චීන ජාතිකයෙකුගේ මුදල් කොල්ල කෑම: හිටපු ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන්ට ලැබුණු තීන්දුව

ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාගේ ඡායාරූපයකි
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකක මුදලක් පැහැර ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු වන අනුජ දිනුජිත් බණ්ඩාර ඇතුළු සැකකරුවන් 5 දෙනා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (ජුලි 27) නියෝග කළේ ය.

ඒ අනුව, රුපියල් ලක්ෂ 200 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදා හැරීමට නියෝග කෙරිණි. මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුවන්ට විදේශ ගමන් තහනමක් ද පනවනු ලැබී ය.

චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකක මුදල් පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය පසුගිය 21 වන දා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් අද අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි.

හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා වන අනුජ දිනුජිත් බණ්ඩාරට අමතරව මෙලෙස ඇප මත මුදාහරින ලද්දේ අජිත් ප්‍රියන්ත, දුෂාන් ශ්‍යාමල්, ප්‍රමිල් කුසල් ගුණදාස සහ චීන ජාතිකයෙකු වන වැන් කුයින් නමැති සැකකරුවන් ය.

සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කරුණු ඉදිරිපත් කරමින් සැකකරුවන්ගේ දුරකතන වාර්තා, බැංකු වාර්තා ලබාගෙන විමර්ශන කටයුතු කරන බව දැනුම් දුන්නේ ය.

සැකකරුවන් ක්‍රිප්ටෝ හරහා මීට පෙර වෙනත් ගනුදෙනු කර ඇද්ද? යන්න සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරන බව දැනුම් පොලිසිය අපරාධයට සම්බන්ධ වු තවත් සැකකරුවෙකු හා කොල්ලකෑමට යොදා ගන්නා ලද මෝටර් රථය සොයා විමර්ශන කරන බව ද දැනුම් දුන්නේ ය.

පළමු සහ තුන් වන සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නාමල් රාජපක්‍ෂ කරුණු දක්වමින් විදේශ ගතවීමට බලාපොරොත්තුවෙන් සිටි තුන් වන සැකකරු මිත්‍රයෙකු සමග සිද්ධිය වූ ස්ථානයට පැමිණ ඇති බවත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් තම සේවාදායකයින්ගේ කිසිදු සම්බන්ධතාවක් නැති හෙයින් ඕනෑ ම කොන්දේසියක් යටතේ ඇප නියම කරන ලෙසත් ඉල්ලා සිටියේ ය.

දෙවන සැකකරු වෙනුවෙන් නීතීඥ තිවංක ඒකරත්න සමග පෙනී සිටි නීතීඥ රජිත සමරරත්න කරුණු දක්වමින් සිද්ධියට තම සේවාදායකයාගේ කිසිදු සම්බන්ධයක් නැතැයි ද ඔහු මෙම අපරාධයට ක්‍රියාකාරීව සම්බන්ධ වී නැතැයි ද කොල්ල කන ලදැයි කියන මුදල මේ වන විට කොල්ලුපිටිය පොලිසියේ ඇතැයි ද සඳහන් කළේ ය.

සැකකරුවනේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ සියලු කරුණු සැලකිල්ලට ගනිමින් සැකකරුවන්ට කොන්දේසි සහිත ඇප නියම කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙස මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසයට නියම කළේ ය.

මුදල් කොල්ලකෑම සිදුව ඇත්තේ කෙසේ ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ පෞද්ගලික සමාගමක කළමනාකරුවෙකු ලෙස සේවයේ නියුතු චීන ජාතිකයෙකු බව පොලිසියේ ප්‍රකාශයෙක් බීබීසී සිංහල සේවයට පැවසුවේ ය.

ජූලි 13 වන දා අදාළ චීන ජාතිකයා කොල්ලුපිටිය, ග්ලේන් ආබර් මාවතේ මෝටර් රථය නවතා සිටින අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු තමන් පොලිසියෙන් බව පවසා එම චීන ජාතිකයාගේ ගුවන් බලපත්‍රය පරීක්ෂා කර ඇත.

එලෙස ගුවන් බලපත්‍රය පරීක්ෂා කරන අවස්ථාවේදී චීන ජාතිකයා සිටි මෝටර් රථයේ තිබූ මුදල් බෑගය කොල්ලකා එම පුද්ගලයා පලා ගොස් ඇති අතර චීන ජාතිකයා ඇතුළු පිරිසක් ඔහු පසුපස හඹා ගොස් ඇති බව පොලිස් ප්‍රකාශකයා පැවසුවේ ය.

මුදල් බෑගය රැගෙන බම්බලපිටිය දෙසට පළා ගිය අදාළ පුද්ගලයා ත්‍රිරෝද රථයක නැගී පළා යන අවස්ථාවේදී චීන ජාතිකයා ඇතුළු පිරිස අදාළ පුද්ගලයා අල්ලා ගැනීමට සමත්ව තිබිණි.

අල්ලා ගන්නා ලද සැකකරු එම අවස්ථාවේ අදාළ ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කණ්ඩායමක් වෙත භාර දී ඇති බව පොලිස් ප්‍රකාශකයා බීබීසී සිංහල සේවයට පැවසීය.

අදාළ සිදුවීම සිදුවන අවස්ථාවේදී හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා එම ස්ථානයේ නොසිටි බවත්, පසුව කරන ලද විමර්ශන අනුව ඔහු ද මෙම මුදල් කොල්ලකෑමට සම්බන්ධ බවට අනාවරණය වූ බැවින් ඔහු කොල්ලුපිටිය පොලිසියට පැමිණ භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා විය.