FIFA ලෝක කුසලාන ක්‍රීඩකයින් 'අවදානමක': විද්‍යාඥයින්ගෙන් අනතුරු ඇඟවීමක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, කැතී ගෝනල්
- Role, බීබීසී ක්‍රීඩා වාර්තාකරු
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 6
2026 පිරිමි පාපන්දු ලෝක කුසලානයට සහභාගි වන ක්‍රීඩකයින් අධික උණුසුමෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ජාත්‍යන්තර පාපන්දු සංගම් සම්මේලනය (FIFA) විසින් දැනට ගනු ලැබ ඇත පියවර "ප්‍රමාණවත් නොවන" බවත්, ඉන් ක්‍රීඩකයින්ට බරපතළ හානි සිදුවීමේ අවදානමක් ඇති බවත් ලොව ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයින් පිරිසක් එම සම්මේලනය වෙත අනතුරු අඟවා තිබේ.
සෞඛ්‍ය, දේශගුණ සහ ක්‍රීඩා ක්‍රියාකාරීත්වය පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥයින් පිරිසක් විවෘත ලිපියක් මගින් පෙන්වා දෙන්නේ, ජාත්‍යන්තර පාපන්දු සංගම් සම්මේලනයේ මාර්ගෝපදේශ වත්මන් විද්‍යාත්මක දත්ත සමග නොගැළපෙන බවත්, ඒවා "සාධාරණීකරණය කිරීමට නොහැකි" බවත් ය. දිගු සිසිලනීකරණ විරාම ඇතුළුව ශක්තිමත් ආරක්ෂණ පියවර හඳුන්වා දෙන ලෙසත්, අධික උණුසුම ඇති අවස්ථාවල තරග ප්‍රමාද කිරීමට හෝ කල් දැමීමට පැහැදිලි ක්‍රමවේද සකසන ලෙසත් ඔවුහු ජාත්‍යන්තර පාපන්දු සංගම් සම්මේලනයෙන් ඉල්ලා සිටිති.
එළඹෙන ගිම්හාන ඍතුවේ එක්සත් ජනපදය, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල පැවැත්වීමට නියමිත තරගාවලියේදී උෂ්ණත්වය ගැටලුවක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, තරග පැවත්වෙන ක්‍රීඩාංගණ 16 අතරින් 14ක ම උෂ්ණත්වය අනතුරුදායක මට්ටම් ඉක්මවිය හැකි බවට පර්යේෂකයෝ අනතුරු අඟවති.
එක්සත් ජනපදයේ දකුණු ප්‍රදේශවල සහ මෙක්සිකෝවේ උතුරු ප්‍රදේශවල සාමාන්‍ය දිනයක දිවා කාලයේ උපරිම උෂ්ණත්වය 30C සිට 35C අතර අගයක පැවතිය හැකි අතර උෂ්ණත්වය අධික කාලවලදී එය 40C දක්වා ඉහළ යා හැකි ය.
උෂ්ණත්වය, ආර්ද්‍රතාව, සුළඟේ වේගය සහ සූර්යාලෝකයේ තීව්‍රතාව එක්වූ කල, ලෝක කුසලානය සඳහා මෙම නගරවලදී තරග වදින ක්‍රීඩකයින් අධික උෂ්ණත්වයෙන් පීඩාවට පත්විය හැක.
ජාත්‍යන්තර පාපන්දු සංගම් සම්මේලනය "ක්‍රීඩකයන්, විනිසුරුවරුන්, නරඹන්නන්, ස්වේච්ඡා සේවකයන් සහ කාර්ය මණ්ඩලයේ සෞඛ්‍යය සහ ආරක්ෂාව සහතික කිරීමට කැපවී සිටින" බවත්, තරගාවලි සැලසුම් කිරීමේදී දේශගුණය සම්බන්ධ අවදානම් පිළිබඳව ඇගයීම සිදු කරන බවත් ය.

දැනට ගෙන ඇති පියවර මොනවා ද?
"ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා වන පියවර" යටතේ කාලගුණ තත්ත්වය කුමක් වුව ද, සෑම තරගයක ම සියලු අර්ධ කාලයන් තුළ මිනිත්තු තුනක අනිවාර්ය සිසිලනීකරණ විරාම හඳුන්වා දීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පියවර ඇත.
සියලු ම එළිමහන් තරගවලදී තාක්ෂණික කාර්ය මණ්ඩලය සහ ආදේශක ක්‍රීඩකයින් සඳහා බාහිර පරිසරයට අනුව උෂ්ණත්වය පාලනය කළ හැකි බැංකු තබා ඇත.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය, ක්‍රීඩා සඳහා උෂ්ණත්වය මනින මූලික සම්මතයක් වන Wet Bulb Globe Temperature (WBGT) ද භාවිත කරයි. එය ශරීරියට උෂ්ණත්වය බලාපාන ආකාරය තක්සේරු කරන අතර උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව එකට සලකා බලයි. WBGT මට්ටම 28C පමණ යන්නෙන් අදහස් වන්නේ, ක්‍රීඩකයින්ට පවා දරා ගැනීමට අපහසු උෂ්ණත්ව සීමවකට පැමිණ ඇති බව යි.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ හදිසි සත්කාර මාර්ගෝපදේශවලට අනුව, WBGT කියවීම 32C ආසන්නයේ, එම මට්ටමේ හෝ ඊට ඉහළින් පවතින්නේ නම්, තරග සංවිධායකයන් "උෂ්ණත්වය සම්බන්ධ රෝග වැළැක්වීමට ගත යුතු පියවර කුමක් ද? යන්න සම්බන්ධයෙන් තීරණය කළ යුතු ය."
"උෂ්ණත්වය ඉහළ යන බවට පළවන අනාවැකි අනුව", නරඹන්නන් ආරක්ෂා කිරීම සඳහා ද ගත යුතු පියවර සැලසුම් කර ඇති බව ද ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පවසයි. තව ද මුද්‍රා තබන ලද පානීය ජල බෝතල් (විවෘත නොකළ) ක්‍රීඩාංගණ තුළට ගෙන ඒමට නරඹන්නන්ට අවසර ලැබෙන අතර, ප්‍රේක්ෂකාගාර සිසිල් කිරීමට මෙන් ම සෙවණ ඇති ස්ථාන ස්ථාපනය, වාතයේ තෙතමනය වැඩි කිරීමට ජලය ඉසින පද්ධති, වායු සමනය කරන ලද බස් රථ සහ ජල බෙදාහැරීම පුළුල් කිරීමේ ක්‍රම සූදානම් කෙරෙනු ඇත.
විද්‍යාඥයන් ඉල්ලා සිටින්නේ කුමක් ද?
මෙම ලිපියට අත්සන් තැබූ විශේෂඥයන් 20 දෙනා අතරට එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයින් පිරිසක් ඇතුළත් වෙති.
ඔවුහු ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ප්‍රවේශය කඩිනමින් සංශෝධනය කරන ලෙස ඉල්ලා සිටිති. එම ඉල්ලීම් අතර;
- WBGT මට්ටම 28C ඉක්මවා යන්නේ නම් තරග ප්‍රමාද කිරීම හෝ කල් දැමීම
- අවම වශයෙන් මිනිත්තු 6ක් දක්වා සිසිලන විවේක කාලය දීර්ඝ කිරීම
- ක්‍රීඩකයන් සඳහා වැඩි දියුණු කරන ලද සිසිලනීකරණ පහසුකම්
- නවතම විද්‍යාත්මක දත්ත අනුව මාර්ගෝපදේශ නිරන්තරයෙන් යාවත්කාලීන කිරීම
තව ද ගෝලීය පාපන්දු ක්‍රීඩකයින්ගේ සංගමය වන Fifpro යෝජනා කර ඇති සම්මතයන් අනුගමනය කරන ලෙස ද ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් ඉල්ලා සිටිති.
'ක්‍රීඩකයින්ගේ සෞඛ්‍යය ගැන සැලකිලිල්ලක් නොදැක්වීම'
මෙම ලිපියට අදාළ සම්බන්ධීකරණ කටයුතු කළ New Weather Instituteහි අධ්‍යක්ෂ ඇන්ඩෲ සිම්ස් BBC Sport වෙත පැවසුවේ: "ක්‍රීඩක ආරක්ෂාව කියන්නේ, බරපතළ සහ කඩිනමින් පියවර ගත යුතු දෙයක්. මොක ද මිනිස්සු අධික රස්නයට නිරාවරණය වුණා ම සියල්ල කණපිට පෙරළෙන්න පුළුවන්.
"අපිට හරි ම කනගාටුයි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ක්‍රීඩකයින්ගේ සෞඛ්‍යය සහ ආරකෂාව ගැන කිසි ම වගකීමක් නැතුව කටයුතු කරන එක ගැන."
මෙම ලිපියේ තවත් අත්සන්කරුවෙකු වූ කනෙක්ටිකට් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩග්ලස් කාසා පැවසුවේ, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ මාර්ගෝපදේශවල බහුතරයක් සාර්ථක ඒවා නොවන බව ය: "සෑම අර්ධයක ම ජලය පානය කිරීම සඳහා ලබා දෙන විරාමය මිනිත්තු තුනට වඩා දිගු විය යුතු යි — අවම වශයෙන් මිනිත්තු පහක්වත්, වඩාත් හොඳයි මිනිත්තු හයක්වත් දෙනවා නම්."
"අපි බලාපොරොත්තු වෙනවා මේ විවෘත ලිපිය ලෝක කුසලානයට පෙර ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ අධික උණුසුම් කාලගුණය පිළිබඳ මාර්ගෝපදේශ යාවත්කාලීන කිරීමට බලපෑම් කරාවි කියලා."


2026 ලෝක කුසලාන තරගාවලිය ගැන කණස්සල්ලක් මතු වී ඇත්තේ ඇයි?
2026 ලෝක කුසලාන තරගාවලියට අයහපත් කාලගුණයෙන් බාධා එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරේ. තරගාවලිය පැවැත්වෙන එක්සත් ජනපදය, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවලට ගිම්හාන සමයේ සාමාන්‍යයන් දැකිය හැකි අධික උණුසුම, ගිගුරුම් සහිත වැසි සහ ලැව් ගිනි හේතුවෙන් ගුණාත්මක බව අඩු වූ වාතය යන සියල්ල අත්විඳීමට සිදුවනු ඇත.
World Weather Attribution (WWA) විසින් කරන ලද නවතම විශ්ලේෂණයකින් හෙළි වන්නේ, 1994 ලෝක කුසලානය සමග සැසඳීමේදී, මෙවර තරගාවලියේදී ක්‍රීඩකයන්ට සහ නරඹන්නන්ට උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව හේතුවෙන් ඇති අවදානම සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතින බව ය.
විද්‍යාඥයන් හඳුනාගෙන ඇති පරිදි, තරගවලින් හතරෙන් එකක් පමණ WBGT 26C මට්ටම ඉක්මවූ උෂ්ණත්වයක් යටතේ පැවැත්වීමට සිදුවනු ඇති අතර, තරග පහක් පමණ WBGT 28C මට්ටම ඉක්මවිය හැකි ය (එය වියළි උෂ්ණත්වයේදී 38C ලෙස හෝ ඉහළ ආර්ද්‍රතාවයේදී 30C සමාන වේ). එය Fifpro සංගමයට අනුව ක්‍රීඩා කිරීම සඳහා ආරක්ෂාකාරී නොවන මට්ටමකි.
දේශගුණික විපර්යාස හේතුවෙන් 1994 සිට වඩාත් අයහපත් තත්ත්වයන් ඇතිවීමේ අවදානම දෙගුණයකට ආසන්න වී ඇති බව WWA පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පවසා ඇත්තේ කුමක් ද?
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මෙම ලිපිය හෝ විද්‍යාඥයන්ගේ ප්‍රකාශ පිළිබඳ ඍජු අදහස් ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කළ නමුත්, තරගාවලියේදී "උෂ්ණත්වය අවම කිරීමේ ආකෘතියක්" භාවිත කරන බවත්, තත්‍ය කාලීන තත්ත්වයන්ට අනුවර්තනය කරන ලද පියවර ගන්නා බවත් පැවසීය.
තරගාවලිය පැවැත්වෙන සියලු ම සත්කාරක නගරවල කාලගුණ විශේෂඥයින් කාලගුණික තත්ත්වයන් සමීපව නිරීක්ෂණය කරනු ඇති බව ප්‍රකාශකයෙක් පැවසීය. ඔවුන් උෂ්ණත්ව මට්ටම් නිරීක්ෂණය කර එම තොරතුරු භාවිත කර තරග සහ ක්‍රීඩක ආරක්ෂාව පිළිබඳ තීරණ ගැනීමට උපකාර කරනු ඇත.
එමෙන් ම කාලසටහන් කාලගුණික තත්ත්වයන් සැලකිල්ලට ගෙන සකස් කර ඇති බවත්, ආරම්භක වේලාවන් සංශෝධනය කර ඇති බවත්, අධික උණුසුමක් ඇති විය හැකි අවස්ථාවලදී තරග සීමා කෙරෙනු ඇති බවත්, උණුසුම් අවස්ථාවලදී පැවැත්වෙන තරග සඳහා ආවරණය කරන ලද ක්‍රීඩාංගණ වැඩි වශයෙන් භාවිතයට ගනු ඇති බවත් ඔහු පැවසීය. එක් එක් ස්ථානවල කාලගුණය මත පදනම්ව, ගමනාගමන කාලය අඩු කර කණ්ඩායම්වලට වැඩි විවේක දින ලබා දීමට ද අවශ්‍ය බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පැවසීය.
කාලගුණික තත්ත්වයන් නිරන්තරයෙන් නිරීක්ෂණය කර, අවශ්‍ය වූ විට විකල්ප පියවර ක්‍රියාත්මක කරන බවත්, "ආරක්ෂිත සහ නම්‍යශීලී" තරගාවලියක් සහතික කිරීමට සත්කාරක රටවල බලධාරීන් සහ වෛද්‍ය විශේෂඥයන් සමග කටයුතු කරමින් සිටින බවත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සඳහන් කළේ ය.


































