ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඔබ මියගිය පසු මිනිසුන් ඔබ ගැන සිහිපත් කරනු ඇත්තේ කුමක් ද?
- Author, මොලී ගෝර්මන්
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 8
අප ඉතිරි කර යන උරුමය පිළිබඳව සිතා බැලීම අපගේ මානසික සෞඛ්යය වැඩිදියුණු කර ගැනීමට සහ ජීවිත කාලය තුළ වඩාත් අර්ථවත් බවක් සොයා ගැනීමට උපකාරී වන බව පර්යේෂණ මගින් පෙන්වා දෙයි. අප තවමත් තරුණ වයසේ පසුවන්නේ නම් පවා එය වැදගත් වනු ඇත.
බෙත් හන්ටර්ගේ පියාට ඇල්සයිමර් රෝගය පවතින බව හඳුනාගත් විට, ඇය ඔහුගෙන් ඇසුවේ අනාගතයේදී ඇයට ඒවා නැවත සවන් දිය හැකි වන පරිදි ඔවුන් දෙදෙනාගේ සංවාදයක් පටිගත කළ හැකි ද යන්න යි.
ඔහු එය ප්රතික්ෂේප කළේ ය. ඔහු සමීප කතාබහ සඳහා කැමත්තක් දක්වන අයෙකු නොවූ අතර ඔහු තමාට වැළඳී ඇති රෝග විනිශ්චයට මුහුණ දුන්නේ හෝ මරණය ගැන කතා කළේ නැත. ඒ වෙනුවට, ඔහු මූලිකත්වය දුන්නේ ඔහුගේ යුදමය කතාන්දර ලියා තැබීමට වන අතර ඒවා යතුරු ලියනය සිදු කිරීමට කෙනෙකු බඳවා ගැනීමට පෙර ඒවා තමන් විසින් ම ලියනු ලැබී ය.
වැඩිහිටි පුද්ගලයින්ට ඔවුන්ගේ කාලය සීමිත බව දන්නා නිසා උරුමයක් නිර්මාණය කිරීමේ අවශ්යතාව වඩා වැඩියෙන් හැඟෙනු ඇති නමුත් ඇතැම් විද්වතුන් තර්ක කරන්නේ උරුමයක් අත්හැරීම ජීවිතයේ මුල් භාගයේ සිට ම ආරම්භ විය හැකි අතර එය මුල සිට ම ආරම්භ කළ යුතු බව ය.
තව ද, අප මියගිය පසු අනාගත පරපුරට යමක් දායාද කිරීමට අප තුළ ඇති සහජ මානුෂීය උනන්දුව වඩා හොඳින් වටහා ගැනීමෙන් මානසික සෞඛ්යය නංවාලීම සඳහා නව ක්රම සොයාගත හැකි බව වර්ධනය වෙමින් පවතින පර්යේෂණ රැසක් මගින් පෙන්වා දෙයි.
"බහුතරයක් ජනතාව ඒ ගැන හිතන්නේ නැහැ," ඇමෙරිකාවේ ඔහායෝහි බෝලින් ග්රීන් ස්ටේට් විශ්වවිද්යාලයේ සහකාර මහාචාර්යවරයෙකු වන හන්ටර් පවසයි.
ංනමුත් උරුමයක් ඉතිරි කිරීම විවිධ ආකාරවලින් සිදුවිය හැකි අතර, එය නොදැනුවත්ව ම කෙරෙන ක්රියාවක් වුව ද විය හැකි ය. "ඔබ එය දැන සිටියත් නැතත්, සෑම කෙනෙකු ම උරුමයක් ඉතිරි කර යනවා," හන්ටර් පවසයි.
එය ධනය හෝ දේපළ හෝ සංගීතය හෝ ලේඛන වැනි සදාකාලික කලාවක් පමණක් උරුම කර දීම නොවේ. ඒ වෙනුවට ඇතැම් පර්යේෂකයන් මෙම උරුමය එකිනෙකට බද්ධ වූ ප්රධාන කාණ්ඩ තුනකට බෙදා ඇත: අපගේ ශරීරය සහ ජාන විද්යාව හරහා අප ඉතිරි කර යන ජීව විද්යාත්මක උරුමය, අපගේ ධනය සහ දේපළ මගින් නිරූපණය වන ද්රව්යමය උරුමය සහ ඇදහිල්ල, සංස්කෘතිය සහ උරුමය වැනි අපගේ වටිනාකම්වල උරුමය යි.
ජීවවිද්යාත්මක උරුමය
බොහෝ දෙනෙකුට, ජීව විද්යාත්මක උරුමයේ වඩාත් ම පැහැදිලි ආකාරය වන්නේ ජීව විද්යාත්මක දරුවන් ලැබීම හරහා ජානමය උරුමයන් ලබා දීම යි. නමුත් ජාන හරහා සම්බන්ධ වූ මුතුන් මිත්තන්ගේ පෙළපත සහ මරණයෙන් පසු අපගේ කල් පවතින බලපෑම වන උරුමය එකිනෙකට වෙනස් වූ දේවල් විය හැකි ය.
ජීව විද්යාත්මක උරුමයක් අත්හැරීම යන්නට ශරීර සැකිල්ල අතහැරීම ද ඇතුළත් විය හැකි ය. ඇමෙරිකානුවන් මිලියන 170ක් පමණ අවයව පරිත්යාග කිරීමට ලියාපදිංචි වූවන් වන අතර, සාර්ථක අවයව පරිත්යාගයකට ඉඩ සලසන තත්ත්වයන් යටතේ සෑම පුද්ගලයින් 1,000න් තිදෙනෙක් පමණ මිය යති.
ඇතැම් පුද්ගලයින් ඔවුන්ගේ මුළු ශරීරය ම විද්යාව උදෙසා පරිත්යාග කිරීමට පවා කැමැත්තක් දක්වන අතර එයින් අදහස් කෙරෙන්නේ, ඔවුන්ගේ ශරීර වෛද්ය සිසුන්ගේ අධ්යාපන කටයුතුවලට හෝ නව සායනික ක්රමවේදයන් සංවර්ධනය කිරීම වැනි පර්යේෂණ සඳහා භාවිත කෙරෙන බව ය. එක්සත් ජනපදය තුළ 2021 වසරේදී පමණක් 26,000කට වඩා ශරීර පරිත්යාග ලැබී තිබිණි.
බෙල්ජියමේ තම ශරීර පරිත්යාග කිරීමට ලියාපදිංචි වූ පුද්ගලයින් 100කට අධික සංඛ්යාවක් යොදාගෙන මෑතකදී කරන ලද අධ්යයනයකදී ඒ සඳහා බලපෑ ප්රමුඛ පෙළඹීමක් වූයේ විද්යාවට දායක වීමට ඇති ආශාව බව හෙළි වී තිබේ. එය ප්රතිශතයක් වශයෙන් 57%ක් විය. අනෙකුත් පෙළඹවීම් වූයේ පරාර්ථකාමීත්වය සහ වෛද්ය ප්රතිකාර සඳහා කෘතඥතාව පළ කිරීම වන නමුත් සිත්ගන්නා කරුණ නම්, 16%ක් පැවසුවේ, මරණයට අර්ථයක් ලබා දීම සිය අභිප්රේරණය වූ බව ය.
ජානමය රෝග හෝ වෙනත් සෞඛ්ය ගැටලු ඇති අය සම්බන්ධයෙන් ද මෙය සත්යයකි. ප්රසිද්ධ සිදුවීමකදී පිළිකා, දියවැඩියාව සහ ආතරයිටිස් වැනි විවිධ රෝගාබාධවලින් පීඩා විඳි ක්රියාකාරිනියක වූ සුසෑන් පොටර් තරුණ පරපුරට වඩා හොඳ වෛද්යවරුන් වීමට උපකාර කිරීම සඳහා ඇමෙරිකාවේ කොලරාඩෝහි පිහිටි 'විසිබල් හියුමන් ප්රොජෙක්ට්' වෙත තම සිරුර පරිත්යාග කළා ය.
ඇගේ සිදුවීම සුවිශේෂී වන්නේ, ඇගේ ශරීරය කොටස් 27,000කට කපා දැමීමට පෙර උෂ්ණත්වය -9.4C (15F) යටතේ ශීත කිරීමට ඇය එකඟ වූ බැවිනි. සෑම කොටසක් ම ඡායාරූපගත කර "අතථ්ය මෘත ශරීරයක්" නිර්මාණය කිරීම සඳහා එකට එකතු කරන ලද අතර මෙම ත්රිමාණ උපාංගය වෛද්ය සිසුන්ට පරිගණකයක් ඔස්සේ මළ සිරුරක් කපා අධ්යනය කිරීමට ඉඩ සලසයි.
පිළිකාවෙන් සුවය ලැබූ කාන්තාවන් පිළිබඳව හන්ටර් විසින් කරන ලද තවත් අධ්යයනයකදී ඔවුන්ගේ උරුමය තුළින් තම පවුලේ සාමාජිකයන් යහපත් සෞඛ්ය පුරුදු ඇති කර ගැනීමටත්, පිළිකා පරීක්ෂණ සඳහා යොමුවීමටත් පෙළඹෙනු ඇතැයි සහභාගී වූවෝ බලාපොරොත්තු වූහ. පිළිකා රෝග විනිශ්චයකින් පසු මරණයට මුහුණ දීමට සිදුවන කාන්තාවන්ට, "යම් සලකුණක් ඉතිරි කර යාම" ඉතා වැදගත් වූ බව හන්ටර් පවසයි.
උරුමයේ වැදගත්කම සායනික පර්යේෂණ කෙරෙහි ද පුළුල් බලපෑමක් ඇති කළ හැකි බව හන්ටර් යෝජනා කරන අතර එය සායනික අත්හදා බැලීම්වලට සහභාගී වීම සඳහා රෝගීන් වැඩි වශයෙන් පෙළඹවිය හැකි ය.
උරුමය පිළිබඳ සිතීම මරණාසන්න අවස්ථාවට මුහුණ පුද්ගලයින්ට සැනසීමක් ලබා දිය හැකි ය. ඕනෑ ම වයසක පසුවන, ජීවිතයේ අවසාන කාලය ගත කරන රෝගීන්ට සත්කාර කරන ඇතැම් රෝහල් සහ මරණාසන්න රෝගීන් සඳහා සත්කාරක සේවා සපයන ස්ථාන මගින් ''උරුමයන් පිළිබඳ ක්රියාකාරකම්" සංවිධාන කරන අතර එය රෝගීන්ට මෙන් ම ඔවුන්ගේ පවුල්වල අයට ද වඩාත් අර්ථවත් ලෙස ඔවුන්ගේ ජීවිතය අවසන් කිරීමට උපකාරී වේ.
මෙවැනි ක්රියාකාරකම් අතරට දිනපොතක් හෝ පින්තූර පොතක් (scrapbook) සකස් කිරීම, ආදරය කරන කෙනෙකුට ලිපියක් ලිවීම, කලාත්මක නිර්මාණයක් කිරීම හෝ "සදාචාරාත්මක අන්තිම කැමැති පත්රයක්" (ethical will) ලිවීම ඇතුළත් විය හැකි ය. මෙම සදාචාරාත්මක අන්තිම කැමැත්ත යනු නීතිමය ලියවිල්ලක් නොවන අතර, එමගින් කෙනෙකුට තමන්ගේ සිතුවිලි, වටිනාකම් සහ උපදෙස් අනාගත පරපුරට දායාද කිරීම සඳහා ලියා තැබිය හැකි ය.
සුව කළ නොහැකි රෝගවලින් පෙළෙන වැඩිහිටියන් සහ ළමුන් පිළිබඳව කරන ලද පර්යේෂණවලින් පෙනී යන්නේ, මෙවැනි මතකයන් නිර්මාණය කිරීමේ ක්රියාකාරකම් මගින් ඔවුන්ගේ මානසික අවපීඩනය (depression) සහ කාංසාව (anxiety) අඩු කර ගත හැකි බව ය. එමෙන් ම ජීවිතයේ අවසාන මාස කිහිපය තුළ දැනෙන ශෝකය දරා ගැනීමට ද එය උපකාරී වේ.
ගුණධර්මවලින් පිරි උරුමයක්
පුණ්ය කටයුතුවල නිරත වීම, දේපළ පැවරීම හෝ වටිනා බඩු බාහිරාදිය දායාද කිරීම වැනි දේවල් භෞතික උරුමයන් (material legacy) ඉතිරි කළ හැකි ක්රම වේ. පවුලේ වටිනා ඉතිහාසය ඉදිරියට ගෙනයාම සඳහා ඡායාරූප සහ දිනපොත් වැනි පාරම්පරික වස්තූන් ද (heirlooms) ඒ හා සමානව ම සුරැකිව තබා ගනු ලබයි. උදාහරණයක් ලෙස තමන්ගේ නමින් ගොඩනැගිල්ලක් පරිත්යාග කිරීමෙන් සමාජය තුළ නොමැකෙන සලකුණක් තැබිය හැකි ය.
නමුත් පර්යේෂණවලින් හෙළි වන්නේ, මිනිසුන් තමන්ගේ උරුමය ලෙස ඉදිරි පරපුරට දායාද කිරීමට වඩාත් ම කැමති වන්නේ ගුණධර්ම සහ විශ්වාසයන් බව ය - එනම් කරුණාවන්තකම සහ අන් අයට උපකාර කිරීමේ වැදගත්කම වැනි දේ ය.
විවිධ වයස් මට්ටම්වල සහ විවිධ සෞඛ්ය තත්ත්වයන්ගෙන් පසුවන කාන්තාවන් 38 දෙනෙකුගේ ජීවිත කතා ඇසුරින් කරන ලද එක් අධ්යයනයකින් හෙළි වූයේ, එම පිරිස තමන් ලැබූ අත්දැකීම් සහ වටිනාකම් පැවරීමට ආශා කළ බව ය. සාමාන්යයෙන් ඔවුන් ඒ සඳහා උත්සහ කරන්නේ ඔවුන්ගේ හැසිරීම, ආගම හෝ ආධ්යාත්මික ජීවිතය සහ කතා, පවුලේ ඉතිහාසය හෝ ඔවුන්ගේ ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථාන සටහන් කිරීම හෝ හඬ පටිගත කිරීම වැනි පැහැදිලි ක්රියාකාරකම් මගිනි, ඇතැම්විට ස්වයං චරිතාපදානයක ස්වරූපයෙනි.
වටිනාකම්වල උරුමයක් ඉතිරි කිරීමෙන් බොහෝ ප්රතිලාභ ලැබෙන බව පෙනී යයි. වටිනාකම් පිළිබඳ උරුමයක් දැක්වෙන ලේඛනයක් සකස් කර තිබූ වයස අවුරුදු 65 සහ ඊට වැඩි වැඩිහිටියන් පිරිසක් සමග ඇමරිකානු පර්යේෂකයන් කණ්ඩායමක් සම්මුඛ සාකච්ඡා පැවැත්වූ විට, එම සහභාගිවන්නන්ට මනසේ සාමය ළඟා කර ගැනීමටත්, අතීතය පිළිගැනීමටත්, ඔවුන්ට වඩාත් ම වැදගත් දේ සන්නිවේදනය කිරීමටත් හැකි වූ බවත්, එය ඔවුන්ව පෙර සේ ම ජීවිත් වීමටත් පෙළඹවූ බවත් ඔවුහු සොයා ගත්හ.
සහභාගී වූවන් කිහිප දෙනෙකු වටිනාකම්වල උරුමයක් රඳවා යාම ''ස්පර්ශ කළ හැකි තෑග්ගක්'' ලෙස විස්තර කළ අතර එක් අයෙකු පැවසුවේ, මෙම ක්රියාවලිය "ඔබ දිවි ගලවා ගත් අවස්ථා, ඔබ මුහුණ දුන් බාධක, ඔබ ඒවාට මුහුණ දෙන ආකාරය සහ ඒවාට මුහුණ දීමට ඔබට උපකාර කළ දර්ශන වාදයන් මොනවා ද යන්න ඔබට සිහිපත් කරන බව ය.
ඔබේ උරුමය ගැන සිතීම ඔබට යහපතක් විය හැක
මිනිසුන් වසර දහස් ගණනක් තිස්සේ උරුමය ගැන සිතමින් සිටිය ද, විද්වතුන් මෙම සංකල්පය පිළිබඳව පර්යේෂණ කරමින් සිටින්නේ වසර 75ක් පමණ කාලයක සිට ය. 1950දී ජර්මානු මනෝ විශ්ලේෂක එරික් එරික්සන් විසින් උත්පාදකතාව යන පදය නිර්මාණය කරන ලද අතර, එය පුද්ගලයෙකු අන් අයගේ යහපැවැත්ම කෙරෙහි උනන්දුවක් දක්වන ප්රමාණය ලෙස විස්තර කළේ, විශේෂයෙන් අනාගත පරම්පරාවන්ට ප්රතිලාභ සැලසීම සම්බන්ධයෙනි. ඔහු තම මනෝ සමාජීය සංවර්ධන අවධි අටෙන් හත්වැන්න ලෙස උත්පාදකතාව ඇතුළත් කළ අතර, එය මැදිවියේ පසුවන පුද්ගලයින්ගේ ප්රධානතම කාර්යයක් බව සඳහන් කළේ ය.
යම් පුද්ගලයෙකු ඵලදායීතාව ළඟා කර ගැනීමට අපොහොසත් වුවහොත්, එය ඔහුගේ පසුකාලීන ජීවිතයේ ගමන් පථයට බලපෑම් එල්ල කළ හැකි අතර ඇතැම්විට ඔවුන්ගේ සෞඛ්යය පවා නරක අතට හැරිය හැකි බව එරික්සන් පෙන්වා දුන්නේ ය. එතැන් සිට අනෙකුත් විද්වතුන් මෙම න්යාය පුළුල් කර සාක්ෂි සපයා ඇත, නමුත් ඇතැමුන් යෝජනා කර ඇත්තේ ද උත්පාදන හැකියාව ලබා ගැනීම මැදිවියේ වැඩිහිටියන්ට පමණක් අභියෝගයක් නොවන නමුත් ජීවිත කාලය පුරා ම පවතින ක්රියාවලියක් ලෙස සැලකිය යුතු බව ය.
ඇත්ත වශයෙන් ම උරුමයක් ඉතිරි කිරීමට මිනිසුන්ව පොළඹවන තවත් අභිප්රේරණයක් ඇත: ඒ, මරණය පිළිබඳ බිය ය.
"ඒක මිනිසුන්ව පුදුමයට පත් කරවනවා, අවසානයේදී අපි හැමෝම මැරෙනවා නම්, ජීවතයේ තේරුම මොකක් ද කියන එක ගැන," උතුරු කැරොලිනාහි ඩියුක් විශ්වවිද්යාලයේ ෆුක්වා ව්යාපාරික විද්යාලයේ කළමනාකරණ සහ සංවිධාන පිළිබඳ මහාචාර්ය කිම්බර්ලි වේඩ්-බෙන්සෝනි පවසයි. "උරුම අභිප්රේරණය පිළිබඳ මනෝවිද්යාවේ සැබෑ කේන්ද්රස්ථානය වන්නේ මරණය යි. මරණය පිළිබඳව අපට සිහිපත් වන විට, අපට මතක්වෙනවා අපට මිය යාමට අවශ්ය නැති බව, අපට ජීවත් වීමට අවශ්ය බව"
"උරුමය ගැන සිතීම, මිනිසුන්ව 'මරණ බිය' තත්ත්වයේ සිට 'මරණ ආවර්ජනය' තත්ත්වයට පත් කිරීමට උදව් විය හැකි බවට ඇය තර්ක කරයි.
අනෙකුත් න්යායවාදීන් සඳහන් කරන්නේ, එවැනි බියක් සමග අයෙකුගේ ජීවිතය අර්ථයක් ඇති කතාවක් බවට දැනීමට ඇති ආශාව පැමිණෙන බව ය.
"යම් උරුමයක් ඉතිරි කර තැබීමට අප තුළ ඇති පෙළඹවීම, පැහැදිලි කතාවක් කීමට අපට ඇති අවශ්යතාවයේ කොටසක් ලෙස දැකිය හැකි යි," නවසීලන්තයේ ඔටාගෝ විශ්වවිද්යාලයේ මනෝවිද්යා මහාචාර්ය ජෙසී බෙරින්ග් පවසයි. "අපි අපව ම 'වීරයෙකුගේ ගමනක් ප්රධාන චරිතය ලෙස ගැඩගස්වා ගන්නවා... තව ද එම කතාවට පාඩම හෝ ආදර්ශය, එනම් සාරාංශය කතා කිරීමට 'ප්රේක්ෂකයන්' වන මීළඟ පරම්පරාව වෙත පවරනවා.''
තීරණාත්මක ලෙස, උරුමයක් අත්හැරීමට ඇති අපගේ ආකර්ෂණය අපට පවසන්නේ, මිනිසුන් අන් අයගේ අදහස් ගැන ගැඹුරින් සැලකිලිමත් වීමට බැඳී සිටින බව යැයි බෙරිං පවසයි. "මරණයේදී පවා, අපට වගකීමෙන් පළා යාමට බැහැ."
අපගේ ජීවිත කාලය පුරාවට ම අන් අය සමග සම්බන්ධතා පැවැත්වීමේ අවශ්යතාවක් මිනිසාට පවතින බව මනාව තහවුරු වී ඇත - එය අපගේ සෞඛ්යය වැඩිදියුණු කරන සතුටේ ප්රධාන මූලාශ්රයකි. එබැවින්, උරුමය යනු ආදරය ලැබීමට සහ අයිති වීමට අපගේ මානව අවශ්යතාවයේ පවතින "කෘත්රිම දිගුවක්" විය හැක.
ඔබේ ම උරුමයක් ඉතිරි කිරීම
මේ පිළිබඳව පවතින පර්යේෂණ සංඛ්යාව වර්ධනය වෙමින් පැවතිය ද, අප මිය ගිය පසු ධනාත්මකව මතකයේ රැඳී සිටීමට අපට අවශ්ය වන්නේ ඇයි ද? යන්න තවමත් ප්රහේළිකාවකි. "සියල්ලට පසු... අඛණ්ඩව මතකය පවත්වාගෙන යාම සඳහා මොළයක් අත්යවශ්ය යැයි ඔබ විශ්වාස කරන්නේ නම්, අපට මරණයෙන් පසු අපගේ කීර්තිනාමය කුමක්දැයි දැන ගැනීමට හෝ සතුටක් ලැබීමට මනෝවිද්යාත්මකව නොහැකි වනු ඇත," බෙරින් පවසයි.
අප මිය ගිය පසු අපව දකින ආකාරය පිළිබඳව අපගේ මුළු ජීවිතය ම උමතු කිරීම "මෙතැන සහ දැන් භුක්ති විඳීමට සහ අගය කිරීමට අපගේ හැකියාව අහිමි කළ හැකි" බවට බෙරින් තර්ක කරයි. ඔහු පවසන්නේ, "මම හිතනවා 'අපිව කොහොම මතක තියා ගනීවි ද?'' කියලා අපි රහසින් කනස්සල්ලෙන් ඉන්න නිසා, අපි යම් යම් සදාචාරාත්මක ස්ථාවරයන්ට එළඹීමෙන් වැළකී සිටින්නේ නම්, වැදගත් තේරීම් ගැන තවත් ප්රශ්න කරන්න ඒක අපිට හේතුවක් වෙයි කියලා මම හිතනවා," ඔහු පවසයි.
එය සත්යයකි - ඔබට ඔබේ උරුමය පාලනය කිරීමට නොලැබෙයි, වේඩ්-බෙන්සෝනි පවසයි. "එය උරුම කර ගන්නා අයට එය පාලනය කිරීමට සහ අර්ථ නිරූපණය කිරීමට හැකි වනවා." නමුත් උරුමය ගැන සිතීමෙන් පුද්ගලයෙකුගේ ජීවිත කාලය තුළ, තමන්ට සහ ඔවුන් වටා සිටින අයට ඇති කළ හැකි හිතකර බලපෑම් එයින් ඉවත් නොවේ.
ඇත්ත වශයෙන් ම, වේඩ්-බෙන්සෝනි සහ ඇගේ සගයන් යෝජනා කරන්නේ අපට ඉතිරි කර යාමට අවශ්ය උරුමය පිළිබඳව හැකි ඉක්මනින් සිතා බැලිය යුතු බවත්, අපගේ ජීවිත කාලය පුරාවට ම "උරුමය පිළිබඳ අභිලාෂයන්" ලිඛිතව සටහන් කර තැබිය යුතු බවත් ය. ඔවුන් ඔවුන්ගේ උරුමයන් පිළිබඳව සිතන විට "අනාගත පරම්පරාවන්ට හිතකර වන ආකාරයෙන් කටයුතු කිරීමට මිනිසුන් වැඩි නැඹුරුවක් දක්වන බව අප ක්රමානුකූලව සොයා ගන්නවා," යනුවෙන් වේඩ්-බෙන්සෝනි පවසයි.
ජීවිත කාලය පුරා ම උරුමයක් ගොඩනගා ගැනීම ගැන සිතීම, මිනිසුන්ට තමන් ඉතිරි කිරීමට කැමති අර්ථයට අනුකූලව තීරණ ගැනීමට ඉඩ සලසයි. මෙය, පාරිසරික ක්රියාකාරිත්වය හෝ පුණ්යායතන හෝ වෛද්ය පර්යේෂණ සඳහා වැඩි ධනයක් පරිත්යාග කිරීම වැනි සමාජ හිතකාමී ක්රියාකාරකම් පෝෂණය කිරීමට මිනිසුන්ව දිරිමත් කරයි. මේ අතර, ව්යවසායකයින් ලාභයෙන් ඔබ්බට සිතමින් සමාජයට ධනාත්මකව දායක වන ව්යාපාර ගොඩනැගීම ගැන සලකා බැලිය හැකි බව වේඩ්-බෙන්සෝනි පවසයි.
මෙම පර්යේෂකයන් යෝජනා කරන්නේ ප්රතිලාභය දෙයාකාර බව ය: එය අප ජීවත්ව සිටින විට මිනිසුන්ට අභිප්රේරණයක් සහ අර්ථයක් ලබා දෙන අතර, අප මිය යන විට "සංකේතාත්මක අමරණීයභාවය" ලබා දෙයි - අප ශාරීරිකව ලෝකයේ නොසිටිය ද, අපව අනාගතය වෙත රැගෙන යයි.