පල්ලියක් තුළ 'අශෝභන ක්රියාවක්' කළැයි බංග්ලාදේශ යුවළක් සෞදියේදී මරා දැමෙති

ඡායාරූප මූලාශ්රය, Family handout
ශුද්ධ වූ මෙකා නුවරදී මෑතකදී බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනෙකුට මරණීය දණ්ඩනය ක්රියාත්මක කිරීම පිළිබඳව, එය සිදුකරන තෙක් ම තමන්ව දැනුවත් කර නොතිබූ බව බංග්ලාදේශ බලධාරීන් පවසන බව එරට මාධ්ය වාර්තා කරයි.
සෞදි අභ්යන්තර කටයුතු අමාත්යාංශයට අනුව, පල්ලියක් තුළ "අශෝභන ක්රියාවක්" සිදු කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ බංග්ලාදේශ ජාතික පිරිමියෙකු සහ කාන්තාවක පසුගිය බදාදා මරණ දණ්ඩනයට ලක් කර තිබේ. අදාළ වරදකාරී ක්රියාව කුමක් ද යන්න පිළිබඳව එම අමාත්යාංශය පැහැදිලි තොරතුරු ලබා දී නොමැත.
මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර තොරතුරු විමසීම සඳහා සෞදි අරාබි රජය සම්බන්ධ කර ගත් බව බංග්ලාදේශය පවසයි.
ආගමික සබඳතා සහ ශක්තිමත් ආර්ථික බැඳීම් හේතුවෙන් මෙම මුස්ලිම් රටවල් දෙක ඉතා සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යයි.
මිලියන තුනකට අධික බංග්ලාදේශ ජාතිකයන් පිරිසක්, බහුතරයක් අඩු වැටුප් සහිත රැකියාවල නිරත වෙමින්, සෞදි අරාබියේ ජීවත්වෙමින් සහ සේවය කරමින් සිටින අතර, මෙම පුද්ගලයන් දෙදෙනාට මරණ දඬුවම ක්රියාත්මක කිරීම පිළිබඳ පුවත බංග්ලාදේශයේ මහජන අවධානය සහ කණස්සල්ලට හේතු වී තිබේ.
සෞදි අභ්යන්තර කටයුතු අමාත්යාංශයට අනුව, ඉස්ලාමීය නීතියේ සඳහන් වන්නේ විනිසුරුවරයාගේ අභිමතය පරිදි දඬුවම් ලබා දීම සඳහා වන "තසීර්" යටතේ බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනා වරදකරුවන් කර මරණ දඬුවම නියම කරන ලද බව ය.
අදාළ වරදේ බරපතළකම සහ ඔවුන් මුස්ලිම් පල්ලියේ "පූජනීයත්වය" උල්ලංඝනය කිරීම යන කරුණු හේතුවෙන් ඔවුන්ට මෙම දඬුවම් නියම කළ බව අමාත්යාංශ ප්රකාශයේ සඳහන් විය.
සිද්ධියට අදාළ වරද සහ නඩු විභාගයේ නීතිමය ක්රියාමාර්ග සම්බන්ධයෙන් බංග්ලාදේශය සෞදි රජය සමග සම්බන්ධ වී ඇති බව, බංග්ලාදේශයේ විදේශ කටයුතු රාජ්ය අමාත්ය ෂාමා ඔබායිඩ් ඉස්ලාම් පැවසුවා ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
අමාත්යවරිය පැවසුවේ, සෞදි බලධාරීන්ගෙන් අදාළ තොරතුරු ලැබීමෙන් අනතුරුව, මළ සිරුරු මව් රටට රැගෙන ඒම වැනි ඉදිරි පියවර පිළිබඳව රජය සලකා බලනු ඇති බව ය.
ඇය තවදුරටත් සඳහන් කළේ, විදේශගත බංග්ලාදේශ ජාතිකයින්ගේ ශුභසාධනය සහ ඔවුන්ගේ අවශ්යතා ආරක්ෂා කිරීම සඳහා රජය දැඩි ලෙස කැපවී සිටින බව ය.
සෞදි අරාබියේදී මරණ දණ්ඩනය නියම වූ බවට වාර්තා වූ පුද්ගලයින් දෙදෙනා 2023 වසරේදී අත්අඩංගුවට ගෙන තිබූ බව බංග්ලාදේශ විදේශ කටයුතු රාජ්ය අමාත්ය ෂාමා ඔබයිඩ් ප්රකාශ කළේ ය. රජය මේ වන විට අදාළ තීන්දුවේ පිටපතක් ලැබෙන තෙක් බලා සිටින බව ඔහු අද මාධ්යවේදීන් හමුවේ පැවසීය.
කෙසේ වෙතත්, සෞදි අරාබියේදී මරණ දඬුවමට ලක්වූ බව කියන බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ පවුලේ සාමාජිකයන් බීබීසී බංග්ලා සේවයට පවසා ඇත්තේ, සතියකට පෙර ඔහු බන්ධනාගාරයේ සිට පවුලේ සාමාජිකයන් සමඟ සම්බන්ධ වූ නමුත්, මරණ දඬුවම පැනවිය හැකි බවක් කිසි විටෙකත් සඳහන් නොකළ බව ය.
පසුගිය බදාදා සෞදි අරාබි මාධ්යවල බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනෙකු (පිරිමියෙකු සහ කාන්තාවක) මරණ දණ්ඩනයට ලක් කළ බව වාර්තා වුව ද, සෞදි අරාබි රජය හෝ බංග්ලාදේශ රජය මෙතෙක් ඔවුන්ගේ අනන්යතාවන් නිල වශයෙන් හෙළි කර නොමැත.
කෙසේ වෙතත්, පිරිමි පුද්ගලයා බ්රාහ්මන්බාරියා සදර් උපසිලාහි පදිංචිකරුවෙකු බව වාර්තා වේ. ඔහුගේ මව රහීමා බෙගම් බීබීසී බංග්ලා සේවයට පැවසුවේ, තම පුතු පසුගිය ඉරිදා සෞදි අරාබියේ බන්ධනාගාරයේ සිට ඔවුන් සමග කතා කළ බව ය.
"ඔහු හිරේ ඉන්නවා කියලා අපි දැනගෙන හිටියා. ඒත් පුතාත් කිසි දෙයක් කිව්වේ නැහැ. බදාදා සවස පුවත ප්රචාරය වුණාට පස්සෙයි මිනිසුන්ගෙන් මට ආරංචිය ලැබුණේ. ඒ පුවත ඇහුවට පස්සේ පුතාගේ නැන්දාට ආඝාතය හැදිලා මියගියා," ඇය කඳුළු පිරුණු හඬින් බීබීසී බංග්ලා සේවයට පැවසුවා ය.
තම පුතුගේ දේහය ඉක්මනින් මව්බිමට ගෙන්වා දෙන ලෙසත්, සිද්ධිය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන ලෙසත් ඇය ඉල්ලා සිටියා ය.
බ්රාහ්මන්බාරියා දිස්ත්රික් ලේකම් මොහොමඩ් අබුසයිඩ් බීබීසී බංග්ලා සේවයට පැවසුවේ, සෞදි අරාබියේදී දඬුවමට ලක්වූ දෙදෙනා අතර මෙම පුද්ගලයා සිටී ද යන්න පිළිබඳව තවමත් නිල තොරතුරක් තමන් වෙත ලැබී නොමැති බව ය.
සෞදි අරාබියේ මක්කම නගරයේදී බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනෙකුට මරණ දඬුවම ක්රියාත්මක කිරීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා ඩකාහි සෞදි තානාපති අබ්දුල්ලා බින් ජෆර් එච්. බින් අබියා ඉරිදා දිනයේදී බංග්ලාදේශ විදේශ කටයුතු අමාත්යාංශය වෙත කැඳවා තිබිණි.
මක්කම නගරයේ පිහිටි පල්ලියක "සදාචාර විරෝධී" ක්රියාකාරකම්වල නිරත වූ බවට සෞදි අරාබි අධිකරණයක් ඔවුන් වැරදිකරුවන් බවට තීන්දු කර ඇති බව වාර්තා වී ඇත.
කෙසේ වෙතත්, ඩකාහි විදේශ කටයුතු අමාත්යාංශය හෝ සෞදි අරාබියේ බංග්ලාදේශ තානාපති කාර්යාලය, මෙම බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාගේ අනන්යතාව පිළිබඳ කිසිදු තොරතුරක් නිකුත් කර නැත.
නමුත්, පවුලට සමීප ආරංචි මාර්ගයකින් ලැබුණු තොරතුරු මත, බීබීසී බංග්ලා සේවය මරණ දඬුවමට ලක්වූ පුද්ගලයාගේ පවුල සමග සම්බන්ධ විය.
මරණ දණ්ඩනය නියම වූ පුද්ගලයා තම පුත්රයා බව ඔහුගේ මව තහවුරු කළා ය. "මම මගේ පුතාගේ මුහුණ දැකලා අවුරුදු තුනකුත් මාස තුනක් වෙනවා. මට අවසාන වතාවටත් එයාව දකින්න ඕන," යැයි බීබීසී බංග්ලා සේවයට පැවසූ ඇය තම පුත්රයාගේ දේහය ගෙන්වා ගැනීමට කටයුතු සලසා දෙන ලෙස ඉල්ලා සිටියා ය.

ඡායාරූප මූලාශ්රය, HASSAN AMMAR/AFP via Getty Images
මරණ දඬුවමට ලක්වූ පුද්ගලයා ගැන දන්නා කරුණු මොනවා ද?
ඔහුගේ මව ලබාදුන් තොරතුරු අනුව, එම පුද්ගලයා මද්රසා අධ්යාපනයෙන් දාකිල් විභාගය සමත් වී, 2022 නොවැම්බර් 10 වන දා තැරැව්කරුවෙකු මාර්ගයෙන් සෞදි අරාබියට ගොස් ඇත.
සහෝදරයන් දෙදෙනෙකු සහ සහෝදරියන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවා වූ ඔහු රියාද් නගරයේ පිරිසිදු කිරීමේ සේවකයෙකු ලෙස කටයුතු කර ඇත. "සදාචාර විරෝධී" ක්රියා සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පල්ලියේ ම පිරිසිදු කිරීමේ සේවකයෙකු ලෙස ඔහු සේවය කළ බව වාර්තා වේ.
"එහාට ගිහින් මාස හයකට පස්සේ ඔහුව හිරේට අරගෙන ගියා. මාසයකට පස්සේ පුතා අපිත් එක්ක කතා කළා. එයා කිව්වේ ටික කාලයක් හිරේ තියලා නිදහස් කරයි කියලා හිතනවා කියල යි. අපි පසුගිය ඉරිදාත් කතා කළා. බදාදා තමයි මේ සිද්ධිය ගැන ආරංචිය ලැබුණේ," යැයි ඔහුගේ මව පැවසුවා ය.
ඔහු අත්අඩංගුවට ගත් හේතුව පිළිබඳව පවුලේ අයට පවසා තිබුණේ දැයි විමසූ විට, "නැහැ, ඔහු කිසි ම දෙයක් කිව්වේ නැහැ," යැයි ඇය ප්රකාශ කළා ය.
කෙසේ වෙතත්, පවුලේ තවත් සාමාජිකයෙකු පැවසුවේ අදාළ කාන්තාව සමග ප්රේම සම්බන්ධතාවක් පැවති බව ඔහු පසුව පවුලේ අයට දැනුම් දී ඇති බව ය.
තම පුතා රැකියාවට පැමිණි දිනක, පොලිස් රථයක් පැමිණ ඔහුව රැගෙන ගිය බව ඔහු ඇයට පැවසූ බව ඔහුගේ මව ප්රකාශ කළා ය.

පවුලේ සාමාජිකයන් පවසන්නේ, බන්ධනාගාරගත වීමෙන් පසු ඔහු සෑම සතියක ම පාහේ දුරකතනයෙන් ඔවුන් සමග කෙටි වේලාවකට හෝ කතා කළ බව ය. ඒ අවස්ථාවල අදාළ කාන්තාව සමග ප්රේම සම්බන්ධතාවක් පැවති බව ඔහු හෙළි කර තිබේ.
දඬුවම ක්රියාත්මක කිරීමට දින තුනකට පෙර ඉරිදා දින ඔහු අවසන් වරට පවුලේ සාමාජිකයන් සමග කතා කර ඇත.
"මුලින් ම භාෂා භාවිතයේ තියෙන අපහසුතාව නිසා පුතාට කිසිවක් හරියට කියා ගන්න බැරි වුණා. අපි තැරැව්කරු හොයාගෙන ගියා. එතකොට ඔහු කිව්වේ සෞදි අරාබියට ගියාට පස්සේ ඒ ගැන තමන්ට වගකීමක් නැහැ කියලා," යැයි මරණ දඬුවමට ලක්වූ පුද්ගලයාගේ මව බීබීසී බංග්ලා සේවයට පැවසුවා ය.
තම පුතු සෞදි අරාබියේ සිරගත කිරීමෙන් පසුව කිසිදු ප්රාදේශීය පරිපාලන ආයතනයක් තමන් සමග සම්බන්ධ නොවූ බව ද ඇය සඳහන් කළා ය.
කෙසේ වෙතත්, ප්රදේශවාසීන් බීබීසීයට පවසා ඇත්තේ මරණ දඬුවමට ලක්වූ මෙම තරුණයාගේ වයස අවුරුදු 22ක් පමණ වන බව ය. ඔහුගේ පියා දෛනික වැටුප් කම්කරුවෙකු ලෙස සේවය කර ඇත. වයස්ගත වීම හේතුවෙන් ඔහුට දැන් රැකියාවේ නිරත විය නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.
පවුලේ ආර්ථික අපහසුතා හේතුවෙන් ඔහුව විදේශගත කර ඇති අතර, සෞදි අරාබියට ගොස් මාස හයකට පමණ පසු 2023 වසරේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.
අද ඩකාහිදී අදහස් දක්වමින් විදේශ කටයුතු රාජ්ය අමාත්ය ෂාමා ඔබයිඩ් ද ප්රකාශ කළේ, මරණ දඬුවමට ලක්වූ කාන්තාව සහ පිරිමි පුද්ගලයා 2023 වසරේදී අත්අඩංගුවට ගෙන තිබූ බව තමන්ට දැන ගැනීමට ලැබුණු බව ය.
"ඉදිරි තොරතුරු සම්බන්ධයෙන් අපි ලිඛිතව විමසා තිබෙනවා. තීන්දුවේ පිටපතක් ලැබුණු පසු වැඩිදුර විස්තර දැනුම් දෙනවා. සෞදි අරාබිය අපේ ප්රධානතම විදේශ විනිමය එවන ශ්රමිකයන්ගේ ගමනාන්තය බව අපි මතක තබාගත යුතු යි. අසීරු තත්ත්වයන් යටතේ පවා බංග්ලාදේශ සහෝදරයින් 400,000කට අධික පිරිසක් එහි ගොස් තිබෙනවා. ඔවුන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමත් අපගේ වගකීමක්," ඔහු පැවසීය.

ඡායාරූප මූලාශ්රය, AFP
සෞදි අරාබියේ විවිධ නගරවල බංග්ලාදේශ ජාතිකයන් බොහෝ දෙනෙකු සිර දඬුවම් විඳින අතර, ඔවුන්ගේ තොරතුරු වරින් වර ලැබෙන බව ද රාජ්ය අමාත්යවරයා සඳහන් කළේ ය. "ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කවදා ද? කෙසේ ද? සහ ඔවුන් සිරගතව සිටින්නේ කුමන හේතුවක් මත ද? කියන තොරතුරු අපට නිල වශයෙන් දැනගන්න ලැබෙනවා. ඔවුන්ගේ නම් එම ලැයිස්තුවේ තිබේ දැයි අපි පරීක්ෂා කරමින් සිටිනවා. පවුල්වලින් පවා අපට තොරතුරු තහවුරු කරගත නොහැකි වුණා. අපි දන්නේ සිද්ධිය 2023දී සිදුවූ බවත් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණා කියලා විතර යි," අමාත්යවරිය කියා සිටියා ය.
කෙසේ වෙතත්, එක්සත් රාජධානිය පදනම් කර ගත් ජාත්යන්තර නීති විශේෂඥ ආචාර්ය රයිහාන් රෂීඩ් පවසන්නේ, විදේශ කටයුතු අමාත්යාංශයට මෙම පුද්ගලයන් දෙදෙනාගේ රඳවා තැබීම පිළිබඳව වසර තුනක කාලයක් තිස්සේ තොරතුරු ලැබෙමින් තිබූ බව රාජ්ය අමාත්යවරයාගේ ප්රකාශයෙන් පැහැදිලි වන බව ය.
"අත්අඩංගුවට ගැනීමෙන් පසු විමර්ශනය කර කඩිනමින් ක්රියා කිරීම තානාපති කාර්යාලයේ වගකීමක් වුණා. වසර තුනක් තිස්සේ ශ්රමිකයින් පිළිබඳ අමාත්යාංශය ඔවුන්ගේ පවුල් සමග සම්බන්ධ වුණේ නැහැ. තානාපති කාර්යාලයත් එම ලැයිස්තු ලැබුණු පසුව නිසි පියවර ගත්තේ නැහැ. විදේශීය ජාතිකයෙකුගේ කොන්සියුලර් අයිතිවාසිකම් ආරම්භ වන්නේ රඳවා තැබීමෙන් පසු යි. ඔවුන්ට කොන්සියුලර් සහය ලබා ගැනීමේ අයිතිය තිබුණා. මෙම සිද්ධියෙන් සෞදිය බංග්ලාදේශ ජාතිකයන්ට සලකන ආකාරය පෙන්නුම් කරනවා. මොවුන් දුප්පත් මිනිසුන්. ඔවුන්ට නීතිමය සහය අවශ්ය වුණා," ඔහු බීබීසී බංග්ලා සේවයට පැවසීය.
1963 වියෙනා කොන්සියුලර් සබඳතා සම්මුතියේ 36 වන වගන්තිය අනුව, අත්අඩංගුවට ගන්නා ලද හෝ නීතිමය ක්රියාවලියකට මුහුණ දෙන විදේශීය ජාතිකයන්ට තම මව් රටේ තානාපති කාර්යාලයෙන් සහය ලබා ගැනීමේ අයිතිය ඇති බව ද රෂීඩ් පෙන්වා දෙයි.
"ශ්රමිකයෙකුට මේ ගැන නොදැන හිටියා වෙන්න පුළුවන්. ඒ ගැන දැනුම් දීමේ වගකීම සෞදි අරාබියට තිබුණා. ඒ වගේ ම බංග්ලාදේශ තානාපති කාර්යාලයත් විමර්ශනය කර පියවර ගත යුතුව තිබුණා," ඔහු පැවසීය.
සෞදි බලධාරීන් විසින් විදේශ ජාතිකයන් මරණ දණ්ඩනයට ලක් කරනු ලැබූ පළමු අවස්ථාව මෙය නොවේ.
ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයට අනුව, මෙම වසරේදී එම රට තුළ පුද්ගලයින් 100 දෙනෙකු පමණ මරණ දණ්ඩනයට ලක් කර ඇති අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මත්ද්රව්ය වැරදි සම්බන්ධයෙන් වරදකරුවන් වූ විදේශිකයෝ වෙති.
ඊජිප්තු ජාතිකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ බංග්ලාදේශ ජාතිකයන් අට දෙනෙක්, 2011 වසරේදී සෞදි අරාබියේ අගනුවර වන රියාද් නුවරදී ප්රසිද්ධියේ මරණ දණ්ඩනයට ලක් කරනු ලැබූහ.
මෙම මස මුලදී, ෆේස්බුක් සමාජ ජාලයේ පළ කළ අදහසක් හේතුවෙන් 'ආගමික අපහාසය' සම්බන්ධයෙන් වරදකරු වී මරණ දණ්ඩනය නියම කර තිබූ ශ්රී ලාංකිකයෙකුට එරෙහි එම දඬුවම සෞදි අරාබිය විසින් අවලංගු කරන ලදී. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්රී ලංකාව තුළ මහජන විරෝධයක් ඇතිවීම සහ අදාළ පුද්ගලයාට සමාව ලබා දීම සඳහා රාජ්ය තාන්ත්රික මට්ටමින් උත්සාහයන් දැරීමෙන් අනතුරුව මෙම තීරණය ගනු ලැබී ය.



































