ඔබ පාපන්දු නැරඹීමට අලුත් ප්‍රේක්ෂකයෙකු නම් ලෝක කුසලානයට පෙර දැන ගත යුතු කරුණු

Christian Pulisic #10 of USA heads the ball against Joshua Kimmich #6 of Germany during the international friendly match between United States and Germany at Soldier Field on June 6, 2026 in Chicago, Illinois

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ජර්මනියට එරෙහි සුහද තරගයක් අතරතුර ඇමරිකානු පිරිමි කණ්ඩායමේ ක්‍රිස්ටියන් පුලිසික් ගුවනේ සිට පහරක් එල්ල කරන අයුරු
    • Author, ක්වාසි ජයම්ෆි අසීදු
    • Role, වොෂින්ටන් සිට
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 7

පාපන්දු ලෝක කුසලානය සමග බැඳී පවතින උද්‍යෝගය සහ උණුසුම මගහැර යාම තරමක් අපහසු ය.

පාපන්දු (උතුරු ඇමරිකාවේ 'සොකර්' ලෙසද හඳුන්වන) ක්‍රීඩාව යනු ලොව වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩාව වන අතර, ලෝක කුසලානය යනු එම ක්‍රීඩාවේදී පිරිනැමෙන ගෞරවාන්විත ම ත්‍යාගය යි.

වසර 100කට ආසන්න වූ කාලයකට දිවයන ලෝක කුසලාන ඉතිහාසය තුළ ප්‍රථමවරට මෙවර තරගාවලිය රටවල් තුනක ඒකාබද්ධ සත්කාරකත්වයෙන් පැවැත්වේ. එම රටවල් වන්නේ මෙක්සිකෝව, කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය යි.

ලොවක් බලා සිටින මෙම තරගාවලියේ සමාරම්භක තරගය ජුනි 11 වන දා (අද) මෙක්සිකෝ නගරයේදී පැවැත්වෙන අතර, අවසන් මහා තරගය ජූලි 19 වන දා ඇමරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ව පවතියි.

ඔබ මෙම සුන්දර ක්‍රීඩාව වටා අලුතින් එකතු වන ප්‍රේක්ෂකයෙකු නම් මෙහි දක්වා ඇත්තේ ඔබ දැනුවත් වී සිටිය යුතු කරුණු කිහිපයකි.

පාපන්දු ලෝක කුසලානය සෑම වසර හතරකටම වරක් පැවැත්වේ. 2026 තරගාවලියට රටවල් 48ක් තරග වදින අතර, එය ඉතිහාසයේ පැවැත්වෙන විශාලතම ලෝක කුසලාන තරගාවලියයි. ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව මෙම කණ්ඩායම් සියල්ල, කණ්ඩායම් හතර බැගින් සමන්විත කාණ්ඩ 12කට බෙදා ඇත.

සෑම කාණ්ඩයක ම පෙරමුණ ගන්නා හොඳම කණ්ඩායම් දෙක ඊළඟ වටයට සුදුසුකම් ලබයි. එය 'රවුන්ඩ් ඔෆ් 32' හෙවත් කණ්ඩායම් 32 වටය ලෙස හැඳින්වේ.

තරගයක් ජයග්‍රහණය කරන කණ්ඩායමකට ප්‍රසාද ලකුණු 3ක් හිමිවේ. තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවහොත් කණ්ඩායම් දෙකට ම එක ලකුණ බැගින් පිරිනැමෙයි. තරගයෙන් පරාජය වීමකදී, ඔබ අනුමාන කළ අයුරින් ම ඔවුන්ට කිසිදු ලකුණක් හිමි නොවේ.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

කණ්ඩායම් වටයේදී තෙවැනි ස්ථානයට පත්වන කණ්ඩායම් අතරින් සමස්ත දක්ෂතා අතින් ඉහළින් ම සිටින කණ්ඩායම් එකතු කර ගනිමින් 32 දෙනාගේ වටයේ ඉතිරි කණ්ඩායම් තෝරනු ලබයි. මෙම මූලික අදියරේදී සමස්ත කණ්ඩායම් අතරින් කණ්ඩායම් දහසයක් තරගාවලියෙන් ඉවතට විසිවේ.

පාපන්දු තරගයක් පැවැත්වෙන සාමාන්‍ය කාලය මිනිත්තු 90කි. එය මිනිත්තු 45 බැගින් අර්ධ දෙකක් ලෙස පැවැත්වේ. පළමු අර්ධය අවසානයේ ක්‍රීඩකයන්ට විනාඩි 15ක විවේක කාලයක් හිමිවේ.

තරගයේ කාලය සටහන් වන ඔරලෝසුව නොනවත්වා ම ක්‍රියාත්මක වන අතර, තරගය අතරතුර සිදුවන ප්‍රමාදයන් සඳහා එය නතර කරනු නොලැබේ. කෙසේ වෙතත් ක්‍රීඩකයන්ගේ ආබාධ සඳහා ප්‍රතිකාර කිරීමට ගතවන කාලය, අනෙකුත් ප්‍රමාදයන් මෙන් ම, ගිම්හානයේදී පවතින උණුසුම් කාලගුණයට මුහුණ දීම සඳහා සහනයක් ලෙස ලෝක පාපන්දු සම්මේලනය විසින් අනිවාර්ය කර ඇති ආකාරයට ක්‍රීඩකයන්ට ජලය පානය කිරීමට ගතවන කාලය පියවීම සඳහා එක් එක් අර්ධය අවසානයේදී අතිරේක මිනිත්තු කිහිපයක් ලබා දෙයි.

කණ්ඩායම් වටයේ තරගවලදී ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා දඬුවම් පහර පිරිනැමීමක් සිදු නොවේ.

නමුත් කණ්ඩායම් වටයෙන් පසුව පැවැත්වෙන තරගයක් සම තත්ත්වයෙන් අවසන් වුවහොත් තවත් විනාඩි 30ක අතිරේක කාලයක් ක්‍රීඩා කරනු ලැබේ. එහිදී ද ජයග්‍රාහකයෙකු තීරණය කරගත නොහැකි වුවහොත් පමණක් ජයග්‍රාහකයා තේරීම සඳහා දඬුවම් පහර අවස්ථා පිරිනමයි.

සම සත්කාරකත්වය දරන රටවල් තුනෙදි තරග පැවැත්වෙන නගර මොනවා ද?

  • මෙක්සිකෝව : ග්වාඩලහාරා, මොන්ටෙරේ සහ මෙක්සිකෝ නගරය
  • කැනඩාව : ටොරොන්ටෝ සහ වැන්කුවර්
  • එක්සත් ජනපදය: ඇට්ලන්ටා, බොස්ටන්, ඩැලස්, හූස්ටන්, කැන්සස් සිටි, ලොස් ඇන්ජලීස්, මයෑමි, නිව්යෝර්ක්/නිව් ජර්සි, ෆිලඩෙල්ෆියා, සැන් ෆ්‍රැන්සිස්කෝ බේ ඒරියා සහ සියැටල්

ජනප්‍රිය ම කණ්ඩායම් කවුද?

අවස්ථා දෙකකදී ලෝක කුසලානය තමන් සතු කර ගත් ප්‍රංශය සහ 2010 වසරේ ශූරයන් වූ ස්පාඤ්ඤය මෙවර කුසලානය ගනු ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාස කරති,.

යුරෝපයේ ප්‍රමුඛතම තරගාවලිවලදී තමන් නියෝජනය කරන ක්‍රීඩා සමාජ ඉහළට ම ඔසවා තැබීමට සමත් වූ කිලියන් එම්බප්පේ සහ උස්මාන් ඩෙම්බෙලේ වැනි සුපිරි තරු රැසකගෙන් ප්‍රංශ සංචිතය සමන්විත වේ.

ස්පාඤ්ඤය සිය බලාපොරොත්තු තබා ඇත්තේ 18 හැවිරිදි ලැමීන් යමාල් වැනි තරුණ ක්‍රීඩකයන් කෙරෙහිය. ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ වසර දෙකක් ඇතුළත තමන්ගේ දෙවන ප්‍රධාන ජාත්‍යන්තර කුසලානය ජයග්‍රහණය කිරීමයි.

අඛණ්ඩව පැවැත්වුණු යුරෝපීය ශූරතා අවසන් මහා තරග දෙකකදී ම අවාසනාවන්ත පරාජයන් අත්කර ගනිමින් පසුබෑමකට ලක්ව සිටින එංගලන්තයට ද මෙවර කුසලානය දිනාගැනීමට කදිම අවස්ථාවක් උදාවී ඇත.

මීට අමතරව, ලෝක කුසලාන ඉතිහාසයේ සාර්ථක ම කණ්ඩායම වන බ්‍රසීලය ද සුපුරුදු පරිදි මෙවරත් පෙරමුණේ පසුවේ.

බ්‍රසීලය මෙවර සූදානමින් සිටින්නේ ඔවුන්ගේ 6 වන ලෝක කුසලාන ජයග්‍රහණය කිරීමට යි. බ්‍රසීලය අවසන් වරට ලෝක කුසලානයක් ජයග්‍රහණය කළේ 2002 වසරේදී ය.

අවධානය යොමු කළ යුතු ක්‍රීඩකයන් කවුද?

මෙවර තරගාවලියේදී වැඩි ම අවධානයක් දිනාගනු ඇතැයි අපේක්ෂා කරන ක්‍රීඩකයන් දෙදෙනා වන්නේ එම්බප්පේ සහ යමාල් ය. ප්‍රංශය වෙනුවෙන් සිය තෙවන ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන එම්බප්පේ, මීට පෙර සිය කණ්ඩායම (ලෙ බ්ලූ) අඛණ්ඩව ලෝක කුසලාන තරගාවලි දෙකක අවසන් මහා තරග දෙකක් වෙත රැගෙන ආවේ ය.

එහිදී ඔහු 2018 වසරේ තරගය ජයග්‍රහණය කළ අතර 2022 තරගය පරාජය විය.

ස්පාඤ්ඤයේ යමාල්, නව පරපුරේ දක්ෂතා පෙන්නුම් කරන ක්‍රීඩකයෙකු වන අතර ඔහු අනාගතයේදී මෙම ක්‍රීඩාවේ බිහිවන විශිෂ්ටතම තරුවක් වනු ඇත.

පසුගිය දශක දෙක තුළ මෙම ක්‍රීඩාවේ ආධිපත්‍යය දැරූ ආර්ජන්ටිනාවේ ලයනල් මෙසී සහ පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කෙරෙහි ද ඇස් යොමුවීම නොවැළැක්විය හැකි ය.

මෙසී ජුනි මාසයේදී 39 වන වියට පා තබන අතර, රොනාල්ඩෝ මේ වන විටත් 41 වන වියේ පසුවෙයි. එබැවින් මෙය ඔවුන් ක්‍රීඩාවෙන් සමුගැනීමට පෙර සහභාගී වන ප්‍රධාන තරගාවලියක් විය හැකි ය.

අවධානය යොමු කළ යුතු අනෙක් අය වන්නේ බ්‍රසීල ක්‍රීඩක නේමාර් සහ විනීසියස් ජූනියර්, එංගලන්තයේ ජූඩ් බෙලිංහැම්, ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රිස්ටියන් පුලිසික්, කැනඩාවේ ඇල්ෆොන්සෝ ඩේවිස්, දකුණු කොරියාවේ සොන් හියුන්ග්-මින්, ඝානාවේ අන්ටුවාන් සෙමෙන්යෝ සහ ඔහුගේ මැන්චෙස්ටර් සිටි කණ්ඩායමේ සගයා වන, පසුගිය ඉන්ග්ලිෂ් ප්‍රිමියර් ලීග් තරග වාර හතරෙන් තුනකදී වැඩිම ගෝල ලබා ගත් නෝර්වේහි එර්ලිං හාලන්ඩ් ය.

France's Kylian Mbappé dribbles the ball past Northern Ireland's Ethan Galbraith in a friendly match

ඡායාරූප මූලාශ්‍රය, REUTERS/Sarah Meyssonnier

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රංශ ක්‍රීඩක කිලියන් එම්බප්පේ සුහද පාපන්දු තරගයකදී උතුරු අයර්ලන්ත ක්‍රීඩක ඊතන් ගැල්බ්‍රේත් පසුකරමින් පන්දුව ලබා ගන්නා අයුරු

ලෝක කුසලානයට තරගවදින නවක රටවල් මොනවා ද?

මෙවර ලෝක කුසලාන තරගාවලියේ සහභාගීත්වය කණ්ඩායම් 48ක් දක්වා පුළුල් කිරීම නිසා වැඩි රටවල් සංඛ්‍යාවකට මේ සඳහා සහභාගී වීමට අවස්ථාව හිමිව තිබේ. එමෙන් ම, මින් පෙර කිසිදෙනෙක මේ දැවැන්ත පාපන්දු පිටියට පිවිසීමට වරම් නොලැබූ රටවල් කිහිපයක්ම මෙවර තරග බිමට පිවිසෙනු දැකීමට අපට අවස්ථාව උදා වී ඇත.

ප්‍රථම වරට ලෝක කුසලාන තරගාවලියකට සුදුසුකම් ලබා සිය මංගල තරගය සඳහා ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවන 156,000ක ජනගහනයක් සහිත කුරසාඕ රාජ්‍යය, ලෝක කුසලාන ඉතිහාසයේ තරගාවලියකට සුදුසුකම් ලැබූ කුඩා ම රට ලෙස වාර්තා පොත් අතරට එක්වන්නේ 2018 වසරේදී අයිස්ලන්තය තබා තිබූ වාර්තාවද බිඳ හෙළමිනි.

කේප් වර්ඩ්, මෙවර ලෝක කුසලානයට අලුතින්ම එක්වන තවත් කුඩා දූපත් රාජ්‍යයකි. ලක්ෂ 5කට ආසන්න ජනගහනයක් සිටින කේප් වර්ඩ් ලෝක කුසලානයක් සඳහා සුදුසුකම් ලැබූ තෙවන කුඩාම රට ලෙස ඉතිහාසයට එක්වේ.

ජෝර්දානය ද මෑත කාලීනව පාපන්දු ක්‍රීඩාවෙන් ලැබූ විශාල දියුණුවේ ප්‍රතිඵලයක් ලෙස සිය මංගල ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගීවීමට සුදුසුකම් ලබා සිටියි. කණ්ඩායම මෙම ගෝලීය මට්ටමට ඔසවා තැබීම අගය කරමින්, ඔවුන්ගේ මොරොක්කෝ ජාතික ප්‍රධාන පුහුණුකරු ජමාල් සෙලමි වෙත ජෝර්දානයේ දෙවන අබ්දුල්ලා රජු විසින් එරට පුරවැසිභාවය පවා පිරිනැමුවේ ය.

මෙවර ලෝක කුසලානයට අලුතින්ම එක්වන අනෙක් රට වන්නේ උස්බෙකිස්තානයයි. ඔවුන් මෙවර තරගාවලිය සඳහා එක්වන්නේ ලෝක කුසලාන 4කට ක්‍රීඩකයෙකු ලෙස සහභාගී වී, 2006 වසරේදී ඉතාලි කණ්ඩායම, නායකයා ලෙස ලෝක කුසලානය ජයග්‍රහණය සඳහා මෙහෙයවූ සුපිරි ක්‍රීඩක ෆාබියෝ කන්නවාරෝගේ පුහුණුකාරීත්වය යටතේ ය.

Cabo Verde fans supporting their team during the international friendly match between Cabo Verde and Serbia at Estadio do Restelo on May 31, 2026 in Lisbon, Portugal. Images)

ඡායාරූප මූලාශ්‍රය, Torbjorn Tande/DeFodi Images/DeFodi via Getty Images

වඩාත් ම රසවත් පසුබිම් කතා ඇති තරග මොනවා ද?

පාපන්දු යනු හුදෙක් ක්‍රීඩාවක්ම පමණක් නොවේ. ඇතැම් තීරණාත්මක තරග වටා දේශපාලනය සහ ඉතිහාසය ද තිබේ.

ජුනි 16 වනදා ප්‍රංශය සහ සෙනගල් එකිනෙකාට එරෙහිව තරග බිමට පිවිසෙන්නේ දෙරට අතර සබඳතාවල මුල් බැසගත් යටත්විජිත ඉතිහාසයේ පසුබිම ද සහිතව ය.

මීට පෙර 2002 ලෝක කුසලාන තරගාවලියේදී එවකට ලෝක ශූරයන්ව සිටි ප්‍රංශය පරාජය කරමින් සෙනගල් රාජ්‍යය ජයක් වාර්තා කිරීමට සමත් විය.

යටත්විජිත සබඳතා ඇති තවත් රටවල් දෙකක් වන ඝානාව සහ එංගලන්තය අතර තරගය ජුනි 23 වනදා ෆිලාඩෙල්ෆියාහිදී පැවැත්වීමට නියමිත ය.

ඉරානය සහ ඊජිප්තුව අතර සියැටල්හි පැවැත්වීමට නියමිත තරගය, එම නගරයේ සමරිසි ප්‍රජාව සැමරීම වෙනුවෙන් ප්‍රාදේශීයව "Pride" තරගය ලෙස නම් කර තිබේ. මේ හේතුවෙන් දෙරටේ ම පාපන්දු සම්මේලන මේ පිළිබඳව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය වෙත සිය විරෝධය නිල වශයෙන් පළ කර ඇත.

කෙසේවෙතත් දෙරටම සමරිසි සබඳතා අපරාධ ලෙස සලකන බැවින්, මෙම කණ්ඩායම් දෙක මෙම අවස්ථාවට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳව ලෝකය පුරා දැඩි අවධානයක් යොමුවනු ඇත.

එමෙන්ම ඉරානය මෙවර තරගාවලියට පිවිසෙන්නේ සත්කාරක රටක් වන එක්සත් ජනපදය සමග යුද්ධයක් පවතින පසුබිමක ය.

කණ්ඩායම් වටයේදී ඉරානය ක්‍රීඩා කරන සියලු ම තරග එක්සත් ජනපදයේදී පැවැත්වීමට නියමිත වුව ද, ඔවුන් සිය මූලික කඳවුර ලෙස තෝරාගෙන ඇත්තේ මෙක්සිකෝව යි. ඔවුන් තරග සඳහා පමණක් මෙක්සිකෝවේ සිට ඇමරිකාව බලා පැමිණෙනු ඇත.

මේ අතර හයිටි රාජ්‍යය 1974 වසරෙන් පසු පළමුවරට ලෝක කුසලානයට පිවිසෙන අතර, ඔවුන් තරග වැදීමට නියමිතව ඇත්තේ වසර 28කට පසු නැවතත් ලෝක කුසලාන තරගාවලියකට වරම් හිමිකර ගත් ස්කොට්ලන්ත කණ්ඩායම සමග ය.