ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
එකිනෙකාට චෝදනා කර ගනිමින් ඇමෙරිකාව සහ ඉරානය අතර යළිත් ප්‍රහාර
- Author, ටැබී විල්සන්
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
සෙනසුරාදා දිනයේදී හෝමූස් සමුද්‍ර සන්ධියේදී පැනමා ධජය සහිත යාත්‍රාවකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු ඇමෙරිකාව ඉරානයට යළිත් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
වාණිජ නෞකා යාත්‍රා කිරීමට එරෙහි "අඛණ්ඩ ආක්‍රමණයට" ඍජු ප්‍රතිචාරයක් ලෙස ඉරානය පුරා පිහිටි ඉලක්ක කිහිපයකට ප්‍රහාර එල්ල කළ බව ඇමෙරිකා එක්සත් ජනපද මධ්‍යම අණදෙන බළකාව (Centcom) පැවසීය.
මේ අතර, ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) රාජ්‍ය මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයකින් කියා සිටියේ, ඊට පළිගැනීමක් ලෙස තමන් කුවේට් සහ බහරේනයේ එක්සත් ජනපද යටිතල පහසුකම් වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව ය.
වෙඩි හුවමාරුවෙන් පසුව සටන් විරාම ගිවිසුම කඩ කළ බවට ඇමෙරිකාව සහ ඉරානය එකිනෙකාට චෝදනා කර ගත්හ.
Centcom ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ, "සටන් විරාම ගිවිසුමට ගරු කිරීමට ඉරානයට අවස්ථාවක් ලබා දී ඇති නමුත්, පැනමා ධජය සහිත නෞකාවක් වන MT Kiku නෞකාවට ඉරාන හමුදා ඒකපාර්ශ්වික ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමෙන් එම අවස්ථාව පැහැර හැර ඇති," බව ය.
ඊට ප්‍රතිචාර වශයෙන්, එක්සත් ජනපද ප්‍රහාරක ජෙට් යානා හෝමුස් සමුද්‍ර සන්ධියේ සහ ඒ ආසන්නයේ ස්ථාන කිහිපයකදී ඉරාන හමුදා ඉලක්ක 10කට ප්‍රහාර එල්ල කළේ ය. යුද්ධ උපකරණ, සන්නිවේදන පද්ධති, ගුවන් ආරක්ෂක ස්ථාන සහ ඩ්‍රෝන ගබඩා පහසුකම් ආදී ස්ථාන එම ඉලක්ක අතර විය.
ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ, "ප්‍රශ්නය මතු වූ නෞකාව ඉදිරියට දමා ඇමෙරිකාව ඉරානයේ වෙරළබඩ මුරපොළවල් පහකට" ප්‍රහාර එල්ල කර ඇති බව ය.
ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය කියා සිටියේ, ඊට ප්‍රතිචාර ලෙස කුවේට්හි අලි අල්-සාලෙම් කඳවුරේ සහ බහරේනයේ සල්මාන් වරායේ පිහිටි පස් වන නාවික බලඇණියේ "යටිතල පහසුකම්වල ප්‍රධාන කොටස් අටක්" වෙත බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන යානා දියත් කර ඒවා විනාශ කර දැමූ බව ය.
මැද පෙරදිග ඇමෙරිකානු ඉලක්කවලට එල්ල කළ ප්‍රහාරවලින් ජීවිත හානි හෝ දැඩි බලපෑම් හෝ හානි කිසිවක් වාර්තා වී නොමැති බව ඇමරිකානු නිලධාරියෙකු රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.
මෙම මස මුලදී අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම යටතේ, හෝමූස් සමුද්‍ර සන්ධියේ ගමන් කිරීම සහ නාවික කටයුතු පාලනය කිරීම සඳහා ඉරානයට අවසර ඇති බවත්, මෙතැන් සිට ගිවිසුම උල්ලංඝනය කරන නැව්වලට එරෙහිව අතීතයට වඩා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය පැවසීය.
"ඊයේ (සෙනසුරාදා) රාත්‍රියේ සහ අද (ඉරිදා) රාත්‍රියේ සිදුවූ පරිදි, ඕනෑ ම හේතුවක් යටතේ, සුළු ඉලක්කවලට එරෙහිව ආක්‍රමණ සිදු කළ ද, ඕනෑ ම සතුරු ආක්‍රමණයකට දැඩි ප්‍රතිචාරයක් ලැබෙනු ඇත," යනුවෙන් නිවේදනයේ සඳහන් කර තිබේ.
ජාතීන් දෙක අතර අවබෝධතා ගිවිසුම හරහා එකඟ වූ සටන් විරාමය එක්සත් ජනපදය කඩ කළ බවට ද ඉරානය චෝදනා කළ අතර, එය සටන් විරාම "ක්‍රියාවලිය සම්පූර්ණයෙන් නතර කිරීමට හේතු වනු ඇති" බවට අනතුරු ඇඟවීය.
ඉරාන විදේශ අමාත්‍යාංශය ද "කුරිරු ප්‍රහාර" ලෙස විස්තර කර ඇති ප්‍රහාර හෙළා දැක ඇති ප්‍රහාර, එම අමාත්‍යංශය පෙන්වා දුන්නේ, එක්සත් ජනපදය "තම කැපවීම්වලට අංශු මාත්‍රයක්වත් වටිනාකමක් සහ විශ්වසනීයත්වයක් නොදෙන බවත්, පොරොන්දු කඩ කිරීම එහි ස්වභාවයේ කොටසක් බවත් ය.
ඉරානයට එරෙහි එක්සත් ජනපද නවතම ප්‍රහාර ප්‍රකාශයට පත් කිරීමෙන් සුළු වේලාවකට පසු ට්‍රම්ප් Truth Socialහි සඳහන් කළේ, ටෙහෙරානය "කිසිදා පාඩම් ඉගෙන නොගන්නෙකු" බව ය.
"අපට තවදුරටත් ඉවසා සිටීමට නොහැකි අවස්ථාවක් එළඹිය හැකි අතර, අප ඉතා සාර්ථකව ආරම්භ කළ කාර්යය යුද්ධමය වශයෙන් සම්පූර්ණ කිරීමට බල කෙරෙනු ඇත," ඔහු සෙනසුරාදා සවස පළ කර තිබිණි.
"එවැන්නක් සිදුවුවහොත්, ඉරාන ඉස්ලාමීය ජනරජය තවදුරටත් නොපවතිනු ඇත!" යනුවෙන් එම සටහනේ සඳහන් විය.
එක්සත් ජනපද ප්‍රහාරවලින් පසු පැය කිහිපය තුළදී කුවේට් සහ බහරේන් ඔවුන්ගේ ගුවන් ආරක්ෂක පද්ධති සක්‍රීය කර ඇති බව වාර්තා කළහ.
"කුවේට් ගුවන් ප්‍රහාරක ආරක්ෂක පද්ධතිය දැනට සතුරු මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාරවලට මුහුණ දෙමින් සිටී" යනුවෙන් කුවේට් සන්නද්ධ හමුදාව X වෙත බෙදාගත් ප්‍රකාශයක, ආරක්ෂක උපදෙස් පිළිපදින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.
බහරේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පුරවැසියන්ගෙන් ඉල්ලා ඇත්තේ, "සන්සුන්ව සිට ළඟ ම ඇති ආරක්ෂිත ස්ථානයක් වෙත යන ලෙස යි".
හෝමුස් සමුද්‍ර සන්ධියේ වාණිජ යාත්‍රා අඛණ්ඩව ක්‍රියාත්මක වන බව Centcom පැවසීය.
ජූනි 25 වන දින සිංගප්පූරුවේ ධජය සහිත භාණ්ඩ නෞකාවක් වන MV Ever Lovely වෙත ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල කිරීමට එරෙහිව එක්සත් ජනපදය ඉරානයට ප්‍රතිප්‍රහාර දියත් කිරීමෙන් දිනකට අඩු කාලයකදී මෙම නවතම ප්‍රහාර එල්ල විය.
භාණ්ඩ නැවට එල්ල වූ ප්‍රහාරයට එරෙහිව එල්ල කළ ඇමෙරිකානු ප්‍රහාර "ප්‍රබල ප්‍රතිචාරයක්" ලෙස මධ්‍යම අණදෙන බළකාය විස්තර කර ඇති අතර, "වාණිජ නැව් ප්‍රවාහනයට එරෙහි අනවශ්‍ය ප්‍රහාරය හරහා ඉරානය පැහැදිලිව ම සටන් විරාමය උල්ලංඝනය කර ඇති" බව පැවසීය.
භාණ්ඩ ප්‍රවාහන නෞකාව ගල්ෆ් ජල මාර්ගය හරහා ගමන් කිරීම සඳහා අනවසර මාර්ගයක් භාවිත කිරීම නිසා ප්‍රහාරයට ලක්වූ බව පැවසූ ටෙහෙරානය, ප්‍රතිප්‍රහාර එල්ල කිරීම හරහා එක්සත් ජනපදය සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කර ඇති බව ය.
සෙනසුරාදා උදෑසන නිකුත් කරන ලද ප්‍රකාශයක ඉරානයේ විදේශ අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, ඇමෙරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඇමෙරිකානු හමුදාවන්ට සම්බන්ධ ඉලක්කවලට එරෙහිව තවත් ප්‍රහාර එල්ල කර ඇති බව ය. "එක්සත් ජනපදය ගිවිසුම් කඩ කරන" බවට ද ඉන් දොස් පවරා තිබේ.
ඇමෙරිකාව සහ ඉරානය ජූනි 17 වන දා කරුණු 14ක අවබෝධතා ගිවිසුමක් යටතේ සතුරුකම් අවසන් කිරීමට එකඟ වූ අතර, ඉරානයට හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා "දින 60ක් සඳහා කිසිදු ගාස්තුවක් නොමැතිව වාණිජ යාත්‍රා ආරක්ෂිතව යාත්‍රා කරවීම සඳහා" භාවිත කරන ලෙස දැනුම් දී තිබිණි.
හෝමූස් සමුද්‍ර සන්ධිය ඉන්ධන හා ගෑස් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කරන ප්‍රධාන ජල මාර්ගයක් වන අතර, පෙබරවාරි මස අවසානයේදී එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානය වෙත ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඉරානය විසින් එය වසා දමන ලදී.
සමුද්‍ර සන්ධිය වසා දැමීම ගෝලීය ඉන්ධන මිල ඉහළ යාමට හේතු වූ අතර පොහොර වැනි අනෙකුත් තීරණාත්මක භාණ්ඩ නෞකා මගින් ප්‍රවාහනය කිරීම නැවතිණි.
මෑත දිනවල ට්‍රම්ප් සහ අනෙකුත් එක්සත් ජනපද නිලධාරීන් ඉරානය සමග සාකච්ඡාවල ප්‍රගතියක් ඇති බව අවධාරණය කරමින් කියා සිටියේ, ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන නෞකා සඳහා ගාස්තු අය කිරීමේ යෝජනාව අත්හැර දමා ඇති බව ය.
බදාදා Truth Social සටහනක් තබමින් ට්‍රම්ප් කියා සිටියේ, එක්සත් ජනපදයෙන් "ගාස්තු, රක්ෂණ වියදම් සහ වෙනත් කිසිදු ආකාරයක ගාස්තු ලබා ගැනීමක් නොකරන" බව ඉරානය දන්වා ඇති බව ය.
"මෙය අසත්‍ය තොරතුරක් නම්, සාකච්ඡා වහා ම අවසන් වනු ඇතැයි" ඔහු වැඩිදුරටත් පැවසීය.
ඉරානය සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන නෞකා සඳහා ගාස්තු අය කරන බවට පළ වන වාර්තා එක්සත් ජනපදය හෙළා දැක ඇති අතර, බොහෝ විශ්ලේෂකයින් පවසන්නේ, ඕනෑ ම ගාස්තු ක්‍රමයක් ජාත්‍යන්තර සමුද්‍ර නීතිය කඩ කිරීමක් ලෙස ය.
අඟහරුවාදා ඉරාන සහ ඕමාන නිලධාරීන් ඕමානයේ මස්කට් අගනුවරදී සාකච්ඡා පැවැත්වූ අතර, ඕමාන විදේශ අමාත්‍ය බදර් අල්-බුසයිඩි පැවසුවේ, දෙරට ම "ගාස්තු රහිත ආරක්ෂිත ගමන් මාර්ගයක්" සඳහා කැපවී සිටින බව වුව ද, "අනාගත නාවික ගමන් කළමනාකරණයක්" පිළිබඳව සාකච්ඡා කරන බව ය.
කෙසේ වෙතත්, ඉරානයේ ප්‍රධාන සාකච්ඡාකරු, මොහොමඩ් බාගර් ගලිබාෆ්, රාජ්‍ය ප්‍රවෘත්ති මාධ්‍ය වෙත පැවසුවේ, "හෝමූස් සමුද්‍ර සන්ධියේ පරිපාලනය කිසි දා යුද්ධයට පෙර තිබූ ආකාරයට ආපසු නොයන බව සියලු දෙනා දැනගත යුතු" බව ය.