දරුණුතම එල් නිනෝ තත්ත්වයක් ගැන එක්සත් ජාතීන්ගෙන් බිහිසුණු අනතුරු ඇඟවීමක්

    • Author, එස්මේ ස්ටැලර්ඩ් - ජ්‍යෙෂ්ඨ දේශගුණික හා විද්‍යා වාර්තාකාරිනිය, මාර්ක් පොයින්ටින් සහ බෙකී ඩේල් - BBC Verify , යවෙට් ටෑන්, ටිෆනි ටර්න්බුල් සහ නිකිතා යාදව් - බීබීසී ලෝක සේවය
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 8

එල් නිනෝ තත්ත්වයේ බලපෑම් ලොව පුරා දැනෙන්නට පටන් ගැනීමත් සමඟ, ලෝකය 'දරුණු කාලගුණික තත්ත්වයන් සහිත අනතුරුදායක කලාපයකට' ඇතුළු වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් අනතුරු අඟවා තිබේ.

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) විසින් මෙම ස්වභාවික කාලගුණ සංසිද්ධිය පිළිබඳව නිකුත් කර ඇති නවතම දත්ත පෙන්වා දෙන්නේ, මෙය වසර 70කට වැඩි කාලයකින් ඇති වන ප්‍රබලම එල් නිනෝ තත්ත්වය විය හැකි බවත්, එය අවම වශයෙන් 2027 පෙබරවාරි මාසය දක්වා පවතිනු ඇති බවත්ය.

එල් නිනෝ තත්ත්වය හේතුවෙන් ලොව පුරා කාලගුණ රටාවන් වෙනස් වන අතර, ඇතැම් ප්‍රදේශ දරුණු නියඟයන්ට ඇද දමන අතරම, තවත් ප්‍රදේශවලට ප්‍රබල සුළි කුණාටු සහ ගංවතුර තත්ත්වයන් ඇති කරයි.

එමෙන්ම, මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන දේශගුණික විපර්යාස හේතුවෙන් දැනටමත් ලෝකයේ උණුසුම ඉහළ යමින් පවතින පසුබිමක, මෙම එල් නිනෝ තත්ත්වය නිසා ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය තවදුරටත් ඉහළ යනු ඇතැයි කාලගුණ අනාවැකි පළකරන්නෝ පවසති.

'එල් නිනෝ තත්ත්වය අපේ ඇස් පනාපිටම දැවැන්ත පරිමාණයෙන් වර්ධනය වෙමින් පවතිනවා. විද්‍යාත්මක දත්තයන්ට අනුව එහි කිසිදු සැකයක් නැහැ, අපේ පෘථිවිය මින් පෙර කිසිදා මුහුණ නොදුන් අනතුරුදායක තත්ත්වයකට පත්ව තිබෙනවා, එමෙන්ම සාගර ජලය තවදුරටත් රත් වෙමින් පවතිනවා,' යැයි ගුටරේස් පැවසීය.

මරණ, අවතැන්වීම් සහ පරිසර හානිය අවම කිරීම සඳහා ගෝලීය වශයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව BBC ය විවිධ රජයන් සහ විද්‍යාඥයින් සමඟ සාකච්ඡා කර තිබේ. ඒ අනුව, පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ශක්තිමත් කර ඇති අතර පෙර සූදානමක් ලෙස වෛද්‍ය ආධාරද සපයා ඇත. නමුත් මෙම විශේෂ කාලගුණ අවස්ථාවේ පවතින දැඩි ප්‍රබලතාවය නිසා, විශේෂයෙන්ම අවදානමට ලක්විය හැකි ජන කණ්ඩායම් කෙරෙහි දැඩි කනස්සල්ලක් මතුව තිබේ.

එක්සත් ජාතීන්ගේ ආයතනයක් වන ලෝක කාලගුණ විද්‍යා සංවිධානය ප්‍රකාශ කළේ, 'එල් නිනෝ' තත්ත්වය නිසා ඇතිවිය හැකි දරුණු කාලගුණික අනාවැකි හැකිතාක් වැඩි පිරිසක් අතරට කඩිනමින් බෙදා හැරීම සඳහා ඔවුන් "දැවැන්ත මෙහෙයුමක්" ආරම්භ කර ඇති බවයි.

ලෝක කාලගුණ සංවිධානයේ මහලේකම් මහාචාර්ය සෙලෙස්ටේ සවුලෝ අනතුරු අඟවමින් මෙසේ පැවසුවාය: " 'එල් නිනෝ' තත්ත්වයට ලොව පුරා සිටින ජනතාවට සහ ආර්ථිකයන්ට දැවැන්ත මාරාන්තික පහරක් එල්ල කිරීමේ හැකියාව පවතිනවා."

'එල් නිනෝ' යනු පැසිෆික් සාගරයේ හටගන්නා සහ සුළං රටාවල වෙනස් වීම් සමඟ සබැඳි පවතින ස්වභාවික කාලගුණ සංසිද්ධියකි. එමඟින් සාගරයේ ඇති උණුසුම් ජලය නැගෙනහිර දෙසට පැතිරී යාමට ඉඩ සලසන අතර, එම තාපය වායුගෝලයට මුදා හරියි

පසුගිය මාස කිහිපය තුළ මධ්‍යම සහ නැගෙනහිර නිවර්තන පැසිෆික් සාගරයේ මුහුදු උෂ්ණත්වය ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, එය 'එල් නිනෝ' තත්ත්වය ශක්තිමත් වෙමින් පවතින බවට පැහැදිලි සලකුණකි.

පැසිෆික් සාගරයේ ප්‍රධාන නිරීක්ෂණ කලාපයේ මුහුදු මතුපිට උෂ්ණත්වය, පසුගිය සති කිහිපය තුළ සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 2කටත් වඩා (+2°C) ඉහළ ගොස් ඇත. මේ නිසා මෙය "ඉතා ප්‍රබල" දේශගුණික අවස්ථාවක් ලෙස නම් කිරීමට නියමිතය.

නමුත් ඉදිරි අනාවැකිවලට අනුව, එය එම සීමාවද ඉක්මවා යාමට නියමිතය. මාසික මුහුදු මතුපිට උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා සෙල්සියස් අංශක 4ක් (+4°C) තරම් ඉහළ අගයකට ආසන්න විය හැකි බව කාලගුණ දත්ත පෙන්වා දෙයි.

මෙය සිදු වුවහොත්, එය 1950 වසරෙන් පසු ලෝක ඉතිහාසයේ වාර්තා වූ ප්‍රබලම සහ විනාශකාරීම 'එල් නිනෝ' තත්ත්වය බවට පත්වනු ඇත.

පැසිෆික් සාගරයේ ගැඹුරු මුහුදේ පවතින උෂ්ණත්වය මීටත් වඩා සුවිශේෂී ලෙස ඉහළ ගොස් ඇත. ඇතැම් ස්ථානවල එය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 8කටත් වඩා (+8°C) වැඩි වී තිබේ.

සාමාන්‍ය මට්ටමට වඩා වැඩි මෙම මුහුදු උෂ්ණත්වය ඉන්දියන් සාගරය, නිවර්තන අත්ලාන්තික් සාගරය සහ ඔස්ට්‍රේලියානු වෙරළ තීරයේ ඇතැම් කොටස් ඇතුළු ලෝකයේ සෙසු ප්‍රදේශවලද ඇති වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම කලාපය සාගර ජීවීන්ගෙන් පොහොසත් වන බැවින්, සාගරයේ සිදුවන මෙම උෂ්ණත්ව වෙනස්වීම් ඔස්ට්‍රේලියාවට විශේෂයෙන්ම දැඩි බලපෑමක් සහ කනස්සල්ලක් ඇති කරන කරුණකි.

දේශගුණික විපර්යාස හේතුවෙන් මෑත වසරවලදී ඔස්ට්‍රේලියාව අඛණ්ඩවම දරුණු 'සාගර තාප තරංග' වලට ගොදුරු විය.

'එල් නිනෝ' යනු ස්වභාවික සංසිද්ධියක් වුවද, එය මෙවැනි දේශගුණික විපත් ඇති කිරීමට හේතු වන අධික රස්නයක් රැගෙන ඒමට සමත් වන බව ඔස්ට්‍රේලියානු විද්‍යා ඒජන්සියේ ප්‍රධාන පර්යේෂක ආචාර්ය ඇලිස්ටෙයාර් හොබ්ඩේ BBC ය වෙත පැවසීය.

මෙවර සාගර තාප තරංග අනාවැකිවලට අනුව මහා කොරල් පරයට මෙම දරුණු තත්ත්වයෙන් යම් සහනයක් ලැබෙනු ඇත. මේ නිසා එහි ඇති කොරල්පරවලට නැවත යථා තත්ත්වයට පත්වීමට වැඩි කාලයක් ලැබෙනු ඇත.

'නමුත්, දකුණු ඔස්ට්‍රේලියාවට මෙයින් ඉතා දරුණු ලෙස පහර වදිමින් පවතිනවා,' යැයි හොබ්ඩේ පැවසීය.

පසුගිය වර දකුණු ඔස්ට්‍රේලියාවට සහ ටස්මේනියාවට මෙවැනි සාගර තාප තරංගයක් බලපෑ අවස්ථාවේදී, ආහාර නොමැතිව පෙන්ගුවින් සතුන් සාගින්නේ මියයාම, මසුන් විශාල වශයෙන් මියයාම, මුහුදු පැලෑටි අධික ලෙස වර්ධනය වී ඔක්සිජන් නොමැතිව ජීවීන් හුස්ම හිරවීම සහ ජෙලිෆිෂ් සතුන් විශාල වශයෙන් වෙරළට ගසාගෙන ඒම වැනි දරුණු විපත් සිදු විය.

සාගරයේ ඇති වන මෙවැනි හදිසි තත්ත්වයන් කල්තියා දැනගැනීම සඳහා ඔස්ට්‍රේලියාව මෑතකදී 'පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති' හඳුන්වා දී ඇත. මේ හරහා ධීවර කර්මාන්තය වෙනුවෙන් මූල්‍ය සහන සැලසීමට, වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති ප්‍රධාන සාගර ජීවීන් වෙනත් ආරක්ෂිත ස්ථාන කරා ගෙන යාමට සහ කොරල්පර නිරීක්ෂණ කටයුතු වැඩි කිරීමට අවශ්‍ය කාලය ලැබී තිබේ.

එහෙත්, මෙවර ඇති වී තිබෙන තත්ත්වය මින් පෙර කිසිදා නොවූ විරූ මට්ටමක පවතින බැවින්, තමා මේ පිළිබඳව බෙහෙවින් කනස්සල්ලට පත්ව සිටින බව හොබ්ඩේ පිළිගනියි.

වර්ෂාපතනය අඩු වීම හේතුවෙන් නියඟය සහ වෙළඳ කටයුතුවලට බාධා

ලෝක කාලගුණයට එල්ල වන මෙම බලපෑම් 2027 වසර දක්වාම හොඳින් දැනෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතරම, ඉදිරි මාස කිහිපය තුළ වර්ෂාපතන රටාවන්හි කැපී පෙනෙන වෙනස්කම් සිදුවනු ඇතැයි ලෝක කාලගුණ විද්‍යා සංවිධානය බලාපොරොත්තු වේ.

අග්නිදිග ආසියාව, මධ්‍යම ඇමෙරිකාව සහ දකුණු ඇමෙරිකාවේ උතුරු ප්‍රදේශවල විශාල කලාප හරහා සාමාන්‍යයට වඩා බෙහෙවින් වියළි දේශගුණික තත්ත්වයක් පවතිනු ඇතැයි අනාවැකි පළ කර ඇති අතර, එමගින් නියඟයන් සහ ලැව්ගිනි ඇතිවීමේ අවදානම ඉහළ යයි.

වැසි ලැබීම අඩු වනු ඇතැයි කල්තියා සිතා, පැනමා ඇල හරහා ගමන් කරන නැව් සංඛ්‍යාව බ්‍රහස්පතින්දා සිට 10%කට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කිරීමට නියමිතය.

මෙම මිනිසා විසින් නිර්මාණය කරන ලද කෘත්‍රීම ජල මාර්ගය වසරකට නැව් 14,000ක් පමණ භාවිතා කරයි. එය ලෝක වෙළඳාමට අත්‍යවශ්‍යම මාර්ගයක් වන අතරම, පැනමා රාජ්‍යයට වසරකට ඩොලර් බිලියන 3ක පමණ (ඇමෙරිකානු ඩොලර් මිලියන 3000ක්) ආදායමක් ගෙන දෙන ඔවුන්ගේ ප්‍රධානතම ආදායම් මාර්ගය ද වේ.

ඉන්දුනීසියාව මේ වන විට, මෙවර වියළි කාලය තුළ එරට පුරා හෙක්ටයාර 107,000කට වඩා වැඩි භූමි ප්‍රමාණයක් විනාශ කර දමා ඇති දරුණු ලැව්ගිනි පාලනය කිරීම සඳහා දැඩි සටනක නිරත වෙමින් සිටියි. අග්නිදිග ආසියාවේ අනෙකුත් සමහර ප්‍රදේශ මෙන්ම ඉන්දුනීසියාව ද මේ වසරේ වෙනදාට වඩා දිගු වියළි කාලයකට මුහුණ දී සිටියි.

ඉන්දුනීසියායාවේ මධ්‍යම කලිමන්තන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඩාවින් රොමී BBC පුවත් සේවයට පැවසුවේ තමා "මාසයකට වැඩි කාලයක් තිස්සේ" මෙම ලැව්ගිනිවලට මුහුණ දෙන බවයි. "දුම ගොඩක් ඝන වෙලා තියෙන්නේ. අපි එළියට බහිනකොට ඇස් දැවිල්ල ගන්නවා. දුමේ සැර ගොඩක් තදින් දැනෙනවා," යැයි ඔහු පැවසීය.

මෙම ලැව්ගිනි නිවා දැමීම සඳහා කෘතිම වැසි ඇති කරවන ගුවන් යානා යෙදවීමට කටයුතු කරමින් සිටින බව බලධාරීන් පවසා ඇති අතර, ගිනි පාලනය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන බවට රජය පොරොන්දු වී ඇත. එමෙන්ම, වතු වගාවන් සඳහා කැලෑ එළි කිරීමට හොර රහසේ ගිනි තැබූ බවට සැකපිට පුද්ගලයන් විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීමටද එරට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.

වඩාත් ප්‍රබල සුළි කුණාටු සහ නායයෑම් ඇතිවීමේ අවදානම

සැතපුම් දහස් ගණනක් ඈතින් පිහිටි චීනය, මේ වසරේදී පමණක් සුළි කුණාටු හතක් එරට ගොඩබිමට කඩා වදිනු ඇතැයි අපේක්ෂා කරයි. මෙය 'සුපිරි එල් නිනෝ' තත්ත්වයක බලපෑම සමඟ සෘජුවම සම්බන්ධ වී ඇති බව එරට කාලගුණ විද්‍යාඥයින් පවසා තිබේ.

පසුගිය ජූලි මාසයේදී පමණක් චීනය 'බාවි' , 'නූල්' සහ 'මේසැක්' යන සුළි කුණාටු තුනකට මුහුණ දුන් අතර, ඉන් පුද්ගලයන් විශාල පිරිසක් මිය ගියහ.

එමෙන්ම අගෝස්තු මාසයේදී 'ඩොල්ෆින්' සුළි කුණාටුව කඩා වැදීමත් සමඟ ඇති වූ අධික වර්ෂාව සහ ප්‍රබල සුළං හේතුවෙන් මිලියනයකට අධික ජනතාවකට තම නිවාස අත්හැර ආරක්ෂිත ස්ථාන කරා යාමට සිදුවිය.

මේ හා සමානවම, නැගෙනහිර අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවලට, දකුණු බ්‍රසීලයට සහ ඇමෙරිකාවේ දකුණුදිග ප්‍රදේශවලට සාමාන්‍යයට වඩා වැඩි වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කෙරෙන අතර, එමඟින් දරුණු ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ ඉඩකඩ ඉහළ යයි.

නියඟ සහ ගංවතුර තත්ත්වයන් නිසා සිදුවන ජීවිත හානි සහ විනාශයන් අප දැනටමත් දැකීමට පටන් ගෙන තිබෙනවා. 'එල් නිනෝ' තත්ත්වය තවදුරටත් බලවත් වන විට මෙම විනාශකාරී බලපෑම් තවත් වැඩි වනු ඇතැයි අප අපේක්ෂා කරනවා,' යැයි මහාචාර්ය සවුලෝ පැවසීය.

මෙම සියලුම දේ සිදු වන්නේ මිනිසා විසින් සිදු කරන ලද දිගුකාලීන ගෝලීය උණුසුම් වීම මතය. මේ නිසා මෙම දේශගුණික විපර්යාසයේ බලපෑම වෙනදාට වඩා දරුණු විය හැකිය. ඇතැම් විද්‍යාඥයින් විශ්වාස කරන්නේ දේශගුණික විපර්යාස නිසා එල් නිනෝ තත්ත්වය තවදුරටත් ශක්තිමත් විය හැකි බවයි. නමුත් එය තවමත් විද්‍යාත්මකව ස්ථිරවම තහවුරු කර නොමැත.

පේරු රාජ්‍යයේ වෙරළ තීරය පිහිටා තිබෙන්නේ නැගෙනහිර පැසිෆික් සාගරයට මායිම්ව බැවින්, එම රට එල් නිනෝ තත්ත්වය හමුවේ පහසුවෙන්ම දැඩි අනතුරකට ලක් විය හැකි රටකි.

පේරු රාජ්‍යයේ ඇතැම් ප්‍රදේශ, ඉක්වදෝරය සහ බ්‍රසීලයේ සමහර කොටස් මීට පෙරද මෙසේ වර්ෂාපතනය ඉහළ යාම නිසා ක්ෂණික ගංවතුර සහ නායයෑම්වලට ගොදුරු වී ඇත. විශේෂයෙන්ම ජලය බැස යාමට නිසි ක්‍රමවේදයක් නොමැති නාගරික මධ්‍යස්ථානවල මෙම තත්ත්වය දරුණු වේ.

දරුණු කාලගුණයට මුහුණ දීම සඳහා රටවල් සූදානම් කිරීමට උදව් කරන 'ප්‍රැක්ටිකල් ඇක්ෂන්' ආයතනයේ දේශගුණික ඔරොත්තු දීමේ අංශයේ ප්‍රධානී මිගෙල් අරෙස්ටෙගුයි මෙසේ පැවසීය: 'අපි මේ පිළිබඳව දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටිනවා. නමුත් එම කනස්සල්ල නිකම්ම බියක් බවට පත් කර නොගෙන, ඊට මුහුණ දීමේ පූර්ව සූදානම බවට පත් කර ගත යුතුයි.'

මහජනතාවට පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති වඩාත් හොඳින් ලබා දීම සඳහා තම ආයතනය පසුගිය වසර කිහිපය පුරාම විවිධ පාර්ශවයන් සමඟ කටයුතු කළ බව ඔහු පැවසීය. ගංගාවල ජල මට්ටම්, ගංවතුර අවදානම් සහ කාලගුණ අනාවැකි පිළිබඳ තොරතුරු ජනතාව අතර බෙදා හැරීම ඊට ඇතුළත් වේ.

පසුගිය මාසය අවසානයේදී ඇමෙරිකා එක්සත් ජනපදය නිවේදනය කළේ, එල් නිනෝ තත්ත්වය උපරිමයටම ළඟා වන අවස්ථාවේදී අමතර වෛද්‍ය ආධාර සහ තාක්ෂණික උපකරණ සැපයීම සඳහා 'USNS Comfort' නැමැති සිය විශේෂ වෛද්‍ය නෞකාව පේරු වෙරළ තීරය වෙත යොදවන බවයි.

කෙසේ වෙතත්, අරෙස්ටෙගුයි පවසන්නේ එල් නින්‍යෝ තත්ත්වය පැමිණෙන්නේ 'හිස් අවකාශයකට' නොවන බවයි. එනම්, මෙම ස්වභාවික විපත තවත් දරුණු කිරීමට හේතු වන, විසඳීමට දිගු කලක් ගත වන වෙනත් විශාල ව්‍යුහාත්මක ගැටලු රටවල් තුළ පවතී. 'අනතුරුදායක ස්ථානවල නිවාස ඉදිකර තිබීම, දුර්වල ජල හා සනීපාරක්ෂක පද්ධති සහ පවතින දුර්වල සෞඛ්‍ය සේවා පද්ධතිය' එවැනි ගැටලුවලට උදාහරණ බව ඔහු පැවසීය.