පිටසක්වළ ජීවීන් අපගේ සෞඛ්‍යයට තර්ජනයක් විය හැකි ද?

A conceptual image of an astronaut walking on Mars with oversized microorganisms of different shapes and colours all around.
Published
කියවීමේ කාලය: මිනිත්තු 7

නාසා ආයතනයේ 'පර්සිවියරන්ස්' රෝවරය අඟහරු මත ඇති පාෂාණ සාම්පල එකතු කරමින් හා විශ්ලේෂණය කරමින් සිටියි. තාරකා විද්‍යාඥයෝ අපගේ වායුගෝලය වැනි වායුගෝලයක් තිබිය හැකි ග්‍රහලෝක සොයා විශ්වය පුරා පර්යේෂණ කරමින් සිටිති. එමෙන් ම, අපගේ මන්දාකිනියේ දූරස්ථ ග්‍රහලෝකවලින් පැමිණිය හැකි රේඩියෝ සංඥා තිබේදැයි අපි ඇහුම්කන් දෙමින් සිටිමු.

මෙම සියලු සංකීර්ණ මෙහෙයුම්වල ඇත්තේ එක් පොදු අරමුණකි: එනම් පෘථිවියෙන් ඔබ්බට ජීවය පැවතිය හැකි ද, නැතහොත් කෙදිනක හෝ පැවතුණේ ද යන්න සොයා බැලීමයි.

මිනිසුන් දශක ගණනාවක් පුරාවට අපගේ ග්‍රහලෝකයෙන් එපිට ජීවයේ සලකුණු සොයමින් සිටි නමුත් කිසිදු පිටසක්වල ජීවියෙකු චිත්‍රපටවල අප දකින කොළ පැහැති අයුරින් නොසිටිය හැකි ය. සත්‍ය වශයෙන් ම, නාසා සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය වැනි ආයතන සමග පර්යේෂණ සිදු කර ඇති තාරකා ජීව විද්‍යාඥවරියක සහ කතුවරියක වන ආචාර්ය මිකේලා මුසිලෝවාට අනුව ඔවුන් ක්ෂුද්‍ර ජීවීන් වීමේ ඉඩකඩ ඇත.

නමුත් එලෙස අප අභ්‍යවකාශයේ සිටින ක්ෂුද්‍ර ජීවී ජීවයක් සොයා ගතහොත්, එයට අපව රෝගී කළ හැකි ද? නැතිනම්, මෙම ක්ෂුද්‍ර ජීවීන් ප්‍රවාහනය කිරීම සිදු කරනු ලබන්නේ, අපගේ ග්‍රහ ලෝකයෙන් එපිටට ගමන් කරන අප විසින් ම ද?

A photo of a rover with wheels, cameras and other machinery perched on a dusty red/brown surface with lots of rocks of varying sizes around it; the sky is a dull reddish colour.
ඡායාරූප ශීර්ෂ වැකිය, නාසාහි පර්සිවියරන්ස් රෝවරය 2021 වසරේ අඟහරු ග්‍රහයා මත ගොඩබැස්සේ සාම්පල එකතු කරමින් එහි ජීවයක් පැවතියේ ද යන්න පිළිබඳ සලකුණු සොයා බැලීමේ අරමුණිනි

අහිතකර තත්ත්වයන්

මුසිලෝවා බීබීසීයේ 'ක්‍රවුඩ්සයන්ස්' පොඩ්කාස්ට් වැඩසටහනට පවසන්නේ, අභ්‍යවකාශයේ කටුක පරිසර තත්ත්වයන් තුළ ජීවත් වීමට වැඩි ම ඉඩක් ඇත්තේ බැක්ටීරියා වැනි සරල ජීවීන්ට බව ය.

ඇය පවසන පරිදි, පෘථිවියේ ඇති ඇතැම් බැක්ටීරියා වර්ගවලට, බීජාණු ස්වරූපයකට පත් වීමට පවතින හැකියාව නිසා ත් එය විකිරණවලට ඔරොත්තු දිය හැකි නිද්‍රාශීලී තත්ත්වයක් නිසාත්, ඒවාට දිගු කාලයක් අභ්‍යවකාශයේ නොනැසී පැවතිය හැකි වේ.

"ඒවා සෛලය තුළ මේ ඝන ආරක්ෂිත කවචය නිර්මාණය කර ගන්නවා - එතකොට DNA ඉතා තදින් රඳවා තබාගෙන විශේෂ ප්‍රෝටීන මගින් ආරක්ෂා කරනවා. හරියට ආසන ආරක්ෂක පටි වගේ ක්‍රියා කරමින්," ඇය පැහැදිලි කළා ය. "ඒවා DNA එක තැනක තබා ගන්නවා, මොකද විකිරණ නිසා DNA කුඩා කොටස්වලට කැඩී යා හැකි නිසා."

මුසිලෝවා පවසන පරිදි, ඇතැම් න්‍යායන් යෝජනා කරන්නේ බැක්ටීරියා බීජාණු අභ්‍යවකාශය තුළ වසර දහස් ගණනක් පුරාවට පැවතිය හැකි බව ය. නමුත්, එවැනි අදහස් තවමත් උපකල්පන මට්ටමේ පවතින බව ඇය පවසන්නේ, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී මේ සම්බන්ධ පර්යේෂණ සිදු කර ඇත්තේ සාපේක්ෂව කෙටි කාලයක් පමණක් බැවිනි.

අභ්‍යවකාශයේ සිට පෘථිවියට

විද්‍යාඥයන් පිළිතුරු සෙවිය යුතු ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ, අභ්‍යවකාශයේ තිබිය හැකි ක්ෂුද්‍රජීවී ජීවය පෘථිවියට ආපසු ගෙන ආ හැකි ද යන්නයි. එය 'ප්‍රතිලෝම දූෂණය' (backwards contamination) ලෙස හැඳින්වෙන අතර, එම ජීවීන් යම් හෙයකින් හෝ අපට අනතුරුදායක නම්, ඒවාට අපව රෝගී කළ හැකි ද යන්න ද එහිදී මතුවන ප්‍රශ්නයකි.

අඟහරු ග්‍රහයාගේ මතුපිටින් ගනු ලබන සාම්පල මගින් පෘථිවියට හානි වීමට ඇති අවදානම "අතිශයින් ම අඩු" බව විශේෂඥයින් මීට පෙර පවසා තිබිණි. නමුත් එය තර්ජනයක් බව නාසා වැනි අභ්‍යවකාශ ඒජන්සි "ඉතා බැරෑරුම් ලෙස" සලකන බව මුසිලෝවා පවසයි.

උදාහරණයක් ලෙස, අඟහරු ග්‍රහයාගෙන් ලබාගත් සාම්පල පළමු වරට පෘථිවියට රැගෙන ඒම සඳහා නාසා (NASA) සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය (ESA) එක්ව ක්‍රියාත්මක කළ, දැනට අත්හිටුවා ඇති 'Mars Sample Return' වැඩසටහන තුළ ද හදිසි අවස්ථා සඳහා සැලසුම් සකස් කර තිබිණි.

A red planet with surface contours is seen against a black background.
ඡායාරූප ශීර්ෂ වැකිය, විශේෂඥ කමිටු මීට පෙර පවසා ඇත්තේ අඟහරු ග්‍රහයාගේ මතුපිටින් ලබාගන්නා සාම්පල පෘථිවියට හානියක් සිදු කිරීමේ අවදානම "අතිශය අවම" බවයි

"මේ සාම්පල මුලින් ම ගබඩා කර පරීක්ෂා කිරීම සඳහා පෘථිවියේ විශේෂ ආරක්ෂිත රසායනාගාර පිහිටුවීමට ඔවුන් සැලසුම් කර තිබූ බව පැහැදිලියි," ඇය පැවසුවා ය.

මෙම වැඩසටහනේ සේවය කළ විද්‍යාඥයෙකු වූ සිල්වියෝ සිනිබල්ඩි යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ ග්‍රහලෝක ආරක්ෂණ නිලධාරියෙකු ලෙස කටයුතු කළේ ය.

තව ද, අවධානයට ලක් වූ එක ම තර්ජනය සාම්පල පමණක් ම නොවූ බව ඔහු පෙන්වා දෙයි.

"අභ්‍යවකාශ යානයේ බාහිර පෘෂ්ඨය දූෂණය කිරීම ඉඩ ඇති අංශු පිළිබඳවත් අපි සොයා බැලුවා," සිනිබල්ඩි පැහැදිලි කරයි, ඒවා "පෘථිවි වායුගෝලය ආසන්නයට ළඟා වීම පවා " ඔවුන්ට අවශ්‍ය නොවිණි.

අපට අභ්‍යවකාශය දූෂණය කළ හැකි ද?

Skip podcast promotion and continue reading
WhatsApp BBC News සිංහල
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

නමුත්, නාසාහි හිටපු ගගනගාමියෙකු සහ එක්සත් ජනපදයේ පිට්ස්බර්ග් විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍රජීව විද්‍යාඥ ආචාර්ය කේට් රූබින්ස්ට අනුව, ක්ෂුද්‍ර ජීවීන්ට අභ්‍යවකාශයේ ජීවත් විය හැකි නම්, අප එහි රැගෙන යන දේ පිළිබඳව ද අප සිතා බැලිය යුතු ය.

මිනිසුන් අභ්‍යවකාශයට යන විට අනිවාර්යයෙන් ම ක්ෂුද්‍ර ජීවීන් ද ඔවුන් සමග රැගෙන යයි. තව ද, අවට පරිසරය හඳුනා ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් ක්ෂුද්‍රජීවීන් සුවිශේෂී වන බව රූබින්ස් පෙන්වා දෙයි.

''ඒවා ආතතිය වගේ දේවල්වලට ඉතා සංවේදීයි. ඒ වගේ ම අභ්‍යවකාෂ ගමන් සිදුවන පරිසරය, ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණය අතිශයින් අඩු පරිසරය - බොහෝ ආතතිකාරී සාධක රැසකින් පිරී පවතිනවා," ඇය පවසයි.

අධ්‍යයනවලින් සොයාගෙන ඇත්තේ, ගුරුත්වාකර්ෂණය අතිශයින් අඩු පරිසරවලට නිරාවරණය වන ඇතැම් බැක්ටීරියා රෝග ඇති කිරීමේ හැකියාවට සම්බන්ධ ජාන සක්‍රීය කරන බව ය,

"මෙය තරමක් කණස්සල්ලට කරුණක්... මොක ද ඒ බැක්ටීරියා රෝග ඇති කිරීමේ හැකියාවෙන් තරමක් වැඩි විය හැකි නිසා," රූබින්ස් සඳහන් කරයි.

අභ්‍යවකාශ ගමන් මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතියට අහිතකර ලෙස බලපාන්නේ කෙසේ ද යන්න පිළිබඳව ඇතැම් පර්යේෂණවලින් පෙන්වා දී තිබේ.

ෂින්ගල්ස් රෝගය ඇති කරන වෛරස ඇතුළුව නිද්‍රාශීලී වෛරස ඇතැම් අවස්ථාවල අභ්‍යවකාශයේදී නැවත සක්‍රිය වන ආකාරය නාසා ආයතනය නිරීක්ෂණය කර ඇත. "(එයින්) අදහස් කෙරෙන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අවදානමට ලක්ව ඇති බව... සහ එම වෛරසය අවදි වී නැවත සක්‍රිය වී තිබී ඇති බවයි," රූබින් පවසයි.

An astronaut is completing a spacewalk, floating outside a spacecraft, with the blue Earth covered in clouds behind him.
ඡායාරූප ශීර්ෂ වැකිය, අභ්‍යවකාශ ගමන් ගගනගාමීන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට අහිතකර බලපෑමක් ඇති කළ හැකි බවට සාක්ෂි තිබේ

මුසිලෝවාට අනුව, අභ්‍යවකාශයට ක්ෂුද්‍ර ජීවීන් රැගෙන යාම අපගේ විද්‍යාත්මක පර්යේෂණවලට ද තර්ජනයක් විය හැකි ය. ඒ, අපට අධ්‍යයනය කිරීමට අවශ්‍ය දේ ම අප දූෂණය කළ හැකි නිසා ය.

"අඟහරු ග්‍රහයා මත ජීවය පැවතීමට සුදුසු පරිසරයක් කවදා හෝ තිබුණේ ද යන්න සොයා බැලීමට අපි විවිධ ගවේෂණ යානා රැසක් අඟහරු වෙත යවා තිබෙනවා," ඇය පවසයි.

"අඟහරු වෙත යන ගමනේදී 'සැඟවී ගමන් කිරීමට' සමත් වූ ක්ෂුද්‍ර ජීවීන් කිහිප දෙනෙකු සිටීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා... යම් දිනෙක අපි අඟහරු මත ජීවය සොයා ගතහොත්, අපට මුලින් ම පරීක්ෂා කිරීමට සිද්ධ වෙන්නේ මේ පෘථිවියෙන් පැමිණි දූෂකයක් නොවෙයි ද කියන එක."

එම අවදානම අඩු කිරීමෙන් "වෙනත් ග්‍රහලෝක මත ව්‍යාප්ත විය හැකි" ජීවීන් රැගෙන යාම ද වළක්වන බව සිනිබල්ඩි තවදුරටත් පවසයි.

මේ සඳහා අභ්‍යවකාශ යානා නිර්මාණය කර ඇති ආකාරය ද යම් කාර්යභාරයක් ඉටු කළ හැකිය.

යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ 'එක්සෝමාස්' රෝවරය වන රෝසලින්ඩ් ෆ්‍රෑන්ක්ලින් 2028දී දියත් කිරීමට නියමිතව ඇති අතර, දූෂණය වීමේ අවදානම අවම වන ආකාරයට එය නිර්මාණය කරමින් පවතී.

බැක්ටීරියා ප්‍රමාණය හැකිතාක් අඩු කිරීම සඳහා වියළි තාපය, පාරජම්බුල කිරණ සහ ගැමා විකිරණ වැනි ක්‍රම ද භාවිත කරන නමුත් මෙම ක්‍රමවලින් බැක්ටීරියා සම්පූර්ණයෙන් ම ඉවත් කළ නොහැකියි.

"රෝවරයේ මුළු මතුපිට පුරා ම බැක්ටීරියා බීජාණු 10,000කට වඩා අඩුවෙන් තිබිය යුතු බවට අවශ්‍ය වුණා. ඒක සාමාන්‍යයෙන් ඉඳිකටු තුඩකිනුත් අටෙන් එකක පමණ ප්‍රමාණයක දක්නට ලැබෙන ප්‍රමාණයක්," 'එක්සෝමාස්' ඉංජිනේරු පෝල් මීචම් පවසයි.

"අපි ඇත්තට ම, එම අගයෙන් 10%ක ළඟා කර ගත්තා."

මෙය වැදගත් වන්නේ ඇයි?

මෙම වසරේ අගෝස්තු මාසයේදී, නාසා විද්‍යාඥයින් සොයා ගත්තේ පෘථිවියේ ඇති ඇතැම් ක්ෂුද්‍ර ජීවීන්ට චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැව කලාපයේ සෙවණ සහිත ස්ථානවල සහ කුඩා විවරවල ජීවත් විය හැකි බවයි.

මෙම සොයා ගැනීම් ක්ෂුද්‍ර ජීවීන් අභ්‍යවකාශයේදී ප්‍රතිචාර දක්වන ආකාරය වඩා හොඳින් අවබෝධ කර ගැනීමේ අවශ්‍යතාවය ඉස්මතු කළ බව ඔවුහු පැවසූහ.

අභ්‍යවකාශයේදී ක්ෂුද්‍ර ජීවීන්ට ජීවත් වීමට පමණක් නොව, වඩාත් රෝගකාරී වීමට ද ඇති හැකියාව සහ අභ්‍යවකාශ ගමන් නිසා මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල විය හැකි බැවින් ක්ෂුද්‍රජීවීන් ගගනගාමීන්ගේ සෞඛ්‍යයට මෙන් ම අභ්‍යවකාශ මෙහෙයුම් සාර්ථක කර ගැනීමටත් අහිතකර බලපෑමක් ඇති කළ හැකියි.

තව ද මිනිසුන් පෘථිවියෙන් එපිට දීර්ඝ ගමන් සැලසුම් කරන විට මෙම ගැටලු වඩාත් වැදගත් වේ. යම් අයෙකු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී රෝගී වුවහොත්, පැය 24ක් ඇතුළත වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඔවුන්ව පෘථිවිය වෙත යොමු කළ හැක.

නමුත් සඳ මතදී, එයට දින ගණනක් ගතවනු ඇත.

''(ඒක) ලොකු දෙයක් වගේ පෙනෙන්නේ නැහැ, නමුත් ඔබට දරුණු ආසාදනයක් තිබෙනවා නම්, (ඒක) ඇත්තට ම ගැටලුවක් වෙන්න පුළුවන්," රූබින්ස් පවසයි.

බීබීසී ලෝක සේවයේ CrowdScience වැඩසටහනේ කථාංගයක් ඇසුරිනි. අතිරේක වාර්තාකරණය: ඩේසි ස්ටීවන්ස්.