කෛලාෂ කූඨය සහ මානසවිල: බෞද්ධ ඇතුළු ආගම් 4ක ජනතාවකගේ සියවස් ගණනක පූජනීය ගමනාන්තය

    • Author, මරියම් සුල්තානා
    • Role, බීබීසී බංග්ලා
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 8

මානසරෝවර් යනු, මුහුදු මට්ටමේ සිට මීටර් 4,500කට වැඩි උසක පිහිටි නිල් පැහැති විලකි. කෛලාෂ කූඨය ඊට යාබදව අහස සිඹිමින් නැගී සිටියි. වසරේ වැඩි කාලයක් හිම සහ අයිස්වලින් වැසී පවතින මෙය ලෝකයේ වඩාත් ම දූරස්ථ සහ හුදෙකලා ස්ථානවලින් එකකි.

කෛලාෂ කූඨයේ මානසවිල වෙත ළඟා වීම පහසු කාර්යයක් නොවේ. ප්‍රවේශ වීමට අපහසු උස් කඳුකර මාර්ග, දැඩි ශීතල, අයහපත් කාලගුණික තත්ත්වයන් සහ ඔක්සිජන් හිඟය ඇතුළු හේතු රැසක් ඒ සඳහා බාධා වෙයි.

එසේ වුව ද, සියවස් ගණනාවක් පුරා ලොව නන් දෙසින් ජනතාව මෙම ප්‍රදේශය වෙත ඇදී ආහ. ඔවුන්ගෙන් ඇතැමෙකු කෛලාෂ කූඨය වටා ප්‍රදක්ෂිණා කරමින් ගමන් කරන අතර තවත් පිරිසක් මාන්සරෝවර් හෙවත් මානසවිල අසලට ගොස් වන්දනාමාන කරති.

මෙම ප්‍රදේශයේ ස්වභාවික සුන්දරත්වය නැරඹීමට ද ඇතැමුන් පැමිණිය ද, බහුතරයක් එහි පැමිණෙන්නේ ආගමික අරමුණු මුල් කරගෙන ය. මෙය හින්දු, බෞද්ධ, ජෛන සහ ටිබෙටයේ පැරණි බොන් යන ආගම් අනුගමනය කරන්නන්ට අතිශය පූජනීය ස්ථානයකි.

කෛලාෂ කූඨය පිළිබඳ මෙම ආගම් හතරේ විශ්වාස එකිනෙකට සමාන නොවුණ ද, ඇතැම් ආගම්වලට අනුව එය දේව භවනක් වන අතර, තවත් ආගම්වලට අනුව එය ආධ්‍යාත්මික සුවය සොයා යාමේ පූජනීය භූමියකි.

කෛලාෂ වෙත පැමිණෙන වන්දනාකරුවෝ කන්දේ ශිඛරයට නැගීමට උත්සහ නොකරති. ඒ වෙනුවට ඔවුහු කන්ද වටා වන්දනා කරමින් ගමන් කරති. ටිබෙට් සම්ප්‍රදායේ මෙම චාරිත්‍රය 'කෝරා' (Kora) ලෙස හැඳින්වේ.

කෙසේ වෙතත්, කෛලාෂ කූඨය ප්‍රදක්ෂිණා කරන ආකාරය ඔවුන්ගේ ආගමික සම්ප්‍රදායන් අනුව වෙනස් වේ.

මේ අතර, බොහෝ බැතිමත්හු මානසරෝවර් විලේ ජලය පූජනීය ලෙස සලකති. බෙංගාලි භාෂාවෙන් 'මානස් සරෝවර්' ලෙස හැඳින්වෙන මෙම විල, ඉංග්‍රීසි සහ දේශීය භාෂාවලින් සාමාන්‍යයෙන් 'මාන් සරෝවර්' (Man Sarovar) ලෙස හඳුන්වයි.

පසුගිය දා, මෙය වන්දනා කිරීමට පැමිණි විදේශිකයන් ඇතුළු බොහෝ දෙනෙක් ක්ෂණික ගංවතුරකට හසු වී අතුරුදන් වීමත් සමග කෛලාෂ-මාන්සරෝවර් යළිත් ලෝකයේ අවධානයට ලක්විය.

එහෙත් කෛලාෂ කූඨය සහ මාන්සරෝවර් පිහිටා ඇත්තේ හරියට ම කොතැන ද? එක් ස්ථානයක් ආගම් රැසකට මෙතරම් පූජනීය වී ඇත්තේ ඇයි? නවීන තාක්ෂණය සහ ප්‍රවාහන පහසුකම් මෙතරම් දියුණු වී තිබියදීත්, එහි ළඟා වීම තවමත් මෙතරම් දුෂ්කර ඇයි?

කෛලාෂ කූඨය සහ මාන්සරෝවර් විල පිහිටා ඇත්තේ කොහේ ද?

කෛලාෂ කූඨය සහ මාන්සරෝවර් විල යන දෙක ම පිහිටා ඇත්තේ චීනයට අයත් ස්වයං පාලන ප්‍රදේශයක් වන ටිබෙටයේ ය.

කෙසේ වෙතත්, මෙම ප්‍රදේශය නේපාලයේ සහ ඉන්දියාවේ දේශසීමාවලට ද ඉතා ආසන්නව පිහිටා ඇත.

කෛලාෂ කූඨය මුහුදු මට්ටමේ සිට මීටර් 6,638ක්, එනම් අඩි 21,778ක් පමණ උසින් පිහිටා ඇත. එනම්, ලොව උස ම කන්ද වන එවරස්ට් කන්දට වඩා කෛලාෂ කූඨය උසින් අඩු වන්නේ මීටර් 2,000කට වඩා මදක් වැඩි ප්‍රමාණයකිනි.

කෛලාෂ කූඨයට දකුණින්, ඒ ආසන්නයේ ම මානසවිල පිහිටා ඇත. මුහුදු මට්ටමේ සිට මීටර් 4,600ක් පමණ උසක පිහිටි මෙය මිරිදිය විලක් වන අතර, එය ආසියාවේ ඉහළ ම උන්නතාංශයක පිහිටි මිරිදිය විල් අතරින් එකකි.

චීන රජයේ දත්තවලට අනුව, මානසරෝවර් විලේ වර්ගඵලය වර්ග කිලෝමීටර් 412ක් පමණ වන අතර එහි ගැඹුර මීටර් 46ක් පමණ වේ. විලෙහි ජල ධාරිතාව ඝන මීටර් බිලියන 20ක් පමණ වේ.

ශීත ඍතුවේදී මානසරෝවර් විලේ ජලය මිදී අයිස් බවට පත්වේ.

එම විල අසල රාක්ෂස්තාල් හෙවත් ලානාග්-ට්සෝ ලෙස හැඳින්වෙන තවත් විලක් පිහිටා ඇත. මානස විලේ ජලය මිරිදිය වන අතර, රාක්ෂස්තාල් විලේ ජලය ලුණු සහිත ය.

යුනෙස්කෝ දත්තවලට අනුව, මාන්සරෝවර්, රාක්ෂස්තාල් විල් සහ කෛලාෂ යන ස්ථාන එක ම විශාල 'පූජනීය කඳු සහ විල්' කලාපයේ කොටස් ලෙස සැලකේ.

භූගෝලීය වශයෙන් ගත් කල, මෙම කලාපයට විශේෂ වැදගත්කමක් හිමි වේ. යුනෙස්කෝ සංවිධානයට අනුව, ආසියාවේ ප්‍රධාන ගංගා හතරක් වන ඉන්දු, සත්ලුජ්, බ්‍රහ්මපුත්‍ර සහ කර්නාලි යන ගංගාවල මූලාශ්‍ර පිහිටා ඇත්තේ මෙම කලාපයේ ය.

කෙසේ වෙතත්, මෙම දූරස්ථ කඳු සහ විල් ප්‍රසිද්ධ වී ඇත්තේ ඒවායේ භූගෝලීය පිහිටීම නිසා පමණක් නොවේ. කෛලාෂ සහ මානසරෝවර් කේන්ද්‍ර කර ගත් වන්දනා සම්ප්‍රදායක් වසර සිය ගණනක් පුරා පැවත එයි.

හින්දු, බෞද්ධ, ජෛන සහ බොන් ආගම් අනුගමනය කරන්නන්ට මෙම කලාපය සුවිශේෂී ආගමික වැදගත්කමක් දරයි.

එය ආගම් හතරකට පූජනීය වන්නේ ඇයි?

යුනෙස්කෝව පවසන්නේ, මෙම කලාපයේ ආගමික වන්දනා ඉතිහාසය වසර තුන්දහසකට ආසන්න කාලයක් ඈතට දිව යන බව ය.

හින්දු ආගමට අනුව, කෛලාෂ යනු ශිව දෙවියන්ගේ සහ පාර්වතී දේවියගේ වාස භවන ලෙස විශ්වාස කෙරේ. හින්දු පුරාණෝක්ති සහ ආගමික සාහිත්‍යය තුළ ද කෛලාෂ පිළිබඳ සඳහන් වේ.

චිතගොං විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ සහකාර මහාචාර්ය කුෂාල් බරන් චක්‍රබෝර්ති බීබීසී බෙංගාලි සේවයට පැවසුවේ, "ශිව දෙවියන් වෛදික යුගයේ සිට ම වන්දනාමානයට ලක්වී තිබෙනවා. ඍග්වේද සංහිතාවේ දස වන මණ්ඩලයේ, කෛලාෂ කන්දේ රන්වන් මුදුනේ ශිව දෙවියන් වැඩ සිටින බව සඳහන් වෙනවා. හින්දු ආගමේ ප්‍රධාන සම්ප්‍රදායන් පහ ම මේ විශ්වාසය දරනවා. ඒ අතරින් ශෛව සහ ශාක්ත සම්ප්‍රදායන් කෛලාෂ තම අවසාන ගමනාන්තය ලෙස සලකනවා."

ඍග්වේදයේ ස්තෝත්‍ර (දෙවිවරුන්, දේවතාවියන් හෝ අද්භූත බලයන් වර්ණනා කරමින් ශ්ලෝක හෝ පද්‍ය) සාමාන්‍යයෙන් ක්‍රිස්තු පූර්ව 1500ත් 1200ත් අතර කාලයේදී රචනා කර ඇති බව සැලකේ. එනම්, මීට වසර 3,200ත් 3,500ත් අතර කාලයකට පෙර ය.

ඔහු කෛලාෂ සහ ශිව දෙවියන් අතර ඇති සම්බන්ධය පැහැදිලි කිරීම සඳහා සංස්කෘත ශ්ලෝක දෙකක් ද සඳහන් කරයි.

"කෛලාශශිඛරාවාසං හිමවද් ගිරිසංස්ථිතම්"

"නීලකණ්ඨං ත්‍ර්‍යක්ෂං ච තන්මේ මනඃ ශිවසංකල්පමස්තු"

"කෛලාශශිඛරේ රම්‍යේ ශංකරස්‍ය ශිවාලයේ,"

"දේවතාස්තත්‍ර මෝදන්ති තන්මේ මනඃ ශිවසංකල්පමස්තු."

එහි අර්ථය මෙසේ ය:

"කෛලාෂ කූඨයේ රන්වන් ශිඛරය මෙන් දීප්තිමත් වූ, නිල් පැහැති ගෙළක් සහ ත්‍රිනේත්‍රයක් ඇති, හිමෙන් වැසුණු කඳුවල වැඩ සිටින ශිව දෙවියන් කෙරෙහි මගේ සිත නිරතුරුව බැඳී පවතිත්වා."

"සුන්දර කෛලාෂ කූඨයේ පිහිටි ශිව දෙවියන්ගේ පූජනීය වාසස්ථානය, දෙවිවරුන් සැමවිට ම සතුටින් වැඩ සිටින එම ස්ථානය කෙරෙහි මගේ සිත නිරතුරුව බැඳී පවතිත්වා."

කුෂාල් බරන් චක්‍රබෝර්ති පැවසුවේ, "මෙම මන්ත්‍රයේ මැද 'කෛලාෂ' යන වචනය සඳහන් වෙනවා. ඍග්වේද සමයේ සිට ම මෙම ස්ථානය මෙතරම් පූජනීයව සලකා තිබුණා නම්, ඒ සම්ප්‍රදාය යුග ගණනාවක් පුරා අඛණ්ඩව පැවත එන බව පැහැදිලි යි."

අනෙක් අතට, මානසරෝවර් හින්දු බැතිමතුන්ට පූජනීය විලක් ලෙස ද සැලකේ. ඔවුහු එම විල් ඉවුරේ සිට වන්දනාමාන කරන අතර, එහි ජලය ද පූජනීය යැයි සලකා රැගෙන යති.

සාම්ප්‍රදායිකව, මෙම විලේ දිය නෑම ද සිදු කෙරේ. මානසරෝවර් විලේ දිය නෑමෙන් පව්වලින් මිදී ආධ්‍යාත්මික පවිත්‍රත්වය ළඟා කරගත හැකි බව විශ්වාස කෙරේ. කෙසේ වෙතත්, පරිසර දූෂණය වැළැක්වීම සඳහා චීන බලධාරීන් විලට බැස දිය නෑම සීමා කර තිබේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කරනු ලැබ ඇති කෛලාෂ-මානසරෝවර් වන්දනා ගමන පිළිබඳ නිල මාර්ගෝපදේශයේ ද, මානසරෝවර් විල හා බැඳුණු මෙම ආගමික චාරිත්‍ර සහ එහි පාරිශුද්ධත්වය පිළිබඳ විශ්වාසය සඳහන් වේ.

යුනෙස්කෝ වාර්තාවලට අනුව, කෛලාෂ කූඨය අවට ප්‍රධාන ගොම්පා හෙවත් බෞද්ධ ආරාම හතරක් පිහිටා ඇත. මාන්සරෝවර් විල අවට එවැනි ආරාම අටක් තිබේ.

කෛලාෂ කූඨය බෞද්ධයන්ට ද ඉතා පූජනීය ස්ථානයකි. ටිබෙට් භාෂාවෙන් මෙම කන්ද 'කැං රින්පොචේ' ලෙස හැඳින්වෙන අතර, එහි අර්ථය 'හිමෙන් සැදුණු වටිනා මැණික' යන්නයි.

හිමාලයානු කලාපයේ කලා හා ආගමික උරුමය පිළිබඳ කටයුතු කරන ඇමෙරිකා එක්සත් ජනපදයේ රූබින් හිමාලයානු කෞතුකාගාරයට අනුව, ඇතැම් බෞද්ධයන් විශ්වාස කරන්නේ කෛලාෂ යනු පුරාවෘත්තවල සඳහන් මහා මේරු කන්ද හෙවත් විශ්වයේ කේන්ද්‍රය බව ය.

චීනය විසින් යුනෙස්කෝ ලෝක උරුම මධ්‍යස්ථානයට ඉදිරිපත් කර ඇති ලේඛනවලට අනුව, ප්‍රකට බෞද්ධ භික්ෂූන් වහන්සේලා ද විවිධ කාලවලදී මානසරෝවර් විල් ඉවුරේ භාවනා කරමින් ආගමික වතාවත්වල නිරත වී තිබේ.

බෞද්ධයන්ට කෛලාෂ කන්දේ ඇති වැදගත්කම පැහැදිලි කරමින් කුෂාල් බරන් චක්‍රබෝර්ති මෙසේ ද පැවසීය: "භූතානය, චීනය, ටිබෙටය, ඉන්දියාවේ සිකිම් සහ ඩාර්ජිලිං, කාශ්මීරයේ ලඩාක් සහ මොංගෝලියාවේ මහායාන බෞද්ධයන් විවිධ දෙවිවරුන් සහ දේවතාවියන් වන්දනාමාන කරනවා. පාල රාජවංශ සමයේ බෙංගාලයේත් මහායාන බෞද්ධයන් සිටියා. ඒ නිසා බෙංගාලයේ කෞතුකාගාරවල බෞද්ධ දෙවිවරුන්ගේ සහ දේවතාවියන්ගේ පිළිම විශාල සංඛ්‍යාවක් දැකගත හැකි යි. උදාහරණ ලෙස මාරීචි, හිරම්බ සහ වජ්‍රසත්ත්ව සඳහන් කළ හැකියි. මහායාන බෞද්ධයන්ට භෛරව ඉතා වැදගත්. භෛරව යනු ශිව දෙවියන්ගේ එක් ස්වරූපයක්."

බොන් ධර්මයේ කෛලාෂ කන්දට ඇති වැදගත්කම ඊටත් වඩා පැරණි ටිබෙට් ආගමික සම්ප්‍රදායක් සමග සම්බන්ධ වේ. බොන් ධර්මය අනුගමනය කරන්නන්ට කෛලාෂ යනු, ඔවුන්ගේ ආධ්‍යාත්මික කේන්ද්‍රය මෙන් ම පූජනීයම වන්දනා ස්ථානවලින් එකකි.

කෛලාෂ-මානසරෝවර් කලාපය සම්බන්ධයෙන් බොන් ධර්මය සහ ටිබෙට් බුදුදහම අතර දිගුකාලීන මතභේදයක් පැවතී තිබේ. 11 වන සියවසේදී මාන්සරෝවර් ඉවුරේදී ආගමික ආධිපත්‍යය තහවුරු කර ගැනීම සඳහා දෙපාර්ශවයේ අනුගාමිකයන් අතර ප්‍රධාන තරගයක් පැවති බව පැවසේ. එහිදී ටිබෙට් බෞද්ධයන් ජයගත් බව සඳහන් වේ.

හින්දු සහ බෞද්ධ වන්දනාකරුවන් සාමාන්‍යයෙන් කෛලාෂ කූඨය වටා දක්ෂිණාවර්තව ගමන් කරති. හින්දු ආගමේදී මෙම කන්ද වටා ගමන් කිරීම 'පරික්‍රමා' ලෙස හැඳින්වේ. ටිබෙට් බෞද්ධ සම්ප්‍රදායේදී එය 'කෝරා' ලෙස හැඳින්වේ. ඇතැම් ටිබෙට් වන්දනාකරුවෝ සම්පූර්ණ මාර්ගය ම පුරා වැඳ වැටෙමින් ගමන් කරති.

අනෙක් අතට, ඉන්දියාවේ උත්තරාකන්ද් ප්‍රාන්තයේ පිථෝරාගර් දිස්ත්‍රික් පරිපාලනයේ නිල වෙබ් අඩවියට අනුව, බොන් සහ ජෛන ආගමිකයන් කෛලාෂ කූඨය වටා ගමන් කරන්නේ වාමාවර්තව ය.

ප්‍රදක්ෂිණා කරමින් යන මාර්ගය සම්පූර්ණ දුර කිලෝමීටර් 52ක් පමණ වේ. මෙම මාර්ගය එක් දිනකින් පාගමනින් සම්පූර්ණ කිරීම පහසු නැත. සාමාන්‍යයෙන් වන්දනාකරුවෝ මෙම ගමන දින තුනකින් සම්පූර්ණ කරති. මෙම ගමනේදී අධික සීතල, කාලගුණයේ හදිසි වෙනස්වීම්, නායයාම් සහ ගමන් කළ නොහැකි මාර්ග ඇතුළු විවිධ දුෂ්කරතාවලට වන්දනාකරුවෝ මුහුණ දෙති.

ජෛන ආගම තුළ ද කෛලාෂ පූජනීය ස්ථානයක් ලෙස සැලකේ. ජෛනයන් විශ්වාස කරන්නේ ඔවුන්ගේ පළමු තීර්ථංකර වන ඍෂභදේව් මෙහිදී නිර්වාණය ලබාගත් බවයි. යුනෙස්කෝ ලේඛනවල ද මේ පිළිබඳ සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් කුෂාල් බරන් චක්‍රබෝර්ති පැවසුවේ, "ජෛනයන්ගේ පළමු තීර්ථංකර වන ඍෂභදේව්, සනාතන ධර්මයේ (භාගවත පුරාණයට අනුව) විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් ලෙස ද සැලකෙනවා. ඔහුගේ ශක්තිය පද්මාවතී දේවියයි. පද්මාවතී යනු මනසා දේවියයි. බෙංගාලයේ සෑම නිවසක ම පාහේ ඇය වන්දනාමානයට ලක් කෙරෙනවා."

ඒ අනුව, ඉන්දියාවෙන් බිහි වූ මෙම ආගම් එකිනෙකින් වෙන් කර දැකීම දුෂ්කර බවත්, අතීතයේදී ඒවා අතර එතරම් බෙදීමක් නොතිබූ බවත් ඔහු විශ්වාස කරයි. ඒ නිසා ම මෙම ස්ථානය ආගම් කිහිපයක අනුගාමිකයන්ට මෙතරම් වැදගත් වී ඇතැයි ඔහු පවසයි.

කෛලාෂ-මානසරෝවර් ගමන දුෂ්කර ඇයි?

වන්දනාකරුවන්ට කෛලාෂ-මානසරෝවර් වෙත මාර්ග කිහිපයක් ඔස්සේ ළඟා විය හැකි ය.

එක් මාර්ගයක් ඉන්දියාවේ උත්තරාකන්ද් ප්‍රාන්තයේ ලිපුලේඛ් කඳු දුර්ගය හරහා වන අතර, අනෙක් මාර්ගය සිකිම්හි නාථු ලා කපොල්ල හරහා වැටේ. මීට අමතරව, නේපාලයේ කත්මණ්ඩු හරහා වැටෙන තවත් ප්‍රසිද්ධ මාර්ගයක් ද තිබේ.

කෙසේ වෙතත්, ඉන්දියාවේ ලිපුලේඛ් සහ නාථු ලා කපොල්ල හරහා සිදුවන කෛලාෂ-මාන්සරෝවර් යාත්‍රාව ටසහභාගි විය හැක්කේ වලංගු ඉන්දීය ගමන් බලපත්‍රයක් හිමි ඉන්දීය පුරවැසියන්ට පමණක් වන අතර, විදේශිකයන්ට ඊට සහභාගි විය නොහැක. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය සෑම වසරක ම ජූනි සිට අගෝස්තු හෝ සැප්තැම්බර් දක්වා මෙම වන්දනා ගමන සංවිධානය කරයි.

ලිපුලේඛ් කපොල්ල හරහා යන විට දිගු දුරක් පාගමනින් යාමට සිදුවේ. නාථු ලා කපොල්ල හරහා යන විට පාගමනින් යා යුතු දුර සාපේක්ෂව අඩු ය. කෙසේ වෙතත්, මෙම මාර්ගය ඔස්සේ ගමනට දින 20කට වැඩි කාලයක් ගත වේ.

බංග්ලාදේශ ජාතිකයන් සහ අනෙකුත් විදේශීය වන්දනාකරුවෝ සාමාන්‍යයෙන් නේපාලය හරහා ටිබෙටයට ඇතුළු වෙති.

මෙහිදී, වන්දනාකරුවන්ට චීන වීසා බලපත්‍රයකට අමතරව ටිබෙටයට ගමන් කිරීමට අවශ්‍ය අවසරපත් ලබාගත යුතු අතර, අනුමත සංචාරක මෙහෙයුම්කරුවෙකු හරහා ගමන සංවිධානය කරගත යුතු ය.

මීට අමතරව, විදේශිකයන්ට චීනය තුළ සිට ලාසා හරහා කෛලාෂ-මාන්සරෝවර් වෙත ගමන් කළ හැකි ය. කෙසේ වෙතත්, ටිබෙටයට ගමන් කිරීම සඳහා ඔවුන්ට ද විශේෂ අවසරයක් අවශ්‍ය වේ.

බීබීසීයේ ලෝරා විකර් පවසන්නේ කෛලාෂ කූඨය වෙත ළඟා වීමට වන්දනාකරුවන්ට විශේෂ අවසරපත් අවශ්‍ය බවයි. නේපාලයේ සිට පැමිණෙන දහස් ගණනක් දෙනාට ද පිළිගත් සමාගමක් හරහා වෙන වෙන ම අවසරපත් හතරක් ලබාගත යුතු ය.

ටිබෙටය දේශපාලනික වශයෙන් සංවේදී කලාපයකි. චීනය 1950දී ටිබෙටය ඈඳා ගත් අතර, එතැන් සිට එය චීනයේ පාලනය යටතේ පවතී.