ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'ඊශ්‍රායලය බේරුණේ ඇමෙරිකානු ආයුධ නිසා': එක්සත් ජනපද උප ජනපතිගෙන් ඊශ්‍රායල් අමාත්‍යවරුන්ට විවේචනයක්
"මම ඊශ්‍රායල රජයේ කැබිනට් මණ්ඩලයේ සිටියා නම්, මට මුළු ලෝකයෙන් ම ඉතිරි වෙලා ඉන්න බලවත් ම සගයාට පහර ගහන්න යන්නේ නෑ... පසුගිය මාස තුන තුළ ඔබේ රට බේරාගත්ත අවිවලින් තුනෙන් දෙකක් ම ඇමෙරිකාවේ නිෂ්පාදනය කරපු ඒවා වගේ ම, ඒවාට මුදල් වියදම් කරලා තියෙන්නේ ඇමෙරිකාවේ බදු ගෙවන ජනතාව."
ඇමෙරිකා එක්සත් ජනපදය හා ඉරානය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමෙන් පසු ඇතැම් ඊශ්‍රායල අමාත්‍යවරුන් සිදුකරන ඇමෙරිකානු පරිපාලනය විවේචනය කිරීම්වලට ප්‍රතිචාර දක්වමින් ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් එම ප්‍රකාශය සිදු කළේ ය.
තමන්ට අනුකම්පා කරන රටක සහ ලෝකයේ සුපිරි බලවතෙකු වන රටක රාජ්‍ය නායකයා ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල අමාත්‍යවරුන් කළ ප්‍රකාශ දැකීමෙන් තමා කලකිරීමට පත් වූ බව ජේ.ඩී. වෑන්ස් වැඩිදුරටත් පැවසීය.
"ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය නෙතන්යාහු මෙම මාර්ගය අනුගමනය නොකළත්, ජනාධිපති ට්‍රම්ප්ව ඉලක්ක කරමින් කටයුතු කරන එම අමාත්‍යවරුන්ට මං පණිවිඩයක් දෙන්න කැමතියි—ඔවුන් තමන්ගේ සිහිබුද්ධියට පැමිණ, ජනාධිපති ට්‍රම්ප්ව විවේචනය කිරීම වෙනුවට භූමියේ පවතින සැබෑ තත්ත්වයන් සලකා බැලිය යුතුයි." එක්සත් ජනපද උප ජනාධිපතිවරයා පැවසීය.
"අපගේ ජාතික ආරක්ෂාව සහතික නොකරන ට්‍රම්ප්ගේ ගිවිසුමට අපි බැඳී නැහැ," යනුවෙන් පවසමින්, ඊශ්‍රායල රජයේ සමහර අමාත්‍යවරු ඇමෙරිකා-ඉරාන අවබෝධතා ගිවිසුම විවේචනය කළහ.
ගිවිසුමට පෙර බේරූට්හි සිදු කරන ඊශ්‍රායල මෙහෙයුමට අප්‍රසාදය පළ කරමින් ජනාධිපති ට්‍රම්ප් පැවසුවේ, "ඔබට එක් පුද්ගලයෙකු සොයා ගන්න අවශ්‍ය කරන හැම වෙලාවකම සම්පූර්ණ ගොඩනැගිල්ලක් ම බිමට සමතලා කරලා දාන්න ඕනේ නෑ," යනුවෙනි.
"ලෙබනනය තුළ ඊශ්‍රායලයේ හැසිරීම ගැන ඔහු සතුටු නැහැ. ඊශ්‍රායලයට හැමෝම මරලා මිසක් මේක ඉවර කරන්න බැරි නම්, වෙන කෙනෙක් කරයි, සිරියාව ඒක කරයි" ඔහු පැවසීය.
වෑන්ස්ගේ ප්‍රකාශයට පෙර පවා, ඇමෙරිකානු ජනාධිපතිවරයා සිය ප්‍රකාශවල ඊශ්‍රායලය ඇමෙරිකාවට කෘතඥ විය යුතු බව පවසා තිබිණි.
ඉරාන යුද්ධය සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ පසුව ඇමෙරිකානු උප ජනාධිපතිවරයා විසින් ඊශ්‍රායලය විවේචනය කිරීම, දෙරට අතර වර්ධනය වන විරසකයක් ලෙස සමහර විශේෂඥයෝ විස්තර කරති.
පෙබරවාරි 28 වන දින ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට පහර දී සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන තෙක් දෙරට අතර සමගිය පැවතිණි. කෙසේ වෙතත්, අප්‍රේල් මාසයේ සටන් විරාමයත්, ඉන් පසුව ඇති වූ සාකච්ඡා සහ කරුණු 14කින් යුත් වත්මන් අවබෝධතා ගිවිසුම පිළිබඳවත් ඊශ්‍රායලය කනස්සල්ල පළ කළේ ය.
ඊශ්‍රායල රජය දැනටමත් පැහැදිලි කර ඇත්තේ තමන් ගිවිසුමේ පාර්ශවකරුවෙකු නොවන බවයි.
'අපි ප්‍රඥාවෙන් සහ හොඳ විනිශ්චයකින් යුතුව අපගේ මාවතේ ඉදිරියට යනවා'
එක්සත් ජනපදය සහ ඉරානය අතර අවබෝධතා ගිවිසුම සහ එහි කොන්දේසි සම්බන්ධයෙන් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායලය තුළ දේශපාලන පීඩනයකට ලක්ව සිටී.
"මම අගමැතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ ඊශ්‍රායල ජනතාව ඉදිරියට පැමිණ , ලෝකයේ සෙසු රටවලටත් අපි මෙම ගිවිසුමේ කොටස්කරුවන් නොවන බව පැහැදිලි කරන්න කියලා," විපක්ෂ දේශපාලන පක්ෂයක ප්‍රධානියෙකු වන අවිග්ඩෝර් ලිබර්මන් පැවසීය.
"ඉරාන යුද පෙරමුණ සහ ලෙබනන් යුද පෙරමුණ අතර කිසිදු සම්බන්ධයක් අපි පිළිගන්නේ නැහැ."
"අපි ක්‍රියා කරන්නේ ඊශ්‍රායල් අභිලාශයන් වෙනුවෙන් විතරයි, ගෝලීය කොටස් වෙළඳපොලේ ඉන්ධන මිල ගණන් අනුව නෙවෙයි" ඔහු තවදුරටත් පැවසීය.
"අපි ට්‍රම්ප්ගේ ගනුදෙනුවට බැඳිලා නෑ. අපේ ආරක්ෂාව සහතික නොකරන ගිවිසුමකට අපි පාර්ශවකරුවන් වෙන්නේ නෑ," ඊශ්‍රායලයේ අන්ත දක්ෂිණාංශික ජාතික ආරක්ෂක අමාත්‍ය Iඉටමාර් බෙන් ග්වීර්, සඳුදා [ජූනි 15] සමාජ මාධ්‍යවල සටහනක සඳහන් කළේ ය.
අවබෝධතා ගිවිසුම පිළිබඳව ඊශ්‍රායල අගමැති නෙතන්යාහු සෘජුව අදහස් දැක්වූයේ නැත. කෙසේ වෙතත්, බ්‍රහස්පතින්දා [ජූනි 18] සවස පැවති උත්සවයක් අමතමින් නෙතන්යාහු පැවසුවේ, ඊශ්‍රායලය ගාසා තීරය ආසන්න ප්‍රදේශවල ආරක්ෂාව සහ සමෘද්ධිය යථා තත්ත්වයට පත් කර ඇති ආකාරයට, උතුරු ඊශ්‍රායලයේ නගර සහ ගම්මානවලද සාමය සහතික කරන බවත් ය.
දකුණු ලෙබනනයේ ස්වාරක්ෂක කලාපයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් පවතින බවත්, ඔවුන් එයින් පසු නොබසින බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
"අපගේ අරගලය තවමත් අවසන් වී නැහැ. අප ඉදිරියේ තවත් අභියෝග තිබෙනවා. අපගේ ආරක්ෂාව සහතික කළ යුතු අතර ඒ සමඟම අප සමඟ උරෙන් උර ගැටී සටන් කළ අපගේ ඇමෙරිකානු මිතුරන් සමඟ අපගේ සම්බන්ධතාවය ආරක්ෂා කර ගත යුතු අතර, ඒ සඳහා අපි ඔවුන්ට කෘතඥ වෙමු," ඊශ්‍රායල අගමැති පැවසීය.
"අපි ප්‍රඥාවෙන් සහ හොඳ විනිශ්චයකින් යුතුව අපගේ මාවතේ ඉදිරියට යන අතර රජයේ ජයග්‍රහණ ආරක්ෂා කරගන්නවා, යුද්ධයේ ජයග්‍රහණ අපි ආරක්ෂා කරගන්නවා. මේ ජයග්‍රහණ සියලුම ඊශ්‍රායල් ජනතාවට අයිතියි," ඔහු පැවසීය.
ඊශ්‍රායලය පිළිබඳ ඇමෙරිකානු උප ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සමාජ මාධ්‍ය තුළ ද සාකච්ඡා වෙමින් පවතින අතර, සමාජ මාධ්‍ය පරිශීලකයින් එය හඳුන්වන්නේ දෙරට අතර වර්ධනය වන වෙනස්කම්වල ලකුණක් ලෙස යි.
ජේ.ඩී. වෑන්ස්ගේ විවේචනයෙන් ඊශ්‍රායල රජය සහ හමුදාව පුදුමයට පත් වූ බව ඇමෙරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල සබඳතා විශේෂඥ ෂෙල් බෙන් එෆ්‍රයිම් Xහි ලිවීය. ජනාධිපති ට්‍රම්ප්ගේ ඉල්ලීම පරිදි මෙම විවේචනය සිදු කර ඇති බවට ඔවුන් සැක කරන බව ද ඔහු එහි පවසා තිබේ.
ඔහුට අනුව, නෙතන්යාහු විසින්ම මෙම ගැටලුවට ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටිය ද, සමහර ඊශ්‍රායල ඇමතිවරු තම සැකයන් ප්‍රකාශ කරමින් සිටිති.
මේ සියල්ල හුදෙක් වචන හුවමාරුවක් බවත්, එයින් බරපතල ඇඟවුමක් නොමැති බවත් ඊශ්‍රායලය කෙරෙහි වොෂින්ටනයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදු නොවන බවත් පවසමින් මැද පෙරදිග විශේෂඥ මොයින් රබ්බානි Xහි සටහනක් තබා තිබේ.
නමුත් ඇමෙරිකානු නායකත්වය ඊශ්‍රායලය සමග කෝපයෙන් සිටින බවට මීට පෙර වාර්තා පළ වූ නමුත් දැන් එය විවෘතව ප්‍රකාශ වන බව ඔහු පැවසීය.
නෙතන්යාහු ලෙබනනයෙන් හමුදා ඉවත් කර නොගතහොත්, ජනාධිපති ට්‍රම්ප් අනාගතයේදී ආයුධ බෙදා හැරීම ප්‍රමාද කිරීමට හෝ, ඊශ්‍රායලයට ආයුධ සම්බාධක පැනවීමට ඉඩ ඇති බවට ඊශ්‍රායල නිලධාරීන් විශ්වාස කරන්නේ යැයි, විශ්ලේෂකයෙකු වන ඩොමිනික් මයිකල් Xහි සටහනක් තබා තිබේ.