T20 කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ශූරියෝ: නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව විශිෂ්ට පිති හරඹයක නිරත වූ හංසිමා කරුණාරත්න

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2026 විස්සයි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව හිමි වූ ක්‍රීඩිකාවන් පහළොස්දෙනා අතරට හංසිමා කරුණාරත්න ද ඇතුළත් වේ.
මෙවර ලෝක කුසලාන තරගාවලියේදී නෙදර්ලන්ත කණ්ඩායම සමග පැවති පුහුණු තරගයේදී හංසිමා කරුණාරත්න පන්දු 42කදී නොදැවී ලකුණු 54ක් රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වූවාය.
එම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍ර වූ හංසිමා, හර්ශිතා සමරවික්‍රම සමග ශ්‍රී ලංකා ඉනිමේ සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 81ක නොබිඳුණු සබඳතාවක් ගොඩනැගීමට සමත් විය.
එක්දින පිටියේදී හංසිමා දැක්වූ දක්ෂතා
හියාරගේ ඉශානි හංසිමා කරුණාරත්න, 1993 වසරේ ඔක්තෝබර් 4 වන දා මෙලොව එළිය දුටුවේ රත්නපුර නිවිතිගලදී ය.
රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ ඇය ක්‍රිකට් ක්‍රීඩාවට ද දක්ෂතා දැක්වූවා ය.
දකුණත් පිතිකාරිණියක වන ඇය දකුණතින් මද වේග පන්දු යැවීමට ද දක්ෂතා දක්වයි.
2016 වසරේ පෙබරවාරි 19 වන දා ඉන්දීය කණ්ඩායමට එරෙහිව හංසිමා කරුණාරත්න ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගත්තා ය.
මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 23කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති ඇය එහිදී ලකුණු 309ක් රැස් කිරීමට සමත්ව ඇත. ඇය 2020 වසරේදී ඔස්ට්‍රේලියාවේ පැවැති ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා සංචිතයට ද ඇතුළත් වූවා ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
හංසිමාගේ ක්‍රීඩා දිවියේ දක්ෂතා
2022 වසරේ පෙබරවාරි 22 වන දා ඉන්දියාවට එරෙහිව විස්සයි 20 ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට හංසිමා සමත් විය. ඇය මේ දක්වා සහභාගි වූ විස්සයි 20 ජාත්‍යන්තර තරග 20කදී රැස් කරගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 180කි.
පසුගිය පෙබරවාරි මාසයේදී තායිලන්තයේ බැංකොක් නුවර පැවැති 2026 ආසියානු නැගී එන කණ්ඩායම් අතර කාන්තා ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කළ ක්‍රීඩිකාවන් අතරට හංසිමා ද ඇතුළත් වේ.
එම තරගාවලියේ තායිලන්තයට එරෙහිව පැවති තරගයේදී ඇය නොදැවී රැස්කළ ලකුණු 62 ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට සමත් විය.
හංසිමා ශ්‍රී ලංකා කාන්තා A ක්‍රිකට් කණ්ඩායම, කාන්තාන් නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය, ඒකාබද්ධ පළාත් කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කරමින් සිය දක්ෂතා පෙන්වා ඇත.
































