ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සුරාබදු පරීක්ෂක තනතුරු 54ක්: වැටුප, සුදුසුකම් සහ විභාගය ඇතුළු ඔබ දැනගත යුතු සියල්ල
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු පරීක්ෂක තනතුරු පුරප්පාඩු 54ක් සඳහා බඳවා ගැනීමට පවත්වනු ලබන තරග විභාගය මේ වන විට ගැසට් කර තිබේ.
විභාගය පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා සූදානම් වීමේදී පහත කරුණු ඔබට අතිශය වැදගත් වනු ඇත.
වැටුප් සහ පුහුණු දීමනා
• ආරම්භක වැටුප: මෙම තනතුරට අදාළව ආරම්භක මූලික වැටුප රු. 63,070ක් වන අතර, දීමනා සහ වැටුප් වර්ධක සමග එය තවදුරටත් ඉහළ යනු ඇත.
• පුහුණු කාලය: තෝරාගනු ලබන අපේක්ෂකයන්ට මාස 03ක පුහුණුවක් ලබා දෙන අතර, මෙම පුහුණු කාලය තුළ පුහුණුවන්නන්ට රු. 20,000ක මාසික දීමනාවක් ගෙවනු ලැබේ.
රාජකාරි ස්වභාවය
මෙම තනතුරට තේරී පත් වන නිලධාරීන්ට අන්තරායකර ඖෂධ ආඥා පනත සහ දුම්කොළ බදු පනතට අදාළ රාජකාරි මෙන් ම කාර්යාල පරිපාලන හා අධීක්ෂණ රාජකාරි ද සිදු කිරීමට සිදු වනු ඇත.
වයස් සීමාව
• අයැදුම්කරුවන්ගේ වයස අවුරුදු 21ට නොඅඩු සහ අවුරුදු 35ට නොවැඩි විය යුතු ය.
• එහෙත්, සුරාබදු දෙපාර්තමේන්තුවේ දැනට තනතුරු දරන උපාධිධාරීන් සඳහා වයස් සීමාවක් දක්වා නොමැත.
අධ්‍යාපන සුදුසුකම්
• විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන විශ්වවිද්‍යාලයකින් හෝ උපාධි ප්‍රදාන ආයතනයකින් උපාධියක් ලබා තිබීම.
• අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයේදී ගණිතය සහ ඉංග්‍රීසි යන විෂයයන් සඳහා සම්මාන සාමාර්ථ (C සාමාර්ථ) ලබා තිබීම.
ශාරීරික යෝග්‍යතාව
අවම උස පාවහන් නොමැතිව අඩි 05යි අඟල් 06ක් විය යුතු ය.
පපුවේ වට ප්‍රමාණය ආශ්වාස නොකර අඟල් 33ක් විය යුතු ය.
දෘෂ්ටි තීව්‍රතාව (Visual Acuity) එක් ඇසක පෙනීම 6/6ක් සහ අනෙක් ඇසෙහි පෙනීම අවම වශයෙන් 6/12ක් විය යුතු ය. මෙම පෙනීමේ මට්ටම ඇස් කණ්ණාඩි හෝ අක්ෂි කාච පැළඳීමකින් තොරව පරීක්ෂාවේදී සනාථ විය යුතු ය.
රාජකාරි කටයුතු සඳහා අත්‍යවශ්‍ය වන වර්ණ වෙන් කර හඳුනා ගැනීමේ හැකියාව (වර්ණ අන්ධතාවය නොමැති වීම) තිබීම අනිවාර්ය වේ.
බඳවා ගැනීමේ පටිපාටිය සහ ලිඛිත විභාගය
මෙම තනතුරට තෝරා පත් කර ගැනීම සඳහා පළමුව ලිඛිත පරීක්ෂණයක් පැවැත්වේ. මෙම විභාගය සමත් වීමට නම් පහත එක් එක් ප්‍රශ්න පත්‍රය සඳහා වෙන වෙනම ලබා ගත යුතු අවම ලකුණු ප්‍රමාණය 40%කි.
1. අභියෝග්‍යතා ප්‍රශ්න පත්‍රය (කාලය පැය 01 - ලකුණු 100):
මෙම ප්‍රශ්න පත්‍රය මගින් අයදුම්කරුගේ තර්කන හැකියාව සහ තීරණ ගැනීමේ හැකියාව මැන බැලේ. ගණිතමය හා රූපමය ගැටලු මෙන්ම භාෂා භාවිතය සහ අවබෝධය පිළිබඳ ගැටලු ද මෙහි වැඩි වශයෙන් අන්තර්ගත වේ.
2. පොදු ප්‍රශ්න පත්‍රය (කාලය පැය 01 - ලකුණු 100):
ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ කාලීන හා සමාජීය සිදුවීම් පිළිබඳ තොරතුරු හා සාමාන්‍ය දැනීම මෙමගින් මැන බැලේ.
ලිඛිත විභාගයෙන් සමත් වන අයදුම්කරුවන් සියලු දෙනාම හෝ ලකුණු අනුපිළිවෙළ මත තෝරා ගන්නා කොටසක් යෝග්‍යතා සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවනු ලැබේ.
යෝග්‍යතා ඇගයීමේ සම්මුඛ පරීක්ෂණය සඳහා සමස්ත ලකුණු 100ක් වෙන් කර ඇති අතර, එහිදී අයදුම්කරුවන්ගේ අධ්‍යාපනික හා භාෂාමය නිපුණතාවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරේ. ඒ අනුව, මූලික සුදුසුකම්වලට අමතරව ලබා ඇති අතිරේක අධ්‍යාපන සුදුසුකම් සඳහා උපරිම ලකුණු 20ක් ද, අයදුම්කරුගේ භාෂා හැකියාව වෙනුවෙන් උපරිම ලකුණු 10ක් ද පිරිනැමේ.
මෙම සම්මුඛ පරීක්ෂණයේදී වැඩිම ලකුණු ප්‍රමාණයක් වෙන් කර ඇත්තේ අයදුම්කරුවන්ගේ බාහිර ක්‍රියාකාරකම් සහ ශාරීරික කුසලතා ඇගයීම සඳහා ය. එහිදී ක්‍රීඩා කුසලතා වෙනුවෙන් උපරිම ලකුණු 35ක් ලබා දෙන අතර, ශිෂ්‍යභට පුහුණුව, ස්වේච්ඡා සේවය සහ ආත්මාරක්ෂක පුහුණු සටන් ක්‍රම වැනි වෙනත් කුසලතා සඳහා උපරිම ලකුණු 30ක් හිමි වේ.
ඉහත සුදුසුකම්වලට අමතරව, සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය විසින් සිදු කරනු ලබන සමස්ත ඇගයීම වෙනුවෙන් උපරිම ලකුණු 05ක් වෙන් කර ඇත. ඒ අනුව, මෙම සියලුම ශීර්ෂයන් යටතේ ලබා ගන්නා ලකුණුවල එකතුව ලකුණු 100ක උපරිමයකට යටත්ව ගණනය කෙරේ.
අනතුරුව, ලිඛිත විභාගයේ සහ සම්මුඛ පරීක්ෂණයේ ලකුණු එකතුවේ අනුපිළිවෙළට අනුව ඉහළ ම ලකුණු ලබා ගන්නා 54 දෙනා සේවයට බඳවා ගැනීමට නියමිත ය.
අයදුම් කරන ආකාරය සහ අවසන් දිනය
• අයැදුම් කළ යුතු ආකාරය: www.doenets.lk වෙබ් අඩවියේ "Our Services" යටතේ ඇති "Online Applications (Recruitment/EB Exams)" ඔස්සේ මාර්ගගත (Online) ක්‍රමයට පමණක් අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.
• භාෂාව: මෙම මාර්ගගත අයදුම්පත ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් සම්පූර්ණ කළ යුතුය.
• තහවුරු කිරීම: අයදුම්පත සම්පූර්ණ කිරීමට පෙර ඊට අදාළ උපදෙස් පත්‍රිකාව හොඳින් කියවන්න. ඔබ යොමු කළ අයදුම්පත වලංගු බවට සහ දෙපාර්තමේන්තුව විසින් භාරගන්නා ලද බවට කෙටි පණිවුඩයක් (SMS) හෝ විද්‍යුත් තැපැල් පණිවුඩයක් (E-mail) මගින් දැනුම් දෙනු ඇත.
• අයදුම්පත් භාර ගන්නා කාලසීමාව: 2026 නොවැම්බර් මස 09 වැනි දින පෙ.ව. 9.00ට ආරම්භ වී 2026 දෙසැම්බර් මස 07 වැනි දින ප.ව. 7.00ට අවසන් වේ.