පෘථිවියේ කටුක ම ස්ථානයක් 'ස්වයංපෝෂිත ලෝකයක්' බවට පත් කළ හැටි

Children from Gaviotas playing.
ගැවියෝටාස්හි සෙල්ලම් කරන දරුවන්

ඡායාරූප මූලාශ්‍රය, Gaviotas

ඡායාරූප ශීර්ෂ වැකිය, ගැවියෝටාස්හි, දරුවෝ "ඔබ රැකියාවට එන විට දරුවාත් රැගෙන එන්න" යන ප්‍රවේශයට සමානව, රැකියාවේදී වැඩිහිටියන් සමග කාලය ගත කිරීමෙන් ඉගෙන ගනිති. සම්බන්ධීකාරකවරු ප්‍රායෝගික අත්දැකීම් හරහා වන වගාව, කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්තිය සහ ජෛව ඉන්ධන පිළිබඳව අවිධිමත් ලෙස ඔවුන්ට උගන්වති.
    • Author, සොෆියා ක්වාලියා
    • Role, BBC Future
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 13

බොගෝටා අගනුවර සිට දවසක පමණ කාලයක් වාහනයකින් යා යුතු දුරකින් පිහිටි නැගෙනහිර කොලොම්බියාවේ, ලොස් ලානොස් ලෙස හඳුන්වන ඉතා දූරස්ථ, සුළු පිරිසක් පමණක් ජීවත් වන දැවැන්ත තැනිතලාවේ, වර්ග කිලෝමීටර් 80ක [වර්ග සැතපුම් 31ක] කොටසක මිනිසා විසින් නිර්මාණය කරන ලද සශ්‍රීක, නිරෝගී ශාකවලින් පොහොසත් වනාන්තරයක් තිබේ.

අවම වියදමකින් ක්‍රියා කරන සූර්ය බලයෙන් ජලය උණු කරන තාපකවල සිට ජල පොම්පයක් ලෙස ක්‍රියාකරන ළමා සී-සෝවක් දක්වා මෙන් ම, ආහාර සඳහා ලබා ගත හැකි ශාක ඇතුළත් වන වගාවක සිට ජෛව ඉන්ධන දක්වා මෙහි පුරෝගාමී තාක්ෂණයන් විහිදී තිබේ. ඇතැම් ඒවා ප්‍රාදේශීය ආදිවාසී ප්‍රජාවන් විසින් භාවිත කරන ලද සාම්ප්‍රදායික ක්‍රමවලින් ආභාසය ලැබූ අතර, අනෙක් ඒවා තිබෙන සීමිත සම්පත් සමග වෙහෙස නොබලා, දක්ෂ ලෙස කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ලැබුණු ඒවා ය.

ගමේ බොහෝ නව නිපැයුම් කලක් අමුතු හා අසාමාන්‍ය ලෙස සලකනු ලැබුව ද, දැන් ඒවා කාලයේ පරීක්ෂණයට ලක්ව තිබේ. මෙම නව නිපැයුම් මුලින් ම නිර්මාණය කරන ලද්දේ ගමට ම සුවිශේෂී වූ ප්‍රාදේශීය අවශ්‍යතා සපුරාලීම සඳහා වන නමුත්, පසුව ඒවා කොලොම්බියාවේ අනෙකුත් ප්‍රදේශවල සහ අනෙකුත් රටවල ද සාර්ථකව භාවිත කර තිබේ. මෙම අත්හදාබැලීම් හරහා නිර්මාණය කරන ලද දර්ශනයන් ඊට සමාන ව්‍යාපෘති සඳහා ආභාසය ලබා දී ඇති අතර තිරසරබව ළඟා කර ගැනීමට වෙනස් මාර්ගයක් ලොවට පෙන්වා දී ඇත.

එසේ වුව ද, දුෂ්කර පරිසරයක අසාමාන්‍ය ජීවන රටාවක් නිසා මේ ගම්මානය මුළුමනින් ම පාහේ සුවිශේෂී එකක් ලෙස සලකයි.

"මට තේරෙන්නේ නැත්තේ මෙච්චර සරල දෙයක්, [ඒ කියන්නේ] පෘථිවියේ කර්කෂ ම තැනකත් ගැවියෝටාස් පිහිටුවන්න පුළුවන් තරම් සරල නම්, මට තේරුම් ගන්න බෑ එක වෙනත් තැනක කරන්න බැරි ඇයි කියලා," 1960 ගණන්වල මෙම ප්‍රජාව ආරම්භ කළ පාවුලෝ ලුගාරි පවසයි.

වෙනස් වන ලෝකයට අනුවර්තනය වීම දිගට ම සිදු කරන ගැවියෝටාස් [මෙවැනි] වැදගත් ප්‍රශ්න ද මතු කරයි. මෙතරම් ඉක්මනින් වෙනස් වන ලෝකයක තිරසර ප්‍රජාවක් පවත්වා ගන්නේ කෙසේ ද? ප්‍රජාව වෙනස් වීමේදී, එහි වටිනාකම් සහ ජීවන රටාව ඇතුළුව එයට ලැබෙන්නේ සහ අහිමි වන්නේ මොනවා ද?

Children from Gaviotas playing near one of Gaviotas' ecological inventions

ඡායාරූප මූලාශ්‍රය, Gaviotas

ඡායාරූප ශීර්ෂ වැකිය, ගැවියෝටාස්හි පරිසර විද්‍යාත්මක නව නිපැයුමක් අසල සෙල්ලම් කරන දරුවන්

ඉතාලි-කොලොම්බියානු සම්භවයක් සහිත ප්‍රධාන දේශපාලනික පවුලකින් පැවතගෙන එන වයස 20 ගණන්වල පසුවූ ලුගාරි 1966දී ලොස් ලානොස් හරහා ගුවන් යානයකින් ගමන් කරන අතරතුර ඔහුට, එහි නිල්වන්, සමෘද්ධිමත් ප්‍රජාවක් ගොඩනැගීමේ උද්‍යෝගයක් හදිසියේ ඇති විය. එම පළමු සංචාරයෙන් පසු වසර කිහිපයක් ඔහු එම අදහස සඳහා වැඩ කළ අතර ඔහු සමග මෙම ප්‍රජාව ගොඩනැගීමට අදහසක් ඇති පිරිස් බඳවා ගත්තේ ය.

අවසානයේ, 1971 දී ලුගාරි ලාභ නොලබන පදනමක් හරහා විචාඩාහි ඉඩමක් මිල දී ගත් අතර, 20 දෙනෙකුගෙන් පමණ යුත් විවිධාකාර හැකියාවන් සහිත කාර්ය මණ්ඩලයක් මගින් එහි නව ප්‍රජාවක් ආරම්භ කළේ ය. ඔවුහු තම නිවාස ඉදිකරන අතරතුර ඔවුන්ට ඉහළින් පියාසර කළ සුදු පැහැති පක්ෂීන්ට ගෞරව කිරීම සඳහා ස්පාඤ්ඤ භාෂාවෙන් "මුහුදු ලිහිණියෝ" යන අර්ථය ඇති ගැවියෝටාස් යනුවෙන් එම ප්‍රදේශය නම් කළහ.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මුල සිට ම ඔවුහු විශාල අභියෝගයන්ට මුහුණ දුන්හ. ලොස් ලානොස්හි කාලගුණය අතිශයින් කටුක වන අතර එය ප්‍රදේශය ජලයෙන් යට වන ඉතා තද වර්ෂාව සහ ඉතා දැඩි උණුසුම් හිරු රශ්මිය යන අන්ත දෙක අතර ඉක්මනින් ම වෙනස් වන ප්‍රදේශයකි. ඔවුන් එහි මුලින් ම පදිංචි වී වසර කිහිපයක් ගත වන විට, ලොස් ලානොස් දේශපාලන ගැටුම් සහ ප්‍රචණ්ඩත්වයට ගොදුරු විය. විවිධ සන්නද්ධ කණ්ඩායම් එම ප්‍රදේශය පාලනය කිරීමට සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය වෙළෙඳාමෙන් සහ කොකෝවා නිෂ්පාදනවලින් ලාභ ලැබීම සඳහා සටන් කළහ.

නමුත් [ව්‍යාපෘතියට උදව් කිරීම සඳහා] ලුගාරි තම ජීවිතයේ විවිධ අවධීන්වලදී ඔහු දැන සිටි පුද්ගලයින් එක්රැස් කර තිබිණි. ඔහු ව්‍යාපෘතියට විද්‍යාඥයින් සහ ඉංජිනේරුවන් බඳවා ගැනීම සඳහා බොගෝටා වෙත ගිය අතර, සැවානා වනාන්තරවල තිරසර ව්‍යාපෘති නිර්මාණය කිරීමෙන් තරුණ පර්යේෂකයින්හට තම අධ්‍යයන කටයුතු අවසන් කිරීමට දිරිමත් කළේ ය. ඔහු තැනින් තැනට සංක්‍රමණය වූ ස්වදේශික ආදිවාසී ප්‍රජාවන් සමග සහ දේශීය ගොවීන් වූ ලැනේරෝස් නම් ප්‍රජාව සමග එකතු වී ඔවුන්ට රැකියා ලබා දුන්නේ ය. 1970 ගණන්වල අග භාගය වන විට, ප්‍රජාව බාහිර උපකාර මත යැපීමෙන් තොරව තමන් විසින් ම නඩත්තු වනු ලබන පුද්ගලයින් 200කට වඩා වැඩි සංඛ්‍යාවක් දක්වා වර්ධනය වූ බව ලුගාරි පවසයි.

වාසය කරන ස්ථානය සමග 'නිවැරදි සම්බන්ධතාවකින්' යුතුව ජීවත් වීම

An energy-efficient, solar-powered home designed and built by the Gaviotas community, replicated in the Guajira region of Colombia

ඡායාරූප මූලාශ්‍රය, Gaviotas

ඡායාරූප ශීර්ෂ වැකිය, ගැවියෝටාස් ප්‍රජාව විසින් නිර්මාණය කර ගොඩනගන ලද කරන ලද සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන, බලශක්තිය අඩුවෙන් වැය වන නිවසක් අනුකරණය කරමින්, කොලොම්බියාවේ ග්වහීරා ප්‍රදේශයේ ඉදි කළ නිවසක්

මෙම දුෂ්කර තත්ත්වයන් තුළ දිවි රැකගැනීම සඳහා, තරුණ ඉංජිනේරුවන් කිහිප දෙනෙකු ඇතුළුව, ගැවියෝටාස්හි ජනතාව, විවිධ පරිසර හිතකාමී, අඩු වියදම් සහ දේශීය වශයෙන් සුදුසු විසඳුම් නිර්මාණය කළහ. ගැවියෝටාස් ජනයා පැමිණීමට බොහෝ කලකට පෙර ලොස් ලානොස්හි සංචාරකයින් ලෙස ජීවත් වූ ස්වදේශික ගුවාහිබෝ ජනයාගේ සම්ප්‍රදායන්ගෙන් සමහර අදහස් පැමිණියේ ය. වර්ෂාවට සහ හිරු එළියට ඔරොත්තු දීම සඳහා ඝන, පිදුරු සෙවිලි කළ තල් අතුවලින් සාදන ලද වහලවල් සහිත දිගු නිවාස වාසස්ථාන වැනි අදහස්, ගැවියෝටාස් වැසියන් එහි පැමිණීමට බොහෝ කලකට පෙර ලොස් ලානොස්හි තැනින් තැනට යමින් ජීවත් වූ ස්වදේශික ගුවාහිබෝ ජනයාගේ සම්ප්‍රදායන්ගෙන් මතු විය. ගුවාහිබෝ ජනයාගෙන් ගැවියෝටාස් ප්‍රජාව, තල් කොළවල සැකිලි භාවිතයෙන් දැල් සහ එල්ලෙන ඇඳක් සාදා ගන්නා ආකාරය, පලතුරුවලින් පෝෂ්‍යදායී තෙල් නිස්සාරණය කරන ආකාරය සහ ගස් කඳන් හාරා ඔරු සාදන ආකාරය ඉගෙන ගත්හ.

විදුලිය ජනනය කිරීම සඳහා, ගැවියෝටාස් ප්‍රජාව තැනිතලාවේ දැවෙන හිරු රැස් මත විශ්වාසය තැබූහ. පානීය ජලය ලබා ගැනීම සඳහා, ඔවුන් විවිධ වර්ගයේ ජල පොම්ප නිර්මාණය කළහ. ඒවා අතර භූගතව මීටර් 40 (අඩි 130) දක්වා ළඟා විය හැකි පොම්පයක් ද ඇතුළත් අතර, එය ළමා සීසෝවකට සවි කර ළමුන් සෙල්ලම් කරන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ඔවුහු කටයුතු කළ හ.

"මට ලොකු ආරක්ෂාවක් දැනුණා, හරි ම ආදරයෙන් පිළිගන්නවා වගේ හැඟීමක් දැනුණා. ඒක හරියට දැනුණේ ඔයා ප්‍රජාවක ජීවත් වෙද්දි, ඔයා වටේ හැමෝම ගැන දන්නවා සහ ඒකට අයිතියි කියන හැඟීම," 1996දී ගැවියෝටාස්හි උපත ලැබූ නටාලියා ගුටරෙස් පවසයි. ඇගේ මව ප්‍රජාවේ ගුරුවරියක වන අතර, ඇගේ පියා ප්‍රජාවේ හයිඩ්‍රොලික් ඉංජිනේරුවෙකි. "මම ගෙම්බෝ අල්ලමින් එළිමහනේ ජීවත් වෙන්න මට තිබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා."

Windmill-powered water pumps designed and built by the Gaviotas community

ඡායාරූප මූලාශ්‍රය, Gaviotas

ඡායාරූප ශීර්ෂ වැකිය, ගැවියෝටාස් ප්‍රජාව නිර්මාණය කර ගොඩනගා ඇති සුළං මෝලෙන් ක්‍රියාත්මක වන ජල පොම්ප

ගුටරෙස් කැනඩාවේ විශ්වවිද්‍යාලයකට ගොස් සිටින අතර වසරක කාලයක් දැන් ඉතාලියේ ගත කරමින් සිටියි. නමුත් තවමත් ප්‍රජාව සමග සම්බන්ධතා පවත්වන අතර එහි ගත කළ කාලය ආදරයෙන් සිහිපත් කරයි: "මගේ ගෙදර ඉඳලා මගේ අම්මාගේ කාර්යාලයට, මගේ අම්මාගේ කාර්යාලයේ සිට ප්‍රජා අවන්හලට, ප්‍රජා අවන්හලෙන් ගඟට යන එක හරි ම පහසුවෙන් කළා," යැයි පවසන ඇය ඇගේ මව විසින් පවත්වාගෙන යනු ලැබූ කුඩා පාසලකට ගිය අතර එහි තවත් දරුවෝ 10 දෙනෙක් පමණ සිටියහ.

ගණිතය, ජීව විද්‍යාව සහ කලාව ඇතුළු සම්මත ජාතික විෂය මාලාව හැදෑරූ ඇය, ගස් සිටුවන්නේ කෙසේ ද, ජලය පිරිසිදු කර බෝතල් කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව අවධානය යොමු කළ ගැවියෝටාස්හි විශේෂිත පන්තිවලට ද සහභාගී වූ බව සිහි කරයි. ප්‍රජාව තුළ පැවති ජලය බෝතල් කිරීමේ කම්හලේ ජල බහාලුම් එකට පිළිවෙළට ගැළපෙන පරිදි නිර්මාණය කර තිබූ අතර, ඒවා ගොඩගැසීමට සහ ගබඩා කිරීමට පහසු වන අතර, දරුවන්ට ඒවා ලෙගෝ කුට්ටි මෙන් ගොඩනගා සෙල්ලම් කිරීමට ද භාවිත කළ හැකි ය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ විස්කොන්සින්-මැඩිසන් විශ්වවිද්‍යාලයේ පාරිසරික අධ්‍යයන මහාචාර්යවරියක වන චෙල්සි ෂෙලී පවසන පරිදි, ගැවියෝටාස්හි දේශීය ප්‍රවේශය "තිරසර තාක්‍ෂණ ව්‍යාපාරය" ලෙස හැඳින්වෙන දෙයට උදාහරණයකි.

"සෑම තැනක ම සෑම කෙනෙකුගේ ම අවශ්‍යතාවන්ට ගැලපෙන තාක්ෂණයක් නෑ, එබැවින් අපි දේශීයව අනුවර්තනය වූ සහ දේශීයව ප්‍රතිචාර දක්වන තාක්ෂණයන් සංවර්ධනය කළ යුතු යි," එක්සත් ජනපදයේ ගැවියෝටාස්වලට සමාන ක්‍රමවේද අනුගමනය කරන තිරසර ප්‍රජාවන් සහ පරිසර ගම්මාන අධ්‍යයනය කර ඇති ෂෙලී පවසයි. "ඔබ සිටින ස්ථානය සමග නිවැරදි සම්බන්ධතාවක් සහිතව ජීවත් වීම බොහෝවිට අප සැමට ඉගෙන ගත හැකි පාඩමක් විය හැකි යි, ඔබ නිර්මාණය කරන්නේ කුමක් වුවත්, ඔබට මෙම අදහස ඕනෑ ම ආකාරයක නිර්මාණයකට යොදන්න පුළුවන් නේද?"

Solar heaters designed in Gaviotas on roofs of a neighbourhood in Bogotá

ඡායාරූප මූලාශ්‍රය, Gaviotas

ඡායාරූප ශීර්ෂ වැකිය, බොගෝටාහි ආසන්න ප්‍රදේශයක වහල මත ගැවියෝටාස්හි නිර්මාණය කරන ලද සූර්ය තාපක සවි කර ඇති ආකාරය

ඕනෑ ම පර්යේෂණාත්මක ව්‍යාපෘතියක මෙන්, ඇතැම් නව නිපැයුම් සාර්ථක වූයේ නැත. ඉංජිනේරුවන්ට නිසි ලෙස ක්‍රියා කරවීමට නොහැකි වූ සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ශීතකරණයක් සහ දේශීය පවුල් සඳහා නිර්මාණය කරන ලද පෙඩ්ල් බලයෙන් ක්‍රියාත්මක වන මඤ්ඤොක්කා ඇඹරුම් යන්ත්‍ර ඊට ඇතුළත් විය. ප්‍රජාවේ සාමාජිකයින්ට අනුව, ලොස් ලානොස්හි ජනතාව මඤ්ඤොක්කා ඇඹරුම් යන්ත්‍ර සම්පූර්ණයෙන් ම පිළිගත්තේ නැත. සාම්ප්‍රදායිකව, මඤ්ඤොක්කා ඇඹරීම කාන්තාවන්ගේ වැඩක් ලෙස සලකනු ලැබූ අතර, පෙඩ්ල් කිරීම පිරිමින් සඳහා වන විනෝදාංශයක් ලෙස සලකනු ලැබී ය.

කෙසේ වෙතත්, මාධ්‍යවේදී ඇලන් වයිස්මන් 1998 වසරේ රචිත "Gaviotas: A Village to Reinvent the World" නම් පොතට අනුව, අසාර්ථක වූ ව්‍යාපෘති පවා වටිනා පාඩම් උගන්වා තිබේ. "ගැවියෝටාස්හි ඉදිරිපත් කරන ඕනෑ ම අදහසක්, කොතරම් අසම්භාව්‍ය වුවත්, බැරෑරුම් ලෙස සැලකීමට මම ඉගෙන ගත්තා," වයිස්මන් ලිවී ය. "අසාර්ථක වූ ඒවා පවා බොහෝවිට සාර්ථකව ක්‍රියාත්මක වන දෙයකට මග පෑදී ය."

ගැවියෝටාස්හි සංවර්ධනය කරන ලද බොහෝ නව නිපැයුම් ස්වයංපෝෂිත ප්‍රජාවෙන් බාහිර සමාජයට ද ව්‍යාප්ත වී ඇත. ලුගාරිට අනුව, ගැවියෝටාස් විසින් සංවර්ධනය කරන ලද නිවර්තන සුළං ටර්බයින 5,000කට වඩා ලොස් ලානෝස් පුරා ස්ථාපනය කර ඇත. ඊට අමතරව, කොලොම්බියාවේ අනෙකුත් ප්‍රදේශවල එහි විශේෂයෙන් නිර්මාණය කරන ලද ජල පොම්ප 12,000ක් ස්ථාපනය කර ඇත.

බොහෝවිට වලාකුළු සහිත බොගෝටා නගරයේ සියුඩාඩ් ටූනල් නැමති ලාභදායී නිවාස සංකීර්ණයේ, ගැවියෝටාස් විසින් නිර්මාණය කරන ලද ගෝලාකාර සූර්ය බලයෙන් ජලය උණුසුම් කරන උපකරණ දහස් ගණනක් ස්ථාපනය කර ඇත. මෙම උපාංගය හිරු එළිය දුර්වල වූ විට හෝ වලාකුළු මගින් අවහිර කරන විට පවා (විසිරුණු හිරු එළිය) සූර්ය ශක්තිය රැස් කළ හැකි විශේෂ සූර්ය පැනල වර්ගයකි. මෙය වලාකුළු සහිත කාලගුණය තුළ පවා පද්ධතියට ජලය කාර්යක්ෂමව රත් කිරීමට ඉඩ සලසයි. හිටපු කොලොම්බියානු ජනාධිපතිවරයාගේ මන්දිරයේ සිට අප්‍රිකාව දක්වා ලොව පුරා තවත් මෙවැනි ඒකක 30,000ක් යොදවා ඇති බව ලුගාරි පවසයි.

මෙම තාක්ෂණය පාරිසරික වශයෙන් සමාන වෙනත් ස්ථානවලට ද ගමන් කිරීම, ගැවියෝටාස්හි සාර්ථකත්වයේ එක් මිනුමක් ලෙස දැකිය හැකි බව ෂෙලි පවසයි.

ගැවියෝටාස්හි සාදන ලද කිසිවකට පේටන්ට් බලපත්‍ර ලබාගෙන නොමැති බව ලුගාරි මට පැවසුවේ ය: ඒ, ප්‍රතිනිර්මාණය දිරිමත් කිරීම සඳහා නවෝත්පාදනයන්ට විවෘත මූලාශ්‍ර විශ්වාස කරන ලොව පුරා බොහෝ පරිසර හිතකාමී ගම්මාන විසින් ගනු ලබන තීරණයක් ලෙස ය.

"ඉතින්, වාසනාවකට වගේ, මිනිසුන්ට අපව අනුකරණය කර ඔවුන්ට අවශ්‍ය ඕනෑ ම දෙයක් අනුකරණය කරන්න පුළුවන්," ලුගාරි පවසයි. "යමෙකුට අපගේ ව්‍යාපෘතියකට පේටන්ට් බලපත්‍රය ලබාගෙන එය අඩපණ කිරීමට අවශ්‍ය නම්, ගැවියෝටාස් පරිකල්පනය, යම් යම් වෙනස්කම් කිරීමට සහ නැවත අලුත් දෙයක් කිරීමට නිසැකයෙන් ම කටයුතු කරනවා."

පයින් ගසේ ඉන්ධන සහ ආහාර සපයා ගත හැකි වනාන්තරයක්

A Gaviotas villager plants pine tree saplings with a machine designed to minimise soil impact

ඡායාරූප මූලාශ්‍රය, Gaviotas

ඡායාරූප ශීර්ෂ වැකිය, ගැවියෝටාස්හි පදිංචිකරුවෙකු පසට සිදුවන හානිය අවම කිරීම සඳහා නිර්මාණය කළ යන්ත්‍රයක් භාවිත කරමින් පයින් පැළ සිටුවන අයුරු

1980 ගණන්වලදී, විවිධ බෝග සාර්ථකව වගා කිරීමට නොහැකි වීමෙන් පසු, වෙනිසියුලාවේ කළ සංචාරයකදී ලුගාරිට ලැබුණු යෝජනාවකට අනුව, ඔවුහු ඒ වෙනුවට කැරිබියානු පයින් ගස් සිටුවීමට තීරණය කළහ. කොලොම්බියානු සහ ජපාන රජයන්ගෙන් ලැබුණු ප්‍රදානවලින් ඔවුහු පයින් ගස් බීජ පැළ මිලියන 8ක් රෝපණය කළ අතර, ඒවා වැඩීමට සහය වීම සඳහා විශේෂ දිලීර මුල්වලට එන්නත් කළහ. උසැති පයින් ගස් ක්‍රමයෙන් සෙවණ ලබා දෙමින් පසේ තෙතමනය වැඩි කළ අතර අනෙකුත් ගස් හා බෝග සිටුවීමට වඩා හොඳ තත්ත්වයන් නිර්මාණය කළේ ය. මෙය ගමට තිරසර කෘෂි කර්මාන්තය දියුණු කිරීමට අවස්ථාවක් ලබා දුන් අතර, දශක ගණනාවක අධික වර්ෂාවෙන් එහි පෝෂ්‍ය පදාර්ථ සෝදා හැරීමෙන් පසු අධික ආම්ලිකතාවට පත්වූ ප්‍රතිසංස්කරණය කරන ලද පසෙහි ශාක විශේෂ 250කට වැඩි ප්‍රමාණයක් වර්ධනය වීමට හැකි විය. මුවන්, කැපිබරා සහ ටපිරා [ඌරන් වර්ගයක්] ඇතුළු ක්ෂීරපායින් විශේෂ 60කට වැඩි සංඛ්‍යාවක් ද නැවත පැමිණ අලුතින් පිහිටුවන ලද වනාන්තරයේ ජීවත් වීමට පටන් ගත්හ.

අද වන විට, ප්‍රජාවේ සමස්ත ආහාර සම්පත්වලින් 30%ක් පමණ වනාන්තරයෙන් ලැබෙන බව ලුගාරි පවසයි. ඔවුහු ලෙමන්, දොඩම්, ලයිචී, සියඹලා, කෝපි, කෙසෙල්, පේර සහ තවත් බොහෝ දේ වගා කරති. "ආහාර සපයා ගන්න පුළුවන් වගේ ම, ඒ වගේ වනාන්තරයකින් අසාමාන්‍ය වාසියක් තියෙනවා, මොක ද අපට තියෙන [ගස් සහ පඳුරු] විශේෂ ස්ථිර යි, ඒවා අවුරුද්ද පුරා මෙහි තිබෙනවා, අපි ගස්, ශාක, පඳුරු ආහාරයට ගන්නවා," ලුගාරි පවසයි. "ඒක කෙටියෙන් කියන කියමනක් තියෙනවා: 'එක් වරක් සිටුවන්න, සදහට ම අස්වැන්න නෙළා ගන්න.'"

ගැවියෝටාස්හි විද්‍යාඥයින් සහ උද්භිද විද්‍යාඥයෝ පයින් ගස්වල කුඩා කැපුමක් සිදු කර එකතු කළ මැලියම්, වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වන කර්මාන්ත ශාලාවක් තුළදී ප්‍රයෝජනවත් ද්‍රව්‍ය බවට පත් කළහ. අද වන විට, ගැවියෝටාස්හි පයින් මැලියම්වලින්, පිරිසිදු කිරීම සහ සුවඳ විලවුන් සඳහා ටර්පන්ටයින්, තීන්ත සඳහා කොලෝෆෝනි සහ වේශ නිරූපණය සඳහා වාර්නිෂ් වැනි රසායනික ද්‍රව්‍ය නිපදවයි.

ගැවියෝටාස්හි වගා කරන ලද කැරිබියානු පයින් ගස්වල තෙල්වලින් සාදන ලද ජෛව ඉන්ධන, පාම් තෙල් සමග මිශ්‍ර කර, ප්‍රදේශවාසීහු ඔවුන්ගේ ට්‍රැක්ටර් සහ යතුරුපැදි ධාවනය කිරීමට භාවිත කරති. මිනිසා විසින් සාදන ලද වනාන්තරය හරහා ගමන් කිරීමට ඔවුන් මෙම වාහන භාවිත කරන අතර, ඔවුහු රටේ අනෙකුත් ප්‍රදේශවලට ද ඉන්ධන විකුණති. පයින් තෙල් සහ අනෙකුත් ජෛව ඉන්ධන සාම්ප්‍රදායික පෙට්‍රෝලියම්වලින් ලබාගත් ඉන්ධන සඳහා පිරිසිදු විකල්පයක් බව පර්යේෂණවලින් පෙනී යන නමුත් ඒවා තවමත් [කාබන්] විමෝචනය කරයි.

'ලෝකය නැවත නිර්මාණය කිරීම'

Pine resin helps to create the biofuel that Gaviotas exports

ඡායාරූප මූලාශ්‍රය, Gaviotas

ඡායාරූප ශීර්ෂ වැකිය, ගැවියෝටාස් ජනතාව අපනයනය කරන ජෛව ඉන්ධන නිර්මාණය කිරීමට පයින් මැලියම් උපකාරී වේ

"අපි බොහෝ ස්ථානවල බොහෝ ප්‍රජාවන් වෙත ගිහින් තියෙනවා, නමුත් ගැවියෝටාස් වැනි අපූරු උදාහරණයක් වෙන කොහේවත් තිබුණේ නැහැ," 1980 සහ 90 දශකවල ගැවියෝටාස්හි පරිපාලක ලෙස සේවය කළ ගොන්සාලෝ බර්නාල් ලියොන්ගෝමෙස් පවසයි. වසර ගණනාවක් තිස්සේ තිරසර, පරිසර හිතකාමී ප්‍රජාවක් ගොඩනැගීමේ සිහින මැවූ ඔහු, ගැවියෝටාස් පිළිබඳ රූපවාහිනී වාර්තාවක් දුටු වහා ම 1978දී ඔහුගේ බිරිඳ සිසිලියා පරෝඩි සහ ඔවුන්ගේ දියණිය සමග එහි යාමට තීරණය කළේ ය. ඔවුහු දශකයකට වැඩි කාලයක් එහි රැඳී සිටියහ.

"ඒක ගොඩක් වෙනස්වනසුලු එකක් වුණා, මට මතකයි සිසුන්, ඉංජිනේරුවන්, වන විද්‍යා විශේෂඥයින් විසින් යෝජනා කරන ලද ගැවියෝටාස්හි හරි ම සිත්ගන්නාසුලු ව්‍යාපෘති 150ක් විතර මතක යි," බර්නාල් ලියොන්ගොමෙස් පවසයි. "නමුත් ඇත්ත වශයෙන් ම, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්, අපි කියනවා වගේ, ආස්වාදයක් ලැබුවේ 1%ක් වගේ, 99% විතර දහදිය හෙළපු එක කළේ. ඔයා දහදිය හලන්න ඕනේ, ඔයා අසාර්ථක වෙලා නැවත උත්සහ කරන්න ඕනේ, ඔයා ඒක අත්විඳින්න ඕනේ."

අද වන විට ගම්මානයේ පවුල් 50ක් පමණ වාසය කරන අතර, පදිංචිකරුවන් හතර දෙනෙකු ගම වෙනුවෙන් වසර ගණනාවක් වෙහෙස මහන්සි වී දැනට විශ්‍රාම වැටුපක් ලබා ගන්නා බව ලුගාරි පවසයි.

ගැවියෝටාස් ආකෘතිය කවදා හෝ අනුකරණය කරාවි ද?

වසර ගණනාවක් පුරා, විද්‍යාඥයින්, කලාකරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන් සහ ඉංජිනේරුවන් සිය ගණනක් ගැවියෝටාස් වෙත පැමිණ ඇති අතර ඔවුන් එහි ඔවුන්ගේ සලකුණු තබා ගොස් තිබේ. ලතින් ඇමෙරිකාව සහ අනෙකුත් කලාපවල ජනතාව ද එහි නව නිපැයුම් පිටපත් කරන්නේ කෙසේ දැයි ඉගෙන ගැනීමට පැමිණ ඇත. 1970 ගණන්වල අගභාගයේදී, ලොස් ලානොස්හි ට්‍රොපිකාලියා නමින් මීට සමාන ප්‍රජාවක් නිර්මාණය කිරීම සඳහා ලෝක බැංකුව කොලොම්බියානු රජයට අරමුදල් සැපයූ නමුත් එය සම්පූර්ණ කිරීමට පෙර මුදල් අවසන් විය. ප්‍රායෝගික ගැටලු හේතුවෙන් ගැවියෝටාස් අනුකරණය කිරීමට ගත් අනෙකුත් උත්සහයන් අසාර්ථක වීම සිදු වීම හෝ, කිසි විටෙකත් සැලසුම් කිරීමේ අදියරෙන් ඔබ්බට යාම හැකි වූයේ නැත.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස්හි උපරිම විභව ගොඩනැගිලි පද්ධති මධ්‍යස්ථානයේ සම-නිර්මාතෘ, ගැවියෝටාස් ව්‍යාපෘතියට සම්බන්ධයක් නොමැති ප්ලිනි ෆිස්ක් III මෙසේ පවසයි. "මෙවැනි අදහස් අනුකරණය කිරීමට ඔබට පැහැදිලි ප්‍රවේශයක් අවශ්‍ය යි. ඔබට මූලධර්ම ලැයිස්තුවක් පමණක් තිබිලා හරියන්නේ නෑ; ඔබ සැබවින් ම භූමියේ වැඩ කර ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ කෙසේ දැයි දැන සිටිය යුතු යි."

ෆිස්ක් පවසන්නේ ගැවියෝටාස්, ඉන්දියාවේ උදාවන නගරය ලෙස හඳුන්වන ඕරොවිල් සහ බ්‍රසීලයේ කුරිටිබා වැනි අනෙකුත් ස්වයංපෝෂිත ප්‍රජාවන්ට සමාන බව ය. නමුත් ගැවියෝටාස් වෙනත් ස්ථානවල පහසුවෙන් අනුකරණය කිරීමට හැකි වීමට නම්, එහි නව නිපැයුම් සහ ක්‍රම වඩාත් ස්ථාවර හා පැහැදිලිව ලියා තැබිය යුතු බව ඔහු පවසයි. කෙසේ වෙතත්, එය අඩු නම්‍යශීලී සහ දේශීය අවශ්‍යතාවලට අනුවර්තනය වීමේ හැකියාව අඩු කළ හැකි ය.

A community vegetable garden in Colombia's capital, Bogotá, planted using methods from Gaviotas

ඡායාරූප මූලාශ්‍රය, Gaviotas

ඡායාරූප ශීර්ෂ වැකිය, කොලොම්බියාවේ අගනුවර වන බොගෝටාහි ගැවියෝටාස්හි භාවිත වන ක්‍රම යොදා කරමින් රෝපණය කරන ලද ප්‍රජා එළවළු උද්‍යානයක්

ප්‍රජාවේ සාමාජිකයින්ට අනුව, මුල් කාලයට වඩා දැන් බොහෝ දේ වෙනස් වී තිබේ.

අද වන විට, ගැවියෝටාස්හි තමන්ගේ ම පාසලක් නොමැති බැවින්, ප්‍රජාවේ දරුවෝ අසල ගම්මානවල පාසල්වලට යති. ගැවියෝටාස් භූමියේදී, ඔවුන් "රැකියාවට එන විට ඔබේ දරුවාත් රැගෙන එන්න" ආකාරයේ ක්‍රමයක් හරහා ඉගෙන ගන්නා අතර, ලුගාරි මාහට පැවසූ ආකාරයට, වන වගාව, ගොවිතැන, පුනර්ජනනීය බලශක්තිය සහ ජෛව ඉන්ධන යන ක්ෂේත්‍රවල සේවය කරන කණ්ඩායම් නායකයින් හය දෙනෙක් ද අවිධිමත් ආකාරයකින් දරුවන්ට උගන්වති. රජයේ ප්‍රමිතීන් සපුරාලීමට ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, ගැවියෝටාස් රෝහල විවෘත කිරීමෙන් පසු කෙටි කාලයකින් වසා දමන ලදී. අද වන විට, කර්මාන්ත ශාලා සේවකයින්ගෙන් අඩක් පමණ අසල පිහිටි ආදිවාසී ගම්මානවලින් පැමිණෙති. ඔවුන් සතියේ දිනවල මැලියම් එකතු කිරීම සහ ගස් සිටුවීමේ ව්‍යාපෘති සඳහා වැඩ කරන අතර සති අන්තයේ ඔවුන්ගේ පවුල් වෙත ආපසු යති.

ගැවියොටාස්හි සිය මුල් ළමාවිය පිළිබඳ සතුටුදායක මතකයන් ඇති ගුටියරෙස්, වයස අවුරුදු නවයේදී ප්‍රජාව හැර ගියා ය. ඇය පැය අටක පමණ දුරින් පිහිටි විලවිසෙන්සියෝ නම් නගරයකට ගොස්, ප්‍රාදේශීය පාසලකට යාමට සඳහා ඥාතියෙකුගේ නිවසකට ගියා ය. ඇගේ දෙමාපියන්ට අවශ්‍ය වූයේ ඇයට ගෝලීය අධ්‍යාපනයක් ලබා ගැනීමට සහ ගැවියොටාස්වලින් පිටත ජීවිතය අත්විඳීමට යි. ඒ, පුළුල් ලෝකය දැකීමෙන් පසු ඇය සමීප ප්‍රජාව වඩාත් අගය කරනු ඇතැයි අපේක්ෂාවෙනි. ඇගේ පියා ද ටික කලකට ගැවියොටාස් හැර ගොස් ලොස් ලානෝස්හි වෙනත් ප්‍රදේශයක පිහිටි ඔහුගේ පවුල ජීවත් වන ගම්මානයට ආපසු පැමිණියේ ඔහුගේ පියා ඔවුන්ගේ ගොවිපළෙන් පැහැරගෙන ගොස් මරා දැමීමෙන් පසුව ය. ඔහු මුලින් ම එහි පදිංචියට ගොස් වසර 45කට පසු ඔහු දැන් නැවත එහි පැමිණ ඇත්තේ නටාලියාගේ මව ද තවමත් ගැවියෝටාස්හි ජීවත් වන නිසා ය.

නටාලියාගේ දියණිය ගුටියරෙස් පවසන්නේ, අදටත් ඇගේ හදවත සැමවිට ම ගැවියෝටාස් සමග බැඳී පවතින බව ය. ගුටියරෙස් කැනඩාවේ ස්ථිරසාරභාවය කෙරෙහි අවධානය යොමු කරමින් ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධියක් හදාරමින් සිටින අතර එළඹෙන වසර කැනඩාව සහ කොලොම්බියාව අතර බෙදා ගැනීමට බලාපොරොත්තු වේ.

"වෙනත් ඕනෑ ම ප්‍රජාවක වගේ, එකතැන පල්වීමක් නෑ. ප්‍රජාවන් වෙනස් වෙනවා වගේ ම පරිණාමය වෙනවා," ෂෙලී පවසයි. "සියලු ම ප්‍රජාවන් සම්බන්ධයෙන් එය ඇත්තක්, නමුත් වෙළෙඳපළ බලවේග විසින් පාලනය කරනු ලැබීම වෙනුවට, ඔවුන්ගේ වටිනාකම්වලට ගැලපෙන ආකාරයෙන් හිතාමතා ම දේවල් කිරීමට උත්සහ කරන නිසා, ප්‍රජාවන් තුළ මෙය බොහෝවිට වඩාත් කැපී පෙනෙනවා."

"සමහර අය ගියා, සමහර හිටියා," ඇය ඇගේ ළමා මිතුරන් ගැන පවසන පරිදි, ගැවියෝටාස්හි උරුමය ගමෙන් ඔබ්බට ජීවමාන වන බව ගුටියරෙස් පවසයි. "නමුත් ගැවියෝටාස්හි වටිනාකම් ඔවුන් යන ඕනෑ ම තැනක පවතියි කියලා මම හිතනවා."

"මේ වගේ තැන් නැති වෙන්න බෑ," ගුටියරෙස්ගේ මව වන තෙරේසා වැලෙන්සියා පවසයි.

ලුගාරිට දැන් වයස අවුරුදු 81කි. ඔහු තවදුරටත් ගැවියෝටාස්හි පූර්ණ කාලීනව ජීවත් නොවන අතර කොලොම්බියාවේ අගනුවර වන බොගෝටාහි ජීවත් වෙමින් ඔහු ගැවියෝටා පදනමේ කාර්යාලය පවත්වාගෙන යයි. මැලියම් මත පදනම් වූ ඉන්ධනවලින් දුම් පිට කරන මෝටර් රථයකින් ඔහු ගමන් කරයි. ඔහු මිය ගියහොත් ඔහුගෙන් පසු ගැවියෝටාස්හි ප්‍රකාශකයා සහ නායකයා වන්නේ කවුරුන් ද යන්න පිළිබඳ ඔහුගේ සැලසුම් ස්ථිර සහ ක්‍රියාත්මක බව පැවසුව ද ඔහු ඒ ගැන විස්තර කිරීම ප්‍රතික්ෂේප කරයි.

ඔහුගේ සොහොනෙහි, "ඔබව පිළිගැනීමට නැගිටින්නට නොහැකි වීම ගැන මට සමාවෙන්න, නමුත් මෙන්න මම තවමත් ගැවියෝටාස් වෙත ස්ථිර පැවැත්මක් ලබා දීමට සිහින දකිමි," වැනි දෙයක් සටහන් කරනු ඇතැයි ඔහු පවසයි.