එස්. ගොඩගේ: දර කරත්ත තල්ලු කරමින් ජීවිතය අරඹා ලේඛකයින් දහස් ගණනක් බිහි කළ පොත් ප්‍රකාශකයා

ඡායාරූප මූලාශ්‍රය, Facebook
ශ්‍රී ලංකාවේ වැඩි ම ග්‍රන්ථ සංඛ්‍යාවක් ප්‍රකාශනයට පත් කළ බව සැලකෙන එස්. ගොඩගේ ප්‍රකාශන ආයතනයෙහි නිර්මාතෘ දේශබන්දු සිරිසුමන ගොඩගේ දිවි සැරියට සමු දුන්නේ ය.
මිය යන විට ඔහු 90 වන වියේ පසු විය.
මාතර සිට කොළඹට පැමිණ 'අපමණ දුක් ගැහැට විඳි' සිරිසුමන ගොඩගේගේ ජීවිත කතාවේ ආරම්භය ඉංග්‍රීසි යටත් විජිත සමය දක්වා දිව යයි.
මාතර, පාලටුවෙන් ඇරඹි දිවි ගමන
1936 වයසේ මැයි මාසයේදී දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ පාලටුව ගම්මානයේ උපත ලැබූ ඔහු, සහෝදර සහෝදරියන් නව දෙනකුගෙන් යුත් පවුලක හය වැන්නා විය.
ද්විතීයික පාසලක් වූ පාලටුවේ ගුණරතන මහා විදුහලෙන් තම අධ්‍යාපනය සම්පූර්ණ කළ එස්. ගොඩගේ, වයස අවුරුදු 15 දී පමණ කොළඹට පැමිණ තිබුණේ, පවුලේ පැවති ආර්ථික ප්‍රශ්න හේතුවෙනි.
ඔහුගේ පවුලේ සාමාජිකයෙකු බීබීසී සිංහල සේවයට පැවසූ පරිදි, කොළඹට පැමිණි එස්. ගොඩගේගේ පළමු රැකියාව වූයේ, දර කරත්ත තල්ලු කිරීම ය.
ඒ කාලයෙහි ඔහු විවිධ සුළු රැකියාවල නිරත වෙමින් ජීවිතය ගත කළේ ය.
ජීවිතය වෙනස් කළ බලංගොඩ ආනන්ද මෛත්‍රිය හිමි
සිරිසුමන ගොඩගේගේ "ජීවිතය වෙනස් වුණේ බලංගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවන් නිසා. එයා ඒ හාමුදුරුවන් ළඟ වැඩ කරන කාලෙ ඉගෙන ගන්න පටන් අරන් තියෙනවා. එතනින් තමයි එයා පොත් ගැන උනන්දුවක් දක්වන්න පටන් අරන් තියෙන්නේ," යනුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයෙක් පැවසීය.
සිරිසුමන ගොඩගේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ සහයකයෙකු ලෙස එක්වී ඇත්තේ, බලංගොඩ ආනන්ද මෛත්‍රිය හිමියන්ගේ සහයෙනි.
එහිදී ඔහු නැවත බැඳ සකස් කිරීම සඳහා තබා තිබූ හානි වූ පොත් බැඳීමට යොමු විය.
ඉන්පසු, පොත් බඳින්නෙකු ලෙස සේවය කළ ඔහු, 1956 වසරේදී කුඩා කඩ කාමරයක් කුලියට ගෙන පොත් අලෙවිසලක් ආරම්භ කළේ ය.
එහිදී, පොත් බැඳීමත්, පොත් විකිණීමත්, පුස්තකාලවලටත් පොත් සැපයීමත් සිදුකළ අතර පසුව පොත් ප්‍රකාශනය ආරම්භ කළේ ය.
ඔහු මුලින්ම මුද්‍රණය කර ඇත්තේ ළමා පොතක් බව විශ්වාස කෙරේ. පසුව ඔහු විවිධ ලේඛකයින්ගේ අත් පිටපත් ලබාගෙන පොත් මුද්‍රණය ඇරඹූ අතර, මේ වන විට එම සමාගම පොත් 60,000කට අධික සංඛ්‍යාවක් මුද්‍රණය කර ඇතැයි බීබීසී සිංහල වෙත අදහස් දැක්වූ පවුලේ සාමාජිකයා සඳහන් කළේ ය.
'ආධුනික ලේඛකයින්ට නිර්ලෝභීව අත දුන්නා' - මහාචාර්ය කුලතිලක කුමාරසිංහ
කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ විශ්‍රාමික මහාචාර්යවරයෙකු වන කුලතිලක කුමාරසිංහ යනු සිරිසුමන ගොඩගේ දිගුකලක් තිස්සේ සමීපව ආශ්‍රය කළ විද්වතෙකි.
ඔහු බීබීසී සිංහල සේවයට පැවසුවේ, පසු කලෙක ප්‍රවීණ ලේඛකයින් ලෙස ඉදිරියට පැමිණි ආධුනික ලේඛකයින් රැසකගේ පොත් මුද්‍රණය කිරීමට සිරිසුමන ගොඩගේ ඉදිරිපත් වූ බව ය.
"මගේ පළවෙනි පොත මුද්‍රණය කළෙත් ගොඩගේ මහතා තම යි. ඔහු ආධුනික ලේඛකයින් විශාල පිරිසකට අත දුන්නා. ඒක සිංහල සාහිත්‍යයට කරපු දැවැන්ත සේවයක්. එතනදි ඒ පොත්වලින් ලාභයක් ලැබෙයි ද? පොත් විකුණ ගන්න පුළුවන් වෙයි ද? කියලා එයා හිතුවෙ නෑ. විද්වත් මණ්ඩලයකට දාලා එතනින් අනුමැතිය ලැබෙන පොත් පළ කරන්න භාර ගත්තා. ඒකෙන් ආධුනික ලේඛකයින් විශාල පිරිසකට දොර විවර වුණා."
'වෙනත් ප්‍රකාශකයින් පළ කිරීමට භාර නොගත් පොත් ප්‍රකාශනයට භාර ගත්තා'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
"ගොඩක් ප්‍රකාශකයින් කෙටිකතා, කවි පොත් සහ ශාස්ත්‍රීය පොත් ප්‍රකාශනය කරන්න භාර ගන්නෙ නෑ. ඒත්, ගොඩගේ මහත්තයා ඒ කිසි ම පොතක් අත හැරියෙ නෑ. ඒ නිසා සිංහල කෙටිකතා, කවි සාහිත්‍යය ඉදිරියට ගියා. විශේෂයෙන් ශාස්ත්‍රීය පොත් පළ කරන්න ප්‍රකාශකයො හිටියෙ නැති තරම්. ඒත්, ගොඩගේ මහත්තයා ඉතා විශාල ශාස්ත්‍රීය පොත් ලොකු මුදලක් වැය කරලා මුද්‍රණය කළා. ඒක අගය කළ යුතු යි," මහාචාර්ය කුලතිලක කුමාරසිංහ පැවසීය.
මේ සම්බන්ධයෙන්, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සඳගෝමී කෝපරහේවා ද සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබා තිබිණි.
ඔහුගේ ද පළමු පොත ප්‍රකාශනය කර ඇත්තේ, ගොඩගේ ප්‍රකාශන සමාගම යි.
"සිංහල ප්‍රකාශන ලෝකයේ අසිරිමත් නමක් තැබූ සිරිසුමන ගොඩගේ මැතිඳුන් අප අතරින් වෙන් වී ගොස් ය. සිංහල ශාස්ත්‍රීය පොත් පළ කිරීමට ග්‍රන්ථ ප්‍රකාශකයන් ඉදිරිපත් නොවූ අවදියක එම කටයුත්ත ඉටු කෙළේ සිරිසුමන ගොඩගේ මහතා ය. අදින් තිස් වසරකට පමණ පෙර මගේ මුල් ම පොත ප්‍රකාශයට පත් කෙළේ එතුමා ය. පසුගිය දශකවල මෙරට යම් ශාස්ත්‍රීය ප්‍රබෝධයක් ඇති වූවා නම් ඒ වෙනුවෙන් දායක වූවන් අතර මුල් තැනක් ගොඩගේ මැතිඳුන්ට හිමි වේ," යනුවෙන් මහාචාර්යවරයා සටහන් කර තිබිණි.
පුස්තකාලවලට දැක්වූ අනුග්‍රහය
ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පිහිටි පුස්තකාල සඳහා ද පොත් ලබා දෙමින් සිරිසුමන ගොඩගේ පොතපත පරිශීලනයට අතහිත දුන්නේ ය.
පුස්තකාල සඳහා පොත් මිල දී ගැනීමට පැමිණෙන පුද්ගලයින්ට ඔවුන් සතු මුදල් ප්‍රමාණය ඉක්මවා වැඩි පොත් ගණනක් ලබා දීමට ඔහු කටයුතු කළේ ය.
මේ අතර, ඇතැම් පොත් ප්‍රකාශකයින් සහ ලේඛකයින් ඔහුට එරෙහිව අපහාස හා විවේචන ඉදිරිපත් කළ බව ද මහාචාර්ය කුලතිලක කුමාරසිංහ පැවසීය.
මහාචාර්යවරයා සඳහන් කළේ, ඇතැම් ප්‍රසිද්ධ ලේඛකයින් ඔහුගෙන් අයුතු ලෙස මුදල් ලබා ගත් අතර, වංචා කිරීම් ද කළ බව ය.
ගොඩගේ සාහිත්‍ය සම්මාන
ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙල හරහා ද සිරිසුමන ගොඩගේ ලේඛකයින්ගේ අභිවෘද්ධිය සඳහා දායකත්වයක් දැක්වීය.
ගොඩගේ ප්‍රකාශන ආයතනය විසින් ප්‍රකාශනය කරනු ලබන ග්‍රන්ථ අතරින් වාර්ෂිකව විශිෂ්ට කෘති සඳහා අගැයීමක් ලබා දීම එම සම්මාන උළෙල හරහා සිදු කෙරේ.
මෙම සම්මාන උළෙල 1998 වසරේ ආරම්භ වූ අතර, පසුගිය වසරේ එහි 27 වන සම්මාන උළෙල පැවැත්විණි.
අවමංගල්‍ය කටයුතු
දේශබන්ධු සිරිසුමන ගොඩගේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මැයි 02 වන දා සිදු කිරීමට නියමිත ය.
එදින සවස 2.00ට බොරැල්ල සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කෙරේ.


































