ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මෙල්බර්න් විහාරස්ථානයකදී 'දැරියන් 6 දෙනෙකු අපයෝජනය කළ' නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවම්
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පිහිටි සිය විහාරස්ථානයේදී බාල වයස්කාර ගැහැනු දරුවන් 06 දෙනෙකු ලිංගිකව අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමියන්ට වසර 13ක් සහ මාස 2ක සිරදඬුවමක් නියම කර තිබේ.
ABC පුවත් සේවය වාර්තා කර ඇත්තේ, තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා විසින් මෙම හිමි නමගේ ක්‍රියාවන් විශ්වාසය "පාවාදීමක්" ලෙස හඳුන්වනු ලැබූ බව ය.
අවවාදය යි: මෙම ලිපියේ ලිංගික අපයෝජන සම්බන්ධ තොරතුරු අඩංගු වේ.
අධිකරණය දඬුවම නියම කිරීමෙන් සුළු වේලාවකට පසු, තමන්ට අපරාධ කළ පුද්ගලයා අධිකරණයේදී ආධාරකරුවන්ට සිනහවෙන් අත වනා ආචාර කරන අයුරු, එම භික්ෂුවගේ වින්දිතයන් ඒ දෙස පිළිකුලෙන් බලා සිටි බව ABC අධිකරණ වාර්තාකරු ක්‍රිස්ටියන් සිල්වා නමැත්තෙක් සිය වාර්තාවේ සඳහන් කර තිබේ.
මෙල්බර්න් නගරයේ පිහිටි ධම්ම සරණ විහාරස්ථානයේ ප්‍රධාන භික්ෂුව වූ 71 හැවිරිදි නාඔටුන්නේ විජිත හිමි, ශ්‍රී ලාංකික බෞද්ධ ප්‍රජාව අතර ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයෙකු බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.
විජිත හිමියන් "අඳුරු සහ පීඩාකාරී පැතිකඩක්" පැවති පුද්ගලයෙකු ලෙස විනිසුරු පර්දීප් තිවානා එම හිමියන් හඳුන්වා ඇත.
"ඔබ ඔබේ විකෘති ලිංගික ආශාවන් තෘප්තිමත් කර ගැනීම සඳහා බාල වයස්කාර, අහිංසක දැරියන් ගොදුරු කර ගත්තා," යැයි ඔහු සඳහන් කළ බව ABC වාර්තාවේ දැක්වේ.
දඬුවම් කාලය අවසන් වීමට පෙර සිරකරුවෙකුට නිදහස් වීමට ලැබෙන අවසරය සඳහා සුදුසුකම් ලැබීමට පෙර එහිමියන්ට අවම වශයෙන් වසර නවයයි මාස හතරක සිරදඬුවමක් විඳිය යුතු ය.
සිරදඬුවම නියම වීමෙන් පසු ලබා දුන් කෙටි විවේකයකදී විජිත හිමියන් ආධාරකරුවන් දෙස බලා සිනාසුණු අතර, ඔවුන්ගෙන් ඇතැමෙකු අධිකරණයේ විත්තිකරු රැඳී සිටින ස්ථානය අසලට පැමිණ ඔහු දෙස හැරී නමස්කාර කළ බව ABC අධිකරණ වාර්තාකරු පවසයි.
කෝපයට පත් වින්දිතයන් ඊට තම අප්‍රසාදය පළ කළ විට, අධිකරණ ආරක්ෂක නිලධාරීන් භික්ෂුව අනෙක් පුද්ගලයන් සමග කතාබහ කිරීම වැළැක්වූ බව එම වාර්තාවේ තවදුරටත් දැක්වේ.
"මේක විහිළුවක්," එක් වින්දිතයෙකු ශබ්ද නගා පවසා තිබේ.
විජිත හිමියන් අධිකරණය වෙත පැමිණ සිටියේ, සිවුර වෙනුවට අළු පැහැති බන්ධනාගාර ඇඳුමකින් සැරසීමෙනි. පසුගිය වසරේ පැවති නඩු විභාගයකදී දරුවෙකු සමග ලිංගිකව හැසිරීමේ චෝදනා නවයකට සහ දරුවෙකු සම්බන්ධයෙන් අශෝභන ක්‍රියාවක් සිදු කිරීමේ චෝදනා අටකට වරදකරු බවට තීරණය විය.
1994 සිට 2002 දක්වා කාලය තුළ ස්ප්‍රිංවේල් සහ කීස්බරෝ ප්‍රදේශවල පිහිටි එම විහාරස්ථානයට පැමිණි බාල වයස්කාර දැරියෝ වින්දිතයින් අතර වෙති.
අධිකරණයේදී හෙළිවූ පරිදි, විජිත හිමි නැවත නැවතත් වින්දිතයන් තම ආවාස ගෙය වෙත කැඳවාගෙන ගොස් ඔවුන් ලිංගිකව අපයෝජනය කර ඇති අතර, ඒ බොහෝ අවස්ථාවල ඒ පිළිබඳව නොදැන සිටි ඔවුන්ගේ දෙමාපියන් අසල කාමරවල රැඳී සිට තිබිණි.
කාන්තාවන් පොලිසිය වෙත පැමිණ පැමිණිලි කිරීමෙන් පසු 2023 වසරේදී එම භික්ෂුවට එරෙහිව චෝදනා ගොනු කෙරිණි.
එම භික්ෂුව සිදු කළ අපරාධ දශක ගණනාවක් පුරා වින්දිතයින්ව පීඩාවට පත් කරමින්, ඔවුන්ව ලැජ්ජාවෙන් හා බියෙන් බර කර තැබූ බව විනිසුරු තිවානා සඳහන් කර ඇත.
"දිවි ගලවා ගන්න, කිසි දෙයක් නොදැනෙන විදිහට ඉන්න මම මගේ මනස පුහුණු කර ගත්තා," එක් වින්දිතයෙක් පැවසීය.
වින්දිත බලපෑම් ප්රකාශයකදී එම කාන්තාව සඳහන් කර ඇත්තේ, කහ පැහැති සිවුරු දැකීම හෝ භික්ෂූන්ගේ පිරිත් සජ්ඣායනා හඬ ඇසීම පවා තමන්ට දැඩි මානසික පීඩාවක් ඇති කරන බව ය.
නඩු විභාගයේදී සාක්ෂි දුන් සෑම වින්දිතයෙකු ම "සත්‍යවාදී, බුද්ධිමත් සහ තම අදහස් මැනවින් ප්‍රකාශ කළ හැකි අය" බව විනිසුරු තිවානා සඳහන් කර තිබේ.
නඩු විභාගයේදී විජිත හිමි තමන් වරදකරු නොවන බව ප්‍රකාශ කර ඇති අතර, මෙවැනි සිද්ධීන් සිදු නොවූ බවටත් පැමිණිලිකරුවන්ගෙන් ඇතැමෙකු එම හිමියන්ගේ මතකයේ නොමැති බවටත් උන්වහන්සේගේ නීතිඥවරුන් තර්ක කර ඇත.
පුජ්‍ය නාඔටුන්නේ විජිත හිමි යනු කවුද?
1994 වර්ෂයේ මුල් භාගයේදී, ඔස්ට්‍රේලියාවේ පිහිටි බෞද්ධ සංගමයේ ආරාධනයකට අනුව පුජ්‍ය නාඔටුන්නේ විජිත හිමි ස්වීඩනයේ සිට ඔස්ට්‍රේලියාව බලා වැඩම කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ, වික්ටෝරියා ප්‍රාන්තයේ ස්ප්රීන්වේල් හි පිහිටි විහාරස්ථානයට නාඔටුන්නේ විජිත නායක හිමියන් වැඩම කිරීමට පෙර එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ලෙස කටයුතු කර ඇත්තේ අපවත්වී වදාළ පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් ය.
නාඔටුන්නේ විජිත නාහිමියන් ඔස්ට්‍රේලියාවට වැඩම කිරීමට පෙර ස්වීඩ්න්, ස්ටෝක්හෝම්හි පිහිටි බෞද්ධ විහාරස්ථානයේ වසර 07ක කාලයක් විහාරාධිපති හිමියන් ලෙස වැඩ සිට ඇත.
බුද්ධ චරිතය සහ බුද්ධ ධර්මය ගැන ඇතිවූ උනන්දුව මත වයස අවුරුදු 15දී තමන් පැවිදි දිවියට එළඹුණු බව වරක් මාධ්‍ය සමග පැවති සම්මුඛ සාකච්ජාවකදී උන්වහන්සේ ප්‍රකාශ කළහ.
පැවිදි දිවියට එළඹීමෙන් අනතුරුව තමන් වැඩිදුර අධ්‍යාපන කටයුතුවල නිරත වූ බවත්, විශ්වවිද්‍යාලයේ සිටි සමකාලීන මිතුරෙකු පසුව ස්වීඩනය බලා ගොස් සිටි නිසා ඔහුගේ ආරාධනයකට අනුව තමන්වහන්සේ එහි වැඩම කොට ස්ටොක්හෝම් බෞද්ධ විහාරස්ථානයේ වසර 07ක් ධර්මදූත සේවාවේ යෙදුණු බවත් උන්වහන්සේ එම සම්මුඛ සාකච්ජාවේදී වැඩිදුරටත් පැවසූහ.
පූජ්‍ය නාඔටුන්නේ විජිත නායක හිමියන්ට සිංහල, ඉංග්‍රීසි සහ ස්වීඩන් භාෂා චතුර ලෙස හැසිරවීමට හැකි ය.
බෞද්ධ ශාසනයට කරන ලද මෙහෙවර ඇගයීම උදෙසා ශ්‍රී ලංකාවේ රාමඤ්ඤ මහා නිකාය විසින් 2003 වසරේදී නාඔටුන්න විජිත හිමියන්ට ගෞරව නාමයක් පිරිනමා තිබිණි.
එමෙන් ම, 2011 වසරේදී රාමඤ්ඤ නිකායේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක පදවියට පූජ්‍ය නාඔටුන්න විජිත නායක හිමියන් පත් කරනු ලැබුවේ, අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර නායක හිමිපාණන් විසිනි.