හෝටලයක් තුළදී පළිබෝධ නාශක විෂ වී පවුලක් මිය යයි

ඡායාරූප මූලාශ්‍රය, DHA
- Author, බීබීසී තුර්කි සේවය
- කියවීමේ කාලය: මිනිත්තු 6
ඉස්තාන්බුල්හි හෝටලයක නවාතැන් ගෙන සිටියදී විෂ සහිත පළිබෝධ නාශක දුමාරයකට නිරාවරණය වී එක ම පවුලක සාමාජිකයින් සිව් දෙනෙකු මිය ගිය බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් නඩු විභාගයක් තුර්කියේ ආරම්භ වී තිබේ.
තුර්කි සහ ජර්මානු සම්භවයක් ඇති බෝජෙක් නමැති මෙම පවුලේ පියා සර්වෙත්, මව චීඩෙම් සහ ඔවුන්ගේ හය හැවිරිදි පුත්‍රයා කදීර් මුහම්මත් සහ තුන් හැවිරිදි දියණිය මසල් නොවැම්බර් මාසයේදී නිවාඩුවක් ගත කරමින් සිටි අතරතුර බරපතළ ලෙස රෝගී වූ අතර පසුව රෝහල්ගත කර සිටියදී මිය ගොස් තිබිණි.
මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වන්නේ, පළිබෝධකයින් පාලනය කිරීමට භාවිත කරන ඉතා විෂ සහිත රසායනික ද්‍රව්‍යයක් වන "ෆොස්ෆීන් වායුව" ඔවුන්ගේ සිරුරු තුළ ඉහළ ප්‍රමාණයක් තිබූ බව ය. හෝටලයේ කෘමි නාශක භාවිත කිරීමකින් පසුව ඔවුන් මෙම වායුවට නිරාවරණය වී ඇති බවට විමර්ශකයෝ පවසති.
හෝටලයේ හිමිකරු සහ පළිබෝධ නාශක සමාගමේ ජ්‍යෙෂ්ඨ පුද්ගලයින් ද ඇතුළුව විත්තිකරුවන් හය දෙනෙකු නඩු විභාගයට මුහුණ දී සිටින අතර, ඔවුන්ගෙන් පස් දෙනෙක් අත්අඩංගුවේ පසුවෙති.
නොසැලකිලිමත්කම මෙම මරණවලට හේතු වූ බවට ඔවුන්ට චෝදනා එල්ල වී ඇති අතර, වරදකරුවන් වුවහොත් ඔවුන්ට වසර විසි දෙක හමාරක් දක්වා සිර දඬුවම් නියම විය හැකි ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පවුලේ අය නවාතැන් ගෙන සිටි කාමරයට පහළින් ඇති කාමරයක ඇඳ මකුණන් මර්දනය කිරීම සඳහා පළිබෝධ නාශක භාවිත කර ඇති බවත්, විෂ සහිත දුම නාන කාමරයේ වාතාශ්‍ර නළ මාර්ග ඔස්සේ කාමරයට ගමන් කර ඇති බවත් නීතිඥයෝ පවසති.
මූලිකව සැකය යොමු වූයේ, පවුලේ සාමාජිකයින් නගරයේ ඔර්ටකොයි ප්‍රදේශයෙන් වීථි ආහාර අනුභව කිරීමෙන් පසුව ආහාර විෂවීමක් සිදුවූවේ ද යන්න පිළිබඳව ය. ඒ අනුව ආහාර අලෙවි කරන්නන් පිරිසකගෙන් ප්‍රශ්න කළ නමුත් අධිකරණ වෛද්‍ය පරීක්ෂණ මගින් එය ආහාර මගින් වැළඳුණු රෝගයක් යන්න බැහැර කිරීමෙන් අනතුරුව පරීක්ෂණ ද එම මාවතෙන් බැහැර විය.
අධිචෝදනා පත්‍රයට අනුව හෝටල් කාමරයෙන් ලබා ගත් තුවා, මුව ආවරණ සහ ස්වැබ් බ්‍රෂ්වල 'ෆොස්ෆීන්' වායුව සොයා ගෙන ඇත. මරණ සිදු වී ඇත්තේ, පළිබෝධ නාශක විෂ වීමෙන් බව තුර්කි අධිකරණ වෛද්‍ය ආයතනය ඒකමතිකව නිගමනය කර තිබේ.
පැමිණිල්ල මෙහෙයවන්නන් චෝදනා කරන්නේ, පළිබෝධ මර්දන සමාගම ක්‍රියාත්මක වී ඇත්තේ, අවසරයකින් තොරව බව සහ පළිබෝධ නාශක ඉසීම සිදු කළ සේවකයාට ඒ සඳහා අවශ්‍ය සහතිකය ද නොතිබුණු බව ය.
නොසැලකිල්ල නිසා සිදු වූ මිනිස් ඝාතනයක්
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
නඩුවේ පළමු දිනය අතරතුර හෝටලයේ හිමිකරු වගකීම භාර ගැනීම ප්‍රතික්ෂේප කළේ ය. "ඒක පළිබෝධ මර්දනය නිසා සිදුවුණා කියලා මම හිතන්නේ නැහැ," යනුවෙන් ඔහු අධිකරණය හමුවේ කියා සිටියේ එය සිදු කළ සමාගමේ මෙහෙයුම් බලපත්‍රය අවලංගු කර ඇති බව තමා නොදන්නා බව පවසමින් ය.
නොසැලකිල්ල සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා පළිබෝධ මර්දන සමාගමේ හිමිකරු ද ප්‍රතික්ෂේප කළේ ය. "මම සමාගමේ අයිතිකාරයා විතරයි. පළිබෝධ මර්දනය කියන එක මට තේරෙන්නේ නැහැ," ඔහු පැවසුවේය.
තවත් විත්තිකරුවෙකු අධිකරණය හමුවේ කියා සිටියේ, සමාගමට 2019 වසරේ සිට සහතිකයක් නොමැති බව සහ කාර්ය මණ්ඩලයට ඇත්තේ මාස දෙකක හෝ තුනක පුහුණුවක් පමණක් බව ය.
රෝගී වීමෙන් අනතුරුව පවුලේ සාමාජිකයන් ගිලන් රථයක් වෙත පැමිණීමට අසාර්ථක උත්සහයක නිරත වන අයුරු දැක්වෙන ආරක්ෂිත කැමරා දර්ශන පිළිබඳව ද අධිකරණ ලේඛනවල දැක්වේ. හෝටලයේ පිළිගැනීමේ නිලධාරිනියක විමර්ශකයින් වෙත පවසා අත්තේ දැඩි ගන්ධයක් නිකුත් වීම හේතුවෙන් ඇය හෝටලයේ දොර අගුළු දමා ගොඩනැගිල්ලෙන් පිටව ගිය බව ය.
පැමිණිල්ල මෙහෙයවන්නන් පවසන්නේ, විත්තිකරුවන් රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් ඔවුන් සතු රාජකාරිය ඉටු කිරීමට අසමත් වී ඇති අතර, නොසැලකිල්ලෙන් ක්‍රියාකර ඇති බව ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අගෝස්තු මාසයේදී වාර්තා වූ වෙනත් සිදුවීමකදී ඉස්තාන්බූල් නුවර පිහිටි වෙනත් හෝටලයක කාමරයක් තුළ නෙදර්ලන්ත ජාතික නව යොවුන් වියේ පසුවූවන් දෙදෙනෙකු මියගොස් සිටියදී සොයා ගැනුණු අතර තුර්කි ජනමාධ්‍ය වාර්තා කළේ, ඔවුන් මියගොස් ඇත්තේ හෝටලය තුළට යොදන ලද පළිබෝධ නාශකයක් හේතුවෙන් බව පශ්චාත් මරණ පරීක්ෂණ මගින් තහවුරු කර තිබූ බව ය.
ඉස්තාන්බුල්හි ෆාති දිස්ත්‍රික්කයේ නිල් පල්ලිය සහ ග්‍රෑන්ඩ් බසාර් ආසන්නයේ පිහිටි හෝටලයට පොලිසිය සහ පරිපූරක වෛද්‍යවරුන් කැඳවූ අවස්ථාවේ අවුරුදු 15 සහ 17 යන වයස් කාණ්ඩවල පසුවූ පිරිමි ළමයින්ගේ සිරුරු සොයා ගත්හ. ඔවුන් සමග සිටි ඔවුන්ගේ පියා රෝහල්ගත කර ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව පසු දිවි ගලවා ගත්තේ ය.
එම අවස්ථාවේදී ද මරණ සම්බන්ධයෙන් මූලික සැකය යොමුවූයේ පවුලේ සාමාජිකයින් තුර්කියේ නිවාඩුවක් ගත කරමින් සිටින අතරතුර අවන්හලකින් ලබා ගෙන තිබූ ආහාර සම්බන්ධයෙනි.
කෙසේ වෙතත්, මාස කිහිපයකට පසු ප්‍රකාශයට පත් කරන ලද අධිකරණ වෛද්‍ය වාර්තාව මගින් නිර්ණය කළේ යොවුන් වියේ පසුවූ පිරිමි ළමුන් දෙදෙනා ද මියගියේ බෝසෙක් පවුලේ සාමාජිකයින්ගේ මරණයට හේතු වූ බවට විශ්වාස කෙරෙන විෂ ද්‍රව්‍යය වන ඇලුමිනියම් ෆොස්ෆයිඩ් ආශ්වාස කිරීමෙන් අනතුරුව බව පුද්ගලික ගුවන් විදුලි නාලිකාවක් වන NTV වාර්තා කළේ ය.
එම නාලිකාවට අනුව පළිබෝධ මර්දන සමාගමේ හිමිකරු ඇතුළුව සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් 05 දෙනෙක් බලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
විෂ සහිත ෆොස්ෆීන් වායුව
මෙම සිදුවීම් දෙක ම ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇති අතර, හෝටල් තුළ භාවිත කරන අන්තරායකර රසායනික ද්‍රව්‍ය පිළිබඳ දැඩි අධීක්ෂණයක් අවශ්‍ය බවට වන ඉල්ලීම් ද නැවත මතු වෙමින් තිබේ.
එම රසායනික ද්‍රව්‍ය අතර පළිබෝධ පාලනය සඳහා බහුලව භාවිත වන ලෝහ ෆොස්ෆයිඩ ද ඇති නමුත් ඒවා වැරදි ලෙස භාවිත කරන්නේ නම් දරුණු රෝගාබාධ හෝ මරණය පවා හේතු විය හැක.
'ඇලුමිනියම් ෆොස්ෆයිඩ්' යනු එවැනි එක් ද්‍රව්‍යයක් වන අතර එය බොසෙක් පවුල නවාතැන් ගෙන සිටි හෝටලය තුළ භාවිත කළ බව පැවසෙන පළිබෝධ නාශකයයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ධාන්‍ය ගබඩාවල පළිබෝධකයන් මරා දැමීමට සහ බෝග ආරක්ෂා කිරීමට ඇලුමිනියම් ෆොස්ෆයිඩ් බහුලව භාවිත කෙරේ. එය මීයන් සිටින ගුල් වැනි මිනිස් වාසයෙන් බැහැර ස්ථානවල භාවිත කිරීම සඳහා නිර්මාණය කර ඇති අතර තුර්කිය ඇතුළු බොහෝ රටවල කෘෂිකාර්මික භාවිතය සඳහා බලපත්‍ර ලබාගෙන ඇත.
මෙම ඝන සංයෝගය වාතයේ ඇති තෙතමනය සමග ස්පර්ශ වූ විට 'ෆොස්ෆීන්' වායුව මුදා හරින තර එය අතිශයින් විෂ සහිත වේ. මෙම වායුවට නිරාවරණය වීමෙන් මතු වන මූලික රෝග ලක්ෂණ අතර රුධිරය සමග වමනය හෝ කැස්ස ඇතුළත් විය හැකි ය.
තුර්කි ඉංජිනේරු සහ ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ මණ්ඩලය අනතුරු අඟවන්නේ, ෆොස්ෆීන් වායුව අඩු සාන්ද්‍රණයකින් පවා මාරාන්තික විය හැකි බව සහ මිනිත්තු පහක් සඳහා මිලියනයකට කොටස් 1,000කට නිරාවරණය වීමෙන් මිනිසුන් මිය යා හැකි බවත්ය.
අනෙකුත් බොහෝමයක් රටවල් මෙන් ම තුර්කිය ද ඇඳ මකුණන් මර්දනය කිරීම සඳහා 'ලෝහමය ෆොස්ෆයිඩ්' භාවිත කිරීම තහනම් කළ ද, එවැනි සීමා කිරීම් බලාත්මක කිරීම සහ අධීක්ෂණය කිරීම අක්‍රමවත් විය හැකි බව විශේෂඥයෝ පවසති.






























