බඩගින්නට කන කෙටි ආහාරවලින් ඔබේ ජීවිතය කෙටි වෙයි ද?

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

කාර්ය බහුල ජීවන රටාව තුළ බොහෝ දෙනෙකු කෙටි ආහාර ලබා ගැනීමට පුරුදු වී සිටින අතර ඇතැම් අවස්ථාවල ප්‍රධාන ආහාර වේල් මග හැරීම නිසා ද කෙටි ආහාර පරිභෝජනයට යොමු වෙති.

නමුත් කෙටි ආහාරවල අධික තෙල් හා සීනි වැනි අහිතකර සංඝටක අන්තර්ගත වීම දැඩි සෞඛ්‍ය අවදානමකට මග පාදන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

"බෝ නොවන රැසකට හේතු වී ඇති" කෙටි ආහාර පෝෂණ ගැටලු රැසක් ද ඇති කරන බව ඔවුහු පවසති.

ජූනි මාසයට යෙදී ඇති පෝෂණ මාසයේ මෙවර තේමාව "කෙටි ආහාර ගැන සිතමු, සෞඛ්‍ය සම්පන්න, ස්වාභාවික කෙටි ආහාර තෝරමු," යන්න වන අතර ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් ද පසුගිය දා පැවැත්විණි.

'අහිතකර' කෙටි ආහාරවලින් ශරීරයට සිදුවන්නේ කුමක් ද?

"ප්‍රධාන ආහාර වේල් හැරුණා ම භාවිත කරන කෙටි ආහාර අධික සීනි, ලුණු සහ තෙල් අඩංගු දේවල්. ඒවා රෝල්ස් වෙන්න පුළුවන්, පැටිස් වෙන්න පුළුවන්, එහෙම නැති නම් රස කළ බීම පැකට් එකක් වෙන්න පුළුවන්. මේ දේවල් පරිභෝජනය ස්ථූලභාවය වැඩි වීමට ප්‍රධාන හේතුවක්," යැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ පෝෂණ අංශයේ, පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනෝජි ගමගේ පැවසුවා ය.

මෙවැනි ආහාර ගැනීම නිසා ශරීරයේ සිදුවන රසායනික වෙනස්කම් ද විශේෂඥ වෛද්‍යවරිය තවදුරටත් පැහැදිලි කළා ය.

"අධික සීනි තියෙන ආහාර නිතර නිතර ගත්තොත්, ප්‍රධාන ආහාරයත් ගන්නවා තව පැය දෙකකින් විතර, නැවත ඒ වගේ දෙයක් අනුභව කරනවා එතකොට අපේ සීනි මට්ටම ඕනෑවාට වඩා ඉහළ පහළ යාමක් සිදු වෙනවා.

"ඒ තුළ ශරිරය තුළ කුසගින්න යාමනය කරන හෝමෝන අක්‍රමවත් වෙනවා. ඒ නිසා අපි පටන් ගන්නවා බඩගිනි නැතුවත් කන්න. ඒ වගේ ම සීනි ඉහළ පහළ යාම අක්‍රමවත් වෙනකොට අපේ ශරීරයේ ස්වභාවිකව බඩගිනි දැනෙන, බඩ පිරුණු බවට දැනෙන ක්‍රියාවලිය නැති වෙලා යන්න පුළුවන්."

කුසගිනි හඳුනා ගැනීමේ පද්ධතියට සිදුවන බාධා

තව ද අහිතකර කෙටි ආහාර ස්වාභාවිකව කුසගිනි හඳුනා ගැනීමේ පද්ධතියට බාධා කරන බව ද විශේෂඥ වෛද්‍ය මනෝජි ගමගේ පැවසුවා ය.

"ඒ නිසා නැවත නැවත ඒ ආහාර ගන්න, ගොඩක් ඒ පසුපස හඹා යන්න, තවත් කන්න ඕනේ කියලා හැඟීමක් ඇති වෙනවා මේ තුළ."

එමෙන් ම, මෙවැනි තත්ත්වයක් තුළ දියවැඩියා රෝගයට ගොදුරු වී, ඒ හරහා හෘද රෝග ඇති වීමේ අවදානම ඇති වන බව ද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළා ය.

කෙටි ආහාර අවශ්‍ය වන්නේ කාට ද?

පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනෝජි පැවසුවේ, හොඳට වැඩුණු නිරෝගී පුද්ගලයෙකු සමබල ආහාර ප්‍රධාන ආහාර වේල් වශයෙන් ලබා ගන්නේ නම් කෙටි ආහාර අවශ්‍ය නොවන බව ය.

"ළමුන් ගත්තොත් ඒගොල්ලෝ වර්ධනය වෙනවා, එතකොට එක පාරකට ගොඩක් ඒගොල්ලන්ට කන්න අපහසු වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ගොඩක් ක්‍රීඩා කරනවා. එතකොට ඒ වගේ කෙනෙකුට අපිට මැදට සෞඛ්‍ය සම්පන්න ස්වභාවික කෙටි ආහාරයක් වැදගත් වෙන්න පුළුවන්.

"ඒ වගේ ම ගර්භණී සමයේ කිරි දෙන මව්වරුන්ට ස්වභාවික නිරෝගී ආහාරයක් කෙටි ආහාරයක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්.

"අපේ සමාජය තුළ ක්ෂුද්‍ර පෝෂක ඌණතාව තියෙනවා. ක්ෂුද්‍ර පෝෂක ලැබෙන්නේ එළවළු සහ පලතුරුවලින්, ඒ වගේමයි ස්වභාවික ආහාර තුළ විටමින් සහ ඛනිජ ලවණ තියෙනවා.

"මේ දේවල් එකතු කර ගත්තොත් කෙටි ආහාරයක් විදිහට, ඔබට ක්ෂුද්‍ර පෝෂකවලින් ඇති වන අඩුව පිරිමැසීමට එය ඉතා වැදගත් වෙනවා. ඒ වගේ ම ඒවායේ කැලරි අඩුයි, ඒ කියන්නේ ශක්තිය ගැබ් වෙලා තියෙනවා අඩුයි, තන්තු වැඩියි, පෝෂණ ගුණයෙන් අතිවිශිෂ්ටයි," පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනෝජි අවධාරණය කළා ය.

හිතකර කෙටි ආහාර තෝරා ගන්නේ කොහොම ද?

සෞඛ්‍ය අමාත්‍යංශයේ පෝෂණ අංශයේ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ අරුන්දිකා සේනාරත්න, අප ලබා ගත යුතු කෙටි ආහාර සම්බන්ධයෙන් විස්තර කළා ය.

"කෙටි ආහාරයක් තෝරා ගැනීමේදී හැම කෙටි ආහාරයක් ම සෞඛ්‍ය සම්පන්න විය යුතුයි. පෝෂණ ගුණයෙන් ඉහළ විය යුතුයි සහ අවම සැකසුම් ආහාර විය යුතුයි. ඒ වගේ ම දේශීය පහසුවෙන් ලබාගන්න පුළුවන් වෙන්න ඕනේ. කෙටි ආහාර ප්‍රධාන ආහාර වේලට ආදේශකයක් විය යුතු නැහැ."

පෝෂණ ගුණයෙන් පිරි කෙටි ආහාර මෙන් ම ඒවා පරිභෝජනයට ගන්නා ප්‍රමාණය ගැන ද සැලකිලිමත් විය යුතු බව ද වෛද්‍යවරිය පෙන්වා දුන්නා ය.

නැවුම් පළතුරු, එළවළු වර්ග, තෙල් සහිත ඇට වර්ග, තම්බන ලද බඩ ඉරිඟු, අල වර්ග, මුදවපු කිරි සහ සීනි රහිත යෝගට් මෙන් ම සීනි රහිත පාන වර්ග, තේ, කෝපි සහ ඖෂධිය පාන වර්ග සෞඛ්‍යයට හිතකර කෙටි ආහාර බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ අරුන්දිකා සේනාරත්න පැවසුවා ය.

සීමා කළ යුතු කෙටි ආහාර වර්ග මොනවා ද?

"සීමා කළ යුතු කෙටි ආහාර විදිහට අපි හඳුනා ගෙන තියෙනවා සීනි සහිත පාන වර්ග, බිස්කට්, කේක්, රස කැවිලි සහ බේකරි නිෂ්පාදන විශේෂයෙන් ඇසුරුම් කළ බේකරි නිෂ්පාදන, පාන් සහ බනිස් සහ සීනි අධික අතුරුපස වර්ග, ලුණු, සීනි සහ සෞඛ්‍යයට අහිතකර මේද සහිත අධිසැකසුම් ක්ෂණික ආහාර ලොකු ප්‍රශ්නයක්.

"ගොඩක් පාසල් සිසුන් අතර සහ වැඩ කරන ජනතාව අතර ගොඩක් ප්‍රචලිතයි මේ ආහාර," යනුවෙන් ප්‍රජා වෛද්‍ය විශේෂඥ පැවසුවා ය.

විශේෂඥ වෛද්‍යවරිය අවධාරණය කළේ, එවැනි සීමා කළ යුතු කෙටි ආහාර වර්ගවලින් වැළකී සිටිය යුතු බව ය.