ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අන් අය සමග එකට වාඩි වී ආහාර ගැනීමෙන් ඔබේ සෞඛ්‍යයට ලැබෙන ප්රතිලාභ
- Author, ඩේවිඩ් රොබ්සන් සහ ඇලේෂියා ෆ්රැන්කෝ
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 7
එකට වාඩි වී ආහාර ගැනීමේ ක්‍රියාවලිය ඔබට විෂාදය සහ ඩිමෙන්ෂියාව ඇතිවීමේ අවදානම අඩු කළ හැකි ය.
එය විශ්වාස කිරීමට අපහසු තරම් දෙයක් ලෙස පෙනෙන නමුත්, ඔබේ ආහාර ගැනීමේ පුරුදුවල එක් සරල වෙනසකින් ඔබේ ශරීරයට සහ මොළයට අරුම පුදුම දේ සිදු කළ හැකි ය. එයට ඔබට විෂාදය වැළඳීමේ අවදානම අඩු කළ හැකි අතර ඔබව ඩිමෙන්ෂියා රෝගයෙන් ආරක්ෂා කළ හැක. එයට ඔබ ආහාර ගැනීමෙන් ලබන සතුට වැඩි කළ හැකි අතර ඇතැම් විට ඔබේ ආයු කාලය දිගු වීමට පවා හේතු විය හැක.
අප මෙහි සාකච්ඡා කරන්නේ නවීනතම ආහාර පාලන ක්‍රමයක් ගැන නොව මානව වර්ගයාගේ ඉතා පැරණි පුරුද්දක් පිළිබඳව ය: එනම් අන් අය සමග එකට වාඩි වී ආහාර ගැනීමේ ක්‍රියාවලියයි. "ආහාර බෙදා හදා ගැනීම කියන්නේ අන් අය සමග බැඳීම් ඇති කර ගැනීමට, විශ්වාසය ගොඩනගා ගැනීමට සහ අනෙක් අය සමග සම්බන්ධවීමට ඇති අත්‍යවශ්‍ය ක්‍රියාවලියක්," ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව සහ චර්යාත්මක විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජෝ-එමානුවෙල් ඩි නීව් පවසයි. එය අපගේ යහපැවැත්මට ප්‍රබල බලපෑමක් ඇති කරයි.
කණගාටුව නම්, නූතන ලෝකයේ පවතින හුදකලා බව වැඩි වීම මෙම ක්‍රියාවලිය වඩාත් අසාමාන්‍ය බවට පත්කරමින් පැවතීමයි. එහෙත්, ආහාර සහ මිත්‍රත්වය අතර පවතින පැරණි සබඳතාව උපයෝගී කරගෙන අන් අය සමග බැඳීමක් ගොඩනගා ගැනීම ඔබ සිතන තරම් දුෂ්කර නොවිය හැකිය.
මානසික ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම
එකට හිඳ ආහාර ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ බොහෝ පර්යේෂණවල අවධානය යොමු වී ඇත්තේ ඉන් අපගේ මානසික සෞඛ්‍යයට ඇති කරන ප්‍රතිඵල පිළිබඳව ය. චීනයේ ෂෙජියැං පළාත් රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ ෂින්යි වැන්ග් සහ සගයන් විසින් සිදු කරන ලද එක් අධ්‍යයනයකට වයස අවුරුදු 60 සහ ඊට වැඩි කාන්තාවන් 9,361 දෙනෙකු සමීක්ෂණය කිරීම ඇතුළත් විය. එමගින් සොයා ගැනුණේ ආහාර ගන්නා වේලාවේදී මේසය වටා වාඩි වී සිටින පුද්ගලයින් සංඛ්‍යාව කෙනෙකුට විෂාදය වැළඳීමේ අවදානම පිළිබඳ පැහැදිලි පුරෝකථනයක් වූ බවයි. ඔවුන්ගේ සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වය සහ ධනය සහ එම පුද්ගලයා ජීවත් වූයේ තනිව ද යන්න වැනි පුද්ගලයින්ගේ යහපැවැත්මට බලපාන බව දන්නා වෙනත් සාධක කණ්ඩායම පාලනය කර තිබීමෙන් පසුව පවා මෙය එලෙසම පැවතිණි.
මෙයින් කණ්ඩායම නිගමනය කළේ, අපගේ මානසික සෞඛ්‍යයට බලපාන යම් සුවිශේෂී ගුණයක් අන් අය සමග එකට එක්ව ආහාර ගැනීම තුළ පවතින බව ඇඟවෙන බවයි.
තවත් බොහෝ අධ්‍යයන එවැනි ම නිගමනවලට එළඹී ඇත. උදාහරණයක් ලෙස ටෝකියෝවේ පර්යේෂකයන් සොයාගත්තේ, අවුරුදු 65ත් 74ත් අතර වයස් සීමාවේ පසුවන, තම පවුලේ අය සමග ජීවත් වුව ද තනිව ආහාර ගන්නා පුද්ගලයින්ට, නිරන්තරයෙන් අන් අය සමග එක්ව ආහාර ගන්නා අයට වඩා විෂාදයේ රෝග ලක්ෂණ වර්ධනය වීමේ සම්භාවිතාව පස් ගුණයකින් වැඩි බවයි.
විවාද කළ හැකි ප්‍රබල ම සාක්ෂිය පැමිණෙන්නේ, ලෝක සතුට පිළිබඳව වාර්තාවෙනි - මෙය මත විමසුම් ආයතනයක් වන ගැලප් විසින් සිදු කරන ලද ගෝලීය සමීක්ෂණයක් මත පදනම්ව යහපැවැත්ම පිළිබඳව සිදු කෙරෙන වාර්ෂික විශ්ලේෂණයකි. 2024 වසරේදී, එයට ජනතාවගේ ආහාර ගැනීමේ පුරුදු පිළිබඳ කොටසක් එක් කිරීමට ජපාන ආහාර නිෂ්පාදකයෙකු වන අජිනොමොටෝ විසින් මෙම සමාගමට අනුග්‍රහය ලබා දෙන ලද අතර ඊට පහත සඳහන් ප්‍රශ්න ඇතුළත් විය:
පසුගිය දින 7 ගැන සිතා බැලීම
(1) ඔබ දන්නා හඳුනන කෙනෙකු සමග කොපමණ දින ගණනක් දිවා ආහාරය ගත්තේ ද?
(2) ඔබ දන්නා හඳුනන කෙනෙකු සමග කොපමණ දින ගණනක් රාත්‍රී ආහාරය ගත්තේ ද?
"ඒක දැක්ක ම මගේ ඇස් දිළිසුණා," නවතම ලෝක සතුට පිළිබඳ වාර්තාවේ එකට එක්ව ආහාර ගැනීමේ වැදගත්කම පිළිබඳ පරිච්ඡේදයක සම-කර්තෘවරයෙකු වන ඩි නීව් පවසයි. "අපි ඒ ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වපු ලොව පුරා පුද්ගලයින් 150,000ක් පමණ පිරිසක් දෙස බලමු."
ඩි නීව්ගේ කණ්ඩායම සොයා ගත්තේ මිනිසුන් අන් අය සමග බෙදා ගන්නා ආහාර ප්‍රමාණය වැඩි වන තරමට, චිත්තවේගීය යහපැවැත්ම පිළිබඳ සම්මත මිනුම් මත ඔවුන් ඉහළ ලකුණු ලබා ගන්නා බවත්, එය තරමක් විශ්මයජනක අනුකූලතාවකින් යුතු බවත් ය. "එය කෙනෙකුගේ රැකියා තත්ත්වය සහ ඔබේ සාපේක්ෂ ආදායම වගේ කෙනෙකුගේ ජීවන තෘප්තිය පිළිබඳ පුරෝකථනයක් වුණා," ඔහු පවසයි. ඒවා යහපැවැත්ම සඳහා අතිශයින් වැදගත් බව දන්නා සාධක දෙකකි.
සතුට ඇති කරන රසායනික
එකට ආහාර ගැනීම පිළිබඳ ප්‍රශ්න, යම් පුද්ගලයෙකුගේ සාමාන්‍ය සමාජ ජීවිතය පිළිබඳ ඉඟියක් පමණක් විය හැකි බව ඩි නීව් පවසයි. නමුත්, එකට ආහාර ගැනීම තුළ විශේෂ දෙයක් ඇති බවට ඔහු විශ්වාස කරයි. ඔහු පෙන්වා දෙන්නේ, 'Companion' යන ඉංග්‍රීසි වචනය ලතින් භාෂාවේ cum සහ pānis යන මූලයන්ගෙන් පැමිණ ඇති බව යි. එහි අර්ථය වන්නේ "with bread" යන්නයි. එමෙන් ම, එම සංකල්පය සඳහා භාවිත වන චීන යෙදුම වන 伙伴 (huǒ bàn) ද එක ම කුස්සියක ලිප භාවිත කළ හමුදා කණ්ඩායමක් විස්තර කරන අක්ෂරවලින් බිහි වී ඇති බව ඔහු කියයි. "මෙයට ගැඹුරු සංස්කෘතික මූලයන් තිබෙනවා," යැයි ඔහු පවසයි.
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ජෛව මානව විද්‍යාඥයෙකු වන රොබින් ඩන්බර් ඔහුගේ 'Friends' නම් කෘතියේ යෝජනා කරන්නේ, ආහාර ගැනීම මගින් ස්වභාවිකව ම එන්ඩොර්ෆින් පද්ධතිය - එනම් අපට ස්වභාවිකව ප්‍රීතිය දැනවීමට හේතු වන රසායනික ද්‍රව්‍ය ක්‍රියාත්මක වන බවයි. මෙය ආහාර වේලක් මත ඇති වූ බැඳීම ශක්තිමත් කළ හැකි අතර, එමගින් අපට සම්බන්ධතාවයේ ඉහළ හැඟීමක් දැනේ.
2025දී, ජපන් පර්යේෂකයන් සොයා ගත්තේ නිරන්තරයෙන් තනිව ම ආහාර ගන්නා පුද්ගලයින්ගේ සංජානන ක්‍රියාකාරීත්වයට සම්බන්ධ මොළයේ ප්‍රධාන කොටස්වල පරිමාව අඩු වී ඇති බවයි.
කුතුහලය දනවන කරුණ නම්, අනෙක් පුද්ගලයින්ගේ සහභාගීත්වය ආහාරයේ සතුට වැඩි කළ හැකි බවයි. පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ එරිකා බූත්බි විසින් කරන ලද අධ්‍යයන මාලාවක එකකින් සොයා ගත්තේ, වෙනත් පුද්ගලයෙකුගේ ඇසුර මැද චොකලට් ආහාරයට ගන්නා පුද්ගලයින්ට එහි රසය වඩාත් හොඳින් දැනුණු බවයි.
ඩිමෙන්ෂියා අවදානම අඩු වීම
එකට එක්ව ආහාර ගැනීමෙන් මොළයේ වයසට යාම පවා මන්දගාමී විය හැකිය.
2025දී, ජපන් පර්යේෂකයන් සොයා ගත්තේ නිතිපතා තනිව ම ආහාර ගන්නා පුද්ගලයින්ට මධ්‍ය ශංඛක ඛණ්ඩිකාවේ සහ හිපොකැම්පස් ඇතුළු සංජානන ක්‍රියාකාරිත්වයට සම්බන්ධ ප්‍රධාන කලාපවල මොළයේ පරිමාව අඩු වී ඇති බවයි. මෙම වෙනස්කම්වලින් ඇතැම් ඒවා ආහාර රටාව හා සම්බන්ධ බව පෙනී ගිය ද - සාමාන්‍යයෙන් තනිව ආහාර ගන්නා පුද්ගලයින් අඩු පෝෂණ ගුණයෙන් යුත් ආහාර පරිභෝජනය කිරීමට නැඹුරු වේ - එය සියල්ලට ම හේතු නොවන අතර යෝජනා කෙරෙන්නේ, සමාජයීය සබඳතා අඩු වීම ද ඔවුන්ගේ දිගුකාලීන මොළයේ සෞඛ්‍යයට තුළ භූමිකාවක් ඉටු කරන බවයි.
කර්තෘවරුන් අනුමාන කළේ, ආහාර බෙදාගෙන රස විඳීම සහ සමාජ සහයෝගය වැඩි දියුණු කිරීම මගින් ස්නායු පරිහානිය සඳහා දන්නා අවදානම් සාධකයක් වන ආතතිය සමනය කළ හැකි බව ය. විකල්පයක් ලෙස, ආහාර වේල් පිළිබඳ සංවාද අපගේ මොළය මහළු විය දක්වා ක්‍රියාශීලීව තබා ගැනීමට අමතර මානසික උත්තේජනයක් ලබා දිය හැක.
අධ්‍යයනය අතරතුර සහභාගීවන්නන්ට සාමාන්‍ය සංජානන ක්‍රියාකාරිත්වයක් ඇති බව සලකනු ලැබූ නමුත් පර්යේෂකයන් අනතුරු ඇඟවූයේ, මෙම ස්නායු පරිහානිය අවසානයේ ඔවුන් ඩිමෙන්ෂියාවට නැඹුරු කළ හැකි බවටයි.
බොන් ඇපටීටෝ!
ලෝක සතුට පිළිබඳ වාර්තාවේ සඳහන් වූයේ, ආහාර ගැනීමේ පුරුදු රටකින් රටකට පුළුල් ලෙස වෙනස් වන බවත්, එක් රටක් තම සහජීවන සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමට දරන උත්සහයෙන් අපට බොහෝ දේ ඉගෙන ගත හැකි බවය.
සාමාන්‍යයෙන්, ජපන් ජාතිකයෝ සතියකට ආහාර වේල් හතරකට අඩු ගණනක් එකට එක්ව අනුභව කරති. එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ, එම අගය හතේ සිට අට දක්වා වන අතර ඉතාලියේ එය නවයට ළඟා වේ.
ඉතාලිය සත්‍ය වශයෙන් ම, එහි සමාජශීලී ආහාර සංස්කෘතිය සඳහා ප්‍රසිද්ධ ය. යුනෙස්කෝ සංවිධානය ඉතාලි ආහාර පිසීමේ කලාව අස්පෘශ සංස්කෘතික උරුමයක් ලෙස නම් කරන විට, "නිවසේදී, පාසලේදී හෝ උත්සව, චාරිත්‍ර වාරිත්‍ර සහ සමාජ ඒකරාශීවීම හරහා පවුලේ අය සහ ප්‍රජාව සමග සම්බන්ධ වීමේදී ආහාර වේල් ඉටු කරන තීරණාත්මක භූමිකාව එම ආයතනය ඉස්මතු කළේ ය.
එබැවින්, නවීන ලෝකයේ පීඩනවලට එරෙහිව එහි එකට එකතු වී ආහාර ගැනීමේ සංස්කෘතිය ආරක්ෂා කර ගැ'නීමේ ක්‍රම සොයා ගැනීමේදී ද එම රට පෙරමුණ ගැනීම පුදුමයක් නොවිය හැක. ඉතාලියෙන් ආරම්භ වූ 'Slow Food' ව්‍යාපාරය, ක්ෂණික ආහාරවල ජනප්‍රියත්වය වර්ධනයට එරෙහිව ඍජු ප්‍රතිචාරයක් ලෙස වසර 50කට පෙර දියත් කළේ ය. දේශීය සම්ප්‍රදායන් ආරක්ෂා කිරීම සහ තිරසර පරිභෝජනය දිරිමත් කිරීම යන අරමුණු වෙනුවෙන් එය වඩාත් ප්‍රසිද්ධ වුව ද, දවසේ කටයුතු සාමූහික ආහාර වේල් කේන්ද්‍ර කරගෙන සිදු කිරීමේ වැදගත්කම ද මෙම ව්‍යාපාරය දිගු කලක් තිස්සේ අවධාරණය කර ඇත.
"ඉතාලියේ ආහාර බෙදා ගැනීම කියන්නේ ම වෙන ම ජීවන දර්ශනයක් වගේ දෙයක්. එකට උයන එකත්, අපි මේසයට ගෙන එන ආහාරය සකස් කිරීමේ ක්‍රියාවලිය බෙදා ගැනීමත් එහි කොටසක්," යැයි Slow Food Italia සංවිධානයේ සභාපතිනි බාබරා නප්පිනි පැහැදිලි කරයි.
ප්ලෙටෝනික හමු
එසේ වුව ද, 21 වන සියවසේ පීඩන ඉතාලි ජාතිකයින් රැසකට වඩාත් හුදෙකලා බවක් දැනෙන්නට හේතු වී තිබේ. නමුත් ඔබට තනිව ම ආහාර ගැනීමට අවශ්‍ය නොවේ නම්, විසඳුම ඔබ සිතනවාට වඩා පහසු විය හැකිය.
ඔබ දැනටමත් ඔබ සමග ආහාර වේලක් බෙදා ගැනීමට කැමැත්තෙන් සිටින පුද්ගලයින්ගෙන් වටවී සිටිය හැක. බොහෝ අධ්‍යයනවලින් පෙනී යන්නේ, අප සිතනවාට වඩා බොහෝ සෙයින් මෙවැනි ඉල්ලීම්වලට මිනිසුන් විවෘතව ප්‍රතිචාර දක්වන බවයි.
සාමාන්‍යයෙන් පුද්ගලයින් අපට කෙතරම් කැමති ද, අපගේ මිතුරු හවුල රසවිඳින ආකාරය සහ අප සමග කාලය ගත කිරීමට කොතරම් අවශ්‍ය ද යන්න අපි අවතක්සේරු කරන්නෙමු. එබැවින් තනිකමක් දැනෙන සහ හොඳ ආහාරයක් පිළිබඳ සංවාදයක් සඳහා ඇති අවස්ථාව අගය කළ හැකි කෙනෙකු ඔබ දන්නේ නම්, හොඳ ම විසඳුම ඔවුන්ගෙන් විමසීමයි.
ඔබ කෙනෙකු ගැන සිතීමට ඇත්තට ම සටන් කරන්නේ නම් ඒ සඳහා තාක්ෂණික විසඳුම් තිබේ. 2019දී, ඉතාලි තාක්ෂණික ව්‍යවසායක පාවුලෝ බවාරෝ විසින් හුදෙකලාව ආහාර ලබා ගන්නා පුද්ගලයින් සම්බන්ධ කිරීමට සඳහා ටැබ්ලෝ යෙදුම සොයා ගත්තේ ය. එය මේ වන විට වාර 300,000 වඩා භාවිත කර ඇත.
ඇතැම් විට පුදුමයට කරුණක් නොවේ, සාමාන්‍ය පරිශීලකයා තරුණයි - අවුරුදු 30ක් පමණ ය. "ඒ වයසේදී, මිතුරන් ඇති කර ගැනීම දුෂ්කරයි," බවාරෝ පවසයි. "ඔබ ගොඩක් වැඩ කරනවා, ඔබේ මිතුරන් බොහෝ දෙනෙකුට පවුල් තියෙනවා - ඔබට සමාජගත වීමට අවශ්‍යයි, නමුත් කා සමග යා යුතු දැයි ඔබ දන්නේ නැහැ."
බවාරෝගේ යෙදුම, ඔහු අවධාරණය කරන්නේ, විශේෂිත "වර්ගයක" පුද්ගලයින් ඉලක්ක කරගත් එකක් නොවන අතර, එය ආදර සබඳතා යෙදුමක් ලෙස නොසැලකිය යුතු බවයි - ඉලක්කය වන්නේ ඔවුන්ගේ ජීවිතයේ වඩාත් ම අවශ්‍ය වන කාලය තුළ මිනිසුන්ගේ සමාජ කවය පුළුල් කිරීමයි.
අපි ඩි නීව් සමග මෙම යෙදුම පිළිබඳ සඳහන් කළ විට, ඔහු අපට ලැජ්ජාශීලී සිසුන්ට විශ්වවිද්‍යාලයේ කෝපිහලේදී හමුවීමට "ප්ලෙටෝනික් හමුවීම්" සංවිධානය කිරීමට උදව් වූ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාඥ ජමීල් සාකි විසින් සිදු කරන ලද අත්හදා බැලීමක් පෙන්වා දුන්නේ ය. එය ඔවුන්ගේ සමාජයීය විශ්වාසය වර්ධනය කර ගැනීමට උපකාරී වූ මුලපිරීමකි. එවැනි මැදිහත්වීම්, ඔහු යෝජනා කරන්නේ "තරමක් කල් පවතින ප්රතිලාභ" ලබා දිය හැකි බවයි.
එකට එක්ව ආහාර ගැනීමෙන් ඔබට කල් පවතින මිත්‍රත්වයක් ගොඩනග ගත හැකි අතර, එම ක්‍රියාවලියේදී ඔබේ සෞඛ්‍යය හා සතුට වැඩි දියුණු කළ හැකි ය.