ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසී භාෂා ප්‍රවීණතාව තවදුරටත් පහළ මට්ටමක: ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා දර්ශකය හෙළි කරයි

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව තවදුරටත් පහළ මට්ටමක පවතින බව EF ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා දර්ශකයේ (EF EPI) නවතම වාර්තාව අනාවරණය කර තිබේ.

2025 EF ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා දර්ශකයට අනුව, රටවල් 123ක් අතරින් ශ්‍රී ලංකාව පසු වන්නේ 73 වන ස්ථානයේ ය.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව "පහළ ප්‍රවීණතා" (Low Proficiency) කාණ්ඩයට අයත් වේ.

ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට හිමි වී ඇති සමස්ත අගය 486ක් වන අතර ගෝලීය සාමාන්‍ය අගය වන 488ට වඩා පහළ මට්ටමක ශ්‍රී ලංකාව පසුවෙයි.

ශ්‍රී ලංකාවේ තත්ත්වය

2024 වසරේ පැවති දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව කිසිදු ප්‍රගතියක් ලබා නොමැති අතර, පැවති අගයේ ම පැවතීම විශේෂත්වයකි.

සමස්ත ශ්‍රී ලංකාව ලෙස ගත් කල පහළ ප්‍රවීණතා කාණ්ඩයේ පසුවුව ද, මධ්‍යම පළාත (515) සහ බස්නාහිර පළාත (512) සහ කොළඹ නගරය (543) වශයෙන් ගත් කල ඒවා මධ්‍යම ප්‍රවීණතා (Moderate Proficiency) මට්ටමේ පසුවෙයි.

මිනුම් දඬු කිහිපයක් ඔස්සේ මෙම දර්ශකය ගොඩනගා ඇති අතර, එම මිනුම් දඬු වන්නේ, ඉංග්‍රීසි කියවීම, ලේඛනය, කථනය සහ සවන්දීම යන කරුණු ය.

ඒ අතරින්, ඉංග්‍රීසි කියවීම (502), ලේඛනය (508) සහ කථනය (501) මධ්‍යස්ථ මට්ටමේ පසුවන අතර, සවන්දීම (470) පහළ මට්ටමක පවතී.

මෙහි විශේෂත්වයක් වන්නේ, දකුණු ආසියානු කාලපයේ රටවල් වන නේපාලය, බංග්ලාදේශය සහ පකිස්ථානය ද අපට වඩා ඉහළ ප්‍රවීණතාවක් පෙන්නුම් කිරීම ය.

කෙසේ වෙතත්, ඉන්දියාවට වඩා ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටීම කැපීපෙනෙන තත්ත්වයකි.

EF ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා දර්ශකය යනු කුමක් ද?

ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා දර්ශකය (EF English Proficiency Index) යනු EF Education First ජාත්‍යන්තර ආයතනය මගින් ලොව පුරා රටවල් සහ කලාපවලට අයත් වැඩිහිටියන්ගේ (වයස අවරුදු 18ට වැඩි) ඉංග්‍රීසි භාෂා කුසලතා මත පදනම්ව ශ්‍රේණිගත කරනු ලබන ප්‍රධානම ගෝලීය දර්ශකයකි.

මෙවර දර්ශකය සකසා ඇත්තේ, ලොව පුරා ජනතාව මිලියන 2.2ක් සහභාගි වූ ඉංග්‍රීසි ප්‍රවීණතා පරීක්ෂණවල දත්ත අනුව ය.

පරීක්ෂණවලට ඉදිරිපත් වූවන්ගේ වයස් සාමාන්‍යය වයස අවුරුදු 26කි. වාර්තාවේ සඳහන් කර ඇති පරිදි, කාන්තාවන් 54%ක් සහ පිරිමින් 46%ක් මෙම පරීක්ෂණවලට පෙනීසිට ඇත.

ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා දර්ශකයේ 2022 වසරේදී ශ්‍රී ලංකාව රටවල් 111ක් අතරින් 71 වන ස්ථානයේ පසුවූ අතර 2023 වසරේදී 67 වන ස්ථානයේ පසුවිය.

කෙසේ වෙතත්, 2025 වසරේදී 73 වන ස්ථානය දක්වා පසුබැස ඇති අතර ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් දක්නට නොලැබෙන බව මෙම දර්ශකයෙන් පෙනී යයි.

'ඉදිරිය ශුභදායක වෙයි කියල හිතනවා' - ආචාර්ය කංචුකා ධර්මසිරි

"විශ්වවිද්‍යාලවලට එන සිසු සිසුවියන් අතර මතයක් තියෙනවා, ඉංග්‍රීසි ඉගෙන ගන්න ම ඕන නෑ රස්සාවක් කරන්න. සිංහල දැනුමක් තියෙනවා නම් ඇති කියන. ඒ නිසා වැඩි දෙනෙක් ඉංග්‍රීසි ඉගෙන ගන්න උත්සහ කරනවා අඩු යි. හැබැයි, ළමයි තේරුම් ගන්න ඕන ඉංග්‍රීසි කියන්නේ ජාත්‍යන්තරය සමග සබඳතා පවත්වන්න අත්‍යවශ්‍ය මාධ්‍යයක් කියලා," පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය කංචුකා ධර්මසිරි පැවසුවා ය.

ඇය සඳහන් කළේ, පොදුවේ ගත් කල මීට පෙර පැවති තත්ත්වයට වඩා ඉංග්‍රීසි විෂය හැදෑරීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන් තුළ ඇති උනන්දුව ඉහළ ගොස් ඇති බව ය.

"ඉදිරිය ශුභදායක වෙයි කියල හිතෙනවා. මොක ද, ඉංග්‍රීසි භාෂාව සහ සාහිත්‍යය උපාධිය හදාරන්න ඉල්ලුම් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගණන වැඩි වෙලා තියෙනවා. ඒක හොඳ ප්‍රවණතාවක්. දැන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හැදෑරීමත් යම් තරමකට සිද්ධ වෙන නිසා ඉදිරියේදී මේ තත්ත්වය යහපත් වෙන්න පුළුවන්."

මේ අතර, ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි සාක්ෂරතාව දියුණු කිරිම වෙනුවෙන් දස වසරක වැඩසටහනක් ආරම්භ කිරීමට රුපියල් මිලියන 500ක් වෙන්කරන බව එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2023 වසරේදී ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි සාක්ෂරතාව අඩු මට්ටමක ඇත්තේ ඇයි?

මෑතකාලීනව දේශපාලනඥයින් කිහිප දෙනෙකුගේ ඉංග්‍රීසි භාෂා භාවිතය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විවිධ අදහස් පළ කෙරිණි.

ඒ අනුව, ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව ඉහළ නංවාගැනීමේ අවශ්‍යතාව සහ වැදගත්කම පිළිබඳව ද කතාබහක් ඇති විය.

1956 අංක 33 දරන රාජ්‍ය භාෂා පනත මගින් සිංහල භාෂාව මෙරට රාජ්‍ය භාෂාව බවට පත්විය. මෙය බ්‍රිටැනිකා විශ්ව කෝෂය නම්කර ඇත්තේ, Sinhala Only Bill ('සිංහල පමණක්' පනත) යනුවෙනි.

1956 වසරේ පැවති මහ මැතිවරණයෙන් බලයට පත්වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, මැතිවරණ පොරොන්දුවක් ඉටු කරමින් එය ක්‍රියාවට නැංවීය.

මේ හේතුවෙන් රට තුළ දැඩි නොසන්සුන් තත්ත්වයක් උද්ගත වූ අතර, මෙරට සිවිල් යුද්ධයට එය ද බලපෑ බවට බොහෝ දෙනෙකු අදහස් පළකර තිබේ.

පනත නිසා ඇතිවූ කෝලාහල දැන් සමනයට පත් වී තිබුණ ද, ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව පහළ මට්ටමක පැවතීම නිසා විවිධ ගැටලුවලට මුහුණදීමට බහුතර ජනතාවට සිදුව ඇත.

"ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි, ප්‍රාථමික අධ්‍යාපනයේ ඉඳන් සාමාන්‍ය පෙළ දක්වා ඉංග්‍රීසි උගන්වනවා. ඒත්, ඉස්කෝලෙන් එළියට ආවා ම ඉංග්‍රීසි වචනයක් කතාකර ගන්න බෑ. මේක කාලාන්තරයක් තිස්සේ තියෙන අධ්‍යාපන ක්‍රමයේ අවුලක්. මේ ප්‍රශ්නය ගැන හැම දා ම අපි පෙන්වල දීලා තියෙනවා. ඒත් කවදාවත් ඒකට පිළියමක් යොදලා නැහැ. බණ්ඩාරනායක ඡන්දය ඉලක්ක කරගෙන තමයි මේ දේවල් රටේ ඇති කළේ. දැන් සිද්ධ වෙන්නෙත් ඒක," ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් බීබීසී සිංහල සේවය 2023 වසරේදී පළ කළ ලිපියකට අදහස් දක්වමින් පැවසීය.