ශ්‍රී ලංකාවේ ශූරතා සිහිනය බොඳවෙයි: සිව්වැනි වරටත් ආසියානු 20/20 කිරුළ ඉන්දියාවට

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය අවසානයේ ඉන්දීය ක්‍රීඩිකාවන් ජය සමරණ අයුරු

ඡායාරූප මූලාශ්‍රය, Francois Nel/Getty Images

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 5

ඉන්දීය කණ්ඩායම සිව්වැනි වරටත් ආසියානු කුසලාන පන්දුවාර 20/20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගත්තේය.

ඒ, මෙවර තරගාවලියේ අවසන් තරගයේදී පසුගියවර ශූරයින් වූ ශ්‍රී ලංකාව ලකුණු 72කින් පරාජය කරමිනි.

එක්දින තරගාවලි ජයග්‍රහණද සමග ගත්විට ඉන්දියාව ජයග්‍රහණය කළ 8 වැනි ආසියානු කාන්තා ක්‍රිකට් කිරුළ මෙයයි.

තරගාවලි ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් ඉන්දීය නායක හර්මන් ප්‍රීට් කෞර්, 2024 වසරේදී මෙන්ම මෙවරත් පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තාය.

2024 වසරේදී මෙන්ම මෙවරත් ඉන්දීය ඉනිම ආරම්භ කළේ ශෆාලි වර්මා සහ ස්ම්‍රිති මන්දනාය.

නමුත්, 2024 වසරේ අවසන් මහා තරගයේදී මෙන් නොව මෙවර පළමු කඩුල්ලට ශක්තිමත් සබ‍‍ඳතාවක් ගොඩනැගීමට ඔවුන් දෙදෙනාගේ උනන්දුව තරගය ආරම්භයේ සිටම දැකගත හැකි විය.

22 හැවිරිදි ශෆාලි වර්මා පන්දු 24කින් අර්ධ ශතකයට ළඟා වූයේ තරගාවලි ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය සඳහා වන වාර්තාවද තමන් සතු කර ගනිමිනි.

ඇය අද බි‍ඳ දැමුවේ 2022 වසරේ අවසන් තරගයේදී ස්ම්‍රිති මන්දනා පන්දු 25කින් අර්ධ ශතකයක් රැස් කරමින් ශ්‍රී ලංකාවට එරෙහිව ම පිහිටුවා තිබූ වාර්තාවය.

ඒ අනුව 20/20 තරගවලදී ඉන්දීය ක්‍රීඩිකාවන් රැස් කර ඇති වේගවත්ම අර්ධ ශතක 5න් 3කම හිමිකරු වන්නේ ශෆාලි වර්මාය.

22 හැවිරිදි ශෆාලි වර්මා

ඡායාරූප මූලාශ්‍රය, Sameera Peiris/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 22 හැවිරිදි ශෆාලි වර්මා පන්දු 24කින් අර්ධ ශතකයට ළඟා වූයේ තරගාවලි ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය සඳහා වන වාර්තාවද තමන් සතු කර ගනිමිනි

තරගයේ 11 වැනි පන්දුවාරය වන විට ඉන්දීය කණ්ඩායමේ දෙවැනි අර්ධ ශතකය වාර්තා විය.

ඒ ආරම්භක පිතිකරු භූමිකාවේ වගකීම මැනවින් ඉටු කරන 30 හැවිරිදි ස්ම්‍රිති මන්දනා තම 36 වැනි 20/20 අර්ධ ශතකය රැස් කිරීමත් සමගය.

මන්දනා සහ වර්මා ඉන්දීය පළමු කඩුල්ලට ලකුණු 129ක සබ‍ඳතාවක්

ගොඩනැගුවේ තවත් වාර්තාවක්ද සමගිනි.

ආසියානු කුසලාන 20/20 කාන්තා ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ කඩුල්ලකට ගොඩනැගූ ඉහළම ලකුණු සබ‍දතාව එය වේ.

වේගවත් පිතිහරඹයක නිරත වූ ශෆාලි වර්මා පන්දු 39කින් ලකුණු 68ක් රැස් කළ අතර, 4 පහර 9කින් සහ 6 පහර 2කින් ඇගේ ඉනිම වර්ණවත් විය.

වේගයෙන් පන්දුවට පහර දෙන ලාබාල ප්‍රතිවාදී ක්‍රීඩිකාවට අනගි ශක්තියක් වෙමින් ඉන්දීය ලකුණු පුවරුව ඉහළ නැංවීමේ වගකීම කරට ගත් ප්‍රවීණ ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා පන්දු 39කින් ලකුණු 59ක් රැස් කළාය.

4 පහර 5ක් සහ 6 පහර 3ක් ඇගේ ඉනිමට ඇතුළත් විය.

රිකා ඝෝෂ් ලකුණු 17ක් රැස් කළ අතර, නායක හර්මන් ප්‍රීට් කෞර් ලකුණු 14කට දැවී ගියාය.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යවන්නන් 6 දෙනෙකු යොදාගත් නමුත් කඩුල්ලක් බැගින් හෝ දවා ගැනීමට සමත් වූයේ ඉන් තිදෙනෙක් පමණයි.

ආසියානු කුසලාන අවසන් තරගයක කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 183ක් රැස් කළේය.

ආසියානු කුසලාන පන්දුවාර 20/20 කාන්තා ක්‍රිකට් තරගාවලියක අවසන් තරගයේදී කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවද එය වේ.

මීට පෙර ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වූයේ 2024 වසරේ දඹුල්ලේදී ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2කට ලකුණු 167ක් ලබා තබා තිබූ වාර්තාව ය.

ලකුණු 184ක දැවැන්ත ඉලක්කයකින් ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ආරම්භ කළේ ඉමේෂා දුලානි සහ නායක චමරි අතපත්තුය.

කෙසේ නමුත් ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ලට ගොඩනැ‍‍‍ගුනු සාර්ථක ලකුණු සබ‍ඳතාව ශ්‍රී ලංකා ඉනිමේදී දැක ගැනීමට හැකි වූයේ නැත.

ඉමේෂා දුලානි ශ්‍රී ලංකා පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වන විට ලකුණු පුවරුව මෙන්ම ඇගේ පෞද්ගලික ලකුණු සංඛ්‍යාවද 4ක් ලෙස සටහන් විය.

අනතුරුව චමරි සමග එක් වූ විශ්මි ගුණරත්න ශ්‍රී ලංකා දෙවැනි කඩුල්ලට ලකුණු 58ක සබ‍ඳතාවක් ගොඩනැගූහ.

චමරි පන්දු 32කින් 4 පහර 4ක් සහ 6 පහර 2ක්ද සමගින් ලකුණු 36ක් රැස් කළාය.

විශ්මි ගුණරත්නගේ ඉනිම ලකුණු 20කට සීමා විය.

නිලක්ෂි සිල්වා ලකුණු 22කට දැවී ගියාය.

පන්දුවාර 20 අවසානයේදී ශ්‍රී ලංකාවට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 111ක් පමණි.

චමරි අතපත්තුගේ ඡායාරූපයකි

ඡායාරූප මූලාශ්‍රය, Sameera Peiris/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, චමරි පන්දු 32කින් 4 පහර 4ක් සහ 6 පහර 2ක්ද සමගින් ලකුණු 36ක් රැස් කළාය

තරගාවලියේ ඉතිහාසය

ආසියානු ක්‍රිකට් කවුන්සිලය මෙවර 6 වැනි වරට සංවිධානය කළ 2026 ආසියානු

කුසලාන පන්දුවාර 20/20 කාන්තා ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර්හි සත්කාරකත්වයෙන් පැවැත්විය.

2004 වසරේදී එක් දින තරගාවලියක් ලෙස ආරම්භ කළ තරගාවලිය පන්දුවාර 20/20 ආකෘතිට මාරු වූයේ 2012 වසරේදීය.

එතැන් සිට පැවැති තරගාවලි 5න් 3ක ශූරයින් බවට පත් වූයේ ඉන්දියාවය.

2012, 2016 සහ 2022 වසරවලදී ඔවුන් එම ශූරතාව දිනා ගත්තේ හර්මන් ප්‍රීට් කෞර්ගේ නායකත්වයෙනි.

2018 වසරේදී ඉන්දීය කණ්ඩායමෙන් ශූරතාව උදුරා ගැනීමට බංග්ලාදේශය සමත් විය.

ඉන්දීය කණ්ඩායමට 2024 වසරේදීද අනුශූරතාවයෙන් සෑහීමට පත් වීමට සිදු වූයේ චමරි අතපත්තු ප්‍රමුඛ කණ්ඩායම ශ්‍රී ලංකාවට කුළු‍දුල් ආසියානු 20/20 කාන්තා ක්‍රිකට් කිරුළ දිනා දීම හේතුවෙනි.

ඒ අනුව මෙම වසර ද ඇතුළු පැවැති තරගාවලි 6දීම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ශ්‍රී ලංකාව මෙවර ආසියානු කුසලාන කාන්තා 20/20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ අඛණ්ඩව තුන් වැනි වරටය.

ඔවුන් තරගාවලියේ අවසන් මහා තරගයකට පළමු වරට සුදුසුකම් ලැබුවේ 2022 වසරේදී බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවති තරගාවලියේදීය.

එවර අනුශූරතාවයෙන් සෑහීමට පත් වීමට සිදු වුවද ඉන් වසර 2කට පසුව 2024 වසරේ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැති තරගාවලියේදී පළමු වරට ආසියානු කුසලාන කාන්තා 20/20 කුසලානයක අභිමානය මව් බිමට කැ‍දවාගෙන ඒමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කණ්ඩායම් 8ක් සහභාගී වූ 2026 තරගාවලියේ සියලු තරග ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

අවසන් තරගයද ඇතුළු තරග 15ක් මෙම තරගාවලිය ඇතුළත් වූ අතර මූලික වටයේ තරග පැවැත්වූයේ ඒ සහ බී ලෙස කාණ්ඩ 4කිනි.

ඉන්දීය කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ අපරාජිතව ඒ කාණ්ඩයේ ලකුණු සටහනේ පෙරමුණ ගනිමිනි.

ඔවුන් මෙන්ම අපරාජිතව බී කාණ්ඩයේ පෙරමුණ ගත් ශ්‍රී ලංකාවද අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

ඉන්දියාව අඛණ්ඩව 6 වැනි වරටත් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර, අවසන් පූර්ව වටයේදී ඔවුන් හමුවේ පරාජ වූයේ බංග්ලාදේශයි.

පකිස්ථානයට එරෙහි අවසන් පූර්ව තරගය කඩුලු 4කින් ජයගත් ශ්‍රී ලංකාව අඛණ්ඩව 3 වැනි වරටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.

මෙම අවසන් තරගයට පෙර තරගාවලි ඉතිහාසයේ අවස්ථා 6කදී එකිනෙකා හමු වී තිබූ අතර, ඉන් අවස්ථා 4කදීම ඉන්දියාව ජය ගත්තේය.

ශ්‍රී ලංකාවට එක් තරගයක ජය හිමි වෙද්දී අනෙක් තරගය අවසන්ව තිබුණේ ජය පරාජයෙන් තොරවය.