රුමේෂ් තරංගගේ හෙල්ල 5ක් හානියට පත්වීම: තුර්කි ගුවන් සේවය පවසන්නේ කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 6
තමන් වෙන දා කටුනායක ගුවන් තොටුපොළ වෙතට පැමිණියේ සතුටින් වුව ද, අද (සැප්:15) තමන් ඉන් පිටතට පැමිණියේ ඉතා කනගාටුවෙන් බව හංගේරියාවේ බුඩාපෙස්ට් නුවර පැවති Ultimate ලෝක ශුරතාවලියේ හෙල්ල විසි කිරීමේ තරගාවලිය ජයග්‍රහණය කර ලෝක හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග කටුනායක ගුවන් තොටුපොළේදී පැවසීය.
රුමේෂ් තරංග පසුගිය කාල සීමාවේදී තරග ජයග්‍රහණය කිරීමට යොදා ගනු ලැබූ හෙල්ල 05ක් එලෙස හානියට පත්ව තිබිණි.
Ultimate සහ Diamond ලීග් ශූරතාවලියන් හිදී හෙල්ලය විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම් දිනා ගත් රුමේෂ් තරංග අද (සැප්:15) තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට තුර්කි ගුවන් සේවයට අයත් TK - 730 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි.
රුමේෂ් තරංග තැබූ සංවේදී සටහන

ඡායාරූප මූලාශ්‍රය, Rumesh Tharanga / Facebook
තුර්කියේ සිට මෙරටට පැමිණීමේදී හානියට පත්ව තිබූ රුමේෂ් තරංගගේ හෙල්ල අතර ඔහු පසුගිය දා පැවති Ultimate ලෝක ශුරතාවලිය ඇතුළු තරග රැසකදී දක්ෂතා දැක්වීමට යොදා ගත් හෙල්ල ද තිබුණු බව වාර්තා විය.
හංගේරියාවේ, බුඩාපේස්ට් නුවරදී මීටර් 91.09ක් දුර විසි කරමින් තරගය ජයග්‍රහණය කළ හෙල්ලය, ස්විට්සර්ලන්තයේ සූරීච් නුවරදී මීටර් 92.07ක් දුර විසි කළ හෙල්ලය ද ඇතුළුව රුමේෂ් තරංග භාවිත කළ හෙල්ල 05ක් එලෙස හානියට පත්ව තිබිණි.
කටුනායක ගුවන් තොටුපොළේදී මාධ්‍යයට අදහස් දක්වමින් රුමේෂ් තරංග කියා සිටියේ, මෙම හෙල්ල ඉදිරියේදී පැවැත්වෙන ආසියානු ශූරතා තරගාවලියට, එළඹෙන 2027 වසරේ පැවැත්වීමට නියමිත ලෝක ශූරතා තරගාවලියට සහ 2028 වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලිය සඳහා ද භාවිත කිරීමට නියමිතව තිබූ අතර, ඉන්පසු ඒවා සිහිවටන ලෙස තමා සන්තකයෙහි තබා ගැනීමට තමන් සැලසුම් කර තිබූ බව ය.
"සතුටුයි ඇත්තට ම පළවෙනි වතාවට ශ්‍රී ලංකාවට Diamond සහ Ultimate චැම්පියන් වෙන්න පුළුවන් වුණා. ඒ ශුරතා දෙක ම ලංකාවට ගෙනත් දෙන්න හැකි වුණා. ගොඩක් සතුටු යි පළවෙනි වතාවට ලංකාවෙන් මේ වගේ කම්පෙටිෂන් දෙකට ගිහිල්ලා ශුරතා දෙකක් ලංකාවට ගෙනාපු පළවෙනි ක්‍රීඩකයා වෙන්න ලැබීම ගැන. ඒ වගේ ම අවාසනාවන්තකමට මීටර් 92කට උඩින් Throw කරපු ජවලින් 05ක් ෆ්ලයිට් එකේදී කැඩිලා තිබ්බා මොකක් හරි එයාර් ක්‍රාෆ්ට් එකේ තිබ්බ අතපසුවීමකින්. ඉතින් කරන්න දෙයක් නැහැ."
"ඇත්තට ම එයාර්පෝට් එකෙන් එළියට එද්දී ගොඩක් සතුටින් නෙමෙයි එළියට ආවේ. ඒ වුණාට ගොඩක් සතුටු යි ලංකාවට මේ වගේ කුසලාන දෙකක් ගේන්න ලැබීම ගැන. ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඒෂියන් ගේම්ස්, වර්ල්ඩ් චැම්පියන්ෂිප් සහ ඔලිම්පික් ගේම්ස්වලට යන්න. මට තව ලංකාවට දිනා දෙන්න තියෙන්නේ පදක්කම් තුනක් විතර යි. ඒ පදක්කම් 03 මම අනිවාර්යෙන් ම ලංකාවට දිනලා දෙනවා," රුමේෂ් තරංග පැවසුවේ ය.
රුමේෂ් තරංග හානියට පත්වූ සිය හෙල්ලවල ඡායාරූපයක් සිය ෆේස්බුක් ගිණුමේ පළකර තිබූ අතර ඔහු එම හෙල්ල භාවිත කරමින් දැක්වූ දක්ෂතා ගැන එම සටහනේ පළකර තිබුණේ, තුර්කි ගුවන් සේවයට ද ස්තුතිය පුදකරමින් වීම ද විශේෂත්වයකි.

ඡායාරූප මූලාශ්‍රය, Rumesh Tharanga / Facebook
තුර්කි ගුවන් සේවයට එරෙහිව පැමිණිල්ලක්
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
හානියට පත්ව තිබූ සිය හෙල්ල 05 පිළිබඳව තුර්කි ගුවන් සේවයට එරෙහිව රුමේෂ් තරංග විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.
කටුනායක ගුවන් තොටුපළේ ගමන් මලු සේවා සිදුකරනු ලබන ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් ඒ පිළිබඳව බීබීසී සිංහල විමසීමක් කළ අතර, එහිදී එම ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් වී. පෙරේරා කියා සිටියේ මෙම සිදුවීම සම්බන්ධයෙන් තුර්කි ගුවන් සේවයට පැමිණිල්ලක් යොමු කර ඇති බව ය.
"එයාර් පෝට් එකේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලිං එක කරන්නේ ශ්‍රී ලන්කන් එකෙන්. ෆ්ලයිට් එකක් ආව ම අපි කරන්නේ හැකි ඉක්මනට ම අදාළ ගුවන් යානයෙන් මගීන්ගේ ගමන් මලු පුළුවන් ඉක්මනට ම අදාළ මගීන්ට ලබා දෙන්න කටයුතු කරන එක යි.
මේ සිද්ධියේදී රුමේෂ් තරංග ලංකාවට ඇවිත් තියෙන්නේ ගුවන් යානා දෙකකින් ට්‍රාන්සිට් වෙලා. තුර්කි ගුවන් සේවයට අයත් ගුවන් යානා දෙකකින් තමයි ඔහු ඇවිත් තියෙන්නේ. එතනදී අපිට කියන්න අමාරු යි මේ ජවලින්වලට හානි වෙලා තියෙන්නේ කොහොම ද කියලා. ඒ නිසා තුර්කි ගුවන් සේවයට මේ ගැන පැමිණිල්ලක් කරලා තියෙනවා සිද්ධිය ගැන විමර්ශනයක් කරන්න කියලා," ඔහු පැවසුවේ ය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ තුර්කි ගුවන් සේවයේ නිලධාරීන් අතර හමුවක්
ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග දිවයිනට පැමිණීමේදී ඔහුගේ ක්‍රීඩා උපකරණවලට සිදුව ඇති හානිය පිළිබඳව තුර්කි ගුවන් සේවය තම කනගාටුව ප්‍රකාශ කර ඇති බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කුගේ ප්‍රධානත්වයෙන් තුර්කි ගුවන් සේවයේ නියෝජිතයින් අතර පැවති හමුවකදී ඔවුන් ඒ බව සඳහන් කර තිබේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය ආයතනික විමර්ශන කටයුතු සිදුකිරීමට ද එම හානිය පිළිබඳව නිසි අගැයීමක් සිදුකිරීමට ද, හානිය කඩිනමින් ප්‍රතිපූරණය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ද එහිදී තීරණය වූ බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.

ඡායාරූප මූලාශ්‍රය, Press Release
මේ අතර, රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණවලට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන්නේ ද යන්න පිළිබඳව බීබීසී සිංහල විසින් තුර්කි ගුවන් සේවය වෙත යොමු කළ විමසීමට, මෙම ලිපිය පළ වන තෙක් පිළිතුරක් ලැබී නොතිබිණි.
තුර්කි ගුවන් සේවය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පළවූ ප්‍රතිචාර
රුමේෂ් තරංග සිය ජයග්‍රහණ වාර්තා කිරීමට භාවිත කළ හෙල්ලවලට හානි සිදුවීම සම්බන්ධයෙන් ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයන් තුර්කි ගුවන් සේවයට දෝෂාරෝපණය කර ඇති බව බීබීසී සිංහල නිරීක්ෂණය කළේ ය.
කමීර ඩිල්ෂාන් නම් පරිශීලකයෙකු සිය X ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ, හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ලෝක ශූර රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණවලට සිදුව ඇති හානිය අදහාගත නොහැකි බව ය.
"ඔබ ගැන ලැජ්ජයි @TurkishAirlines 👎 ලෝකයේ අංක එකේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ කොළඹ බලා පැමිණි ගුවන් ගමනක් අතරතුර දැඩි ලෙස හානියට පත්ව තිබේ. වෘත්තීය මට්ටමේ උපකරණවලට සිදුව ඇති මෙම හානිය අදහාගත නොහැකි තරම්." යනුවෙන් ඔහු සිය X ගිණුමේ සටහන් කර තිබුණි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
මේ අතර, තුර්කි ගුවන් සේවයේ නිල ෆේස්බුක් පිටුවේ පළ කර ඇති පෝස්ට්වලට ද ශ්‍රී ලාංකිකයන් විසින් රුමේෂ් තරංගගේ හෙල්ලවලට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් චෝදනාත්මක අදහස් පළ කර ඇති අයුරු බීබීසී සිංහල නිරීක්ෂණය කළේ ය.
"ඔබගේ ගුවන් සේවය ගැන විශ්වාස කරන්නේ කොහොම ද? මේ සියලු හෙල්ල ලාංකිකයන් ලෙස අපට සුවිශේෂී යි," හානියට පත්වූ රුමේෂ් තරංගගේ හෙල්ල දැක්වෙන ඡායාරූපයක් ද එක් කරමින්, නිමේෂ මනතුංග නම් ෆේස්බුක් පරිශීලකයෙකු තුර්කි ගුවන් සේවයේ නිල ෆේස්බුක් ගිණුමේ පළ කර තිබූ සටහනකට මෙසේ ප්‍රතිචාර දක්වා තිබිණි.
නිස්සංක ප්‍රනාන්දු නම් තවත් ශ්‍රී ලාංකිකයෙක් තුර්කි ගුවන් සේවයේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ තමන් කිසිදාක තුර්කි ගුවන් සේවය භාවිත නොකරන බව ය.

ඡායාරූප මූලාශ්‍රය, Turkish Airline /Facebook
මේ අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් ද අදහස් පළ කර තිබිණි.
"මේ ගුවන් සේවය විසින් සිදු කළ අතිශය පිළිගත නොහැකි ක්‍රියාවක්. මේවා හුදෙක් ක්‍රීඩා උපකරණ පමණක් නොව, ක්‍රීඩකයාට සංවේදී හා වටිනා මතකයන් රැගත් දේවල් ද වේ. ක්‍රීඩකයෙකු ලෙස මට එය හොඳින් තේරුම් ගත හැකි යි. ගුවන් සේවා සමාගම් තම මගීන්ගේ දේපළ පිළිබඳව වැඩි සැලකිල්ලක් හා වගකීමක් දැක්විය යුතු යි," යනුවෙන් ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් සිය X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 3
'රුමේෂ්ගේ හෙල්ලය අපි ලබා දෙනවා'
මේ අතර, අද (සැප්: 15) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ, හානියට පත්වූ රුමේෂ් තරංගගේ හෙල්ලය ලබා දීමට ක්‍රීඩා අමාත්‍යවරයා මැදිහත් වී සහතික වී ඇති බව ය.
"රුමේෂ් තරංග ක්‍රීඩකයා අපේ රටට අනර්ඝ සම්පතක්. ඔහුට සුබ පතනවා පමණක් නෙමෙයි, ඔහුගේ ක්‍රීඩා දිවිය වෙනුවෙන් සහ ශ්‍රී ලංකාවට ජයග්‍රහණ අත්පත් කරදීම වෙනුවෙන් රජය කළ හැකි සියල්ල කරනවා.
"මේ සිදුවීම වාර්තා වුණාට පස්සේ ක්‍රීඩා අමාත්‍යතුමා මැදිහත් වෙලා අපි සහතික කළා ඔහුට අවශ්‍ය ඒ හෙල්ලය ලබාදෙන්න කටයුතු කරනවා වගේම, සියලු දේවල් සහ ආරක්ෂාව සම්බන්ධයෙන් මැදිහත් වෙනවා කියලා.
"මොක ද, දැන් අපිට තියෙන ඔලිම්පික් රන් පදක්කමක සිහිනය සැබෑ කර ගන්න තිබෙන බලාපොරොත්තුවක් තමයි රුමේෂ් තරංග ක්‍රීඩකයා. ඔහුගේ දිවිය ආරක්ෂා කරන්න අපි මැදිහත් වෙනවා," අමාත්‍යවරයා කියා සිටියේය.

































