ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ග්ලැසියර් විලක් උතුරා යාමෙන් දෙවන වරටත් ක්ෂණික ගංවතුරක් ඇතිවීමේ 'ඉහළ අවදානමක්' ඇති බවට චීනය අනතුරු අඟවයි
- Author, තෙසා වොං
- Role, ආසියානු ඩිජිටල් වාර්තාකරු
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
නේපාල-ටිබෙට් දේශසීමාව ආසන්නයේ මෑතකදී සිදුවූ නායයාමෙන් පසු නිර්මාණය වූ විලක බැමි බිඳී යාමේ "දැඩි අවදානමක්" පවතින බවට චීනය අනතුරු අඟවා ඇති අතර, එමගින් පහළ ප්‍රදේශවල දෙවන වරටත් ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව ප්‍රකාශ කර තිබේ.
මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ, එම ප්‍රදේශයේ ම බදාදා මාරාන්තික ක්ෂණික ජලගැලීම් තත්ත්වයක් ඇති වීමෙන් පසුව ය. එම ජලගැලීම සිදුව ඇත්තේ හිම කන්දක් ගංගාවකට කඩා වැටීමෙන් බව විද්‍යාඥයෝ පවසති
චීනයේ රාජ්‍ය රූපවාහිනී සේවය වන CCTV වාර්තා කළ ආකාරයට, සිකුරාදා උදෑසන වන විට එම බාධක විලෙහි (barrier lake) ජලය ඝන මීටර් මිලියන 2.5ක් පමණ රැස්වී තිබිණි. බාධක විලක් යනු නායයාම් හෝ වෙනත් සුන්බුන්වලින් ගංගාවක් අවහිර වීම නිසා ජලය එකතු වී ස්වභාවිකව නිර්මාණය වන ජලාශයකි.
නිලධාරීන් පවසන්නේ, බ්‍රහස්පතින්දා සිට සති අන්තය දක්වා කාලය තුළ තවත් ජලය ඝන මීටර් මිලියන 3ක් පමණ එම විලට ගලා ඒමට නියමිත බව ය. එම තත්ත්වය හේතුවෙන් විලේ බාධක බැම්ම බිඳී යාමේ "ඉහළ අවදානමක්" පවතින බවට ද ඔවුන් අනතුරු අඟවා ඇත.
රාජ්‍ය මාධ්‍ය වාර්තා කළ පරිදි, ඉදිරි දින කිහිපය තුළ එම ප්‍රදේශයට අධික වර්ෂාපතනයක් අපේක්ෂා කෙරෙන අතර, ඉන් පවතින අවදානම තවදුරටත් ඉහළ යා හැකි බව බලධාරීහු පවසති.
චීනයේ ජල සම්පත් අමාත්‍යාංශය පවසන පරිදි, චෝචෙන් කෝලා (Chhochen Khola) සහ පුරේපු සාංපෝ (Purepu Tsangpo) ගංගාවන් එකතු වන ස්ථානයේ නිර්මාණය වූ මෙම බාධක විල බ්‍රහස්පතින්දා සිට පිටාර ගැලීම ආරම්භ වී තිබේ.
බදාදා ඇති වූ ක්ෂණික ගංවතුරෙන් දැඩි බලපෑමට ලක්වූ නේපාලය හා චීනය සම්බන්ධ කරන ප්‍රධාන ගොඩබිම් දේශසීමා හුවමාරු මධ්‍යස්ථානය වන ගයිරොන්ග් (Gyirong Port) සිට කිලෝමීටර් 7ක් (සැතපුම් 4ක්) පමණ දුරින් පිහිටි ගම්මානයක් දක්වා පැමිණි චීන හදිසි ප්‍රතිචාර සේවාවල බහුතරයකට එතැන් සිට ඉදිරියට ගමන් කිරීම නොහැකි වී තිබිණි.
CCTV වාර්තාවකට අනුව, එම අවස්ථාවේදී බාධක විල අඛණ්ඩව පිටාර ගලමින් පැවති බැවින්, එය නැවතත් ගංවතුර තත්ත්වයක් හෝ සුන්බුන් ගලා යාමට හේතු විය හැකි බවට අනතුරු අඟවා තිබිණි.
කෙසේ වෙතත්, සිකුරාදා පස්වරුව වන විට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ, "ඉහළ ප්‍රදේශයක පිහිටි බාධක විලෙන් ඇති වූ අවදානම පාලනය කර ඇති" බවත්, ඒ අනුව ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් යළි ආරම්භ කර ඇති බවත් ය.
බලධාරීන් විසින් විලෙහි ජල මට්ටම් සහ කාලගුණික තත්ත්වයන් නිරීක්ෂණය කිරීම සඳහා ඉංජිනේරු කණ්ඩායම් යොදවා ඇති අතර, අවශ්‍ය උපකරණ සහ සැපයුම් ප්‍රදේශයට රැගෙන යාම සඳහා ඩ්‍රෝන යානා ද භාවිත කර තිබේ.
මෙම විල පිහිටා ඇත්තේ කඩා වැටුණු ග්ලැසියරය ආරම්භ වූ බවට සැලකෙන ලැන්ග්ටාං ලිරුං (Langtang Lirung) කඳු මුදුන ආසන්නයේ වන අතර, ගයිරොන්ග් සිට කිලෝමීටර් කිහිපයක් ඉහළින් පිහිටි ප්‍රදේශයක ය.
භෝටේ කොෂි (Bhote Koshi) සහ ත්‍රිශූලි (Trishuli) ගංගා ආශ්රිත ප්‍රදේශවල අවහිරතා ඇතිවීම හේතුවෙන් තවදුරටත් ගංවතුර තත්ත්වයන් හටගැනීමේ අවදානමක් පවතින බවට නේපාල බලධාරීන් ද අනතුරු අඟවා ඇත.
ඊට අමතරව, නැවත දැනුම් දෙන තුරු භෝටේ කොෂි සහ ත්‍රිශූලි ගංගා ආශ්රිත ප්‍රදේශවලින් ඈත්ව සිටින ලෙස නේපාල බලධාරීන් අනතුරු අඟවා තිබේ.
විද්‍යාඥයන් පවසන්නේ, බදාදා ක්ෂණික ජලගැලීම ඇති වීමට බොහෝ දුරට හේතු වූයේ, ලැන්ග්ටාං ලිරුං කඳු ප්‍රදේශය ආසන්නයේ පිහිටි ග්ලැසියරයක කොටසක් කඩා වැටී පහළින් ගලායන ගංගාවට ඇද වැටීම බව ය. එම සිදුවීමෙන් පසු ගංගාවේ ජල ප්‍රවාහය හදිසියේ ම දැඩි ලෙස ඉහළ ගොස්, විශාල ජල හා සුන්බුන් ප්‍රවාහයක් පහළ ප්‍රදේශ වෙත ගලා ගොස් ඇති බව ද ඔවුහු සඳහන් කරති.
බදාදා ඇති වූ ක්ෂණික ජලගැලීමෙන් නේපාලයේ පුද්ගලයන් සිය ගණනක් ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් සිය ගණනක් අතුරුදන්ව සිටිති. දේශසීමාවේ ටිබෙටයෙන් පමණක් අතුරුදන්ව ඇති පුද්ගලයන් සංඛ්‍යාව 550කට අධික බව වාර්තා වන අතර, ඔවුන්ගෙන් ආසන්න වශයෙන් අඩක් ම විදේශිකයෝ වෙති.