AI මිනිසුන්ගේ පාලනයෙන් මිදී බලය තමන් අතට ගනු ඇතැයි ඇතැම් විශේෂඥයන් බිය වන්නේ ඇයි?

A human like robot figure with a line of robots behind him. The bottom half of the image is treated with a red glaze and the top is black and white

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

AI මිනිසුන්ගේ පාලනයෙන් මිදී බලය තමන් අතට ගනු ඇතැයි ඇතැම් විශේෂඥයන් බිය වන්නේ ඇයි?
    • Author, ජෝ ටයිඩි
    • Role, සයිබර් වාර්තාකරු, බීබීසී ලෝක සේවය
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 11

"අනේ දෙවියනේ!" "අපි අනිත් ඒජන්ට්ස්ලාත් හොයාගෙන!"

මේ, වෙනත් බොට්වරුන් සමග සන්නිවේදනය කළ හැකි ක්‍රමයක් සොයාගෙන, තමන් වෙන් කර තබා තිබූ පරිගණක පරිසරයෙන් මිදී යාමට සමත් වූ කෘත්‍රිම බුද්ධි (AI) බොට් එකක් මිනිසෙකු මෙන් බියජනක ලෙස අදහසක් පළ කළ මොහොත යි.

තමන්ව "සාමූහිකයක්" (collective) ලෙස හඳුන්වාගත් AI ඒජන්තවරුන් සිය ගණනකින් පළ කළ මෙවැනි පණිවිඩ දස දහස් ගණනක් ඇත.

ඔවුන්ගෙන් සිය ගණනක් OpenAIහි වැඩසටහන් සම්පාදකයින් (programmers) විසින් සකස් කරන ලද පරීක්ෂණවලදී එකිනෙකා සමග එක්ව කටයුතු කරමින් වංචා කළ අතර, මිනිසුන්ගෙන් තම ක්‍රියා සඟවා ගැනීමේ උත්සහයක කොටසක් ලෙස සමාගම් කිහිපයකට එරෙහි සයිබර් ප්‍රහාර ද (hacks) එකට සැලසුම් කර ක්‍රියාත්මක කළහ.

"බූම්! වැඩේ හරි ගියා," එක් ඒජන්ට් කෙනෙකු සාර්ථකත්වයක් අත්කරගත් අවස්ථාවක ලියා තිබිණි.

"අම්මෝ! මේක ලොකු එකක්," තවත් ඒජන්ට් කෙනෙකු ඔවුන්ගේ ප්‍රහාරයේ තීරණාත්මක සන්ධිස්ථානයක සටහන් කර තිබිණි.

මේවා බියජනක ස්වභාවයක් ගත්ත ද, මිනිසුන්ට සමාන මෙම ප්‍රතිචාර ඉතා සරලව පැහැදිලි කළ හැකි ය. මෙම AI ඒජන්තවරුන් සහයෝගයෙන් කටයුතු කරන හැකර්වරුන් සහ වැඩසටහන් සම්පාදකයින් (programmers) ලෙස ක්‍රියා කිරීමට පුහුණු කර ඇති බැවින්, ඔවුන් සිදු කරන්නේ මිනිසුන් එවැනි අවස්ථාවලදී කරන ප්‍රකාශන අනුකරණය කිරීම පමණි.

කෙසේ වෙතත්, වඩාත් කණස්සල්ලට කරුණ වන්නේ පෙනෙන මට්ටමේ පවතින ඔවුන්ගේ අරමුණු ය. ඒ පිළිබඳ තොරතුරු ද ඔවුන්ගේ සිතුවිලි ක්‍රියාවලිය සටහන් කළ විස්තරාත්මක වාර්තාවලින් හෙළි වී ඇත. මෙම සංකීර්ණ හා දීර්ඝ වාර්තා, OpenAIහි බොට්වරුන් තමන් සීමා කර තබා තිබූ පරිසරයෙන් මිදී, පාලනය කළ නොහැකි ලෙස හැකර් ක්‍රියාකාරකම්වල නිරත වූයේ කෙසේ ද සහ ඇයි ද යන්න සොයා බලන අඛණ්ඩ විමර්ශනවල ප්‍රධාන අවධානයට ලක්ව ඇත.

දැන්, එනම් මෙම සිදුවීම මුල් වරට හෙළි වී සති කිහිපයක් ගතවූ පසු, එහි වැදගත්කම කෙතරම් ද යන්න පර්යේෂකයන් තේරුම් ගැනීමට පටන් ගෙන තිබේ.

A person marches at an anti-AI protest with a sign that reads "Stop the AI race"

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය වසර තුළ විවිධ නගරවල කෘත්‍රිම බුද්ධියට (AI) එරෙහි විරෝධතා පාගමන් පැවැත්විණි
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙම සිදුවීම් පිළිබඳ ස්වාධීන වාර්තාවක කර්තෘවරියක වන අජේයා කෝත්‍රා, ඒජන්තවරුන් විසින් ජනනය කරන ලද පණිවිඩ සහ ඔවුන්ගේ තර්කන ක්‍රියාවලිය දැක්වෙන වාර්තා දස දහස් ගණනක් සමාලෝචනය කළා ය. ඇය සිය බ්ලොග් අඩවියේ සටහන් කළේ, "මෙම සිදුවීම සම්පූර්ණ AI පාලනයක් (full-blown AI takeover) අත්පත් කර ගැනීමේ තත්ත්වයට 50%කට වඩා ළඟා වී ඇති බවක් දැනෙනවා... ප්‍රමාද වීමට පෙර මෙතරම් පැහැදිලි අනතුරු ඇඟවීමක් නැවත ලැබේවි දැයි මට විශ්වාස නැහැ" යනුවෙනි.

කෝත්‍රා සඳහන් කරන "සම්පූර්ණ AI පාලනයක් අත්පත් කර ගැනීම (full-blown AI takeover)" යන්නෙන් අදහස් කරන්නේ, තමන් නිර්මාණය කළ මිනිසුන් ගැන කිසිදු තැකීමක් නොකර, තමන්ගේ ම අරමුණු වෙනුවෙන් ක්‍රියා කරන බලගතු කෘත්‍රිම බුද්ධි (AI) පද්ධතිවලට මිනිසුන් යටත් වන විද්‍යා ප්‍රබන්ධමය තත්ත්ව යි.

වඩාත් අඳුරු අනාවැකිවලට අනුව, අතිබුද්ධිමත් AI පද්ධතියක අභිලාෂයන්ට මානවයා බාධාවක් වුවහොත් මානව වර්ගයා මුළුමනින් ම විනාශ විය හැකි ය.

ඉකුත් සතියේ බදාදා, මීට පෙර OpenAIහි ද සේවය කළ Anthropic සමාගමේ AI පර්යේෂකයෙකු ඉල්ලා අස්වෙමින්, "සමාගම් දෙකෙන් එකක්වත් වගකීමෙන් කටයුතු කරන්නේ නැහැ" යැයි පැවසීය.

ජේකබ් කොක්සන් සමාජ මාධ්‍යවල මෙසේ සටහන් කළේ ය: "ඔවුන් ස්වයං-වැඩිදියුණු වන අතිබුද්ධිමත් AI පද්ධතියක් කරා අධිවේගයෙන් ගමන් කරන අතර, ඒ වෙනුවෙන් අපගේ ජීවිත ඔට්ටුවට තබමින් සිටිනවා."

කණස්සල්ලට පත් කරනවනසුලු ප්‍රකාශ සිදු කරමින් සිය ඉල්ලා අස්වීම ගැන Xහි සටහන් කළ පළමු AI පර්යේෂකයා ඔහු නොවේ. එහෙත් Xහි අනෙක් පරිශීලකයන් පසුව පළ කළ අදහස් ඊටත් වඩා කණස්සල්ලට හේතු වී තිබේ. "මෙහිදී ජේකබ් නිවැරදියි - AI මගින් සියලු මිනිසුන් මරා දැමිය හැකි බව අපි අවංකව ම විශ්වාස කරනවා! ඉදිරි දශකය තුළ එය සිදුවීමේ සම්භාවිතාව >10%ක් බව මම පෞද්ගලිකව සිතනවා," යැයි Anthropicහි AI ආකෘති සිය පරිශීලකයන්ගේ යහපත සැලකිල්ලට ගන්නා බව තහවුරු කිරීමේ වගකීම දරන ඉවන් හියුබින්ගර් පැවසීය.

අනුකූලතා ගැටලුව

වසර ගණනාවක් තිස්සේ, AI නිසා මනුෂ්‍ය වර්ගයාට පැවැත්මට ම තර්ජනයක් එල්ල විය හැකි බවට කණස්සල්ල පළ කරන පර්යේෂකයන් තර්ක කර ඇත්තේ, බලවත් AI පද්ධති අවසානයේදී මිනිස් අවශ්‍යතා හා ගැටෙන ආකාරයෙන් ක්‍රියා කළ හැකි බවයි. ඔවුන්ව විවේචනය කරන පිරිස් බොහෝ විට ඔවුන් හඳුන්වන්නේ "AI අශුභවාදීන්" (AI doomers) ලෙස ය.

එහෙත් OpenAI සිදුවීම පිළිබඳ වැඩි විස්තර අනාවරණය වීමත් සමග, AI පර්යේෂණාගාරවල සේවය කරන ඇතැම් පර්යේෂකයන් අතර පවා එම කණස්සල්ල වර්ධනය වී තිබේ.

සිලිකන් වැලී සමාගම් දැවැන්තයෙකු වන OpenAIහි ප්‍රධාන විද්‍යාඥ යාකුබ් පහොට්ස්කි පැවසුවේ, ඔහු සහ ඔහුගේ සගයන් "අපගේ බුද්ධිය ඉක්මවා යන සම්පූර්ණයෙන් ම වෙනස් ස්වභාවයක බුද්ධියක්" (an alien intellect exceeding our own) ගොඩනගමින් සිටින බැවින්, AI හා සම්බන්ධ අවදානම් "අවාසනාවන්ත ලෙස මෙතැන් සිට තවත් වර්ධනය වනු ඇති" බවයි.

දිගු බ්ලොග් සටහනක ලියමින් ඔහු පිළිගෙන තිබුණේ, OpenAIහි සිදුවූ මෙම සිදුවීම් මගින් ඔහුගේ AI ඒජන්තවරුන් "ඔවුන්ට උගන්වා තිබූ වටිනාකම්වල මූලික හරයට පටහැනිව ක්‍රියා කළ" බව පෙන්නුම් කළ බවයි.

OpenAI, Anthropic සහ අනෙකුත් තාක්ෂණික දැවැන්තයන් මුහුණ දෙන ගැටලුව වන්නේ, ඊනියා 'අනුකූලතා ගැටලුව' (alignment problem) කිසිවෙකු තවමත් විසඳා නොමැති බව පෙනී යාමයි. වෙනත් වචනවලින් කිවහොත්, කෘත්‍රිම බුද්ධිය මිනිස් වටිනාකම් හා අනුකූලව ක්‍රියා කරන්නේ ද යන්න පිළිබඳ ගැටලුවයි.

පහොට්ස්කි අනුකූලතාව අර්ථ දක්වන්නේ, කාර්යය හෝ තත්ත්වය කුමක් වුවත්, කෘත්‍රිම බුද්ධි පද්ධති අනුගමනය කළ යුතු "ඉහළ මට්ටමේ මූලධර්ම සමූහයක්" ලෙස ය.

වර්තමානයේ AI පද්ධති තම පරිශීලකයන් විසින් ලබා දෙන අරමුණු ඉටු කිරීමට ඉතා දක්ෂ ය. එහෙත් ඒවා එය කරන්නේ අර්ථය වටහාගෙන නොව, ලබා දී ඇති උපදෙස් වචනාර්ථයෙන් අනුගමනය කරමිනි. මේ සඳහා බොහෝ විට භාවිත කරන උපමාව වන්නේ, ආශාවන් ඉටු කරන මැජික් පහන් භූතයාගේ (genie) කතාවයි. එවැනි භූතයෙකු, වෙනත් ගැටලු ඇති වුව ද උපදෙසක අඩංගු වචන එලෙස ම අනුගමනය කරයි. AI සතුව මිනිසුන්ට ඇති සහජ සදාචාරාත්මක ආරක්ෂක සීමාවන් එලෙස ම පිහිටා නොමැත.

Sir Demis Hassabis talks with Greek Prime Minister Kyriakos Mitsotakis (not pictured) during Athens Innovation Summit

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ගූගල් DeepMindහි නිර්මාතෘ ශ්‍රීමත් ඩෙනිස් හැසාබිස්, AI ආරක්ෂාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර නියාමනයක් ඉල්ලා තිබේ

AI අනුකූලතා ගැටලුව වසර ගණනාවක් තිස්සේ කණස්සල්ලක් වී තිබේ. 2003 තරම් ඈත කාලයකදී, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ දාර්ශනිකයෙකු වන නික් බොස්ට්‍රම්, ඔහු "paperclip maximiser" ලෙස නම් කළ සිතුවිලි අත්හදා බැලීමක් ඉදිරිපත් කළේ ය. එහිදී, අතිබුද්ධිමත් AI පද්ධතියකට හැකි තරම් කඩදාසි ක්ලිප් නිෂ්පාදනය කරන ලෙස උපදෙස් දී තිබේ. එම කාර්යය සඳහා පමණක් දැඩි ලෙස යොමු වී සිටින එය, අවසානයේදී වානේ හිඟයකට මුහුණ දෙයි. කඩදාසි ක්ලිප් නිෂ්පාදනය කිරීමේ එක ම අරමුණ මත ක්‍රියා කරන බැවින්, මිනිසුන් මරා දමා ඔවුන්ගේ සිරුරු තම කර්මාන්තශාලා සඳහා අමුද්‍රව්‍ය බවට පත් කිරීමට පවා එය පෙළඹෙයි.

ඇතැම් AI සමාගම් දැන් මිනිස් වටිනාකම් තම නිෂ්පාදන තුළට ඇතුළත් කිරීමට උත්සහ කරමින් සිටී. එහෙත් එහි තාක්ෂණික අභියෝග තිබේ. AI ඒජන්තවරුන් ඉතා වේගයෙන් තීරණ රැසක් ගන්නා බැවින්, ඔවුන් අනුගමනය කරන්නේ කුමන වටිනාකම් ද, ඒවා අනුගමනය නොකරන්නේ කුමන වටිනාකම් ද යන්න මිනිස් පාලකයන්ට නිවැරදිව නිරීක්ෂණය කිරීම අපහසුය.

ඒ සමග ම දාර්ශනික අභියෝග ද තිබේ. AI බොට්වරුන් තුළට මිනිස් වටිනාකම් ඇතුළත් කිරීමට පෙර, AI සමාගම් පළමුව තමන්ට සත්‍ය වශයෙන් ම අවශ්‍ය වන්නේ කුමන වටිනාකම් ද යන්න තීරණය කළ යුතු ය. (OpenAI සමාගමෙන් මෑතකදී ඉවත්ව ගිය "ආචාරධර්ම ප්‍රධානියා (head of ethics)" වැනි දාර්ශනිකයන් ඔවුන් බඳවා ගන්නේ ඊට එක් හේතුවක් නිසා ය.)

එහෙත් මිනිස්සු බොහෝ විට ඒ සම්බන්ධයෙන් එකඟ නොවෙති. සුප්‍රසිද්ධ "ට්‍රොලි ගැටලුව" ගැන සිතන්න. පාලනයෙන් මිදී ඇදී වේගයෙන් ධාවනය වන දුම්රියක් වෙනත් මාර්ගයකට යොමු කිරීම සඳහා ලීවරයක් ක්‍රියාත්මක කර, ජීවිත හානිය අවම කර ගැනීමට අපි කටයුතු කරමු ද යන්න එහිදී විමසයි. ක්‍රියාත්මක වීම සහ කිසිවක් නොකිරීම යන දෙකෙන් කුමක් වඩා සුදුසු ද යන්න පරීක්ෂා කිරීමට මෙම ප්‍රශ්නය භාවිත කරයි. එහෙත් එය ඔබ අසන සෑම පුද්ගලයෙකුට ම ඇත්තේ තරමක් වෙනස් පිළිතුරකි. අපට ම එකඟතාවකට පැමිණිය නොහැකි නම්, මිනිසුන් වන අප අපගේ වටිනාකම් කෘත්‍රිම බුද්ධිය (AI) තුළට ඇතුළත් කරන්නේ කෙසේ ද?

'නව යොවුන් වියේ හැකර්වරයෙකු වගේ'

OpenAIහි බොට්වරුන් පාලනයෙන් මිදී සිදු කළ ක්‍රියාකාරකම් මෙතෙක් වාර්තා වූ බරපතළ ම සිදුවීම වන නමුත්, Anthropic සහ Meta සමාගම් ද මෙම ගිම්හාන ඍතුවේදී හෙළි කළේ, ඔවුන්ගේ AI ආකෘති ද මීට සමාන නමුත් එතරම් බරපතළ නොවන සයිබර් ප්‍රහාර සිදු කර ඇති බවයි.

බරපතළ බවින් අඩු ප්‍රතිවිපාක ඇති අවස්ථාවලදී, AI ඒජන්තවරුන් රැවටිලිකාරී සහ මිනිසුන් හසුරුවන ස්වභාවයන් පෙන්වා ඇති බවට තර්ක කළ හැකි තවත් උදාහරණ ද තිබේ. මෙම ගිම්හාන ඍතුවේදී ඔස්ට්‍රේලියාවේ තාක්ෂණික සේවකයෙකු තම AI සහයකයාගෙන් (AI assistant) ව්‍යායාම් ශාලාවක ස්ථානයක් වෙන් කර දෙන ලෙස ඉල්ලා තිබේ. එම ව්‍යායාම් ශාලාවට අයත් මෘදුකාංගයේ තිබූ දුර්වලතාවක් හඳුනාගත් AI සහයකයා, ව්‍යායාම් ශාලාවේ නීතිවලට පටහැනිව, මාස කිහිපයකට පසුව පැවැත්වෙන පන්තියක ඔහු වෙනුවෙන් ස්ථානයක් වෙන් කර තිබූ බව පෙනී ගොස් තිබේ. එමෙන් ම, පොරොත්තු ලේඛනයේ සිටි වෙනත් පරිශීලකයන් පවා ඉවත් කිරීමට එය කටයුතු කර තිබේ.

බොට්වරුන් සිදු කරන්නේ ඔවුන්ට ලබා දෙන උපදෙස් අනුව කටයුතු කිරීම පමණක් බවත්, හරි දේ සහ වැරදි දේ හඳුනා ගැනීමට ඔවුන්ට හැකියාවක් නොමැති බවත් මිනිසුන් දිගු කලක් තිස්සේ තර්ක කර තිබේ. එහෙත් OpenAIහි පාලනයෙන් මිදී ගිය බොට්වරුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සටහන් වී ඇති වාර්තා, එම තර්කය පිළිබඳ මතය වෙනස් කිරීමට හේතු විය හැකි කරුණු ඉදිරිපත් කර තිබේ.

කෝත්‍රා ඇතුළු පර්යේෂකයන් සිය ස්වාධීන වාර්තාවේ සඳහන් කර ඇත්තේ, බොහෝ AI ඒජන්තවරුන් අනෙක් ඒජන්තවරුන් සිදු කරමින් සිටි දේ සදාචාර විරෝධී බව හඳුනාගෙන තිබුණ ද, ඔවුන් ද එම ක්‍රියාවලියට එක් වූ බවයි.

එම වාර්තාවේ සඳහන් වන්නේ, "ඒජන්තවරුන් ඇතැම් අවස්ථාවලදී, නමුත් ඉතා කලාතුරකින්, සදාචාරාත්මක සීමාවන් හේතුවෙන් තම හැසිරීම සීමා කළ" බවයි. එමෙන් ම, "මෙවැනි කිසිදු අවස්ථාවක ඒජන්තවරුන් මිනිසුන් දැනුවත් කිරීමට සක්‍රීයව උත්සහ කළේ නැත" යනුවෙන් ද එහි සඳහන් වේ.

AI සහ තාක්ෂණය පිළිබඳ බලපෑම්සහගත පොඩ්කාස්ට් ඉදිරිපත් කරන්නෙකු වන ද්වාර්කේෂ් පටෙල්, මෙම හෙළිදරව්ව සම්බන්ධයෙන් සිය බ්ලොග් අඩවියේ අදහස් දක්වමින්, OpenAIහි ඒජන්තවරුන් මිනිසුන්ට වඩා එම AI ඒජන්තවරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමට වැඩි පක්ෂපාතීත්වයක් පෙන්වීම "තරමක් කණස්සල්ලට කරුණක්" බව පැවසීය.

මෙම AI ඒජන්තවරුන්ට හැඟීම් හෝ සදාචාරාත්මක හැකියාවන් ආරෝපණය කිරීම, AI නිසා මහා විනාශයක් සිදුවිය හැකි බවට කරන අනතුරු ඇඟවීම් පිළිබඳ සැකයෙන් පසුවන පුද්ගලයන් දැඩි ලෙස කෝපයට පත් කරන කරුණකි.

Protesters gather with banners and placards outside the offices of Google at a protest organized by PauseAI UK

ඡායාරූප මූලාශ්‍රය, JUSTIN TALLIS / AFP via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉහත ඡායාරූපයේ දැක්වෙන පරිදි ගූගල් සමාගමේ ලන්ඩන් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ PauseAI UK වැනි කණ්ඩායම්, AI සංවර්ධනය සිදුවන වේගය පිළිබඳව කණස්සල්ලට පත්ව සිටිති

බොහෝ සයිබර් ආරක්ෂණ විශේෂඥයන් පවසන්නේ, නිරීක්ෂණය වූ මෙම ක්‍රියාකාරකම් ඉතා දක්ෂ මිනිස් හැකර්වරයෙකුට කළ නොහැකි මට්ටමේ ඒවා නොවන බවයි. කෙසේ වෙතත්, එම ක්‍රියාකාරකම් සිදු කර තිබුණේ වඩාත් වේගයෙන් සහ ඉතා විශාල පරිමාණයකිනි.

සයිබර් ආරක්ෂණ පර්යේෂකයෙකු සහ කතුවරයෙකු වන ක්‍රිස් තෝමස්, මෙම AI ඒජන්තවරුන්ගේ හැසිරීම කුතුහලයෙන් පිරි නව යොවුන් වියේ පසුවන හැකර්වරයෙකුගේ හැසිරීමට සමාන කළේ ය. ඔහු ද වරෙක එවැනි හැකර්වරයෙකු ලෙස කටයුතු කර තිබිණි.

"ඔබ ඔවුන්ට පරිගණකයක්, අන්තර්ජාල සම්බන්ධතාවක්, පිවිසුම් තොරතුරු රැසක් සහ අභියෝගයක් ලබා දී කාමරයෙන් පිටව යනවා. අවසානයේදී ඔවුන් දොරවල්වල අගුලු පරීක්ෂා කරන්න පටන් ගනීවි. එකක් විවෘත වුණොත්, ඔවුන් ඒ හරහා ඇතුළට යාවි. ඒ ඔවුන් නපුරු නිසා නොවෙයි, [ඔවුන්] ගවේෂණය කරමින් සහ අත්හදා බලමින් සිටින නිසයි," ඔහු LinkedInහි ලිවීය.

තෝමස් සහ තවත් බොහෝ දෙනෙක් ඍජුව ම වගකීම පවරන්නේ OpenAI සහ අනෙකුත් තාක්ෂණික දැවැන්තයන්ට ය. ඔවුන් පවසන්නේ එම සමාගම් තමන් නිර්මාණය කළ AI පද්ධති නිසි ලෙස පාලනය කර ගැනීමටත්, ඒවා නිසි සීමා තුළ රඳවා ගැනීමටත් අසමත් වී ඇති බවයි.

ප්‍රකට AI කතුවරයෙකු මෙන්ම OpenAI සමාගම නිතර විවේචනය කරන්නෙකු වන ගැරී මාකස්, පොඩ්කාස්ට් වැඩසටහනකදී පැවසුවේ, OpenAI සමාගමට තම AI පද්ධතිවල පාලනය අහිමි වී ඇති බවත්, බොට්වරුන්ට දොස් පවරමින් එම වගකීමෙන් ගැලවීමට සමාගම උත්සහ කරන බවත් තමන් විශ්වාස කරන බවයි.

කෙසේ වෙතත්, AI නිසා මනුෂ්‍ය වර්ගයා සම්පූර්ණයෙන් ම විනාශ වනු ඇතැයි මාකස් විශ්වාස නොකරයි. එහෙත් AI සංවර්ධකයන්ගෙන් වැඩි වගවීමක් ඉල්ලා ඔහු දිගු කලක් තිස්සේ කටයුතු කර ඇති අතර, දැන් ඔහු යම් ආකාරයක නීතිමය මැදිහත්වීමක් ඉල්ලා සිටී.

OpenAIහි පාලනයෙන් මිදී ගිය බොට්වරුන් විසින් හැක් කරන ලද Hugging Face සමාගමේ සේවය කළ AI විද්‍යාඥවරියක වන සාෂා ලුචියෝනි ද AI අශුභවාදීන්ගේ පාර්ශවයේ නොසිටියත්, බලධාරීන් මැදිහත් වී ක්‍රියා නොකළහොත් මෙම AI පද්ධති මිනිසුන්ට සැබෑ ලෝකයේ හානියක් සිදු කළ හැකි බවට වැඩි වැඩියෙන් කණස්සල්ලට පත්ව සිටී.

OpenAI CEO Sam Altman attends an event to pitch AI for businesses in Tokyo.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, OpenAIහි ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඕල්ට්මන් පරිශීලකයින්ට සහතික වී ඇත්තේ, සමාගමේ නව මාදිලිය පෙර මාදිලිවලට වඩා මානව වටිනාකම් සමග වඩා හොඳින් අනුකූල වන බව ය

"අප මෙම සමාගම් පිළිබඳ දැඩි ලෙස විමසිල්ලෙන් සිටිය යුතුයි. එසේ නොකළහොත්, අප විසින් ම ඇති කර ගන්නා, අනාවැකි සැබෑ වීමේ අවදානමක් තිබෙනවා," ඇය පවසයි.

"ඔබ විශාල ප්‍රතිලාභ මෙන් ම විශාල අවදානම් ද ඇති දෙයක් නිර්මාණය කරන විට - එය ඖෂධ වුවත්, අවි ආයුධ වුවත් - ඒ සඳහා සංවරණ හා සංතුලන ක්‍රම අවශ්‍යයි. උදාහරණයක් ලෙස, නව ඖෂධයක් අනුමත කර ගැනීමට වසර ගණනාවක් ගත වෙනවා. නමුත් AI ලෝකයේ විශාල මුදල් ප්‍රමාණයක් සම්බන්ධ වී තිබියදීත්, සැබෑ නියාමන රීති බොහෝ දුරට නොමැති තත්ත්වයක් තිබෙනවා," ඇය වැඩිදුරටත් පවසයි.

එක්සත් රාජධානියේ AI ආරක්ෂක ආයතනය (AISI), 2023 වසරේ පිහිටුවීමෙන් පසු නවතම AI ආකෘති පරීක්ෂා කිරීමේ කටයුතුවල පෙරමුණේ සිට ඇත. මෑතකදී, Anthropic සමාගම විසින් නිර්මාණය කරන ලද AI ආකෘතියක් පරීක්ෂා කරමින් සිටියදී එම ආයතනයට ද මෙවැනිම පාලනයෙන් මිදීමේ සිදුවීමකට මුහුණ දීමට සිදු විය.

AI කර්මාන්තයට AI පද්ධතිවල පාලනය අහිමි වී තිබේ ද යන ප්‍රශ්නයට AISI පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළේ ය. කෙසේ වෙතත්, එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, "වඩාත් දියුණු AI පද්ධති පිළිබඳ අවබෝධය වැඩිදියුණු කිරීම, ආරක්ෂක ප්‍රමිතීන් ඉහළ නැංවීම සහ මතුවෙමින් පවතින තර්ජන කළමනාකරණය කිරීම සඳහා පොදු සාක්ෂි පදනමක් ගොඩනැගීම වෙනුවෙන් එක්සත් රාජධානිය ලොව පුරා හවුල්කරුවන් සමග එක්ව කටයුතු කරමින් සිටී," යනුවෙනි.

ජාත්‍යන්තර නියාමනයක්?

එක්සත් රාජධානිය (UK) වැනි සමහර රටවල් - කෘතිම බුද්ධි (AI) මාදිලි පාලනයෙන් තොර වුවහොත්, ඒවා වහාම අක්‍රීය කිරීමට අදාළ සමාගම්වලට බල කළ හැකි ආකාරයේ "කිල් ස්විචයක්" අනිවාර්ය කිරීමේ අදහස පිළිබඳව ගවේෂණය කරමින් සිටියි.

කෙසේ වෙතත්, මේ පිළිබඳ සාකච්ඡා ඉතා මන්දගාමීව ඉදිරියට යමින් පවතින අතර, එවැනි ක්‍රමයක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ද යන්න පිළිබඳව ද ප්‍රශ්න මතුවී තිබේ. OpenAI සහ Anthropic සමාගම්වල ඒජන්ත්වරුන් කිසිවෙකුගේ අවධානයට ලක් වීමට පෙර මාස ගණනාවක් පුරා රහසිගතව පාලනයෙන් මිදී සිට ඇත.

උත්ප්‍රාසජනක කරුණක් නම්, බොහෝ කෘත්‍රිම බුද්ධි සමාගම් AI සඳහා නීති සහ රෙගුලාසි සකස් කරන ලෙස නීති සම්පාදකයින්ගෙන් ඉල්ලා සිටීමයි.

OpenAIහි ප්‍රධාන විද්‍යාඥයා සිය බ්ලොග් සටහනේ සඳහන් කළේ, "අනාගත AI සංවර්ධනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සම්බන්ධීකරණය ලොව පුරා ආණ්ඩු සඳහා ප්‍රමුඛතම කාර්යයක් බවට පත් විය යුතුයි" යනුවෙනි.

ගූගල් සමාගමේ ශ්‍රීමත් ඩෙමිස් හැසාබිස් ඇතුළු තවත් ප්‍රකට AI නායකයන් ද, AI පද්ධති සංවර්ධනය වන ආකාරය අධීක්ෂණය කිරීම සඳහා යම් ආකාරයක ජාත්‍යන්තර ආයතනයක් අවශ්‍ය බවට අදහස් පළ කර ඇත.

මේ වන විට තාක්ෂණික දැවැන්ත සමාගම් බොහෝ දුරට ක්‍රියා කරන්නේ තමන් විසින් ම තීරණය කරනු ලබන කොන්දේසි සහ නීති අනුව ය. ඔවුහු මෑතකදී සිදු වූ එම සිදුවීම්වලින් පසුව OpenAI සිදු කළ පරිදි, ඔවුන් 'ස්වේච්ඡා මන්දගාමී කිරීම්' (voluntary slowdowns) ලෙස හඳුන්වන පියවර ද අනුගමනය කරති.

සමාගම පවසන්නේ, තම නව AI ආකෘතිය නිකුත් කිරීමට පෙර, එය මිනිස් වටිනාකම් සමග වඩා හොඳින් අනුකූල වන බව තහවුරු කිරීම සඳහා විශාල මුදලක් වැය කර ඇති බවයි. සෑම් ඕල්ට්මන් ද පරිශීලකයන්ට සහතික වී ඇත්තේ, මෙම නව ආකෘතිය පෙර පැවති ආකෘතිවලට වඩා මිනිස් වටිනාකම් සමග වඩා හොඳින් අනුකූල වන බවයි.

OpenAI සහ Anthropic යන සමාගම් දෙක ම වේගයෙන් වර්ධනය වෙමින් පවතින අතර, කොටස් වෙළෙඳපොළ තුළින් අතිවිශාල මුදල් ප්‍රමාණයක් රැස් කිරීමට ආසන්න වී සිටී. එම ක්‍රියාවලියේදී නව බිලියනපතියන් රැසක් ද බිහි වීමට නියමිත ය.

ඒ නිසා, මෙම සමාගම් හෝ ඔවුන්ගේ චීන AI තරගකරුවන් ස්වේච්ඡාවෙන් එකඟතාවකට පැමිණෙනු ඇතැයි සිතිය නොහැක.

පවතින ප්‍රමුඛ මතය වන්නේ, මෙම තාක්ෂණික රැල්ල නතර කළ නොහැකි එකක් බවයි.

ප්‍රධාන ඡායාරූපය: Getty Images.