බෙංගාල බොක්කේ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි කැළඹිල්ලක්: ඉදිරි දිනවල කාලගුණය මෙන්න

චන්ද්‍රිකා ඡායාරූපයකි
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

බෙංගාල බොක්ක සහ දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද (ඔක්: 21) සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන් ම අද දිනයේ සිට ඉදිරි දින දෙක තුනක කාලය තුළ අහස වලාකුළෙන් බරව පවතිනු ඇති අතර, බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ය. ඇතැම් ස්ථානවලට දෛනිකව මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ද බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ජාත්‍යන්තර කාලගුණ දත්ත විශ්ලේෂණය කරමින් මෙම පද්ධතියේ ඉදිරි වර්ධනය සහ එය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේගෙන් බීබීසී සිංහල විමසීමක් කළේ ය.

"ඉන්දියානු කාලගුණ විද්‍යා කාර්යාලයත් නිවේදන නිකුත් කරලා තියෙනවා. බෙංගාල බොක්කේ නැගෙනහිර කොටසේ, මධ්‍යම නැගෙනහිර කොටසේ වගේ ම ගිනිකොණ පැත්ත යි ඔය දෙක සම්බන්ධ වෙන හරියේ කැළඹිලි ස්වභාවයක් තියෙනවා. ඒක 23 වෙනිදා වගේ වෙනකොට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි කියලා පූරෝකථනය කර තියෙනවා. සමහරවිට මේක සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙන්නත් පුළුවන්. නමුත් මේකේ ගමන් මාර්ගය ගත්තොත් වයඹ පැත්තට තමයි ගමන් කරන්නේ. ඒක දිවයිනට, අපේ ලංකාවට එන්නේ නැහැ."

'23 වන දා වන විට අඩු පීඩන කලාපයක්'

මධ්‍යම සහ නැගෙනහිර බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින මෙම කැලඹිලි තත්ත්වය එළඹෙන 23 වැනිදා වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ ඉහළ හැකියාවක් පවතී. ඉන් අනතුරුව එය පීඩන අවපාතයක් හෝ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය විය හැකි බවට ඉන්දීය කාලගුණ අංශ පුරෝකථනය කර ඇත.

පද්ධතියේ වර්තමාන ගමන් මග අනුව එය ශ්‍රී ලංකාව හරහා ගමන් නොකර, වයඹ දෙසට බරව ඉන්දීය වෙරළ තීරය දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට ඍජු බලපෑමක් එල්ල නොවන නමුත්, පද්ධතියේ වර්ධනයත් සමග දිවයින හරහා සක්‍රීය වන නිරිතදිග සුළං ප්‍රවාහය හේතුවෙන් මෙරටට වක්‍ර බලපෑම් එල්ල වනු ඇත.

මෙම පද්ධතිය ඉන්දියානු වෙරළ තීරය දෙසට ගමන් කිරීමට නියමිත වුව ද, එය වර්ධනය වීමත් සමග ලංකාව හරහා හමායන සුළඟේ රටාව වෙනස් වන බව අජිත් විජේමාන්නගේ පෙන්වා දෙයි.

"23 වැනිදා වගේ වෙනකොට මේක අඩු පීඩන කලාපයක් වෙලා එන්න එන්න වර්ධනය වෙනකොට, අප හරහා ඊට පස්සේ අර නිරිතදිග මෝසම වගේ, නිරිතදිග පැත්තෙන් හමන සුළඟක් තමයි ලංකාව හරහා තියෙන්නේ. එතකොට අපට අර නිරිතදිග මෝසමේදී තිබිච්ච වැසි තමයි අපි වැඩියෙන් බලාපොරොත්තු වෙන්නේ."

වක්‍ර බලපෑම් සහ ගංවතුර අවදානම

Skip podcast promotion and continue reading
WhatsApp BBC News සිංහල
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

කුණාටුවේ වක්‍ර බලපෑම හේතුවෙන් මෙරට ගොඩබිම් කලාපයට ඇති විය හැකි ආපදා තත්ත්වයන් පිළිබඳව ද කාලගුණ විද්‍යා දෙපාර්තෙම්න්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් බීබීසී සිංහල විමසා සිටියේ ය.

මෙම පද්ධතිය සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වුවහොත්, දිවයිනේ නිරිතදිග කොටසට (බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ මධ්‍යම පළාත්) තද වැසි ඇද හැලීමෙන් ක්ෂණික ජලගැලීම් හෝ ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ වක්‍ර අවදානමක් පවතී.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් මහජනතාව අනියත බියක් ඇති කරගත යුතු නොවන බවත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) මඟින් වරින් වර නිකුත් කරනු ලබන නිල කාලගුණ නිවේදන පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

"මේක ඍජුව අපි හරහා යන්නේ නැහැ.වර්ධනය වුණොත් යන්නේ වයඹ පැත්තට. එතකොට ඉන්දීය වෙරළ තීරයට තමයි ඇතුළු වෙන්නේ. එතකොට අපිට ඒකේ වක්‍ර බලපෑම තියෙනවා. මේක අඩු පීඩන කලාපයක් වෙලා, ඊට පස්සේ පීඩන අවපාතයක්, සුළි කුණාටුවක් දක්වා වර්ධනය වුණොත්, අපට වැසි තත්ත්වයේ වැඩිවීමක් වෙන්න පුළුවන්, ගංවතුර එන්න පුළුවන්. හැබැයි අපි ඒ ගැන කියන්න තවම කල් වැඩියි, මොකද ඒකේ තියෙන ඩිවෙලොප්මන්ට් එක බලන්න ඕනේ."

කෙසේ වෙතත්, මෙම තත්ත්වය හමුවේ මහජනතාව අනියත බියක් ඇති කරගත යුතු නොවන අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය) සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) මඟින් පැය 6 න් පැයට හෝ වරින් වර නිකුත් කරනු ලබන නිල කාලගුණ නිවේදන සහ අනතුරු ඇඟවීම් කෙරෙහි නිරන්තරයෙන් අවධානය යොමු කරන ලෙස ද අජිත් විජේමාන්න වැඩිදුරටත් ඉල්ලා සිටියි.

ධීවර ප්‍රජාවට අවධානයෙන් සිටින ලෙස උපදෙස්

දැනට මුහුදු ප්‍රදේශවල සුළඟේ විශාල වැඩිවීමක් වාර්තා නොවුණ ද, පද්ධතිය වර්ධනය වීමත් සමග බස්නාහිර මුහුදු තීරයේ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය සහ මුහුද රළු වීම ඉහළ යා හැකිය. එබැවින් විශේෂයෙන් ම ගිනිකොණ, නැගෙනහිර සහ මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදෙන පිරිස් මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු අතර, ඉදිරියේදී නිකුත් කෙරෙන නිල නිවේදන කෙරෙහි සැලකිලිමත් විය යුතු ය.

"මේ වන විට සුළඟේ එහෙම ලොකු වැඩිවීමක් නැහැ. අපිට දැන් පෙනෙන්නේ එතන වර්ධනය වීම විතර යි. නමුත් මෙම තත්ත්වය වර්ධනය වන විට සුළං වේගය ඉහළ යන්න පුළුවන්. බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ඔය ගිනිකොණ පැත්තට, නැගෙනහිර පැත්තට, මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල යෙදෙනකොට මේ ගැන අවධානයෙන් ඉන්න කියලා තමයි කියන්නේ. අපි ඉදිරියේදී ඒ පිළිබඳව අවවාදාත්මක නිවේදන නිකුත් කරනවා."