T20 කාන්තා ලෝක කුසලානය: ලෝක ශූර නවසීලන්තය පරදවමින් ශ්‍රී ලංකාවට ජය ගෙනා නිලක්ෂිකාගේ විශිෂ්ට පිතිහරඹය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2026 විස්සයි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අඟහරුවාදා (ජූනි 16) සමත් විය. ඒ, වත්මන් විස්සයි 20 ලෝක ශුරියන් වන නවසීලන්ත කණ්ඩායම කඩුලු 5කින් පරාජය කරමිනි.
ඒ සමග ම මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට බලාපොරොත්තු තබා ගැනීමට මෙම ජයග්‍රහණය ඉවහල් වී තිබේ.
මෙවර කාන්තා විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි කාණ්ඩයේ තරගයක් වූ මෙය එංගලන්තයේ සවුත්තැම්ප්ටන්හි රෝස් බෝල් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
මිතාලි - කවීෂාගේ දක්ෂ පන්දු යැවීම
තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ නවසිලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර නවසීලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ඉසබෙලා ගේස් දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ මද වේග පන්දු යවන ක්‍රීඩිකා මිතාලි අයෝධ්‍යා සමත් විය. ඒ වන විට නවසීලන්ත කණ්ඩායමේ ලකුණු පුවරුව සටහන් වුයේ ලකුණු 04ක් ලෙසය.
ඉන් පසුව පිටියට පිවිසුණු ජෝර්ජියා ප්ලිමර් සිය කණ්ඩායමේ නායිකාව වන ඇමීලියා කර් සමග එක්වෙමින් දෙවැනි කඩුල්ල ලෙස ලකුණු 49ක සබඳතාවයක් එක් කිරීමට සමත් විය.
නමුත් නවසීලන්ත ඉනිමේ 09 වන පන්දු ඕවරයේදී ජෝර්ජියා ප්ලිමර් ගේ කඩුල්ල ලකුණු 18ට දවා ගැනීමට නිමේෂා මීපගේ සමත් වුවාය.
ජෝර්ජියා ප්ලිමර්ගේ දැවී යාමෙන් පසු නවසිලන්ත නායක ඇමීලියා කර් සහ සොෆී ඩිවයින් නවසීලන්ත ඉනිමේ තෙවන කඩුල්ල සඳහා ලකුණු 43 ක සබඳතාවයක් එක් කරමින් කණ්ඩායමේ ලකුණු පුවරුව ශක්තිමත් කළාය.
නවසීලන්ත කණ්ඩායමේ පිතිකාරිණියන්ට අභියෝගයක් ගෙන එමින් කවීෂා දිල්හාරි, ඇමීලියා කර් ලකුණු 45කට සහ බෲක් හැලිඩේ ලකුණු 07 කට දවා ගැනීමට සමත් විය.
ලකුණු 45ක් රැස් කළ සොෆී ඩිවයින් ගේ කඩුල්ල දවා ගැනීමට සුගන්ධිකා කුමාරි සමත් වූ අතර නවසීලන්ත කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 06ක් පමණක් දැවී ලකුණු 150ක් රැස් කිරීමට සමත් විය.
පන්දු යැවීමේදී කවිෂා දිල්හාරි ලකුණු 35ට කඩුලු 2ක් දවා ගන්නා ලදී.

ඡායාරූප මූලාශ්‍රය, SLC
චමරි සහ විශ්මිගේ සාර්ථක ආරම්භය
ලකුණු 151ක ඉලක්කයකින් පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් නායිකා චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් විය.
ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව සටහන් වූයේ ලකුණු 45ක් ලෙසය.
ලකුණු 27ක් රැස් කරගෙන සිටියි චමරි අතපත්තු පළමු කඩුල්ල ලෙස දැවී යන විට ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව සටහන් වුයේ කඩුලු 01කට ලකුණු 45ක් ලෙසයි.
චමරිගේ දැවී යාමෙන් පසු ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 10ක් එක්වන විට තවත් කඩුලු 04ක් දැවී ගොස් තිබිණි. විශ්මි ගුණරත්න ලකුණු 17 කටත්, හසිනි පෙරේරා ලකුණු 02කටත් සහ හර්ශිතා සමරවික්‍රම ලකුණු 05කටත් දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නියන් සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, SLC
නිලක්ෂිකා සහ කවීෂාගේ ගොඩනැගූ ඉනිම
ලකුණු 55කට කඩුලු 04ක් දැවී ගොස් තිබූ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා එක් අවස්ථාවකදී රැස් කළ යුතුව තිබූ ලකුණු වේගය පන්දු ඕවරයකට ලකුණු 09ක් ලෙස සටහන්ව තිබිණි.
කෙසේ වුවත් ශ්‍රී ලංකා ඉනිමේ 05 වන කඩුල්ල වෙනුවෙන් පිටියේ ස්ථාවර වූ නිලක්ෂිකා සිල්වා සහ කවීෂා දිල්හාරි බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිම නැවත ගොඩනැගීමට සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ගිලිහුණු බලාපොරොත්තු නැවත රැගෙන ඒමට සමත් වුයේ ඔවුන් දෙදෙනා විසින් 05 වන කඩුල්ල වෙනුවෙන් එක් කළ ලකුණු 50ක සබඳතාවයයි.
කවීෂා දිල්හාරි ලකුණු 17කට දුවද්දී දැවී යාමට ලක්වීමෙන් අනතුරුව නිලක්ෂිකා සිල්වා සමග එක් වූ කෞෂානි නුත්‍යාංගනා, ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ තරගය අවසන් වීමට පන්දු 2ක් ඉතිරිව තිබියදීය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිකරණයක නියැලුණු නිලක්ෂිකා සිල්වා නොදැවී ලකුණු 54ක් රැස් කළාය. විස්සයි 20 තරගයක දී ඇය වාර්තා කළ දෙවැනි අර්ධ ශතකය එය වූ අතර ඇයගේ ඉනිමට හතරේ පහරවල් 05ක් සහ එක් හයේ පහරක් ද ඇතුළත් විය.
ඇයගේ එම විශිෂ්ට ඉනිම හේතුවෙන් දක්ෂතම ක්‍රීඩිකාව සම්මානය ද ඇයට හිමිවිය.
නුත්යාංගනාගේ දක්ෂතාවය
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යාමට ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩිකා කෞෂානි නුත්‍යාංගනා පන්දු රැකීමෙන් සහ පිත්තෙන් සුවිශේෂි දක්ෂතාවයක් දැක්විය. ඇය පන්දු 14කින් නොදැවී ලකුණු 24ක් රැස් කළේ හතරේ පහර 3ක් එල්ල කරමින්ය.
මිතාලි අයෝධ්‍යාගේ පන්දු යැවීම හමුවේ නවසීලන්ත කණ්ඩායමේ පිතිකාරිණි ඉසබෙලා ගේ කඩුල්ල දවා ගැනීමට කඩුලු රකින්නිය ලෙස කෞෂානි නුත්‍යාංගනා ලබා ගත් උඩ පන්දුව ශ්‍රී ලංකා කණ්ඩායමට නව ජීවයක් ගෙන දෙන ලදී. ඊට අමතරව ඇය තවත් උඩ පන්දු දෙකක් රැක ගැනීමට සමත් වූවාය.
නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලබාගත් මෙම ජයග්‍රහණය සමග දෙවැනි කාණ්ඩයේ ලකුණු සටහනේ 4 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණිමට ශ්‍රී ලංකා කණ්ඩාටම සමත් විය.
ශ්‍රී ලංකාව සහභාගි වන මීළඟ තරගය ලබන ඉරිදා (ජූනි 21) බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව බ්‍රිස්ටල්හිදී පැවැත්වීමට නියමිතය.

































