රාග්ධනය නිසි පරිදි කළමනාකරණය නොකිරීම හේතුවෙන් පසුගිය වර්ෂ කිහිපය තුළ ම මෙම මණ්ඩලය අලාභ ලබා ඇති බව මෙම විගණනයෙන් පෙන්වා දී තිබේ.

'පිරිවැයෙන් වැඩි කොටසක් බලශක්ති සහ මූල්‍ය වියදම්'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ජාතික විගණන කාර්යාලය විසින් සිදු කරන ලද මෙම විශේෂ විගණනයේදී, ජල ඒකකයක පිරිවැය ඉහළ යාමට සෘජුවම බලපාන වියදම් සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර තිබේ.

ජල ඒකකයක මුළු පිරිවැයෙන් බලශක්ති පිරිවැය 2019 වසරේ 15%ක් ලෙස පැවති අතර, එය 2022 වසරේදී 17%ක් දක්වාත්, 2023 වසරේදී 22%ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.

ඊට සාපේක්ෂව සේවක පිරිවැය, රසායන ද්‍රව්‍ය සඳහා වන පිරිවැය සහ නඩත්තු හා අලුත්වැඩියා වියදම් සඳහා වැය වන මුදලේ අගය වැඩි වී තිබුණ ද, එම වියදම්වල ප්‍රතිශතය සාපේක්ෂව අඩු වී තිබේ.

කෙසේ නමුත්, මූල්‍ය පිරිවැය සඳහා වැය වන මුදලේ ප්‍රතිශතය 2019 වසරේ 2%ක් ලෙස පැවති අතර, එය 2020 සහ 2021 වසරවලදී ද නොවෙනස්ව 2%ක් ලෙස පැවතුණි. එහෙත්, 2022 වසරේදී එය 10%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, 2023 වසරේදී 24%ක් දක්වා ඉහළ ගොස් තිබීම සැලකිය යුතු කරුණකි.

ඒ අනුව, ජල සම්පාදන හා මණ්ඩලයේ ජල ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා වැය වන මුළු පිරිවැයෙන් 2019, 2020 සහ 2021 වසරවලදී 75%ක් පමණ වැය වී ඇත්තේ ඒ සඳහා සෘජුව බලපාන සේවක පිරිවැය සහ නඩත්තු හා අලුත්වැඩියා වියදම් සඳහාය. එහෙත්, 2019 වසරට සාපේක්ෂව සේවක පිරිවැයේ ප්‍රතිශතය ආසන්න වශයෙන් අඩකින් අඩු කර ගැනීමටත්, නඩත්තු හා අලුත්වැඩියා වියදම්වල ප්‍රතිශතය 33% සිට 25% දක්වා අඩු කර ගැනීමටත් මණ්ඩලය සමත්ව තිබේ.

එවැනි තත්ත්වයක් පැවතිය ද, ඊට සාපේක්ෂව බලශක්ති පිරිවැය සහ මූල්‍ය පිරිවැය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර, එම පිරිවැය දෙක එක්ව ජල ඒකකයක නිෂ්පාදන පිරිවැයෙන් 46%ක පමණ ප්‍රතිශතයක් දක්වා ළඟා වී තිබේ.

බලශක්තිය සඳහා වැය වූ මුළු පිරිවැයෙන් 98%ක්ම ජලය පොම්ප කිරීම සඳහා වැය වූ විදුලි ගාස්තු වන බව ද වාර්තාවේ සඳහන් වේ.

2019 සිට 2023 වසර දක්වා විදුලි ගාස්තුවල ක්‍රමානුකූල ඉහළ යාමක් සිදුව තිබුණ ද, 2022 වසරට සාපේක්ෂව 2023 වසරේදී එම ගාස්තු 97%කින්, එනම් දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යාම, ජල ඒකකයක නිෂ්පාදන පිරිවැය වැඩිවීමට සෘජුවම බලපා ඇති බව මෙම විගණන වාර්තාව පෙන්වා දෙයි.

drinking tap water

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ආදායම් නොලබන ජලය 25%ක්

එමෙන් ම, ජල සම්පාදන පද්ධතිය මගින් නිෂ්පාදනය කරනු ලැබූව ද, අදායමක් ලැබීමට නොහැකි ආදායම් නොලබන ජලය 2023 වසර වන විට 25%ක පමණ ඉතා ඉහළ ප්‍රතිශතයකට ළඟා වී ඇති අතර, ඇතැම් ප්‍රාදේශිකයන් තුළ එම ප්‍රතිශතයන් 25% ඉක්මවා ගොස් තිබේ.

එහි සමස්ත නිෂ්පාදන පිරිවැය රු. මිලියන 24,759ක් වේ.

අදායම් නොලබන ජලය ලෙස හැඳින්වෙන්නේ, බෙදා හැරීමේ පද්ධතිය තුළදී කාන්දු වන ජලය, පොදු ස්ථාන, පොදු වැසිකිළි සහ විශේෂ පූජනීය ස්ථානය සඳහා නොමිලේ ලබා දුන් ජලය, පාරිභෝගිකයන් නීතිවිරෝධී ලෙස ලබාගෙන ඇති ජලය සහ මනු කාලීනව ක්‍රමාංකනය නොකිරීම හේතුවෙන් ඇතිවන පරිපාලනමය දුර්වලතා සම්බන්ධයෙන් අහිමි වන ජලය යි.

2023 වසර වන විට, මහනුවර උතුර තුළ 38.72%ක ආදායම් නොලබන ජල ප්‍රතිශතයක් වාර්තා වී ඇති අතර, කෝට්ටේ, දෙහිවල, මොණරාගල, මහනුවර දකුණ, ගාල්ල සහ මාතර ආදායම් නොලබන ජල ප්‍රතිශතය 30% ඉක්මවා තිබේ.

විගණන වාර්තාවේ පෙන්වා දී ඇති ආකාරයට ආදායම් නොලබන ජල ප්‍රතිශතය 15%ක මට්ටමක, එනම් ඉඩදිය හැකි ප්‍රශස්ත මට්ටමක පවත්වා නොගැනීම හේතුවෙන් 2023 වසරේ මණ්ඩලයට අහිමිවී ඇති ආදායම රු. මිලියන 11,614ක් පමණ වී තිබේ.

නිර්දේශ

මෙලෙස ගාස්තු වැඩි කිරීම ආර්ථික අර්බුදයෙන් පීඩා විඳිමින් සිටි ජනතාවට මහත් අපහසුතාවයක් ඇති කර තිබූ බව සඳහන් කරන ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙන්නේ නියමිත කාල තුළදී විනිවිදභාවයක් සහිතව ගාස්තු සමාලෝචනය කළ යුතු බව ය.

එමෙන් ම ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ ජල සම්පාදන ව්‍යාපෘති නිසි කාලයට කාර්යක්ෂමව නිම නොකිරීම හේතුවෙන් සිදුවන අලාභ සහ කළමනාකරණ අකාර්යක්‍ෂමතා තුළින් පැන නගින සේවක පිරිවැය පාරිභෝගිකයන්ට වැය බරක් නොවිය යුතු බව ය.

ආදායම් නොලබන ජල අනුපාතය අවම කරගැනීම, බලශක්ති පිරිවැය අවම කිරීමේ ව්‍යාපෘති කඩිනම් කිරීම ඇතුළු මණ්ඩලයේ සමස්ත මෙහෙයුම් අකාර්යක්‍ෂමතා අවම කරගැනීම තුළින් මුළු නිෂ්පාදන පිරිවැය අවම කර, එහි වාසිය ජල පාරිභෝගිකයන්ට ලැබෙන වැඩපිළිවෙලක් සකස් කරන ලෙස මෙම වාර්තාවෙන් ජාතික විගණන කාර්යාලය යෝජනා කර සිටියි.