කාලගුණයේ යළිත් වෙනසක්: ඉදිරි දිනවල කාලගුණය ගැන අලුත් ම තත්ත්වය

ඡායාරූප මූලාශ්‍රය, IMD
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
ගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්රිත මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය එළඹෙන නොවැම්බර් 16 වන දා සවස් කාලය වන විට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇතත්, ඉන් ශ්‍රී ලංකාවට මීට පෙර බලාපොරොත්තු වූ තරම් දැඩි වර්ෂාපතනයක් නොලැබෙනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ පවසයි.
බෙංගාල බොක්ක සහ අන්දමන් මුහුදු ප්‍රදේශයේ පැවති වායුගෝලීය කැළඹීම මේ වන විට මෙම අඩු පීඩන කලාපය නිර්මාණය වී තිබේ.
මෙම වර්ධනය වන කැළඹිලි ස්වභාවය ඇති වන්නේ, පසුගිය මාස දෙක තුළ ඇති වූ ප්‍රබල පද්ධති දෙකකට එනම් ඔක්තෝබර් මස අගභාගයේ ඇති වූ 'ඔර්නබ්' සුළි කුණාටුවට සහ නොවැම්බර් මස මුලදී ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් වෙත කඩා වැදුණු 'මුරසු' චණ්ඩ සුළි කුණාටුවට පසුව වීම විශේෂත්වයකි.
නවතම කාලගුණ දත්ත අනුව බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇති මෙම පද්ධතිය හෙට (නොවැ: 14) වයඹ දෙසට ගමන් කර වඩාත් පැහැදිලි අඩු පීඩන කලාපයක් බවටත්, නොවැම්බර් 15 වන දා උදෑසන වන විට පීඩන අවපාතයක් බවටත් පත්වනු ඇත.
ඉන්පසු උතුරු-වයඹ දෙසට ගමන් කරන මෙම පද්ධතිය 16 වන දා සවස් වන විට මධ්‍යම බෙංගාල බොක්කේදී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරය දෙසට ගමන් කිරීමට නියමිත ය. පද්ධතිය දිවයිනට සමීප ගමන් කළේ නම් මෙරටට විශාල බලපෑමක් එල්ල වීමට ඉඩ තිබුණ ද, එය නැගෙනහිර වෙරළට ඈතින් ගමන් කරන බැවින් වැඩි ම බලපෑම එල්ල වන්නේ ඉන්දියාවට බව අධ්යක්ෂ ජනරාල්වරයා පැහැදිලි කළේ ය.
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදනයක්
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ඇති විය හැකි තද සුළං සහ රළු මුහුද පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය අද සවස 05.00ට රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, හෙට උදෑසන 05.30 සිට නොවැම්බර් 15 උදෑසන 05.30 දක්වා ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ (උතුරු අක්ෂාංශ 05°–15° සහ නැගෙනහිර දේශාංශ 80°–90° අතර) සහ කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැඩි ලෙස දැනුම් දී ඇත.
දැනට එම මුහුදු ප්‍රදේශවල ඇති බහුදින ධීවර යාත්‍රා වහා ම ආරක්ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසට ද උපදෙස් දී තිබේ.
ඉදිරි සති දෙක තුළ කුමක් වෙයි ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මෙහි බලපෑම අවසන් වීමෙන් පසුව ද ඉදිරි සති දෙක තුනක කාලය පුරා, එනම් මෙම මාසය අවසන් වන තෙක් ම දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සාමාන්‍යයෙන් පවතින තත්ත්වයට වඩා වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි. දැනට පවතින අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය හේතුවෙන් ලංකාව ආශ්රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය මෙලෙස වර්ෂාව ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.
"කොහොමත් අපි මේ ඉස්සරහ සති දෙක තුන තුළ වැඩියෙන් වැසි තමයි බලාපොරොත්තු වෙන්නේ. තද වැසිත්, සමහර අවස්ථාවල තද වැසි ඉතා කෙටි කාලයකදී පවා ඇති වෙන්න ඉඩකඩක් තියෙනවා," යනුවෙන් ඔහු සඳහන් කළේ ය.
මීට අමතරව ගෝලීය වශයෙන් පවතින එල්නිනෝ කාලගුණික සාධක ද මෙම කාලසීමාව තුළ තීව්ර වර්ෂාපතනයක් ඇති කිරීමට බලපාන බව අධ්යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.
"නැවතත් ආයේ ඒක අපෙන් ඉවතට ගියාට පස්සේ සාමාන්‍යයෙන් අන්තර් මෝසම් වැසි තමයි ආයේ තියෙන්නේ. ඒකෙදි මේ එල්නිනෝ තත්ත්වයත් එක්ක තීව්ර වැසි ලැබෙනවා," යැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
මෙම අන්තර් මෝසම් කාලගුණික රටාව ලබන මාසයේදී ඊසානදිග මෝසම ආරම්භ වීමත් සමග යළිත් වෙනස් වීමට නියමිත අතර, ඒ වන තෙක් කෙටි කාලයක් තුළ ඇදහැලෙන තද වැසි පිළිබඳව මහජනතාව අවධානයෙන් පසුවිය යුතු ය.
කෙසේ වෙතත්, එළඹෙන දෙසැම්බර් මාසයේ සක්‍රීය වන ඊසානදිග මෝසමේදී ද උතුරු සහ නැගෙනහිර පළාත්වලට සාමාන්‍ය අගයට වඩා මඳක් වැඩි වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි දැනට පවතින කාලගුණ පුරෝකථන මගින් අනාවැකි පළ කර තිබේ.
ඊසානදිග මෝසම් තත්ත්වය කෙබඳු ද?
මෙම මාසය අවසන් වීමත් සමග දැනට පවතින අන්තර් මෝසම් කාලගුණික රටාව නිමාවට පත්වී, ලබන දෙසැම්බර් මාසයේ සිට දිවයිනට ඊසානදිග මෝසම් කාලගුණික තත්ත්වය සක්‍රීය වීමට නියමිත බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි.
දැනට පවතින අන්තර් මෝසම් සමයේදී නිශ්චිත දිශාවකින් සුළං නොහැමුව ද, ඊසානදිග මෝසම ආරම්භ වීමත් සමග දිවයිනට ඊසාන දෙසින් සුළං ප්රවාහයන් හැමීම ආරම්භ වේ. "එතකොට ඊළඟට ලබන මාසේ අපි ගත්තහම ඊසානදිග මෝසම පටන් ගන්නව නේ. එතකොට මේක ආයේ පාරක් වෙනස් වෙනවා," ඔහු පැහැදිලි කළේ ය.
මෙවර ඊසානදිග මෝසමේ වර්ෂාපතන රටාව පිළිබඳව දකුණු ආසියානු දේශගුණික දැක්ම සංසදයේ (SASCOF) පුරෝකථන ඇසුරෙන් අදහස් දක්වමින් අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, දෙසැම්බර් මාසයේදී සාමාන්‍ය අගයට වඩා මඳක් වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව ය.
විශේෂයෙන් ම උතුරු සහ නැගෙනහිර පළාත්වලට මෙම තත්ත්වය වැඩි වශයෙන් බලපානු ඇති අතර, ඇතැම් ස්ථානවලට සාමාන්‍යයට වඩා වැඩි වැසි ලැබීමට ඉඩකඩ පවතින බව ඔහු පෙන්වා දෙයි. "ඇත්තට ම ඊසානදිග මෝසමේ සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඇවරේජ්; දෙසැම්බර් මාසේ ගත්තොත් ස්ලයිට්ලි අබව් නෝමල් වගේ. ඒ කියන්නේ පොඩ්ඩක් ඇවරේජ් එකට වඩා චුට්ටක් වැඩියෙන් වගේ," යැයි ඔහු පැවසීය.
කෙසේ වෙතත්, ඊසානදිග මෝසම් සමයේදී දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල වර්ෂාපතනයේ යම් අඩුවීමක් දැකිය හැකි බව අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් අනාවරණය කළේ ය. විශේෂයෙන් ම බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලට දෙසැම්බර් මාසය තුළ සාමාන්‍යයෙන් ලැබෙන වර්ෂාපතනයට වඩා අඩු වැසි තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇති බව පුරෝකථන මගින් පෙන්නුම් කරයි.
"හැබැයි අපේ බස්නාහිර, සබරගමුව පළාත්වල සමහර විට වැස්ස අඩු වෙන්නත් පුළුවන් සාමාන්‍ය මට්ටමට වඩා," යනුවෙන් ඔහු සඳහන් කළේය.
සමස්තයක් ලෙස ගත් කල, ඉදිරි දිනවලදී බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇති වන පීඩන අවපාතයේ බලපෑම සහ අන්තර් මෝසම් වැසි අවසන් වීමෙන් පසුව, උතුරු සහ නැගෙනහිර කලාප කේන්ද්‍ර කර ගනිමින් ඊසානදිග මෝසම සක්‍රීය වනු ඇත.


































