ටියානා සුමනසේකර: ශ්‍රී ලංකාවෙන් ඔලිම්පික් යන්න සිහින දකින ඇමෙරිකානු ජිම්නාස්ටික් ශූරිය

වීඩියෝ ශීර්ෂ වැකිය, ඇමෙරිකාව අතහැර ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සැරසෙන ජාත්‍යන්තර ජිම්නාස්ටික් ශූරිය
ටියානා සුමනසේකර: ශ්‍රී ලංකාවෙන් ඔලිම්පික් යන්න සිහින දකින ඇමෙරිකානු ජිම්නාස්ටික් ශූරිය
Published

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඇමෙරිකාවේ දක්ෂ ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක වන ටියානා සුමනසේකර ඉදිරි ජාත්‍යන්තර තරගාවලි සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදීමට නිල වශයෙන් තීරණය කර ඇති පුවත මීට දින කිහිපයකට පෙර වාර්තා විය.

2024 ඔලිම්පික් තරගාවලිය නියෝජනය කරන ලද ඇමෙරිකා එක්සත් ජනපද ජිම්නාස්ටික් කණ්ඩායම වෙනුවෙන් විකල්ප ක්‍රීඩිකාවක ලෙසට ටියානා සුමනසේකර නම් කර තිබිණි.

ඇමෙරිකා එක්සත් ජනපදය වැනි පහසුකම් සහ තාක්ෂණයෙන් පූර්ණ රටක් අතහැර ඉදිරි ජාත්‍යන්තර තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ටියානා තීරණය කළේ ඇයි? ම්නාස්ටික් ක්‍රීඩාවට පිවිසීමට බලපෑ කරුණු මොනවා ද? සහ තවත් කරුණු රැසක් පිළිබඳව ටියානා බීබීසී සිංහල සේවය සමග සාකච්ඡා කළා ය.

ටියානා සුමනසේකර යනු කවුද?

කුඩා කාලයේ සිටම තමන්ට ජයග්‍රහණය ලබා ගැනීමේ දැඩි ආසාවක් තිබුණු බවත් ඒ වෙනුවෙන් කැපවීමෙන් පුහුණුවීම්වල යෙදුනු බව ටියානා වැඩිදුරටත් බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

ඡායාරූප මූලාශ්‍රය, Provided

ඡායාරූප ශීර්ෂ වැකිය, 'මේ ක්‍රීඩාවෙන් මෙන්න මෙතනට යනවා කියලා මගේ හිතේ කිසි ම සැලසුමක් හෝ අරමුණක් තිබුණේ නැහැ. මම ඒක කළේ ඒ දේට මගේ හිතේ තිබ්බ ආසාව යි උනන්දුව යි නිසා ම විතර යි.'

2007 වසරේ සැප්තැම්බර් මස 15 වන දා ඇමෙරිකා එක්සත් ජනපදයේ උපත ලද ටියානා සුමනසේකරගේ දෙමව්පියන් වන්නේ, රාජිත සහ රුවන්ගි සුමනසේකරයි.

මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපනය හදාරමින් සිටින ටියානා ජිම්නාස්ටික් තරගාවලි 5කදී ඇමෙරිකානු ජාතික කණ්ඩායම නියෝජනය කර තිබේ.

බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ, ක්‍රීඩා අවදියේ සිට ම තමන් ක්‍රියාශීලි දැරියක වීම නිසා ඇයගේ දෙමව්පියන්ට බොහෝ අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවූ බව ය.

"ඇත්ත ම කිව්වොත්, මම පොඩි කාලේ මාර ම දඟ, හැමෝමත් එක්ක එකතු, ගොඩක් ක්‍රියාශීලී ළමයෙක්. ඉතින් මගේ අම්මලටත් හිතාගන්න බැරුව යි හිටියේ මගේ මේ තියෙන සෙල්ලක්කාර ක්‍රියාශීලී ගතිය යි, ඇඟේ තියෙන ශක්තිය යි එක්ක මම මොනවා කරයි ද කියලා," ටියානා බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසුවා ය.

ටියානා සුමනසේකර

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ජිම්නාස්ටික් ක්‍රීඩාවට යොමුවූ හැටි

ටියානා ජිම්නාස්ටික් ක්‍රීඩාවට යොමුයේ කෙසේ ද? යන්න ගැන අප ඇයගෙන් විමසීමක් කළ අතර, එම අපූරු තීරණාත්මක සිද්ධිය ඇය ආවර්ජණය කළේ මෙසේ ය.

"මගේ වයස අවුරුදු 6දි විතර දවසක්, මම අපේ පැත්තේ ක්ලබ් හවුස් එකක තිබ්බ බර්ත්ඩේ පාටි එකකට ගියා. ඉතින් ඒ පාටි එක තිබ්බ තැන ට්‍රැම්පොලින් කීපයක් තිබුණා. අවුරුදු 6ක විතර පොඩි ළමයින්ගේ බර්ත්ඩේ පාටිවලට, ඔය වගේ උඩ පනින ට්‍රැම්පොලින් තියෙන එක මාර ප්‍රසිද්ධයි නේ.

මමත් ඉතින් පොඩි ළමයෙක් නේ, ඕක දැක්ක ගමන් ම ගිහින් ට්‍රැම්පොලින් එකේ උඩ පනින්න පටන් ගත්තා. ඊට පස්සේ, මම ඒක උඩ කරණම් ගහන්න (flips) පටන් ගත්තා. මට දැන් හරියට ම මතක නැහැ මම එදා මොන වගේ ඒවා ද කළේ කියලා, හැබැයි මම ගොඩක් පිස්සු වැඩ කළා කියලා මට මතකයි.

ඒක දැකලා එතන හිටපු ඉන්ස්ට්‍රක්ටර් (instructor) කෙනෙක් මගේ ළඟට ඇවිත් ඇහුවා, 'ඔයා කොච්චර කාලෙක ඉඳන් ද ජිම්නාස්ටික් (gymnastics) කරන්නේ?' කියලා. මම ඉතින් එයාගේ මූණ දිහා කෙලින් ම බලලා ඇහුවා 'ජිම්නාස්ටික් කියන්නේ මොකක් ද?' කියලා. මොක ද මම ඒ වෙනකම් එහෙම දෙයක් දැනගෙන හිටියේ නැහැ නේ. ඊට පස්සේ එයා මට කිව්වා ඔයාගේ අම්මාට පොඩ්ඩක් කතා කරන්නකෝ, මට එයාට කතා කරන්න ඕනේ කියලා. ඉතින් මමත් අම්මව එක්කන් ආවා. එයා අම්මට කිව්වා 'ඔයාගේ දුවව පුළුවන් තරම් ඉක්මනට ජිම්නාස්ටික් පන්තියකට දාන්න. මෙයාට පුදුම හැකියාවක් තියෙන්නේ. ඇඟේ මාර ශක්තියක් තියෙනවා වගේ ම මේ දේට මාර ආසයි. ඒ නිසා අනිවාර්යයෙන් ම එයාව පන්තියකට දාන්න' කියලා.

හැබැයි ඉතින් අම්මා ඒක අහලා එච්චර ගණන් ගත්තේ නැහැ. මොක ද අම්මා හිතුවේ එයා නිකන් බොරුවට හරි, එච්චර ම සීරියස් නැතුව හරි කියපු කතාවක් වෙන්න ඇති කියලා. ඉතින් මාස දෙකක් විතර යනකල්වත් මාව ක්‍රීඩාවලට දැම්මේ නැහැ. හැබැයි අර ට්‍රැම්පොලින් එකේ පැනපු දවසේ ඉඳන් මගේ සෙල්ලම් කරන්න තියෙන ආසාව ගෙදරදී තවත් වැඩි වුණා.

ඒ ආශාව කොච්චර ද කියනවා නම්, මම ගෙදර ඇතුළේ එක එක පිනුම් ගහන්න ගත්තා. ඒක ගෙදරක කරන්න තරම් ආරක්ෂිත දෙයක් නෙවෙයි නේ. පිනුම් ගහලා මම ගෙදර බඩුත් කඩන්න පටන් ගත්තා. ඊට පස්සේ අම්මට හිතුණා 'හරි, දැන් නම් මෙයාව පන්තියකට දාන්න කාලේ හරි' කියලා. අම්මා ඒක කියද්දී මට සතුටු වැඩිකමට කෑගැහුණා. මම 'යෙස්, යෙස්, තෑන්ක් යූ අම්මා!' කියාගෙන පැන්නා.

ඉතින් ඔහොම තමයි මම මගේ පළවෙනි ජිම්නාස්ටික් පන්තියට ගියේ. එදායින් පස්සේ මම කවදාවත් ඒක නතර කළේ නැහැ. මගේ ජිම්නාස්ටික් ගමන පටන් ගන්න ලැබුණු දවස තමයි, ජීවිතේ හොඳ ම දවස," ටියානා පැවසීය.

කුඩා කාලයේදී ජිම්නාස්ටික් පුහුණුවීම්වල යෙදීමෙන් පසුව.

ඡායාරූප මූලාශ්‍රය, Provided

ඡායාරූප ශීර්ෂ වැකිය, "අම්මට හිතුණා 'හරි, දැන් නම් මෙයාව පන්තියකට දාන්න කාලේ හරි' කියලා. අම්මා ඒක කියද්දී මට සතුටු වැඩිකමට කෑගැහුණා"

'පෝඩියම් එකට නගින්න ඕන කියලා හිතුවා'

කුඩා කාලයේ සිට ම තමන්ට ජයග්‍රහණය ලබා ගැනීමේ දැඩි ආසාවක් තිබුණු බවත් ඒ වෙනුවෙන් කැපවීමෙන් පුහුණුවීම්වල යෙදුණු බවත් ටියානා කියා සිටියා ය.

"පළවෙනි දවසේ ඉඳන් ම ජිම්නාස්ටික් කියන්නේ, මං ලොකු ආසාවකින් සහ ලොකු කුතුහලයකින් කරපු දෙයක්. මම මගේ පළවෙනි තරගයට ගියේ ජිම්නාස්ටික් පුරුදු වෙන්න පටන් අරන් මාස එකක් හෝ දෙකක් වගේ පොඩි කාලෙකින්. ඉතින් ඕනෑ ම කෙනෙක් හිතයි, 'ෂා... පළවෙනි තරගයෙන් ම 6 වෙනි තැන ලැබුණා කියන්නේ මාරයි නේ, ඒ ගැන ආඩම්බර වෙන්න ඕනේ' කියලා. හැබැයි මට එහෙම හිතුණේ නැහැ. මට ඕන වුණේ ඊට වඩා ඉස්සරහට යන්න. 'නැහැ, මට මීට වඩා හොඳ තැනකට එන්න ඕනේ' කියලා මම හිතුවා.

ඉතින් මම ආයෙත් ජිම්නාස්ටික් පුහුණුවීම් කරන තැනට ගියේ කොහොමහරි ජයග්‍රාහී පීඨිකාවට (podium) නැගලා ඉහළ ම ස්ථානයක් ගන්නවා කියන තද අධිෂ්ඨානයෙන්. ඒ කියන්නේ, මගේ ඊළඟ තරගයෙන් ම මට පළවෙනි ස්ථානය ගන්න පුළුවන් වුණා. මම වුණු මහන්සියට සහ කරපු කැපවීමට ඒ වගේ ප්‍රතිඵලයක් ලැබුණ ම මට දැනුණු සතුට අදහගන්න බැරි තරම්.

ඉතින් මම ඒ ජවය ඒ විදිහට ම ඉස්සරහටත් අරන් ගියා. මගේ හිතේ තිබ්බ ඒ උනන්දුව යි, ඒකෙන් මට ලැබුණු සතුට යි නිසා, මම මේ ක්ෂේත්‍රයෙන් ම ඉස්සරහට යන්න ඕනේ කියලා මට එදා ඉඳන් ම ස්ථිරව ම හිතුණා."

'මම කොහොම හරි මෙතනට ආවා නේද? කියන හැඟීමක් දැනුණා'

ජිම්නාස්ටික් ක්‍රීඩාවේ යෙදෙන විට තමන්ට නිශ්චිත සැලසුමක් නොතිබූ බවත් ක්‍රමයෙන් ක්‍රීඩාවේ ඉහළට පැමිණීමත් සමග තමන් සතුටට පත්වූ බවත් ටියානා බීබීසී සිංහල නැගු පැනයකට පිළිතුරු දෙමින් පැවසීය .

"ඔව්, ඇත්තට ම ඒක අපූරු හැඟීමක්. මම මුලින් ම ජිම්නාස්ටික් පටන් ගනිද්දී, මේ ක්‍රීඩාවෙන් මෙන්න මෙතනට යනවා කියලා මගේ හිතේ කිසි ම සැලසුමක් හෝ අරමුණක් තිබුණේ නැහැ. මම ඒක කළේ ඒ දේට මගේ හිතේ තිබ්බ ආසාව යි උනන්දුව යි නිසා ම විතර යි.

මම ගොඩක් ඉක්මනට එක එක ලෙවල් (levels) පසු කරලා ඉස්සරහට ආවා. හැබැයි ඒක මම ප්ලෑන් කරලා කරපු දෙයක් නෙවෙයි, ඒක නිරායාසයෙන් ම වුණ දෙයක්. මම එලීට් (elite) මට්ටමට ඇවිත් සීනියර් එලීට් (senior elite) කෙනෙක් වෙද්දී, මම දැනගෙන හිටියා මට තරග කරන්න වෙන්නේ මේ ක්‍රීඩාවේ ඉන්න මාර ම දක්ෂ, ප්‍රවීණ, ඒ වගේ ම ලොකු ම නම් තියෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ක කියලා. ඉතින් මට ඒක 'වාව්... මම කොහොම හරි මෙතනට ආවා නේද?' කියලා හිතුණු අපූරු මොහොතක්.

මොක ද 2016 දී මම US Olympic trials බලන්න යද්දී, මට වයස අවුරුදු 8ක් විතර ඇති. එදා ඒ අය දිහා බලලා මම මාර විදිහට පුදුම වුණා වගේ ම, මට අදහාගන්නත් බැරුව යි හිටියේ මම මේ වගේ දෙයක් ඇස් දෙකෙන් දකිනවා නේද? කියලා.

හැබැයි මම එදා හීනෙකින්වත් හිතුවේ නැහැ, තව අවුරුදු 8කට පස්සේ මමත් ඒ තැනට ම ඇවිත්, ඒ හැමෝමත් එක්ක ම එකට තරග කරයි කියලා. ඉතින් ඒක මට මගේ හීනෙකින්වත් හිතාගන්න බැරි වුණු, ගොඩක් පුදුම හිතුණු මොහොතක්. හැබැයි ඉතින් මගේ අඛණ්ඩ උත්සහය, කැපවීම වගේ ම, මට උදව් කරපු මගේ පවුලේ අය සහ යාළුවෝ නිසා තමයි මට මේ වගේ වටිනා අවස්ථා ලැබුණේ. අද මම ඉන්න තැන ගැන මට තියෙන්නේ ලොකු සතුටක්."

ජිම්නාස්ටික් පුහුණුවීම් අතරවාරයේදී

ඡායාරූප මූලාශ්‍රය, Provided

ඡායාරූප ශීර්ෂ වැකිය, 'ඒ හීනය හැබෑ කර ගන්න මට ඕන වුණා. ඉතින් ඒ වෙනුවෙන් ලංකාව නියෝජනය කරලා තරග බිමට එන එක තමයි මට ගන්න තිබ්බ හොඳ ම තීරණය. ඒ ගැන මම ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා.'

ශ්‍රී ලංකාව නියෝජනය කරන්න තීරණය කළේ ඇයි ?

ඇමෙරිකාව වැනි ක්‍රීඩාවෙන් වැනි ක්‍රීඩා අංශයට ඉහළ පහසුකම් පවතින රටක් නියෝජනය කරමින් සිට එක්වර ම ඉදිරියේදී ජාත්‍යන්තර තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තීරණය කළ හේතුව කුමක්දැයි බීබීසී සිංහල ටියානාගෙන් විමසා සිටියේ ය.

"ඔව්, ඇත්තට ම මම අවුරුදු 5කට වඩා වැඩි කාලයක් ඇමෙරිකා කණ්ඩායමේ ඉඳලා තියෙනවා. මම ශ්‍රී ලාංකීය ඇමරිකානුවෙක් (Sri Lankan American) නිසා ඒ කණ්ඩායම නියෝජනය කරන්න ලැබුණු එක ගැන, මම හැම දා ම ගොඩක් ආඩම්බර වුණා. මම මගේ මේ දෙපැත්තට ම මාර ම ආදරෙයි. මම ඉපදිලා හැදුණේ වැඩුණේ ඇමරිකාවේ වුණාට, මගේ අම්ම යි තාත්ත යි ශ්‍රී ලංකාවේ අය. ඉතින් මේ පැති දෙක ම මට ගොඩක් විශේෂ යි වගේ ම මගේ ජීවිතේට ගොඩක් වටිනවා.

හැබැයි මට මේ තීරණය ගන්න වුණේ, 'ඔලිම්පික් වේදිකාවට යන්න මට තියෙන හොඳ ම අවස්ථාව මොකක් ද?' කියන දේ ගැන හිතල යි. එක්සත් ජනපද කණ්ඩායමේ ගොඩක් දක්ෂ ක්‍රීඩිකාවන් ඉන්නවා, ඉතින් ඒ තියෙන තරගකාරීත්වයත් එක්ක, අර ඔලිම්පික් ක්‍රීඩිකාවන් 5 දෙනා අතරට තේරෙන එක ලේසි නෑ. ඇමෙරිකානු කණ්ඩායමට එකතු වෙන එක ගොඩක් අමාරු වැඩක්. 2024 දී මම ඒකට ඔන්න මෙන්න තියෙද්දී තමයි මගහැරුණේ. ඉතින් මට හිතුණා මම කොහොමහරි ඔලිම්පික් යන්න උදව් වෙන තීරණයක් ගන්න ඕනේ කියලා. අනික 2028 ඔලිම්පික් තියෙන්නේ ලොස් ඇන්ජලීස්වල නිසා, මට ඒ අවස්ථාව කොහොමත් ම මගහැර ගන්න බැහැ.

ඉතින් හිත ඇතුළෙන් 'මේක ද හොඳ, අරක ද හොඳ' කියලා එක එක දේවල් හිතුණත්, අන්තිමේදී අපි කරන්න ඕනේ අපේ හිතට හොඳ යි කියලා දැනෙන දේ නේ. පොඩි කාලේ ඉඳන් ම ඔලිම්පික් යනවා කියන එක මගේ ලොකු ම හීනයක්. ඒ නිසා මගේ උපරිම ශක්තිය යොදවලා කොහොමහරි ඒ හීනය හැබෑ කර ගන්න මට ඕන වුණා. ඉතින් ඒ වෙනුවෙන් ලංකාව නියෝජනය කරලා තරග බිමට එන එක තමයි මට ගන්න තිබ්බ හොඳ ම තීරණය. ඒ ගැන මම ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා.

ඔයා කලින් කිව්වා වගේ ම, ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික කලාපයේ ජිම්නාස්ටික් ගැන තියෙන දැනුම සහ උනන්දුව ගොඩක් අඩු යි. ඒක ලෝකයේ ඉස්සරහට එච්චර ම යන්නේ නැති තරම්. හැබැයි ඇමෙරිකාවේ, දකුණු ඇමෙරිකාවේ සහ යුරෝපයේ ජිම්නාස්ටික් සෑහෙන ප්‍රසිද්ධ යි. ඉතින් මේ ක්‍රීඩාව විශේෂ එකක් නිසා, අපේ කලාපය තුළත් මේකට ලොකු තැනක් හදලා දෙන්න ඕනේ කියලා මට හිතුණා. මොක ද දකුණු ආසියාව කියන්නේ ලස්සන නැටුම්, සංස්කෘතීන් සහ වටිනා උරුමයන් තියෙන කලාපයක් නේ.

ඉතින් මට ඕන වුණේ අපේ මේ අනන්‍යතාව ලෝකෙට ම පෙන්වන්න. මොක ද මම පොඩි කාලේ ඉඳන් ම හැදුණේ වැඩුණේ අපේ දකුණු ආසියාතික සිරිත් විරිත් සහ සංස්කෘතිය හඳුනාගෙන යි. ඉතින් අපේ රටවල අලුත් පරම්පරාවේ අයත් නර්තනයට, ෆ්ලිපිංවලට ආසයි නේ. මාත් ඉතින් පොඩි කාලේ ඕවා කරල ම තමයි මේ තැනට ආවේ. ඉතින් මාව හරි, මම වගේ දකුණු ආසියාතික කෙනෙක්ව හරි දකිද්දී, ඒ අයට ආදර්ශයට ගන්න කෙනෙක් ඉන්නවා නේද කියලා හිතලා, ඒ අයත් මේ ක්‍රීඩාවට යොමු වෙයි.

දකුණු ආසියාවේ එච්චර ම ප්‍රසිද්ධ නැති ජිම්නාස්ටික් ක්‍රීඩාවට අපේ අයව සම්බන්ධ කරලා, මේක කොච්චර ලස්සන ක්‍රීඩාවක් ද, මිනිස්සුන්ව කොච්චර එකතු කරනව ද, තමන්ගේ චලන හරහා තමන්ගේ උරුමය ලෝකෙට ම පෙන්වන්න පුළුවන් කොහොම ද කියලා, කියලා දෙන්න මට පුළුවන් වෙයි. ඒක ඇත්තට ම ගොඩක් විශේෂ දෙයක්. මට ඒක ගොඩක් වටිනවා වගේ ම, ශ්‍රී ලංකාව සහ දකුණු ආසියාව නියෝජනය කරමින්, මගේ සංස්කෘතිය ලෝකෙට ම පෙන්වන්න ලැබීම ගැන මම ගොඩක් ආඩම්බර වෙනවා."

'හීන හඹා යන්න බය වෙන්න එපා'

තරුණ ක්‍රීඩිකාවක පැමිණි ගමන්මග දෙස බලා යම් උත්තේජනයක් ලබන තරුණියන් වෙනුවෙන් දිය හැකි පණිවිඩය කුමක්දැයි බීබීසී සිංහල ටියානාගෙන් විමසීමක් කළේ ය.

"කවදාවත් තමන් කවුද කියලා ලෝකෙට පෙන්වන්න බය වෙන්න එපා. මේ ලෝකෙට ම ඉන්නේ ඔයා වගේ එක ම එක්කෙනයි කියලා හැම තිස්සෙ ම මතක තියා ගන්න. ඔයාට සතුටු වෙන්න, ආඩම්බර වෙන්න ඕනෑ තරම් දේවල් ජීවිතේ තියෙනවා. ඉතින් ඒ දේවල් බයක් නැතුව එළියට දාන්න. ජීවිතය සතුටින් විඳින්න, ජීවිතෙන් ලැබෙන හැම දේ ම උපරිමයෙන් අත්විඳින්න. ඒක ජිම්නාස්ටික් වේවා, නර්තනය වේවා, නැත්නම් වෙන ඕනෑ ම ක්‍රීඩාවක්, පිහිනුම් වගේ ඕනෑ ම දෙයක් වේවා, තමන්ගේ උරුමය ගැන වගේ ම, තමන් නියෝජනය කරන දේ ගැන ආඩම්බරයෙන් ඉන්න.

ඒ වගේ ම මතක තියා ගන්න, ඔයාට ආදරේ කරන, ඔයාගේ පස්සෙන් ඉන්න ලොකු පිරිසක් ඔයාට උදව් කරන්න ඉන්නවා කියලා. තමන්ගේ නියම ස්වරූපයෙන් ම (තමන් විදිහට ම) ඉන්න ලැබෙන එක ලොකු වාසනාවක්. තමන්ගේ හීන හඹා යන්න කවදාවත් බය වෙන්න එපා, ඒ එන හැම මොහොතක් ම ආසාවෙන් විඳින්න. කෙටියෙන් කිව්වොත්, හැම දේ ම සතුටින් කරන්න. තමන් වටේ ඉන්න මිනිස්සුන්ගෙන් හැම තිස්සෙ ම හොඳ දේවල් ආදර්ශයට ගන්න. තමන්ගේ සංස්කෘතිය ලෝකෙට, ආඩම්බර හදවතකින් පෙන්වන්න. ජීවිතේ සතුටින් ගත කරන්න, මොක ද ජීවිතේ විඳින්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ලැබෙන හැම තත්පරයක් ම උපරිමයෙන් රස විඳින්න."