ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නේපාලයේ හදිසි ගංවතුරෙන් පසු දින 9ක් උමගක සිරවී සිටි පුද්ගලයන් දෙදෙනෙකු නිරුපද්‍රිතව බේරා ගනියි
නේපාලයේ ත්‍රිශූලි 3A ජලවිදුලි ව්‍යාපෘතියේ උමං මාර්ගයක දින 9ක් තිස්සේ සිරවී සිටි පුද්ගලයන් දෙදෙනෙකු බේරාගෙන තිබේ.
පුද්ගලයන් 1,200කට වැඩි පිරිසක් මිය ගිය හදිසි ගංවතුර ඇති වී දින 9ක් තිස්සේ ඔවුන් එම උමං මාර්ගය තුළ සිරවී සිට තිබිණි.
තවත් පිරිසක් උමං මාර්ග තුළ සිරවී සිටින බවට විශ්වාස කෙරෙන අතර, ඔවුන් බේරා ගැනීම සඳහා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ.
මෙහෙයුම් සිදුකෙරෙන ස්ථානයේ සිටින නේපාල විදුලි අධිකාරියේ (NEA) ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන සුරේෂ් රාවුත් බීබීසී වෙත පැවසුවේ, බේරා ගත් පළමු පුද්ගලයා වන සංජය ෂා නමැත්තාට මේ වන විට ඔක්සිජන් ලබා දෙමින් සිටින බව ය.
තවමත් අතුරුදන්ව සිටින 5,000කට අධික පිරිස අතරින් සිය ගණනක්, ත්‍රිශුලි ගංගාව ආශ්රිත ජලවිදුලි ව්‍යාපෘතිවල විශාල උමං ජාලයන්හි සේවය කළ කම්කරුවන් බව සඳහන් වේ.
මහා පරිමාණ බේරාගැනීමේ මෙහෙයුමේ කොටසක් ලෙස ඉංජිනේරුවන් එම උමං මාර්ග තුළට අඛණ්ඩව වාතය පොම්ප කරමින් සිටිති.
බේරාගත් පුද්ගලයන් පිළිබඳ වැඩිදුර තොරතුරු
බලධාරීන් විසින් ත්‍රිශූලි 3A ජලවිදුලි ව්‍යාපෘතියට අයත් උමං මාර්ගයෙන් බේරා ගත් පළමු පුද්ගලයා ලෙස සංජය ෂා හඳුනාගෙන ඇත.
නේපාල විදුලි අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු බීබීසී වෙත පැවසුවේ, ඔහු එම ආයතනයේ යාන්ත්‍රික අධීක්ෂකවරයෙකු ලෙස සේවය කර ඇති බව ය.
"මට ඉතාමත් සතුටු යි. මම මේ පුවත බලාපොරොත්තුවෙන් සිටියා. මේකෙන් අනිත් අයත් ජීවතුන් අතර සිටියදී ම බේරාගත හැකි වනු ඇති බවට බලාපොරොත්තුවක් ඇති වී තිබෙනවා," ෂාගේ හිතවතෙකු වන සුරේෂ් චෞධ්රි බීබීසී වෙත ප්‍රකාශ කළේ ය.
බලධාරීන් බීබීසී වෙත පවසා ඇත්තේ, පළමුව බේරා ගනු ලැබූ සංජය ෂා මේ වන විට කතාබහ කිරීමට නොහැකි තත්ත්වයක පසු වන බව ය.
සංජය ෂා කත්මණ්ඩු අගනුවරට වයඹ දෙසින් පිහිටි බට්ටාර් (Battar) නගරය වෙත හෙලිකොප්ටරයක් මගින් රැගෙන ගොස් තිබේ.
බලධාරීන් පවසන්නේ, දෙවනුව බේරා ගත් කබීර් මහර්ජන් බේරාගත් අවස්ථාවේදී "සිනහවකින් ප්‍රතිචාර දැක්වූ අතර ස්තුතිය ද පළ කළ" බව ය.
'අපි හැමෝම සතුටින්... සතුට වැඩිකමට ඇඬුණා,' බේරාගත් කම්කරුවාගේ බිරිඳ කියයි
දෙවනුව බේරාගත් කම්කරුවා වන කබීර් මහර්ජන්ගේ බිරිඳ හිරාෂෝවා මහර්ජන්, තම ස්වාමිපුරුෂයා ජීවතුන් අතර සිටියදී බේරා ගැනීම පිළිබඳව ඇති වූ සතුට සම්බන්ධයෙන් BBC නේපාල සේවයට අදහස් පළ කළා ය.
"මම ෆේස්බුක් හරහා ඔහුගේ ඡායාරූප දැක්කා. මට ගොඩක් සතුටු හිතුණා. ඔහුව කත්මණ්ඩුවේ පිහිටි හමුදා රෝහල වෙත රැගෙන එනවා. මමත් දැන් රෝහලට යමින් ඉන්නවා," ඇය පැවසුවා ය.
"දින 10ක් තිස්සේ අපිට හරියට කන්නවත් බොන්නවත් බැරි වුණා. අපි ගොඩක් බය වෙලා හිටියේ. දැන් අපි හැමෝම සතුටින්. සතුට වැඩිකමට ඇඬුණා."
අනෙකුත් ජලවිදුලි ව්‍යාපෘතිවලත් පිරිසක් සිරවී ඇතැයි සැකයක්
වෙනත් ජලවිදුලි ව්‍යාපෘති කිහිපයක උමං මාර්ගවල තවත් බේරාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර, එම ස්ථානවල 150කට වැඩි පිරිසක් සිරවී සිටිනු ඇතැයි බිය පළ කෙරේ.
අද දිනයේ මෙතෙක් බේරාගෙන ඇත්තේ, ත්‍රිශූලි 3A ජලවිදුලි ව්‍යාපෘතියේ උමං මාර්ගයෙන් සොයාගත් මෙම පුද්ගලයන් දෙදෙනා පමණි.