අභ්‍යවකාශයේ අතරමං වුණත් ඔබව යළි පෘථිවියට රැගෙන එන වසර 300ක් පැරණි උපකරණය

ඡායාරූප මූලාශ්‍රය, HadelProductions via Getty Images/Nasa
- Author, සොෆී හාර්ඩක්
- Role, බීබීසී ලෝක සේවය
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 7
ඔබ අඟහරු ග්‍රහයා වෙත පියාසර කරන ගගනගාමියෙකු බව සිතන්න. හදිසියේ ම, විපතක් සිදුවේ: ඔබේ සියලු ම ඉලෙක්ට්‍රොනික මගපෙන්වීමේ පද්ධති බිඳ වැටේ. ඔබ ඔබේ නිවසට ආපසු පැමිණෙන මාර්ගය සොයා ගන්නේ කොහොම ද?
නාසා (NASA) ගගනගාමීන් සඳහා මෙයට පිළිතුර විය හැක්කේ, මීට වසර 300කට පමණ පෙර සොයා ගන්නා ලද මග සෙවීමේ උපකරණයක් වන සෙක්ස්ටන්ට් (Sextant) උපකරණය යි.
පෘථිවියේ මුහුදු ගමන් යන්නන් සහ මුල්කාලීන නාසා (NASA) මෙහෙයුම්වල ගගනගාමීන් විසින් භාවිත කරන ලද සෙක්ස්ටන්ට් උපකරණ, සඳ වෙත යන සහ සමහරවිට ඉන් ඔබ්බට යන මෙහෙයුම්වලදී අධිතාක්ෂණික පද්ධති ක්‍රියාවිරහිත වුවහොත්, අවසාන බලාපොරොත්තුව ලෙස භාවිත කළ හැකි මග සෙවීමේ විකල්පයකි.
සාම්ප්‍රදායිකව, සෙක්ස්ටන්ට් උපකරණ භාවිත කරනු ලබන්නේ තමන් සිටින ස්ථානය ගණනය කිරීම සඳහා තරු සහ ග්‍රහලෝක වැනි ආකාශ වස්තූන් අතර ඇති කෝණය මැනීමට ය. හදිසි අවස්ථාවන්හිදී භාවිත කිරීමට අමතරව, මිනිසා අඟහරු වෙත සහ ඉන් ඔබ්බට යාමට සැලසුම් කරන බැවින්, මෙම පැරණි තරු නිරීක්ෂණ කුසලතා කෙරෙහි නාසා ඉංජිනේරුවන්ගේ ද උනන්දුව දැන් වැඩි වෙමින් පවතී.

ඡායාරූප මූලාශ්‍රය, NASA
අප පෘථිවියෙන් තව තවත් ඈතට යන තරමට, චන්ද්‍රිකා වැනි පෘථිවිය මත පදනම් වූ සංචලන තාක්ෂණයන් කෙරෙහි අපට විශ්වාසය තැබීමට ඇති හැකියාව අඩු වෙනවා," යැයි ඔරියන් (Orion) අභ්‍යවකාශ යානයේ සහ සඳ වෙත යන ආටෙමිස් (Artemis) මෙහෙයුම්වල සංචලන පද්ධති කළමනාකරු ග්‍රෙග් හෝල්ට් පවසයි. "එබැවින් දැන් අපට මා සාම්ප්‍රදායික සංචලන ක්‍රම ලෙස හඳුන්වන දේවල් කෙරෙහි වැඩි වැඩියෙන් යොමු වීමට සිදු වෙනවා. එයින් සමහරක් 16, 17 සහ 18 වන සියවස්වල මඟ සෙවීම් සිදු කළ ආකාරය සිහිගන්වනවා," ඔහු පැහැදිලි කරයි.
එම සාම්ප්‍රදායික සංචලන යුගයේදී, 'ඔබ සිටින්නේ කොහේදැයි සොයා ගැනීමට සහ එම ආකාශ වස්තූන්ට සාපේක්ෂව ඔබේ පිහිටීම තීරණය කිරීමට ඔබට සැබවින්ම තරු දෙස බැලීමට සිදු වුණා,' යැයි ඔහු පවසයි. මෙම කුසලතා ගැඹුරු අභ්‍යවකාශයේදී අතිශයින් ම වැදගත් විය හැකි යි, 'මන්ද ඔබ පෘථිවියෙන් බොහෝ ඈතට ගිය පසු ඔබට ඉතිරි වන එක ම මග සලකුණු කිහිපයෙන් සමහරක් ඒවා වන බැවිනි'.
මීට අමතරව, තරු ආධාරයෙන් මඟ සොයන ආකාරය දැන සිටීම ජීවිත බේරා ගැනීමට හේතු විය හැකි බව ඔහු පෙන්වා දෙයි: 'යම් හෙයකින් ඔවුන්ට පෘථිවිය සමග ඇති සන්නිවේදනය අහිමි වුවහොත්, ගගනගාමීන්ට ආරක්ෂිතව නැවත පෘථිවිය බලා පැමිණීමට ක්‍රමයක් ඇති බව තහවුරු කර ගැනීම අපට අවශ්‍ය යි'.
සඳ චාරිකාව
2018 වසරේදී, හෝල්ට් සහ ඔහුගේ කණ්ඩායම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) සිටි සෙරීනා අවුනියන්-චාන්සලර් සහ ඇලෙක්සැන්ඩර් ගර්ස්ට් යන ගගනගාමීන් දෙදෙනාගෙන්, පියවි ඇසින් සහ ස්ථාවර දෑතින් මිනුම් ලබා ගනිමින් අතින් ක්‍රියා කරවන සෙක්ස්ටන්ට් උපකරණයක් පරීක්ෂා කර බලන ලෙස ඉල්ලා සිටියහ.

ඡායාරූප මූලාශ්‍රය, NASA
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
සැබවින් ම සන්නිවේදනය අහිමි වුවහොත්, සඳේ සිට නැවත පෘථිවිය බලා පැමිණීම සඳහා හදිසි අතිරේක සංචලන ක්‍රමයක් ලෙස අතින් ක්‍රියා කරවන සෙක්ස්ටන්ට් උපකරණයක් භාවිත කරන ආකාරය අපේ කාර්ය මණ්ඩල සාමාජිකයන් ලවා ප්‍රායෝගිකව අත්හදා බැලුවා," යැයි හෝල්ට් පවසයි.
"ඔබට සන්නිවේදනය නැති වුණොත්, ඔබට පෘථිවිය සමග ඇති එම රේඩියෝ සංචාලන සම්බන්ධතාව ද ගිලිහී යන අතර, ඒ අවස්ථාවේදී ඔබට තනිව සිටීමට සිදුවෙනවා."
මෙම පරීක්ෂණය සංචලන ඉතිහාසයේ ඉතා ගැඹුරට දිවයන්නකි. 1960 ගණන්වලදී, නාසා (NASA) ආයතනය මෙම පැරණි තරු නිරීක්ෂණ ක්‍රම අභ්‍යවකාශ ගමන් සඳහා ගැලපෙන සේ සකස් කර ගත් නමුත්, ආරම්භයේදී ගගනගාමීන්ට මෙය සාර්ථක වනු ඇත්දැයි යන්න පිළිබඳව සම්පූර්ණ විශ්වාසයක් නොවී ය.
"ඒ කාලයේ මම සැලකිලිමත් වූ දේවලින් එකක් වුණේ අපේ සංචලන ක්‍රමවේදයන් ප්‍රමාණවත් තරම් නිවැරදිද නැද්ද කියන එක [...] කුමන හෝ හේතුවක් නිසා පෘථිවිය එක්ක තියෙන සන්නිවේදනය නැති වුණොත්, ආකාශ වස්තූ භාවිතයෙන් අපට තනියම ගමන් මාර්ගය හොයාගන්න පුළුවන් වෙයිද? අපිට පුළුවන් වෙයි කියලා අපි හිතුවා, නමුත් මේවා ඔප්පු කර නොපෙන්වූ කුසලතා.'' සඳ මත පය තැබූ පළමු මිනිසා වන නීල් ආම්ස්ට්‍රෝං සිහිපත් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Consolidated News Pictures via Getty Images
පිළිතුර වූයේ 'ඔව්' යන්නයි – ඔහු සහ මුල්කාලීන අභ්‍යාවකාශ ගමන්වල යෙදුණු අනෙකුත් ගගනගාමීන්, සාමාන්‍ය අවස්ථාවලදී මෙන්ම හදිසි අවස්ථාවලදී ද සෙක්ස්ටන්ට් උපකරණ සහ පියවි ඇසින් මඟ සෙවීමේ ක්‍රම සාර්ථකව භාවිතා කළහ. 1966 දී සිදුවූ ජෙමිනි 12 අභ්‍යවකාශ ගමනේදී, රේඩාර් පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් බස් ඕල්ඩ්‍රින්ට අතින් ක්‍රියා කරවන සෙක්ස්ටන්ට් උපකරණයක් සහ සිතියමක් භාවිතා කිරීමට සිදු විය.
තවද 1970 දී, විනාශයට පත්වීමට ආසන්න වූ ඇපලෝ 13 අභ්‍යවකාශ ගමන අතරතුරදී, ජිම් ලවෙල් ආපසු පෘථිවිය වෙත පැමිණීමේ අවසන් අදියරේදී පෘථිවියේ දර්ශනය උපයෝගී කර ගත් බව ප්‍රකටය.
අතිරේක ක්‍රමවේදයක්
ඔරියන් අභ්‍යවකාශ යානය තුළ පවතින දෘශ්‍ය සංචලන පද්ධතිය අතිරේක ක්‍රමවේදයක් ලෙස ක්‍රියා කරන අතර, පෘථිවිය සමඟ පවතින සන්නිවේදනය සහ පෘථිවිය මත පදනම් වූ සංචාලන සහාය අහිමි වුවහොත් යානය තුළදීම මඟ සොයා ගැනීමේ හැකියාව එයින් ලබා දෙයි," යැයි හෝල්ට් පවසයි. ආටෙමිස් මෙහෙයුම් අතරතුරදී, මෙම පද්ධතිය සාමාන්‍ය ක්‍රියාපටිපාටියක් ලෙස දිනකට එක් වරක් බැගින් ක්‍රියාත්මක කරනු ලැබේ. "මෙය පද්ධතිය දිගට ම හොඳින් ක්‍රියාත්මක වන බව තහවුරු කර ගැනීමටත්, අපගේ ඉංජිනේරු සැලසුම් කණ්ඩායම සඳහා වටිනා දෘශ්‍ය රූප සහ කාර්යසාධන දත්ත රැස් කිරීමටත් අපට උපකාරී වෙනවා," ඔහු පවසයි. එමෙන්ම එය "පෘථිවිය මත පදනම් වූ ලුහුබැඳීම්වලින් ලැබෙන සංචාලන තීරණ නිවැරදිදැයි නැවත පරීක්ෂා කර තහවුරු කර ගැනීමේ" ක්‍රමවේදයක් ද වේ.
නමුත් මෙම අධිතාක්ෂණික පද්ධතිය ක්‍රියාවිරහිත වුවහොත්, අතින් ක්‍රියා කරවන සෙක්ස්ටන්ට් උපකරණය භාවිතයට ගැනේ.
අප්‍රේල් මාසයේදී සඳ වෙත ගිය ආටෙමිස් II මෙහෙයුම අතරතුර, හෝල්ට් නිරූපණය කළ ආකාරයටම අතේ ගෙන යා හැකි හදිසි සෙක්ස්ටන්ට් උපකරණයක්, මෙහෙයුම දියත් කිරීමට පෙර සූදානම් වීමේ අදියරේදී තබා තිබූ බව ඔහු පවසයි. එම අවස්ථාවේදී අධිතාක්‍ෂණික පද්ධතියේ කැමරාවල ගැටලුවක් තිබුණේ නම්, අවසන් මිනිත්තුවේදී සෙක්ස්ටන්ට් උපකරණය යානයට යොමු කරනු ඇත. එය අවශ්‍ය උපකරණයක් නොවන බැවින් සාමාන්‍යයෙන් එය ඔරියන් තුළ ඇසුරුම් කර තබන්නේ නැහැ: "අභ්‍යවකාශ මෙහෙයුම්වලදී සෑම ග්‍රෑම් එකකම බර ගණන් ගණනය කරනවා," ඔහු පෙන්වා දෙයි.
එබැවින් යානය දියත් කිරීමෙන් පසු, අභ්‍යවකාශයේදී දරුණු පද්ධති බිඳවැටීමක් සිදු වුවහොත් ගගනගාමීන් සතුව එම අතින් ක්‍රියා කරවන සෙක්ස්ටන්ට් උපකරණය යානය තුළ නොතිබෙනු ඇත. නමුත් පියවි ඇසින් මඟ සොයා ගත හැකි වෙනත් ක්‍රම පිළිබඳව ඔවුන් පුහුණු කර ඇති බව හෝල්ට් පැහැදිලි කරයි.
එකක් වන්නේ, තමන්ගේ ම පිහිටීම පිළිබඳ දළ දර්ශකයක් ලෙස, පෘථිවිය හෝ චන්ද්‍රයා පිටුපස නිශ්චිත තාරකා නොපෙනී යන වේලාවන් සොයා බැලීම යි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
හෝල්ට් පවසන්නේ, මුල් මෙවලම සමග පවතින හුරුපුරුදුභාවය නාසා ආයතනයේ ඉංජිනේරුවන්ට ද ප්‍රයෝජනවත් බව යි. අධිතාක්‍ෂණික පද්ධති සංවර්ධනය කරන කණ්ඩායම් මෙහෙයවන විට, "මම ඔවුන් සියල්ලන් ම පිටතට ගොස් සෙක්ස්ටන්ට් එකක් සමග පුහුණුවීම් කරන බව තහවුරු කර ගන්නවා, එවිට මේ සියල්ල පැමිණෙන්නේ කොහෙන් ද, ගණිතය සහ ජ්‍යාමිතිය යන මූලික කරුණු ඔවුන් තේරුම් ගන්නවා," ඔහු පවසයි.
ග්‍රහක මගින් මග පෙන්වීම
නූතන අභ්‍යවකාශගාමීන්ට උපකාරී වන, කාලානුරූපීව වලංගු වෙනත් මග සෙවීමේ ක්‍රම ද පවතී. උදාහරණයක් ලෙස, අතීතයේ සිට ම නාවිකයින්ට මග පෙන්වූ දීප්තිමත් සහ පහසුවෙන් හඳුනාගත හැකි තරු හා තාරකා රටා, අභ්‍යවකාශයේ සිටින ගගනගාමීන්ට ද මග සොයා ගැනීමට ප්‍රයෝජනවත් වන බව හෝල්ට් පවසයි. ඒ පෘථිවියේ සිටියත්, අභ්‍යවකාශ යානයක සිටියත් ඒවා මිනිසුන්ට ඉතා පහසුවෙන් නිරීක්ෂණය කර හඳුනාගත හැකි බැවිනි.
"අඟහරු මෙහෙයුම් සඳහා, මෙම සංචාලන ලක්ෂ්‍යයන්ට ග්‍රහකයන් ද ඇතුළත් විය හැකි බව හෝල්ට් පවසයි. 'අපි කියන්නේ (ගගනගාමියාට), අපි අපේක්ෂා කරනවා එම ග්‍රහකය මිථුන තරු රටාවේ ප්‍රධාන තරු දෙක අතර මැදින් පිහිටයි කියලා, ඒ නිසා එදෙස බලා, ඒ තරු දෙක අතර ඇති ග්‍රහකය සොයාගෙන, ඔබේ නිරීක්ෂණ ලබා ගන්න, අනතුරුව අපේක්ෂාවන්ට සාපේක්ෂව සංසන්දනය කර ගණනය කිරීම් සිදු කරන්න.'' නිරීක්ෂණ වැරදි නම්, ගගනගාමීන් ඔවුන්ට යාමට අවශ්‍ය ස්ථානයට ළඟාවීම සඳහා ගමන් මාර්ගය නිවැරදි කර ගනියි.
''මට, මගේ රැකියාවේ සිත් ඇදගන්නා කොටස තමයි, මෙම සියලු ශිල්පීය ක්‍රම එකිනෙකට සම්බන්ධ වී ඇති ආකාරය දැකීම, නැව්වල සිට තරු නිරීක්ෂණය කිරීමේ මූලික ක්‍රමවල සිට අපි අඟහරු වෙත සහ තවත් ස්ථාන වෙත ගමන් කිරීමට බලාපොරොත්තු වන ආකාරය දක්වා" හෝල්ට් පවසයි.
වඩාත් ම ඈත ගැඹුරු අභ්‍යවකාශයට දිවයන මෙහෙයුම්වලදී පවා තවමත් භාවිත වන්නේ, එක ම මූලික සංකල්පයන් බව ඔහු පවසයි: එනම් තරු දෙස බැලීම, තරු සමඟ සසඳමින් අනෙකුත් වස්තූන් දෙස බැලීම සහ අප සිටින්නේ කොහේදැයි තීරණය කිරීම සඳහා ජ්‍යාමිතික සබැඳියාවන් උපයෝගී කර ගැනීමයි. 'අපි එය ලී කූරකින්, සෙක්ස්ටන්ට් උපකරණයකින් හෝ අධිතාක්ෂණික කැමරාවකින් අතින් සිදු කළත්, මෙම ශිල්පීය ක්‍රම බොහොමයක් එකිනෙකට සම්බන්ධ වී පැවතීමත්, ඒවාට පොදු උරුමයන් සහ ගණිතමය පදනම් තිබීමත් මට මහත් ආශ්චර්යයක්,' යැයි ඔහු පවසයි.


































