ශුක්‍රාණු පරිත්‍යාගශීලීන්ට දරුවන් සිය ගණනක් සිටින්නේ ඇයි?

    • Author, ජේම්ස් ගැලගර්, සෞඛ්‍ය සහ විද්‍යා වාර්තාකරු කැතරින් ස්නෝඩන්, සෞඛ්‍ය වාර්තාකරු
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 8

ඇතැම් පිරිමින්ට ශුක්‍රාණු පරිත්‍යාගය හරහා විශාල දරුවන් සංඛ්‍යාවක් සිටිති. මෑතකදී BBC පුවත් සේවය වාර්තා කළේ එක්තරා පුද්ගලයෙකුගේ ශුක්‍රාණුවල අඩංගු වූ ජාන විකෘතියක් හේතුවෙන් ඔහුගේ දරුවන් අතරින් ඇතැමෙකුට පිළිකා ඇතිවීමේ අවදානම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.

විමර්ශනයේ වඩාත්ම අවධානය යොමුවූ කරුණ වූයේ එම පුද්ගලයාගේ ශුක්‍රාණු රටවල් 14කට යොමු කර අවම වශයෙන් දරුවන් 197 දෙනෙකු බිහි කර තිබීමයි. මෙම අනාවරණය ශුක්‍රාණු පරිත්‍යාග කිරීමේ කර්මාන්තයේ පවතින විශාලත්වය පිළිබඳ ලද දුර්ලභ අවබෝධයක් විය.

සහකරුගේ නිසරුභාවය, ඔවුන් සමලිංගික සම්බන්ධතාවයක සිටීම නම් හෝ තනිවම දරුවන් ඇති දැඩි කිරීම වැනි අවස්ථාවලදී, වෙනත් ආකාරයක් නොමැති විට ශුක්‍රාණු පරිත්‍යාග කිරීම කාන්තාවන්ට මව්වරුන් වීමට ඉඩ සලසයි.

එම අවශ්‍යතාවය සපුරාලීම මහා ව්‍යාපාරයක් බවට පත්ව තිබේ. 2033 වන විට යුරෝපයේ වෙළඳපොළ පවුම් බිලියන 2 කට වඩා වැඩි වනු ඇතැයි ගණන් බලා ඇති අතර, ඩෙන්මාර්කය ශුක්‍රාණු අපනයනය කරන ප්‍රධාන රටකි.

ඉතිං ඇතැම් ශුක්‍රාණු පරිත්‍යාගශීලීන් මෙතරම් දරුවන් පිරිසකට පියවරුන් වන්නේ ඇයි සහ ඩෙන්මාර්ක හෝ "වයිකින් ශුක්‍රාණු" මෙතරම් ජනප්‍රිය වීමට හේතුව කුමක්ද, සහ කර්මාන්තය පාලනයකට යටත් කළ යුතු ද?

බොහෝ පිරිමින්ගේ ශුක්‍රාණු ප්‍රමාණවත් නොවේ

මෙය කියවන ඔබ පිරිමි පුද්ගලයෙකු නම් ඔබට එය පැවසීම ගැන අපි කණගාටු වෙමු, නමුත් ඔබේ ශුක්‍රාණු වල ගුණාත්මකභාවය පරිත්‍යාගශීලියෙකු වීමට ප්‍රමාණවත් නොවිය හැකි අතර ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන පුද්ගලයින් 100 දෙනෙකුගෙන් පස් දෙනෙකුටත් වඩා අඩු සංඛ්‍යාවක් පමණක් සුදුසුකම් ලබයි.

පළමුව, ඔබ සාම්පලයක් තුළ ප්‍රමාණවත් ශුක්‍රාණු නිපදවිය යුතු වන අතර ඒ ඔබේ ශුක්‍රාණු ප්‍රමාණයයි. අනතුරුව ඔවුන් කොතරම් හොඳින් එහා ගමන් කරනවාද, ඒවායේ චලනය සහ ඒවායේ හැඩය පිළිබඳව පරීක්ෂණවලින් සමත් විය යුතුය.

ශුක්‍රාණු ශීත කර ශුක්‍රාණු බැංකුවක ගබඩා කළ විට එවා ආරක්ෂිතව තබා ගත හැකි බව සහතික කිරීම සඳහා ද පරීක්ෂා කරනු ලැබේ.

ඔබ සරුභාවයෙන් යුතු පුද්ගලයෙකු විය හැකියි. දරුවන් හය දෙනෙකු සිටිය හැකියි. නමුත් තවමත් සුදුසුකම් නොමැති වෙන්න පුළුවනි.

ලොව පුරා ඒ සඳහා පවතින නීති රීති වෙනස් වේ, නමුත් එක්සත් රාජධානියේදී ඔබ සාපේක්ෂව තරුණ විය යුතු අතර අවුරුදු 18-45 අතර වයස් සීමාවේ පසුවිය යුතුය. එමෙන්ම HIV සහ ගොනෝරියා වැනි ආසාදනවලින් තොර වීම සහ සිස්ටික් ෆයිබ්‍රෝසිස්, ස්පයිනල් මස්කියුලර් ඇට්‍රොෆි සහ සිකල් සෙල් රෝගය වැනි ජානමය තත්ත්වයන් ඇති කළ හැකි විකෘතිතා සහිත වාහකයෙකු නොවිය යුතුය.

සමස්තයක් වශයෙන් ගත් කළ එයින් අදහස් කෙරෙන්නේ අවසානයේ ශුක්‍රාණු පරිත්‍යාගශීලීන් බවට පත්වන පුද්ගලයින්ගේ ප්‍රමාණය කුඩා බවයි. එක්සත් රාජධානියේ, ශුක්‍රාණු අවශ්‍යතාවයෙන් අඩක් ආනයනය කරනු ලැබේ.

නමුත් ජීව විද්‍යාව මගින් අදහස් කරන්නේ පරිත්‍යාගශීලීන් කුඩා සංඛ්‍යාවකට විශාල දරුවන් සංඛ්‍යාවක් සඳහා පියවරුන් විය හැකි බවයි. ඩිම්බයක් සමග සංසේචනය වීමට එක් ශුක්‍රාණුවක් පමණක් අවශ්‍ය වන නමුත් සෑම ශුක්‍රාණු පිටවීමකදීම මිලියන දස දහස් ගණනක් ශුක්‍රාණු අන්තර්ගත වේ.

පිරිමි පුද්ගලයින් ශුක්‍රාණු පරිත්‍යාග කරනු ලබන කාලය තුළ සතියකට වරක් හෝ දෙවරක් සායනයට පැමිණෙන අතර, මෙය මාස ගණනාවක් පුරා සිදු විය හැකිය.

සරුභාවය සහ ජාන විද්‍යාව පිළිබඳ කටයුතු කරන ප්‍රගති අධ්‍යාපනික භාරකාර පුණ්‍යායතනයේ අධ්‍යක්ෂිකා සාරා නොර්ක්‍රොස් පැවසුවේ ශුක්‍රාණු දායකයින්ගේ පවතින හිඟය නිසා එය වටිනා භාණ්ඩයක් බවට පත්ව තිබෙන බව සහ ශුක්‍රාණු බැංකු සහ ප්‍රජනන සායන මගින් පවතින ඉල්ලුම සපුරාලීම සඳහා දැනට සිටින දායකයින්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්නා බවයි.

ඇතැම් ශුක්‍රාණු වඩාත් ජනප්‍රියයි

මෙම කුඩා පරිත්‍යාගශීලීන්ගේ සංචිතයේ ඇතැම් පිරිමින්ගේ ශුක්‍රාණු අනෙක් පිරිසට වඩා බෙහෙවින් ජනප්‍රියයි.

පරිත්‍යාගශීලීන් තෝරා ගන්නේ අහඹු ලෙස නොවේ. එය ඇතැම් පිරිමින්ට අනෙක් අයට වඩා බොහෝ ගැළපීම් ලැබෙන ඩේටින් ඇප්ස් (dating apps) වැනිය.

ශුක්‍රාණු බැංකුව ලබා දෙන තොරතුරු මත ඔබට ශුක්‍රාණු දායකයාගේ ඡායාරූප පරීක්ෂා කිරීමට, ඔවුන්ගේ කටහඬට සවන් දීමට, ඉංජිනේරුවරයෙකු ද නැතහොත් කලාකරුවෙකු ද යන ලෙස ඔවුන් නිරත වන රැකියාව කුමක්දැයි සොයා බැලීමට සහ ඔවුන්ගේ උස, බර ඇතුළු තවත් බොහෝ දේ පරීක්ෂා කිරීමේ හැකියාව පවතී.

ඔවුන් ස්වෙන් ලෙස හඳුන්වන බව ඔබ දන්නේ නම් ඔවුන්ට රන්වන් හිසකෙස් තිබේද, ඔවුන් අඩි 6 යි 4 (මීටර් 1.93) උසින් යුතු වන්නේ ද, ඔවුන් මළල ක්‍රීඩකයෙක්ද, ඔවුන් වයලීනය වාදනය කරන්නේ ද සහ භාෂා හතක් කතා කරන්නේ නම් ඔබ දන්නවා එවැන්නෙකු මං වගේ පෙනෙන පරිත්‍යාගශීලියෙකුට වඩා බොහෝ ආකර්ශනීය බව" ෂෙෆීල්ඩ් හි ශුක්‍රාණු බැංකුවක් පවත්වාගෙන ගිය ඡායාරූපයේ සිටින පුරුෂ සරුභාවය පිළිබඳ විශේෂඥ මහාචාර්ය ඇලන් පේසි පවසයි.

''අවසානයේදී මිනිස්සු පරිත්‍යාගශීලියා ගැන තීරණයකට එළඹෙනවා''

වයිකිංවරුන්ගේ ශුක්‍රාණු ලෝකය අල්ලා ගත්තේ කෙසේද

ඩෙන්මාර්කය සතුව ලොව විශාලතම ශුක්‍රාණු බැංකු කිහිපයක් පවතින අතර "වයිකිං ළදරුවන්" බිහි කිරීම සඳහා කීර්තියක් අත්පත් කරගෙන සිටියි.

ශුක්‍රාණු මිලිලීටර් 0.5ක කුඩා ප්‍රමාණයක් යුරෝ 100ක (පවුම් 88) සිට යුරෝ 1000කට (පවුම් 880) වඩා වැඩි මිලකට අලෙවි වන ක්‍රියෝස් ජාත්‍යන්තර ශුක්‍රාණු බැංකුවේ නිර්මාතෘ 71 හැවිරිදි ඔලේ ෂෝ පවසන්නේ ඩෙන්මාර්කයේ ශුක්‍රාණු පරිත්‍යාග කිරීම පිළිබඳ සංස්කෘතිය අනෙකුත් රටවලට වඩා බෙහෙවින් වෙනස් බවයි.

"මෙහේ ජනගහනය හරියට ලොකු පවුලක් වගෙයි," ඔහු පවසයි. "මේ වගේ ගැටලු සම්බන්ධයෙන් මෙහේ පවතින සාම්ප්‍රදායික බාධාවන් හරිම අඩුයි, ඒ වගේම අපි පරාර්ථකාමී මිනිස්සු. බොහෝ ශුක්‍රාණු පරිත්‍යාගශීලීන් රුධිරයත් පරිත්‍යාග කරනවා."

ෂෝ පවසන්නේ මෙම තත්ත්වයන් හමුවේ රටට "ශුක්‍රාණු අපනයනය කරන රටවල් කිහිපය අතරින් එකක්" වීමට අවස්ථාව හිමිවි ඇති බවයි.

නමුත් ඔහු තර්ක කරන්නේ ඩෙන්මාර්කයේ පිරිමින්ගේ ශුක්‍රාණු මෙතරම් ජනප්‍රිය වීමට ජානමය හේතූන්ද බලපාන බවයි. බීබීසී පුවත් සේවයට අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ඩෙන්මාර්ක ජාතිකයින්ට පවතින "නිල් ඇස් සහ රන්වන් හිසකෙස් සහිත ජාන" දරුවෙකු තුළින් දැකීමට නම් මව්පිය දෙපාර්ශවයෙන්ම හිමිවිය යුතු නිලීන ලක්ෂණ බවයි.

එහි ප්‍රතිඵලයක් ලෙස, කළු හිසකෙස් වැනි මවගේ විශේෂ ලක්ෂණ "උපදින දරුවාට මූලිකව හිමි විය හැකි" බව ෂෝ පැහැදිලි කරයි.

පරිත්‍යාග කෙරෙන ශුක්‍රාණු සඳහා ප්‍රධාන වශයෙන් ඉල්ලුම පවතින්නේ "අවුරුදු 30 ගණන්වල, ඉහළ අධ්‍යාපනයක් ලැබූ අවිවාහක කාන්තාවන්" ගෙන් බව ඔහු පවසයි. මේ වනවිට පවතින ඉල්ලුමෙන් 60% ක් ඔවුන් ගෙනි.

දේශසීමා හරහා ගමන් කිරීම

මෙම සතිය මුලදී ප්‍රකාශයට පත් කරන ලද ශුක්‍රාණු පරිත්‍යාගශීලීන්ගේ විමර්ශනයේ එක් අංගයක් වූයේ ඩෙන්මාර්කයේ ස්ථාපිත යුරෝපීය ශුක්‍රාණු බැංකුවේදී පිරිමියෙකුගේ ශුක්‍රාණු එකතු කර අනතුරුව ඒවා රටවල් 14 ක් පුරා සාඵල්‍යතා සායන 67 කට යොමු කරන ආකාරයයි.

එක් පුද්ගලයෙකුගේ ශුක්‍රාණු කොපමණ වාර ගණනක් භාවිතා කළ හැකිද යන්න පිළිබඳව විවිධ රටවලට ඔවුන්ටම ආවේණික වූ නීති පවතී. ඇතැම් විට එම සීමාවන් උපත ලබන මුළු දරුවන් සංඛ්‍යාවට සම්බන්ධ වන අතර, ඇතැම් රටවල එය මව්වරුන් සංඛ්‍යාවට සීමා කර ඇත. (සෑම පවුලකටම ඔවුන්ට අවශ්‍ය තරම් දරුවන් සිටිය හැක.)

මෙම සීමාවන් සඳහා මූලික වූ තර්කය වූයේ, තමන් එකිනෙකා සමග සම්බන්ධ බව නොදන්නා අර්ධ සහෝදර සහෝදරියන් එකිනෙකා හමුවීම, ප්‍රේම සබඳතා ගොඩනගා ගැනීම සහ ඔවුන් දරුවන් බිහි කිරීම වළක්වා ගැනීමයි.

නමුත්, සෑම රටක්ම ඊට අදාළ නීති අනුගමනය කරන තෙක් ඉතාලිය, ස්පාඤ්ඤය, නෙදර්ලන්තය සහ බෙල්ජියම යන රටවල් එකම පරිත්‍යාගශීලියෙකුගේ ශුක්‍රාණු භාවිතා කිරීම වැළැක්වීමට ක්‍රමයක් නොමැත.

මෙය ශුක්‍රාණු පරිත්‍යාගශීලියෙකුට නීත්‍යානුකූලව විශාල දරුවන් සංඛ්‍යාවකගේ පියෙකු වීමට අවස්ථා නිර්මාණය කරයි.

බොහෝ විට අදාළ දායකයා පවා ඒ පිළිබඳ නොදනී.

"එක පරිත්‍යාගශීලියෙකුගේ ශුක්‍රාණු විවිධ රටවල් ගණනාවකදී නීත්‍යානුකූලව භාවිතා කරන්න පුළුවන් කියලා ඒවා ලබන්නන් වගේම දායකයින් ද දන්නේ නැහැ. ඒක නිසා මේ දේ ගැන මීට වඩා පැහැදිලිව විස්තර කරන්න ඕනේ" යනුවෙන් සාරා නොර්ක්‍රොස් පවසන අතර, එක් පරිත්‍යාගශීලියෙකුට සිටිය හැකි දරුවන්ගේ සංඛ්‍යාව අඩු කිරීම "බුද්ධිමත්" වනු ඇතැයි ඇය තර්ක කරයි.

පිළිකා තත්වයක් පවතින බව අනාවරණ වූ දරුවන් 197 දෙනාගේ උපත සඳහා හේතු වූ ශුක්‍රාණු පරිත්‍යාගශීලියා පිළිබඳ සිදු කෙරෙන විමර්ශනයට ප්‍රතිචාර වශයෙන්, දේශසීමා හරහා භාවිතයට ගැනෙන ශුක්‍රාණු නිරීක්ෂණය කිරීම සඳහා යුරෝපය පුරා ක්‍රියාත්මක වන පරිදි ශුක්‍රාණු පරිත්‍යාගශීලීන්ගේ ලේඛනයක් ස්ථාපිත කරන ලෙස බෙල්ජියමේ නිලධාරීන් යුරෝපා කොමිසමෙන් ඉල්ලීමක් සිදු කර තිබේ.

නියෝජ්‍ය අගමැති ෆ්‍රෑන්ක් වැන්ඩන්බ්‍රෝක් ප්‍රකාශ කළේ කර්මාන්තය දැන් "වයිල්ඩ් වෙස්ට්" තත්වයට පත්ව ඇති බව සහ , "මිනිසුන්ට පවුලක් ගොඩනගා ගැනීමට අවස්ථාව ලබා දීමේ මූලික අරමුණ වෙනුවට දැන් එය සැබෑවටම සාඵල්‍යතා ව්‍යාපාරයක් වෙලා" යනුවෙන් ය.

මානව ප්‍රජනනය සහ කළල විද්‍යාව පිළිබඳ යුරෝපීය සංගමය ද යුරෝපා සංගමයට අයත් රටවල් පුරා එක් දායකයෙකුට පවුල් 50 ක උපරිම සීමාවක් වහාම පැනවීමට යෝජනා කර ඇත. එක් පවුලක් දරුවන් දෙදෙනෙකු හෝ වැඩි ගණනක් අපේක්ෂා කරන්නේ නම්, එක් දායකයෙකුගෙන් දරුවන් 100 කට වඩා බිහිකර ගැනීමට එම පද්ධතියෙන් තවමත් අවස්ථාව පවතී. අවසාන වශයෙන් එම සංගමය විශ්වාස කරන්නේ එම සීමාව පරිත්‍යාගශීලියෙකුට පවුල් 15 ක් විය යුතු බවයි.

ශුක්‍රාණු දායකත්වය හරහා පිළිසිඳගත් දරුවන්ට එමගින් එල්ල වන බලපෑම පිළිබඳ අවධානය ඉහළ ගොස් ඇත. ඇතැම් පිරිස් මේ පිළිබඳව සතුටු වන අතර අනෙක් පිරිස තමන් දායකයෙකුගේ ශුක්‍රාණු මගින් බිහිවූ දරුවන් බව සහ තමන්ට සිය ගණනක් අර්ධ-සොහොයුරු සොහොයුරියන් සිටින බව දැනගැනීමෙන් දැඩි ලෙස පීඩාවට පත්විය හැකිය.

බොහෝ විට තම ශුක්‍රාණු මෙතරම් පුළුල් ලෙස බෙදා හරින බව නොදන්නා පරිත්‍යාගශීලීන්ට ද එය එලෙසම විය හැක.

DNA පරීක්ෂණ සහ සමාජ මාධ්‍ය මගින් මිනිසුන්ට තම දරුවන්, සහෝදර සහෝදරියන් හෝ පරිත්‍යාගශීලියා සොයා ගත හැකි බැවින් මෙම අවදානම් වර්ධනය වී ඇති ඇත. එක්සත් රාජධානිය තුළ දරුවන් තම ජීව විද්‍යාත්මක පියාගේ අනන්‍යතාවය ඉගෙන ගන්නා නිල ක්‍රියාවලියක් පවතින බැවින් ශුක්‍රාණු පරිත්‍යාගශීලීන් සඳහා තවදුරටත් නිර්නාමිකභාවයක් නොමැත.

ශුක්‍රාණු පරිත්‍යාගය මත වැඩිවශයෙන් සීමා පැනවීම පවුල් "පෞද්ගලික, සම්පූර්ණයෙන්ම නියාමනය නොකළ, වෙළඳපොළට" යොමු කිරීමට හේතු වනු ඇතැයි ක්‍රියෝස් හි ෂෝ තර්ක කරයි.

ලැන්කැස්ටර් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ආචාර ධර්ම විද්‍යාඥයෙකු වන ආචාර්ය ජෝන් ඇපල්බි පැවසුවේ ශුක්‍රාණු මෙතරම් පුළුල් ලෙස භාවිතා කිරීමේ ප්‍රතිවිපාක "විශාල" සදාචාරාත්මක අර්බුදයක් බවයි.

අනන්‍යතාවය, පෞද්ගලිකත්වය, කැමැත්ත, ගෞරවය සහ තවත් කරුණු වටා ගැටලු පවතින අතර එය විවිධ අවශ්‍යතා අතර සමබරතාවයක් පවත්වා ගැනීම බවට පත් කරන බව ඔහු පවසයි.

ශුක්‍රාණු දායකයෙකු භාවිතා කරන වාර ගණන කොපමණ ද යන්න පාලනය කිරීමේ වගකීමක් සාඵල්‍යතා කර්මාන්තයට පවතින නමුත් ගෝලීය රෙගුලාසිවලට එකඟ වීම වඩාත් දුෂ්කර වනු ඇතැයි ආචාර්ය ඇපල්බි පැවසුවේය.

යෝජිත ගෝලීය ශුක්‍රාණු පරිත්‍යාගශීලීන්ගේ ලේඛනයක් ලැබී ඇත්තේ ඔවුන්ගේම "සදාචාරාත්මක සහ නීතිමය අභියෝග" සමඟ බව ඔහු වැඩිදුරටත් පැවසීය.