ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉදිරි සතියේ අවසන් වන ඊශ්රායල් සහ ඇමෙරිකා මැතිවරණ ලෝකයට බලපාන්නේ කෙසේ ද?
- Author, ජේම්ස් ලැන්ඩේල්
- Role, රාජ්ය තාන්ත්රික වාර්තාකරු
- වාර්තාකරණය, ජෙරුසලම
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 10
ඉදිරි සතිය අවසන් වන විට මහද්වීප දෙකක මැතිවරණ දෙකක් පවත්වා අවසන් වනු ඇති අතර, ඒවායේ ප්රතිඵල ලෝකය කෙරෙහි දැඩි බලපෑම් ඇති කිරීමට ඉඩ තිබේ.
අහඹුවක් වුව ද මැතිවරණ කාලසටහන් සකස් වී ඇති ආකාරය හේතුවෙන්, සැතපුම් 6,000ක් පමණ දුරින් වෙසෙන මිලියන ගණනක ඡන්දදායකයින් දින කිහිපයක පරතරයකින් යුතුව තම ප්රජාතන්ත්රවාදී අයිතිය භාවිත කිරීම සඳහා එක්වනු ඇත.
නව පාර්ලිමේන්තුවක් තෝරා පත් කර ගැනීම සඳහා ඊශ්රායලයේ ඡන්දදායකයෝ අඟහරුවාදා (ඔක්: 27) ඡන්දය ප්රකාශ කරති. ඉන් සතියකට පසු ඇමෙරිකාවේ ඡන්දදායකයෝ නව කොංග්රසයක් තෝරා පත් කර ගැනීමට ඡන්දය ප්රකාශ කරති.
ඇමෙරිකානු කොංග්රසයේ හිටපු කතානායකවරයෙකු වූ ටිප් ඕ'නීල් වරක් පවසා ඇත්තේ, "සියලු දේශපාලනික කටයුතුවල බලපෑම දේශීය මට්ටමේ පවතින්නක්," යනුවෙනි. එහෙත්, මෙම මැතිවරණවල ප්රතිවිපාක ගෝලීය මට්ටමින් බලපානු ඇති බවට සැකයක් නැත.
මන්ද, මෙම මැතිවරණ දෙක සිදුවන්නේ එක ම කාලසීමාවක පමණක් නොව, ඒවා එකිනෙක සමග ද බැඳී පවතින බැවිනි.
ඊශ්රායලයේ අනාගත පාලනය මැදපෙරදිග කලාපයට මෙන් ම එම කලාපය පුරා ඇවිළෙන යුද්ධවලට ද දිගුකාලීන බලපෑමක් එල්ල කරනු ඇත.
එමෙන් ම, ඇමෙරිකාවේ මැතිවරණ සිතියමේ සිදුවන ඕනෑ ම වෙනසක් එම යුද්ධවලට පමණක් නොව, ගෝලීය ආර්ථිකයේ අනාගතයට ද බලපෑම් කළ හැකි ය.
මෙම මැතිවරණ දෙක අතර භෞතික සම්බන්ධතාවක් ද පවතී. රිපබ්ලිකන්ස් ඕවර්සීස් ඊශ්රායල් නමැති දේශපාලන බලපෑම් කණ්ඩායම ඇස්තමේන්තු කරන්නේ, ඇමෙරිකානු ගුවන් ගමන් බලපත්ර හිමි ඊශ්රායල ජාතිකයන් මිලියන භාගයකට ආසන්න පිරිසකට මැතිවරණ දෙකේදී ම ඡන්දය ප්රකාශ කළ හැකි බව ය.
එම කණ්ඩායමේ සභාපති මාර්ක් සෙල් පැවසුවේ, එක්සත් ජනපදයේ ඉතා තියුණු තරගයක් පවතින මැතිවරණවල ප්රතිඵල කෙරෙහි - උදාහරණයක් ලෙස මිචිගන් සෙනෙට් සභා මැතිවරණ තරගයට - මෙම ඡන්දදායකයින්ට බලපෑම් කළ හැකි බව ය. ඊශ්රායලයේ සිට එවැනි මැතිවරණයක් සඳහා තැපැල් ඡන්ද 10,000ක් පමණ ලැබෙනු ඇතැයි ඔහු ඇස්තමේන්තු කළේ ය. "ඔවුන්ට සැබවින් ම වෙනසක් සිදු කළ හැකි යි," යැයි ඔහු බීබීසීය වෙත පැවසීය.
එහෙත් ප්රතිපත්තිමය සම්බන්ධතාව ඊටත් වඩා ගැඹුරු විය හැකි ය. විශේෂයෙන් ම, ඉරානයට එරෙහි ඇමෙරිකානු-ඊශ්රායල යුද්ධය සම්බන්ධයෙන් ගත් කල එය වඩාත් කැපී පෙනේ. පෙබරවාරි මාසයේ ආරම්භ කළ දැවැන්ත ගුවන් ප්රහාර මාලාවෙන් ඉරානයේ හමුදා ඉලක්ක රැසක් විනාශ වූ අතර, එරට නායකත්වයේ විශාල පිරිසක් ද මිය ගියහ. එහෙත් ඉරාන පාලන තන්ත්රය පෙරළා දැමීමට එම ප්රහාර අසමත් විය. ඊට ප්රතිප්රහාර එල්ල කළ ඉරානය, ගල්ෆ් කලාපය පුරා දැඩි ප්රහාර දියත් කළ අතර, හෝමූස් සමුද්ර සන්ධියේ පාලනය අත්පත් කර ගනිමින් ඒ හරහා ප්රවාහනය කෙරුණු බලශක්ති සැපයුම් ද සිය පාලනයට නතු කර ගත්තේ ය.
ඉරානය පිළිබඳ ප්රශ්නය
මැතිවරණ පැවැත්වීම යන කාරණය ම දැනටමත් තීරණ ගැනීමේ ක්රියාවලිය හැඩගස්වා ඇත.
ඊශ්රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු, ඉරානයට එරෙහිව යළිත් ප්රහාරයක් එල්ල කිරීමේ හැකියාව පිළිබඳව අදහස් පළ කිරීමට සිය මැතිවරණ ප්රචාරක ව්යාපාරය යොදාගෙන තිබේ.
ඉරානයේ න්යෂ්ටික තර්ජනය සම්බන්ධයෙන් ඔහු යළිත් නව ප්රකාශ සිදු කර ඇතත්, ඒවාට සාක්ෂි ඉදිරිපත් කර නොමැත. ඉරානයේ ඉස්ලාමීය පාලන තන්ත්රය පෙරළා දැමිය යුතු බව ද ඔහු යළිත් අවධාරණය කර තිබේ.
ඔහුගේ අරමුණ වන්නේ, ඔක්තෝබර් 7 වන දා හමාස් සංවිධානයේ නායකත්වයෙන් ඊශ්රායලයට එල්ල වූ මාරාන්තික ප්රහාරවලින් අනතුරුව දැඩි ලෙස හානියට පත්වූ, ආරක්ෂාව සම්බන්ධයෙන් ශක්තිමත් නායකයෙකු ලෙස තමන් සතු කීර්ති නාමය යළි ගොඩනගා ගැනීම ය.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ද නෙතන්යාහුගේ නැවත තේරී පත්වීමේ මැතිවරණ ව්යාපාරයට සහය පළ කරමින්, ඉරානයට එරෙහිව යළිත් ප්රහාර එල්ල කිරීමේ හැකියාව පිළිබඳ අනුමාන තවදුරටත් ඉහළ නංවා තිබේ. ඉරානය සම්බන්ධයෙන් "වැඩ ඉක්මනින් අවසන් කළ යුතු" බව ඔහු පවසා ඇත.
එහෙත්, දැඩි ප්රහාර එල්ල කරන බවට කෙරෙන තර්ජනාත්මක ප්රකාශ මධ්යයේ වුව ද, මැතිවරණ දිනයට පෙර ඉරානයට පහර දීමෙන් නෙතන්යාහුව වැළැක්වීමට ට්රම්ප් මැදිහත් වූ බවට පරස්පර වාර්තා ද පළ වී තිබේ. ඊට හේතුව ලෙස දැක්වෙන්නේ, බලශක්ති මිල ගණන් යළිත් ශීඝ්රයෙන් ඉහළ යාමෙන් තම ජනප්රිය නොවන යුද්ධය පිළිබඳව ඇමෙරිකානු ඡන්ද දායකයන්ට යළි සිහිපත් වනු ඇතැයි යන බියයි.
එසේ නම්, ඉරානයට එල්ල කරන ප්රහාරයක් මැතිවරණයෙන් පවත්වන තුරු කල් දැමිය හැකි ද? මැතිවරණයෙන් පසු භාරකාර අගමැතිවරයා ලෙස කටයුතු කරමින් ඉරානයට ප්රහාරයක් එල්ල කිරීම හරහා සිය දේශපාලන පැවැත්ම තහවුරු කර ගැනීමට නෙතන්යාහු උත්සහ කළ හැකි බවට ඊශ්රායල මාධ්ය තුළ පුළුල් ලෙස අනුමාන පළ වෙමින් තිබේ.
එම න්යායට අනුව, විපක්ෂ දේශපාලන පක්ෂ අතර සන්ධානයක් ඇති කර ගැනීම වෙනුවට තමන් ද ඇතුළත් ජාතික සමගි ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට නෙතන්යාහු තර්ක කරනු ඇත. ඊශ්රායල දේශපාලනයේ අභියෝග හමුවේ දිගින් දිගට ම සිය බලය රැකගැනීමට සමත් වූ නායකයෙකු ලෙස නෙතන්යාහු දිගු කලක් පුරා සැලකේ. ඔහුට බලය අහිමි වුවහොත්, ඔක්තෝබර් 7 ප්රහාරවලට පෙර ඔහු ගත් ක්රියාමාර්ග සම්බන්ධයෙන් නිල පරීක්ෂණයකට මුහුණ දීමට ඔහුට සිදුවනු ඇත. එමෙන් ම, දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පැවැත්වෙන නීතිමය කටයුතු ද යළිත් ඉදිරියට යනු ඇත.
මෙම අනුමාන කෙතරම් ප්රබල ද යත්, නෙතන්යාහුගේ ප්රතිවාදියෙකු වන ඊශ්රායලයේ හිටපු හමුදා ප්රධානී ගාඩි අයිසන්කොට් දැනටමත් ජාතික සමගි ආණ්ඩුවකට එක් නොවන බව ප්රකාශ කර තිබේ. ඊශ්රායලයේ ප්රධාන ධාරාවේ අනෙකුත් දේශපාලනඥයන් මෙන් ම, අයිසන්කොට් ද ඉරානය ඊශ්රායලයේ පැවැත්මට තර්ජනයක් ලෙස සලකන අතර, ඉරානයේ ඉස්ලාමීය පාලන තන්ත්රයට එරෙහි හමුදා ක්රියාමාර්ගවලට සහය දක්වයි. එහෙත්, දේශපාලන අරමුණු වෙනුවෙන් යුද්ධය තවදුරටත් උත්සන්න කිරීමෙන් වළකින ලෙස ඔහු පැහැදිලිව ම අනතුරු අඟවා තිබේ.
'උරුමය රැකගැනීමේ ප්රවේශය'
මැතිවරණ සීමාවලින් තවදුරටත් බාධා එල්ල නොවන තත්ත්වයක් යටතේ, මධ්යකාලීන මැතිවරණයෙන් පසුව ට්රම්ප් ඉරානයට ප්රහාර එල්ල කිරීමට වැඩි කැමැත්තක් දැක්වීමට ඉඩ තිබේ. යුද්ධයෙන් ඉවත් වීමට තවත් එක් ප්රබල ප්රහාරයක් එල්ල කිරීම ප්රමාණවත් වනු ඇතැයි ඔහු බලාපොරොත්තු විය හැකි ය. ඇතැම් විශ්ලේෂකයන්ගේ මතය වන්නේ, යුද්ධය සහ ආර්ථික සම්බාධක හේතුවෙන් ඉරානයේ ආර්ථිකය දැඩි ලෙස දුර්වල වී ඇති බැවින්, තවත් වටයක හමුදා ප්රහාර එල්ල කිරීමෙන් ඉරාන ජනතාව පාලන තන්ත්රය පෙරළා දැමීමට පෙළඹවිය හැකි බව ය. තවත් පිරිසක් මෙය දකින්නේ යථාර්ථයට වඩා තමන් කැමති ප්රතිඵලයක් ලැබෙනු ඇතැයි සිතීමක් ලෙස ය. මෙය මීට පෙර ද නැවත නැවතත් අසාර්ථක වූ උපායමාර්ගයකි. එහෙත්, වොෂින්ටනයේ දේශපාලන කවයන් තුළ එම අදහස තවමත් පිළිගැනීමක් ලබයි.
"මධ්යකාලීන මැතිවරණයෙන් පසු ඔහු තම දේශපාලන උරුමය තහවුරු කර ගැනීමේ අදියරට පිවිසෙනු ඇත," යනුවෙන් බටහිර රටක ඉහළ පෙළේ රාජ්ය තාන්ත්රිකයෙක් මට පැවසීය. "තම රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හැරුණු විට, අනෙකුත් ඕනෑ ම කාරණයකදී තීරණ ගැනීමට සහ ක්රියාමාර්ග ගැනීමට තමන්ට හැකියාව ඇති බව පෙන්වීමට ඔහුට අවශ්ය වනු ඇත."
ඉරානයෙන් එල්ල වන තර්ජනය සහ එය සීමා කිරීමේ අවශ්යතාව සම්බන්ධයෙන් ඊශ්රායලයේ බොහෝ දේශපාලන පක්ෂ අතර පුළුල් එකඟතාවක් පවතී. එහෙත්, ඡන්දදායකයන් නව ආණ්ඩුවක් තෝරා පත් කර ගතහොත්, අලුතින් ප්රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් දේශපාලනික හා පෞද්ගලික වශයෙන් අඩු කැපවීමක් ඇති අගමැතිවරයෙකු එරටට පත්වීමට ඉඩ තිබේ.
එවැනි තත්ත්වයක් යටතේ තම අදහස් ද වෙනස් විය හැකි බවට ට්රම්ප් ඉඟි කර තිබේ. "ඊශ්රායලයට වැරදි නායකයෙකු පත්වුවහොත් එනම්, බිබී [නෙතන්යාහුගේ අන්වර්ථ නාමය] හැර වෙනත් ඕනෑ ම අයෙකු පත්වුවහොත්, ඇමෙරිකාවට මේ කාර්යය තනිව ම කිරීමට සිදුවනු ඇත. එසේ කිරීමට මගේ කැමැත්තක් නැහැ," යනුවෙන් ඔහු සමාජ මාධ්ය ඔස්සේ සටහනක් තබා තිබිණි.
වොෂින්ටනයේ දේශපාලන කවයන් තුළ සිටින විශ්ලේෂකයන් මෙන් ම, ටෙහෙරානයේ ප්රතිපත්ති සම්පාදකයන් ද ඇමෙරිකානු ජනමත විමසුම් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් සිටීම පුදුමයට කරුණක් නොවේ. සත්ය වශයෙන් ම, මැතිවරණයෙන් පසු ඉරානයට ප්රහාර එල්ල කළහොත්, ඊට ඉරානය දැඩි ප්රතිප්රහාර එල්ල කිරීමේ අවදානමක් පවතී. එසේ වුවහොත් මැදපෙරදිග කලාපය යළිත් දැඩි අස්ථාවරත්වයකට ඇද වැටිය හැකි ය.
ප්රසිද්ධියේ මෙන් ම පෞද්ගලික සාකච්ඡාවලදී ද ඉරාන නිලධාරීන් අනතුරු අඟවා ඇත්තේ ගුවන් තොටුපළ, නළ පද්ධති, මුහුද යටින් දිවෙන රැහැන්, බලශක්ති පහසුකම් සහ මුහුදු ජලය පානීය ජලය බවට පත් කරන බලාගාර මෙන් ම ඇමෙරිකානු හමුදා කඳවුරු සහ යුද්ධ නෞකා ද ඉලක්ක කර ප්රහාර එල්ල කරන බව ය.
It's the economy ඒ ආර්ථියකයි
ගෝලීය ආර්ථිකය සම්බන්ධයෙන් ද මෙම මැතිවරණ දෙක එකිනෙක බැඳී පවතී. මධ්ය කාලීන මැතිවරණ ප්රචාරණ කටයුතුවලදී දැරිය හැකි මිල සහ ජීවන වියදම ප්රමුඛස්ථානය ගෙන ඇති අතර, ඉරානය හෝමූස් සමුද්ර සන්ධිය හරහා බලශක්ති සැපයුම් ගලායාම සීමා කිරීමත් සමග මිල ඉහළ ගිය ට්රම්ප්ගේ යුද්ධය නිසා ඇති වූ ගැටලු තවත් උග්ර විය.
ඊශ්රායලයේ ද මැතිවරණයේ ප්රධාන මාතෘකාවක් බවට ආර්ථිකය පත්ව තිබේ. එරට ඡන්දදායකයන්ට ඉහළ ජීවන වියදම සහ අඩු වැටුප්වලට මුහුණ දීමට සිදුව ඇත. එහෙත් මෙහිදී ද යුද්ධය බලපෑම් එල්ල කර තිබේ. ආරක්ෂක වියදම් ශීඝ්රයෙන් ඉහළ යාමත් සමග රාජ්ය මූල්ය තත්ත්වයට තවදුරටත් පීඩනයක් එල්ල වී ඇත.
මධ්යකාලීන මැතිවරණයට පෙර ඡන්දදායකයන්ගේ අප්රසාදය සමනය කිරීමට ට්රම්ප් උත්සහ කර තිබේ. රුසියාවෙන් ඩීසල් ආනයනය කිරීමෙන් මිල ගණන් සැලකිය යුතු ලෙස පහත වැටෙනු ඇතැයි ඔහු බලාපොරොත්තු වූ නමුත්, එම උත්සාහය සාර්ථක වී නොමැත. ඒ සඳහා ඔහු රුසියාවට පනවා තිබූ සම්බාධක ලිහිල් කළේ ය. යුක්රේනය සම්බන්ධයෙන් ද ඔහු දැඩි ස්ථාවරයක් අනුගමනය කරමින් එරට නායකත්වයට සහන ලබා දෙන ලෙස බල කර තිබේ. එමගින් විදේශ ප්රතිපත්තිය සම්බන්ධයෙන් ජයග්රහණයක් අත්කර ගැනීමට ඔහු බලාපොරොත්තු වුව ද, එය ද මෙතෙක් සාර්ථක වී නැත.
කෙසේ වෙතත්, ට්රම්ප්ගේ මෙම මතභේදාත්මක උපායමාර්ගය සම්බන්ධයෙන් රිපබ්ලිකන් පක්ෂය තුළ විරෝධය වැඩි වෙමින් පවතී. ට්රම්ප් නිතර විවේචනය කරන උතුරු කැරොලිනා ප්රාන්තයේ සෙනෙට් සභික තොම් ටිලිස්, සීබීඑස් පුවත් වෙත මෙසේ පැවසීය: "ජනාධිපතිවරයාට ඇත්තට ම බලශක්ති මිල ගණන් පහත හෙළීමට අවශ්ය නම්, ඔහුට එය කළ හැක්කේ ඉරාන ගැටලුව විසඳීමෙන්. ව්ලැදිමීර් පුටින්ට උදව් කිරීමෙන් නොවෙයි."
ඉරාන යුද්ධය හේතුවෙන් මෙන් ම, ගාසා තීරයේ සහ අත්පත් කරගෙන සිටින බටහිර ඉවුරේ ඊශ්රායල හමුදා මෙහෙයුම් හේතුවෙන් ද ඇමෙරිකාවේ ප්රධාන පක්ෂ දෙක අතර පැවති සාම්ප්රදායික සහයෝගය බිඳ වැටී තිබේ. මිචිගන් ප්රාන්තයේ සෙනෙට් සභාව සඳහා තරග කරන වාමාංශික ඩිමොක්රටික් අපේක්ෂක අබ්දුල් එල්-සායෙද්, ඊශ්රායලයට ලබා දෙන හමුදා ආධාර කපා හැරීමේ ප්රතිපත්තියක් යටතේ මැතිවරණ ප්රචාරක කටයුතුවල නිරත වෙයි. "ඔබේ මුදල් ලබාගෙන, ඔබ නොයා යුතු යුද්ධවලට ඔබව තල්ලු කරන මිත්රයෙකු සැබෑ මිත්රයෙකු නොවෙයි," ඔහු ඒබීසී පුවත් වෙත පැවසීය.
ඇමෙරිකාව සහ ඊශ්රායලය මුලින් ඉරානයට ප්රහාර එල්ල කළේ, එරට බැලස්ටික් මිසයිල විනාශ කිරීමට, න්යෂ්ටික හැකියාව දුර්වල කිරීමට, ආධාර ලබන සන්නද්ධ කණ්ඩායම්වලට ලබා දෙන සහය අඩපණ කිරීමට සහ සමස්ත පාලන තන්ත්රය පවා පෙරළා දැමීමට ය. එහෙත් ඉන් පසුව යුද්ධයේ අරමුණු වෙනස් වී ඇති අතර, දැන් ප්රධාන අරමුණ වී ඇත්තේ හෝමූස් සමුද්ර සන්ධිය යළි විවෘත කිරීම ය.
නිව් යෝර්ක්හි කොංග්රස් මැතිවරණයට තරග කරන, තම පක්ෂයේ වාමාංශික කඳවුරේ සිටින තවත් ඩිමොක්රටික් අපේක්ෂකයෙකු වන බ්රැඩ් ලැන්ඩර්, ඡන්ද විමසීමට දින කිහිපයක් තිබියදී බටහිර ඉවුරට යාමට පවා තීරණය කළේ ය. එහිදී ඔහු පලස්තීනුවන්ට ඔලිව් නෙළීමට සහය වූ අතර, ඊශ්රායල හමුදා විසින් කෙටි කාලයකට රඳවා තබා ගනු ලැබීය. එම සිදුවීම් ඔහුගේ මැතිවරණ ප්රචාරණය සඳහා සමාජ මාධ්ය ඔස්සේ යොදාගත හැකි ද්රව්ය බවට පත් විය. ඇමෙරිකානු දේශපාලන ඉතිහාසය තුළ මෙවැනි තත්ත්වයක් සාමාන්ය දෙයක් නොවේ. ඊශ්රායලයට ඇමෙරිකාවේ ආරක්ෂක රැකවරණය නොමැතිව අනාගතයේදී පැවැත්ම තහවුරු කර ගැනීමට සිදුවිය හැකි බවට බෙන්ජමින් නෙතන්යාහු පවා අනතුරු අඟවා තිබේ.
සත්ය වශයෙන් ම, ඊශ්රායල් අගමැතිවරයා මැතිවරණයෙන් පරාජයට පත්වුවහොත්, ඔහු ධූරයෙන් ඉවත්වීමත් සමග ට්රම්ප් සමග පැවති සමීප, එහෙත් එහෙත් විටින් විට මතභේදවලට ලක් වූ සබඳතාව ද අවසන් වනු ඇත. පසුගිය සතියේ ට්රම්ප් සිය ඊශ්රායල සගයා හැඳින්වූයේ, "විශිෂ්ට සටන්කාමී අගමැතිවරයෙකු" ලෙස ය. එහෙත් ගිම්හාන කාලයේදී ඔහු නෙතන්යාහු "මහ පිස්සෙක්" බව ද පවසා තිබිණි. ඊශ්රායලයේ නව නායකයෙකු පත්වුවහොත්, ධූර කාලය අවසන් වීමට ආසන්න ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු සමග අලුත් සබඳතාවක් ගොඩනගා ගැනීමට ඔහුට සිදුවනු ඇත. එය සම්පූර්ණයෙන් ම වෙනස් දේශපාලන තත්ත්වයක් වනු ඇත.
ඇමෙරිකානු කොංග්රසයේ වැඩි බලයක් ඩිමොක්රටික් පක්ෂයට හිමි වුවහොත්, ඊශ්රායලයට ඇමෙරිකාවෙන් ලැබෙන කොන්දේසි විරහිත සහයෝගය යම් තරමකට පාලනය වීමට එය හේතු විය හැකිය. හමුදා වියදම් පාලනය කිරීමට කොංග්රසයට සාම්ප්රදායිකව හිමි බලතල භාවිත කළ හැකි අතර, ඊශ්රායලයට ලබා දෙන හමුදා ආධාර කපා හැරීමට ද හැකියාව තිබේ. එහෙත් ජනාධිපතිවරයා ලෙස ට්රම්ප්ට තවදුරටත් සැලකිය යුතු විධායක බලතල සහ නිෂේධ බලය හිමි වනු ඇත. ඒ අනුව, ඔහුට අවශ්ය ආකාරයෙන් යුද්ධ මෙහෙයුම් අඛණ්ඩව කරගෙන යාමට ඔහුට හැකියාව පවතී.
මෙම වසර මුලදී ඉරානය සමග යුද්ධයකට යාමට ඊශ්රායලය සහ ඇමෙරිකාව ගත් තීරණය ගෝලීය ආර්ථිකය මෙන් ම ජාත්යන්තර භූ දේශපාලනය ද වෙනස් කළේ ය. ඉදිරි දිනවලදී දෙරටේ ඡන්දදායකයන් ගන්නා තීරණ, ලෝකය මීළඟට ගමන් කරන දිශාව තීරණය කිරීමට බලපෑ හැකි ය.
ප්රධාන ඡායාරූපයේ හිමිකම: Getty