තමිල්නාඩු මැතිවරණය 2026 : විජෙයිගේ TVK හට රජයක් පිහිටුවීමට නොහැකි වුවොත් සිදුවන්නේ කුමක් ද?

    • Author, සේවියර් සෙල්වකුමාර්
    • Role, බීබීසී දෙමළ සේවය
  • කියවීමේ කාලය: මිනිත්තු 8

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර දින 3ක් ගතවී ඇතත්, තමිල්නාඩුවේ ආණ්ඩුව පිහිටුවන්නේ කවුරුන්ද යන්න තවමත් තීරණය කර නොමැත. වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත් තනි විශාලතම පක්ෂය ලෙස TVK පක්ෂය, තමිල්නාඩු ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් ආර්ලේකර් වෙත රජය පිහිටුවීමේ අයිතිය ඉල්ලා ලිපියක් ඉදිරිපත් කළේය.

කෙසේ වෙතත්, ආණ්ඩුකාරවරයා එය ප්‍රතික්ෂේප කළේ, අවශ්‍ය මන්ත්‍රීවරුන් 118 දෙනාගේ සහාය ඔහුට නොමැති බව පවසමිනි.

"TVK නායක විජෙයි ආණ්ඩුකාරවරයා හමුවිය. මෙම රැස්වීමේදී, රජය පිහිටුවීම සඳහා තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභාව තුළ අවශ්‍ය බහුතර සහයෝගය තවමත් ඔවුන් ලබාගෙන නොමැති බව එහිදී ආණ්ඩුකාරවරයා පැහැදිලි කළේය" ඒ සම්බන්ධයෙන් රාජ් භවන් විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.

TVK වෙත අවශ්‍ය කුමක්ද?

මැයි 6 වන දින පළමු වරට ආණ්ඩුකාරවරයා හමුවී රජය පිහිටුවීමට ලිපියක් ඉදිරිපත් කර තිබූ නමුත් ඒ සඳහා ආරාධනයක් නොලැබුණු පසු, මැයි 7 වන දින විජෙයි නැවතත් ආණ්ඩුකාරවරයා හමුවිය. එවර ද, රජය පිහිටුවීමට අවස්ථාව ඉල්ලා සිටිය ඔහු කොංග්‍රස් මන්ත්‍රීවරුන් පස් දෙනෙකුගෙන් සහාය හිමිවන බවට දැක්වෙන ලිපි ද ඉදිරිපත් කළේය. මාධ්‍ය නිවේදනය නිකුත් කරන ලද්දේ මෙම රැස්වීමෙන් පසුවය.

එමඟින් TVK හට රජයක් පිහිටුවිය හැකිද යන්න පිළිබඳව සැක මතු කර ඇති අතර, එය සිදු නොවන්නේ නම් මීළඟ රජය පිහිටුවන්නේ කෙසේද යන්න පිළිබඳව ද ගැටලු මතු වෙමින් තිබේ.

භූමියේ වත්මන් තත්ත්වය මත පදනම්ව,

  • TVK ආසන 108ක් දිනා ඇත. විජෙයි මැතිවරණ කොට්ඨාශ දෙකකින් ජයග්‍රහණය කර ඇති බැවින්, ඔහු ඉන් එක ආසනයකින් ඉල්ලා අස්වන අතර, TVK හි ආසන සංඛ්‍යාව 107 දක්වා අඩු වෙයි. ඉන් පසු, සභාවේ මුළු ආසන සංඛ්‍යාව 233ක් වන අතර,එහිදී බහුතරය වෙනුවෙන් ආසන 117ක් ප්‍රමාණවත් වනු ඇත. කථානායකවරයා TVK හි නම්, ආණ්ඩුව පිහිටුවීමට එම පක්ෂයට තවත් සාමාජිකයින් 11ක් අවශ්‍ය වනු ඇත. වර්තමානයේ, කොංග්‍රස් මන්ත්‍රීවරුන් 5 දෙනෙකුගේ සහය දැනටමත් තහවුරු කර ඇති බැවින් TVK පක්ෂයට තවමත් තවත් මන්ත්‍රීවරුන් 6 දෙනෙකුගේ සහය අවශ්‍ය වේ.
  • DMK සමග සන්ධාන ගතවී සිටින VCK සහ කොමියුනිස්ට් පක්ෂවලින් සහාය ඉල්ලා තිබේ. ඔවුන් අද (මැයි 8) TVK වෙත සහාය දෙන බවට දැනුම් දෙමින් ලිපියක් ඉදිරිපත් කිරීමට තීරණය කළහොත්, අමතර සාමාජිකයින් 6 දෙනෙකු සමඟ, TVK වෙත ස්වාධීන බහුතරයක් හිමිවනු ඇත. මෙම සහය ලිපි සමඟ රජය පිහිටුවීමට TVK තවත් ඉල්ලීමක් ඉදිරිපත් කළහොත්, ආණ්ඩුකාරවරයාට ඔවුන්ට රජයක් පිහිටුවීමට ආරාධනා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
  • තාවකාලික කථානායකවරයා තෝරා ගැනීමේදී මන්ත්‍රීවරුන් සංඛ්‍යාව එකකින් අඩුවෙයි නම්, උදාහරණයක් ලෙස වෙනත් පක්ෂයක මන්ත්‍රීවරයෙකු DMDK හී මන්ත්‍රී ප්‍රේමලතා (පක්ෂය එකඟ වෙයිනම්) පත් කරන්නේ නම්, TVK හට විශ්වාසනීය ඡන්දය ලබා ගැනීමට හැකි විය හැකිය.
  • ප්‍රේමලතා විජයකාන්ත් එයට එකඟ නොවන්නේ නම්, ඉන්දීය යුනියන් මුස්ලිම් ලීගයේ හෝ PMK මන්ත්‍රීවරුන් දෙදෙනාගේ සහාය TVK පක්ෂයට ලබා ගත හැකිය. එයද සිදු නොවන්නේ නම්, මහාධිකරණ ප්‍රධාන විනිසුරුවරයා තාවකාලික කථානායක සහ මැතිවරණ නිලධාරියා ලෙස පත් කිරීම විශ්වාසනීය ඡන්දය ලබා ගැනීමට උපකාරී විය හැකි බව නීති විශේෂඥයෝ පවසති.

විජෙයි නිහඬව සිටින්නේ ඇයි?

"වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත් පක්ෂයේ නායකයා විදිහට විජේ ආණ්ඩුව පිහිටුවීමේ අයිතිය සොයමින් සිටිනවා. ඔහුට ලබාදීලා තියෙන කාලය තුළදී, ඔහු ව්‍යවස්ථාදායක සභාව තුළ තම බහුතරය ඔප්පු කළහොත් ඒක ප්‍රමාණවත්. විශ්වාසභංග යෝජනාව අතරතුර ඡන්දය නොදී DMK පිටව ගියහොත්, සභාවේ සිටින අය අතර බහුතරය ඔප්පු කිරීම ඔහුට ප්‍රමාණවත්. ඒ නිසා, රජය පිහිටුවීමේදී ඔහුට කිසිදු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ." දිල්ලි අම්බෙඩ්කාර් විශ්වවිද්‍යාල මහාචාර්ය රාජන්කුරායි ක්‍රිෂ්ණන් බීබීසීයට පැවසුවේය.

"ආණ්ඩුකාරවරයා දැනටමත් බහුතරයක් ලැබීමෙන් පසුව පමණක් කෙනෙකුට රජය පිහිටුවීමට ආරාධනා කිරීම වැරදියි, මොකද ඒක ආණ්ඩුකාරවරයාගේ බලය අනිසි ලෙස භාවිතා කිරීමක්. විජෙයි මෙම කාරණය ගැන තමාම කතා නොකිරීම අවාසනාවන්ත දෙයක්. විජෙයි මේ වෙනකම් මාධ්‍යවේදීන් හමුවීමෙන් වැළකී සිටින්නට ඇති, නමුත් දැන් ඔහු මාධ්‍යවේදීන් හමුවෙලා ආණ්ඩුකාරවරයා තමන්ට රජයක් පිහිටුවීමට ආරාධනා කළ යුත්තේ ඇයිදැයි කියලා පැහැදිලි කළ යුතුයි." මහාචාර්ය රාජන්කුරායි පැවසුවේය.

අගමැති වීමෙන් පසුව පමණක් මෝදී මාධ්‍යවේදීන් හමුවී නොමැති බව මහාචාර්ය රාජන් පවසයි. "මෝදී මහ ඇමති වෙන්න පෙර වසර 20-25ක් පක්ෂ ක්‍රියාකාරිකයෙකු විදිහට කටයුතු කළා. ඒ කාලයේ ඔහු මාධ්‍යවේදීන් හමුවීමට පුරුදුව සිටියා. අගමැති වීමෙන් පසු බොහෝ මාධ්‍ය ප්‍රකාශකයින් ඔහු වෙනුවෙන් හෝ පක්ෂය වෙනුවෙන් කතා කරන නිසා මෝදී මාධ්‍යයට කතා කරන්නේ නැහැ. විජෙයි දේශපාලනයට අලුත් නිසා ඔහුට මහ ඇමති වෙන්න දැන් අවස්ථාවක් ලැබී තියෙන නිසා ඔහුම මාධ්‍යයට කතා කළ යුතුයි."

'ආණ්ඩුකාරවරු BJP පක්ෂයේ නියෝජිතයන්'

VCK හි ප්‍රධාන ලේකම් අලූර් ශානවාස් ද එම අදහසම ප්‍රකාශ කර ඇත. "ආණ්ඩුකාරවරයා බාධා නිර්මාණය කරනවා. නමුත් TVK ආණ්ඩුකාරවරයාට විරුද්ධ වෙන්න බය වෙනවා. TVK හට රජය පිහිටුවීමට ආරාධනා නොකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයාට විවෘතව අභියෝග කිරීමට විජෙයිට දේශපාලන විශ්වාසයක් සහ ධෛර්යයක් තිබෙනවද?" ඔහු ප්‍රශ්න කර සිටියි.

විජෙයිට රජයක් පිහිටුවීමට ආරාධනා නොකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සභා මන්ත්‍රී සහ ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ කපිල් සීබාල්, ආණ්ඩුකාරවරයා දැඩි ලෙස විවේචනය කර තිබේ. ඔහු මීට පෙර කොංග්‍රස් නායකත්වයෙන් යුත් හිටපු UPA රජයේ මධ්‍යම අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළේය.

"ආණ්ඩුකාරවරුන් භාරතීය ජනතා පක්ෂයේ නියෝජිතයන් බවට පත්වූ විටදී ඔවුන් භාරතීය ජනතා පක්ෂයේ උපදෙස් අනුව ක්‍රියාත්මක වෙනවා. ව්‍යවස්ථාදායක සභාව විසින් පනතක් සම්මත කළාම, ආණ්ඩුකාරවරයා ඒකට අනුමැතිය ලබා දීම ප්‍රමාද කරනවා. නමුත් බටහිර බෙංගාලයේ, භාරතීය ජනතා පක්ෂය දැනට එහි බලයේ සිටින නිසා, ඔවුන්ට අනුමැතිය ලබා දෙයි. අද වෙද්දී, TVKට සභාව තුළ බහුතරයක් නැහැ. තමිල්නාඩුවේ වත්මන් තත්ත්වය පිළිබඳව ආණ්ඩුකාරවරයා පැහැදිලිවම දන්නවා. ඔහු නිසැකවම ශ්‍රේෂ්ඨාධිකරණයේ මඟ පෙන්වීම අනුගමනය කළ යුතුයි. සර්කරියා කොමිසමෙන් මේ ගැන පැහැදිළිව ම ප්‍රකාශ කරලා තියෙනවා," ඔහු පැවසීය.

ඔහු මෙන්ම, මක්කල් නීදි මයීයම් පක්ෂයේ නායක කමල් හසන්, විඩුතලෙයි චිරුතයිගල් කච්චි නායක තිරුමවලවන් සහ ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ වීරපාන්ඩියන් ඇතුළු අනෙකුත් නායකයින් ද ආණ්ඩුකාරවරයා විසින් විජෙයිට රජයක් පිහිටුවීමට ආරාධනා කළ යුතු බව කියා සිටියි. මෙම මතයට සහාය දැක්වීම සඳහා කමල් හසන් කර්ණාටකයේ එස්.ආර්. බෝමායි නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව ගැන ද සඳහන් කළ බව ඔහු පැවසීය.

එස්.ආර්. බෝමායි නඩුව සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව

කර්ණාටකයේ, 1988 අගෝස්තු 13 වන දින සිට එස්.ආර්. බෝමායිගේ නායකත්වයෙන් යුත් ජනතා දාල් රජයක් ක්‍රියාත්මක විය. ඒ වන විට, ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 356 වගන්තිය භාවිතා කරමින්, ඔහුගේ රජය 1989 අප්‍රේල් 21 වන දින විසුරුවා හරින ලද අතර, එය ජනාධිපතිවරයාගේ පාලනය යටතට ගෙන එන ලදී.

එවකට මධ්‍යම රජය මෙම නෙරපා හැරීමේ ක්‍රියාව සිදු කළේ, එස්.ආර්. බෝමායි රජයේ බහුතරය අහිමි වී ඇත්තේ ඔහුගේ පක්ෂයේ බොහෝ දෙනෙක් වෙනත් පක්ෂවලට මාරු වී ඇති නිසා බව පවසමිනි.

එස්.ආර්. බෝමායි විසින් ජනතා දාල් ව්‍යවස්ථාදායක පක්ෂය විසින් සම්මත කරන ලද යෝජනාවේ පිටපතක් එවකට ආණ්ඩුකාර පී. වෙන්කටසුබ්බයියා වෙත ඉදිරිපත් කළද, ආණ්ඩුකාරවරයා ඔහුට සභා ගර්භය තුළ තම බහුතරය ඔප්පු කිරීමට අවස්ථාවක් ලබා දීම ප්‍රතික්ෂේප කළේය. මෙයට විරුද්ධව එස්.ආර්. බෝමායි කර්ණාටක මහාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය. නමුත් එය ප්‍රතික්ෂේප කරන ලදී.

පසුව, ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ විට, රත්නවේල් පාණ්ඩියන්, පී.බී. සවාන්ත්, පී.බී. ජීවන් රෙඩ්ඩි, එස්.සී. අගර්වාල් සහ තවත් විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉතා වැදගත් නියෝගයක් නිකුත් කළේය. එහි ඔවුන් සඳහන් කළේ "ප්‍රාන්ත රජයකට බහුතරයක් තිබේද නැද්ද යන්න තීරණය කළ යුතු ස්ථානය ආණ්ඩුකාරවරයාගේ නිවස නොව ව්‍යවස්ථාදායක සභාව" බවයි.

මධ්‍යම සහ ප්‍රාන්ත රාජ්‍ය සබඳතා පිළිබඳ වාර්තා මඟින් ආණ්ඩු දෙකම සාමකාමීව එක්ව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ යෝජනා ලබා දී ඇති බව ද තීන්දුවේ සඳහන් විය. මධ්‍යම සහ ප්‍රාන්ත රජයන් දෙකම නිරන්තර ගැටුම් වළක්වා ගත යුතු බව අවධාරණය කළ අතර, එය ව්‍යවස්ථාමය අර්බුදයකට තුඩු දිය හැකි බව එහිදී අවධාරණය විය.

ඒ අතරින්, 1969 දී නිකුත් කරන ලද පරිපාලන ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා වාර්තාව, රාජමන්නාරම් කමිටු වාර්තාව සහ 1987 දී නිකුත් කරන ලද සර්කාරියා කොමිෂන් සභා වාර්තාව කැපී පෙනේ.

ආණ්ඩුව පිහිටුවීමට TVK පක්ෂයට ඇති වෙනත් අවස්ථා මොනවාද?

කොංග්‍රසය, කොමියුනිස්ට් පක්ෂ සහ විදුතලෙයි චිරුතයිගල් කච්චි යන අයගේ සහාය TVK හට ලැබුණහොත් ඔවුන්ට බහුතරයක් ලැබෙනු ඇතැයි මහාචාර්ය රාමු මනිවන්නන් පැවසීය. කෙසේ වෙතත්, මෙය සිදුවීම වැළැක්වීමට තමිල්නාඩු ආණ්ඩුකාරවරයා දැඩි උත්සාහයක් දරන බවට ඔහු සැක කරන අතර, මෙම උත්සාහයන් පිටුපස භාරතීය ජනතා පක්ෂය සිටින බව ඔහු විශ්වාස කරයි.

තමිල්නාඩුවේ කොංග්‍රසය හා සම්බන්ධ රජයක් පිහිටුවීමට භාරතීය ජනතා පක්ෂයට අවශ්‍ය නැතැයි රාමු මනිවන්නන් බීබීසීයට පැවසීය. මේ නිසා, ''භාරතීය ජනතා පක්ෂය AIADMK බෙදීමට සහ AIADMK සාමාජිකයින් භාවිතා කරමින් TVK නායකත්වයෙන් යුත් රජයකට සහාය දීමට උත්සාහ කරන බව පෙනේ'' යැයි ඔහු පැවසීය. කෙසේ වෙතත්, මෙම සැලැස්ම සාර්ථක වේද නැතහොත් විජේ එයට එකඟ වේද යන්න තවමත් පැහැදිලි නොමැති බව ඔහු පැවසීය.

"තමිල්නාඩුවේ පිහිටුවන ලද නව රජය භාරතීය ජනතා පක්ෂය තම පාලනය යටතේ තබා ගැනීමට අවශ්‍ය බැවින්, එය පහසුවෙන් TVK හට රජයක් පිහිටුවීමට ඉඩ දෙයිද යන්න සැක සහිතය. විජෙයි මෙය පිළිගන්නේ නැත්නම්, රජයක් පිහිටුවීම වැළැක්වීමට, ජනාධිපති පාලනයක් පැනවීමට සහ නව මැතිවරණයක් ගෙන ඒමට හැකියාවක් තිබේ.

නව මැතිවරණයක් පැවැත්වුවහොත්, විජෙයි විශාල පරතරයකින් ජයග්‍රහණය කළ හැකි බව හෝ දරුණු ලෙස පරාජය විය හැකි බව රාමූ මනිවන්නන් පැවසීය. මෙම අවිනිශ්චිතතාවය නිසා, ප්‍රධාන දේශපාලන පක්ෂ කිසිවක් තවත් මැතිවරණයක් පැවැත්වීමට කැමති නොවන බව ඔහු පැවසීය.

AIADMK මහලේකම් එඩප්පාඩි පලනිස්වාමි, පුදුචෙරි හි පෞද්ගලික නිවාඩු නිකේතනයක රැඳී සිටින AIADMK මන්ත්‍රීවරුන් පෞද්ගලිකව හමුවී කතා කළේය. කෙසේ වෙතත්, AIADMK පක්ෂය ගන්නා තීරණය තවමත් පැහැදිලි නැත.

TVK ඒකාබද්ධ මහලේකම් නිර්මාල් කුමාර් පැවසුවේ, TVK ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ (NDA) කිසිදු පක්ෂයකට සහයෝගය සඳහා ආරාධනා කර නොමැති බවත්, ඔවුන්ට එවැනි සැලැස්මක් නොමැති බවත්ය. මේ නිසා, කොංග්‍රසය කැමැත්තෙන් ලබා දෙන සහයෝගය පසෙක තබා විජේ AIADMK මන්ත්‍රීවරුන්ගේ සහයෝගය පිළිගනීද යන්න පැහැදිලි නැත.

TVK නායකත්වයෙන් යුත් රජයක් පිහිටුවා නොගන්නේ නම් තිබෙන වෙනත් විකල්ප මොනවාද?

VCK හි හිටපු මන්ත්‍රී සින්ධානයි සෙල්වන් යෝජනා කළේ DMK සහ AIADMK යන පක්ෂ දෙකෙහිම සහාය ඇතිව තිරුමවලවන් තමිල්නාඩුවේ මහ ඇමති ධුරයට පත්විය යුතු බවයි. කෙසේ වෙතත්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් පවසන්නේ මෙම අදහස සිදු වීමට ඉඩක් නොමැති බවයි.

DMK තනිවම ආණ්ඩුවක් පිහිටුවීමට දැඩි උත්සාහයක් නොගන්නා බව දැන් පැහැදිලිය. මේ නිසා, IUML හැර, DMK සන්ධානයේ පක්ෂවල සහාය ඇතිව TVK නායකත්වයෙන් යුත් රජයක් පිහිටුවීමට වැඩි අවස්ථාවක් ඇති බව මාධ්‍යවේදීන් විශ්වාස කරයි.

තමිල්නාඩු දේශපාලනය දැනට ඉතා ව්‍යාකූල බවත්, ඊළඟට කුමක් සිදුවේදැයි කිසිවෙකුට නිශ්චිතව පැවසිය නොහැකි බවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රියාන් බීබීසීයට පැවසීය. ''මේ මොහොතේ, කොංග්‍රසය, කොමියුනිස්ට් පක්ෂ සහ VCK හි සහාය ඇතිව TVK රජයක් පිහිටුවීමට කිසිදු බාධාවක් නොමැති බව ඔහු පැවසීය. කෙසේ වෙතත්, මේ සියල්ල දින දෙකක් ඇතුළත සිදුවිය හැකිද යන්න අවිනිශ්චිතයි" ඔහු තවදුරටත් පැවසීය.

එවැනි ආණ්ඩුවක් පිහිටවුව ද, එය මාස හයක්වත් පවතිනු ඇතැයි විශ්වාසයක් නොමැති බව ප්‍රියාන් පැවසීය. එබැවින් එම කාලය තුළ වඩාත් ස්ථාවර වැඩපිළිවෙලක් සැලසුම් කළ යුතු බවත්, AIADMK හි සහයෝගය එක් විසඳුමක් ලෙස යෝජනා කරන බවත් ඔහු පැවසීය. කෙසේ වෙතත්, AIADMK තනිවම TVK සඳහා සහාය දුන්න ද මෙම පියවරට BJP බලපෑම් කරනවාද යන්න සලකා බැලීම වැදගත් බව ඔහු තවදුරටත් පැවසීය.