පාවිච්චි කළ පොත් අලෙවිය වේගයෙන් ඉහළට: ඒ, AI නිසා ද? දුර්ලභ පොත් විනාශ කිරීමේ අරමුණක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, ෆිලිප්පා වේන්
- Role, තාක්ෂණ වාර්තාකරු
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
පාවිච්චි කළ පොත් ලෝකයේ අභිරහස් යමක් සිදුවෙමින් පවතී.
පසුගිය මාස කිහිපය තුළ ස්වාධීන පොත් අලෙවිකරුවන් විසින් අමුතු ආකාරයේ මිල දී ගැනීමේ රටාවක් නිරීක්ෂණය කරනු ලැබ තිබේ. එනම්, ඔවුන් සතුව තිබූ නවකතා විශාල සංඛ්‍යාවක් දුර බැහැර පිහිටි ගබඩා වෙත යැවෙමින් පැවතීම ය.
සාමාන්‍යයෙන් සතියකට නොදම්බර්ලන්ඩ්හි 'බාටර් බුක්ස්' (Barter Books) ආයතනයේ ස්ටුවර්ට් මෑන්ලි, පොත් 2,000ත් 3,000ත් අතර ගණනක් අලෙවි කරයි. එහෙත් මෑතකදී කැනේඩියානු සමාගමකින් ලැබුණු එක් තොග ඇණවුමකින් පමණක්, සාමාන්‍යයෙන් දින හතකදී අලෙවි කරන පොත් ගණනට සමාන පොත් ගණනක් අලෙවි විය.
ඔහු පවසන්නේ, "වසර 30ක් තිස්සේ භාවිත කළ පොත් වෙළෙඳාමේ නිරතව සිටියත්, මීට සමාන දෙයක් මීට පෙර කිසි දා දැක නැහැ," යනුවෙනි.
මෑන්ලි පමණක් නොවේ ලොව පුරා තවත් පොත් වෙළෙඳුන් ද මෙවැනි ම අසාමාන්‍ය දැවැන්ත ඇණවුම් පිළිබඳව වාර්තා කර තිබේ.
නමුත් ඔවුන්ගේ පොත්වල ගමනාන්තය කොතැන ද යන්න පිළිබඳව ඔවුන්ට නිශ්චිත අවබෝධයක් නොමැත.
මෙම පොත් විදෙස් රටවල සිටින කියැවීමට ඇලුම් කරන පාඨකයන් සඳහා මිල දී ගන්නා ඒවා නොව, අලුත් තොරතුරු සඳහා දැඩි අවශ්‍යතාවක් ඇති වෙනත් දෙයක් සඳහා බවට සැකයක් පවතී: එනම් කෘත්‍රිම බුද්ධිය (AI) සඳහා ය.
පොත් සම්බන්ධයෙන් අධිකරණයේ සිදුවන සටන
භාවිත කරන ලද පොත් අලෙවියේ ශීඝ්‍ර වර්ධනයට කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ අතිවිශාල වර්ධනය හේතු වී ඇති බවට වන අදහස, එක්සත් ජනපදයේ අධිකරණ තීන්දුවක් දක්වා දිව යන්නකි.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
2025 වසරේදී විනිසුරුවරයෙකු තීන්දු කළේ, මේ ආකාරයට මිලදී ගත් පොත් AI මෘදුකාංග පුහුණු කිරීම සඳහා භාවිත කිරීම එක්සත් ජනපදයේ ප්‍රකාශන හිමිකම් නීතිය උල්ලංඝනය කිරීමක් නොවන බව ය.
මෙම තීරණය ගනු ලැබුවේ, කතුවරුන් තිදෙනෙකු විසින් කෘත්‍රිම බුද්ධි සමාගමක් වන 'ඇන්ත්‍රොපික්' (Anthropic) සමාගමට එරෙහිව ගොනු කරන ලද නඩුවක ප්‍රතිඵලයක් වශයෙනි. ඇන්ත්‍රොපික් සමාගම විසින් කතුවරුන්ගේ පොත් භාවිත කරනු ලැබීම, "අතිශයින් ධනාත්මක" බවත් එබැවින් එක්සත් ජනපද නීතිය යටතේ එයට අවසර ඇති බවත් විනිසුරු විලියම් අල්සුප් සිය තීන්දුවේදී පැවසුවේ ය.
පසුගිය මාසයේ අධිකරණ ලේඛන ප්‍රසිද්ධියට පත් කිරීමත් සමග, ඇන්ත්‍රොපික් සමාගමේ AI චැට්බොට් එකක් වන Claude පුහුණු කිරීමේ ක්‍රියාවලියේදී පොත් විනාශ කර ඇති බව ද අනාවරණය විය.
"Claude පුහුණු කරනු ලබන්නේ ප්‍රසිද්ධියේ ලබාගත හැකි වෙබ් දත්ත, වාණිජ වශයෙන් ලබාගත් දත්ත කට්ටල සහ අප විසින් ම නිර්මාණය කරනු ලබන දත්තවල එකතුවක් භාවිත කරමින්," යනුවෙන් ප්‍රකාශකයෙක් පැවසීය.
ඔවුන් අවධාරණය කළේ, AI කර්මාන්තය පුරා ම කෘත්‍රිම බුද්ධිය පුහුණු කිරීම සඳහා පොත් යොදා ගැනීම බහුලව භාවිත වන ක්‍රමයක් බව ය.
"අපගේ කිසිදු දත්ත ලබාගැනීමේ වැඩසටහනක් හරහා දුර්ලභ හෝ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති පැරණි පොත් මිල දී ගෙන විනාශ කරන්නේ නැහැ," ඔවුහු තවදුරටත් පැවසූහ.
කෙසේ වෙතත්, පොත් මිල දී ගෙන පසුව ඒවා පල්පයක් බවට පත් කරන බවට වන අදහස කණස්සල්ලට හේතු වී තිබේ.
උතුරු ලන්ඩනයේ Walden Books ආයතනය පවත්වාගෙන යන ඩේවිඩ් ටෝබින්ට ද මෑතකදී අසාමාන්‍ය පොත් අලෙවියක් අත්විඳීමට සිදුව තිබේ.
"එක අතකට, වසර ගණනාවක් තිස්සේ අලෙවි නොවූ මේ පොත් කිහිපය විකුණා ගන්න පුළුවන් වුණ එක සතුටක්. නමුත් අවසානයේ ඒවා විනාශ කරලා දැම්මොත් ඒක කනගාටුවට කරුණක්," ඔහු පවසයි.
හානිදායක ස්කෑන් කිරීම
ඇන්ත්‍රොපික් සමාගම සම්බන්ධ නඩුවට අදාළ අධිකරණ ලේඛනවලින් අනාවරණය වූයේ, පැරණි පොත් ඩිජිටල්කරණය කිරීමේ මෙම ව්‍යාපෘතිය සමාගමේ අභ්‍යන්තර සන්නිවේදනවලදී "Project Panama" ලෙස හඳුන්වා ඇති බව ය.
එම ලේඛනවලට අනුව, සමාගමේ අරමුණ වී ඇත්තේ "ලෝකයේ ඇති සියලු ම පොත් හානිදායක ලෙස ස්කෑන් කිරීම" ය.
හානිදායක ස්කෑන් කිරීම යනු, කාර්මික පරිමාණයෙන් පොත් ඩිජිටල්කරණය කළ හැකි ස්ථාන වෙත ඒවා යවා ස්කෑන් කිරීමේ ක්‍රියාවලිය යි.
එහිදී පොතේ සියලු පිටු ඉක්මනින් ස්කෑන් කළ හැකි වන පරිදි එහි බඳ ඉවත් කර, ඉතිරි කොටස් ප්‍රතිචක්‍රීකරණය කිරීම සිදු වේ.
"Project Panama වටා විශාල අභිරහසක් තිබෙනවා," යැයි බාටර් බුක්ස්හි මෑන්ලි පවසයි.
"මේ නම මට අලුත් දෙයක්. නමුත් මේ ව්‍යාපෘතියේ සැබෑ ස්වභාවය අලුත් දෙයක් නොවෙයි. ඒ ගැන පොත් වෙළෙඳුන්ගේ සංසදවල බොහෝ සාකච්ඡා සිදුවී තිබෙනවා."
ඔහුගේ පොත් මෙම ව්‍යාපෘතිය සඳහා හෝ වෙනත් AI සමාගම්වල එවැනි ව්‍යාපෘති සඳහා මිල දී ගන්නා බවට ඔහු දැනුවත් නැත.
එහෙත්, "කිසිදු තේරුමක් හෝ රටාවක් නොපෙනෙන" අයුරින් සිදුවන මෙම අලෙවියට හේතුව පැහැදිලි කිරීම ද අපහසු බව ඔහු පවසයි.
ඒවා දුර්ලභ ලතින් ග්‍රන්ථවල සිට කව්බෝයි නවකතා දක්වා විහිද යයි.
විශේෂඥයන් පවසන්නේ, විවිධ විෂයයන්ට අදාළ මෙම පොත් ද AI වෙත යොමු වන තවත් ඉඟියක් බව ය. මන්ද, අසාමාන්‍ය සහ දුර්ලභ ග්‍රන්ථ මගින් චැට්බොට් වැනි උත්පාදක AI මෙවලම් (generative AI) සඳහා පදනම් වන විශාල භාෂා ආකෘති පුහුණු කිරීම වැඩිදියුණු කිරීමට නව තොරතුරු සැපයිය හැකි බැවිනි.
බුද්ධිමය දේපළ සම්බන්ධ විශේෂඥවරියක වන ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එමිලි හඩ්සන් පවසන්නේ, එක්සත් රාජධානියේ ප්‍රකාශන හිමිකම් නීති ඇමෙරිකා එක්සත් ජනපදයේ නීතිවලට වඩා වෙනස් බව ය.
"එක්සත් රාජධානියේ මූලික නීතිමය තත්ත්වය වන්නේ, පුහුණු දත්ත ගබඩාවක් නිර්මාණය කිරීම සහ පුහුණු කිරීම වැනි මෙම සියලු පිටපත් කිරීමේ ක්‍රියාවන් සඳහා ප්‍රකාශන හිමිකම් හිමිකරුගේ අවසරය අවශ්‍ය වීම යි," ඇය පවසයි.
සදාචාරාත්මක ගැටලු
පොත් වෙළෙඳුන්ට මෙය උභතෝකෝටික තත්ත්වයක් මතු කරයි.
සෑම පොතක් ම ආරක්ෂා කර තබා ගැනීම අවශ්‍ය නොවන බව ඔවුන් පිළිගත්ත ද, පොත් විනාශ කර දැමීමේ අදහස සම්බන්ධයෙන් ඔවුන් තුළ ඇත්තේ වේදනාවකි.
"මෑතකදී ප්‍රකාශයට පත් කළ ශාස්ත්‍රීය ග්‍රන්ථයක පිටපත් 100ක් පමණක් තිබෙන අතර, ඉන් පිටපත් 75ක් දැනටමත් පුස්තකාලවල තිබෙනවා නම්, එම පොත වෙළෙඳපොළේ ඉතා දුර්ලභ විය හැකි යි. නමුත් එහි එක් පිටපතක් විනාශ වීම එතරම් විශාල පාඩුවක් නොවෙන්න පුළුවන්," යැයි එඩින්බරෝහි McNaughtan's පොත්හලේ හිමිකරු ඩෙරෙක් වෝකර් පවසයි.
"නමුත් අප සතුව තිබුණු, අපි අලෙවි කරපු පොත් අතර, උදාහරණයක් ලෙස, 18 වන සියවසේ කිසියම් මුද්‍රණයකින් අද වන විට ඉතිරිව ඇති එක ම පිටපත ද තිබෙනවා."
"මෙතරම් කාලයක් පුරා ආරක්ෂා වී පැවති එවැනි පොතක් විනාශ කරන්න මිලට ගත්තොත්, ඒක බරපතළ ගැටලුවක් වේවි."
මෑන්ලි පවසන්නේ, ජනතාවට තවදුරටත් තම පොත් රාක්කවල තබා ගැනීමට අවශ්‍ය නොවන බොහෝ පොත් සඳහා ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීම හොඳ විසඳුමක් බව ය. විශේෂයෙන් ම, එමගින් පොත් වෙළෙඳාමත් ඉහළ යන්නේ නම් එය තවත් හොඳ බව ඔහු පවසයි.
"පොත් අවසානයේ කොතැනට යන්නේ ද? සහ ඒවා විනාශ කරන්නේ ද? යන්න පිළිබඳව ඇතැමුන්ට සදාචාරාත්මක ගැටලු තිබිය හැකි යි," ඔහු පවසයි.
"නමුත් ලෝකයට තවදුරටත් The Da Vinci Code කෘතියේ පිටපත් මිලියන 5ක් අවශ්‍ය නැහැ."
"මම වසර 20ක් පුරා ඉන්ටර්නෙට් එකේ අලෙවිය සඳහා පළ කරලා තිබුණු, මෙතෙක් අලෙවි නොවුණ පොත් පවා දැන් අලෙවි වී තිබෙනවා."

































