බැක්ටීරියා බෝ නොවන ස්ථානයක් ලෙස ඔබේ ශීතකරණය රැකබලා ගන්නේ කෙසේ ද?

The recommended temperature range in a refrigerator is 0 to 5 °C. ශීතකරණයක නිර්දේශිත උෂ්ණත්වය සෙල්සියස් අංශක 0 සිට 5 °C දක්වා වේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, ඔලෙක්සී ඔමෙල්ෂෙන්කෝ සහ ජූඩිත් එවන්ස්
    • Role, The Conversation*
  • කියවීමේ කාලය: මිනිත්තු 6

මුළුතැන්ගෙය සාමාන්‍යයෙන් නිවසේ හදවත ලෙස සලකන අතර එය පවුලේ සාමාජිකයින් එකට එක්වී ආහාර ගන්නා ස්ථානය යි.

නමුත් ඒ සියල්ල ආරම්භ වන්නේ කොතැනින් ද? ඒ, ශීතකරණයෙනි. එය අපගේ බොහෝමයක් ආහාර ආරක්ෂිතව ගබඩා කරන ස්ථානය යි. තාක්ෂණය දියුණු වීමත් සමග ශීතකරණ දැන් වඩාත් සිත්ගන්නාසුලු අයුරින් නිර්මාණය වෙමින් පවතින අතර ඒවාට ආහාර වට්ටෝරු කළමනාකරණය කිරීමට, ආහාර වට්ටෝරු යෝජනා කිරීමට මෙන් ම පුවත් පවා ප්‍රදර්ශනය කිරීමට හැකියාව ඇත.

කෙසේ වෙතත්, එහි පවතින ඇති සියලු ම ලක්ෂණ අතරින් උෂ්ණත්වය තවමත් වඩාත් ම තීරණාත්මක ලෙස රැඳී පවතී. ආහාර නැවුම්ව තබා ගැනීමට අප ශීතකරණ මත විශ්වාසය තබන නමුත් එහි උෂ්ණත්වය නිවැරදිව නොපවතින්නේ නම් එමගින් සිදුවන්නේ ප්‍රතිවිරුද්ධ දෙයකි. එනම් එය බැක්ටීරියා බෝවන ස්ථානයක් බවට වීම යි.

ක්ෂුද්‍රජීව විද්‍යාඥයින්ට එය සිත් ඇදගන්නාසුලු කරුණක් බව පෙනිය හැකි නමුත්, ඔබ වෙළෙඳපොලෙන් මිල දී ගත් සොසේජස් සඳහා එය කිසිසේත් ම සුදුසු දෙයක් නොවේ.

නිවාස බොහෝමයක් විශ්ලේෂණය කිරීමේදී අප දුටුවේ ශීතකරණ ඇතුළත සාමාන්‍ය උෂ්ණත්වය 5.3 °C වන අතර එය නිර්දේශිත සෙල්සියස් අංශක 0 සිට 5 °C දක්වා වන ආරක්ෂක පරාසයට තරමක් ඉහළින් පවතින බව ය.

ශිත්කරණයක දොරේ ඇති රාක්ක මත බෝතල් කිහිපයක් ඇතුළු ද්‍රව්‍ය ගබඩා කර ඇති අයුරු.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශීතකරණයක දොරේ උෂ්ණත්වය ශීතකරණය තුළ උෂ්ණත්වයට වඩා වැඩි බැවින් කිරි හෝ අමු මස් වැනි නිෂ්පාදන පිටුපසට වන ලෙස ගබඩා කිරීම වඩාත් සුදුසු ය.

බොහෝ දෙනෙකු කරදර වන්නේ උෂ්ණත්වය නිතර නිතර වෙනස් වීම පිළිබඳව ය. ශීතකරණ රැසක් කාලයෙන් අඩකට වඩා වැඩි වේලාවක් ක්‍රියාත්මක වන්නේ ආරක්ෂිත සීමාවට වඩා ඉහළ අගයක ය.

ඇතැම් ශීතකරණවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 15ට පවා ළඟා වන අතර එය ගිම්හාන කාලයේ උණුසුම් දිනෙක එක්සත් රාජධානියේ ඇතැම් ප්‍රදේශවල පවතින උෂ්ණත්වයට සමාන වේ.

එවැනි උෂ්ණත්වයක් යටතේ යටතේ ආහාර නරක් වීමේ හෝ රෝගාබාධ ඇති වීමේ අවදානම ඉහළ නංවමින් බැක්ටීරියා වේගයෙන් වර්ධනය වීමේ හැකියාව පවතී.

ඉතින්, මෙහි පවතින ගැටලුව කුමක් ද? ගැටලුවේ කොටසක් වන්නේ බොහෝ ශීතකරණවල අභ්‍යන්තර උෂ්ණත්වය පාලනය කිරීමට නිවැරදි සහ පහසු ක්‍රමවල පවතින දුර්වලතාව යි. ඇත්තට ම කිවහොත්, ශීතකරණය ඇතුළත ඇති අංක සැකසුම් කොටසේ සඳහන් අංකවලින් ඇත්තට ම අදහස් වන්නේ කුමක්දැයි අප බොහෝ දෙනෙක් නොදනිති.

තවදුරටත් සලකා බලනවිට, ඔබ දොර විවෘත කරන සෑම අවස්ථාවකදී ම උණුසුම් වාතය එය තුළට ඇතුළු වේ. විශේෂයෙන් ඔබ කෙටි ආහාර වර්ගයක් තෝරා ගැනීමට වැඩි වේලාවක් දොර විවෘත කරගෙන සිටින්නේ නම් බැක්ටීරියා වර්ධනය වීමට වඩාත් හිතකර තත්ත්වයක් නිර්මාණය කරමින් ශීතකරණයේ අභ්‍යන්තර උෂ්ණත්වය කාමර උෂ්ණත්ව අගයට ළඟාවීමට උත්සහ කරයි.

බැක්ටීරියා පාලනය කිරීම

ඔබේ ආහාර නැවුම්ව හා ආරක්ෂිතව තබා ගැනීමට අනුගමනය කළ හැකි සරල උපක්‍රම කිහිපයක් මෙන්න.

  • ඔබ ශීතකරණය විවෘත කරන වාර ගණන අඩු කරන්න. ඒ තුළ සිල්ලර බඩු අසුරන මුළු කාලය පුරාවට ශීතකරණය විවෘතව නොතබන්න.
  • කරකැවිය හැකි භාණ්ඩ අසුරනයක් (rotating organizer) භාවිත කරන්න: විවිධ නිෂ්පාදනවලින් පිරීගිය තට්ටුවක ඔබට සෝස් බෝතලය ඉක්මනින් සොයා ගැනීමට එය ඔබට උපකාරී වනු ඇත.
  • දොර මත පවතින රබර් මුද්‍රා පිරිසිදු කරන්න. සෑම මාස කිහිපයකට වරක් එහි දිලීර හෝ කුණු තිබේ දැයි පරීක්ෂා කර මුද්‍රා නිසි පරිදි වැසෙන්නේ දැයි තහවුරු කර ගන්න.
  • ශීතකරණය තුළ පවතින උෂ්ණත්වය ද වෙනස් වේ. සාමාන්‍යයෙන් ශීතකරණයක් තුළ පවතින සිසිල් ම ස්ථානය පිටුපස වන අතර උණුසුම් ම ස්ථානය දොර වේ.
  • කිරි හෝ අමු මස් වැනි නිෂ්පාදන දොරේ නොව ශීතකරණයේ පිටුපසට වන්නට ගබඩා කිරීම වඩාත් සුදුසු වන්නේ එහෙයිනි. බටර් හෝ සිසිල් බීම වර්ග සඳහා දොර වඩාත් සුදුසු වේ.
අපිරිසිදු රබර් සීලර් ඇති ශීතකරණ දොරක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශීතකරණ දොරේ ඇති රබර් සීලර් අපිරිසිදු. භාවයෙන් තොර බවට ඔබ තහවුරු කර ගත යුතු ය.
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

නවීන ශීතකරණ බොහෝමයක සංවේදක සවි කර තිබුණ ද, ඒවා බොහෝවිට දක්වනු ලබන්නේ එක් මොහොතක උෂ්ණත්වය පමණි. ඇත්ත වශයෙන් ම, අධ්‍යයනය කළ නිවාසවලින් 68%ක් පමණ උෂ්ණත්වය කිසි දිනෙක වෙනස් කර නොමැත.

ප්‍රායෝගික උපදෙසක් අවශ්‍ය ද? උෂ්ණත්ව මාන කිහිපයක් ඔබේ ශීතකරණයේ විවිධ ස්ථාන කිහිපයක තබන්න. ඒවායින් ඕනෑ ම එකක උෂ්ණත්වය සෙල්සියස් අංශක 5 ඉක්මවන්නේ නම්, එය උෂ්ණත්වය වෙනස් කිරීමට කාලය යි. නමුත් මතක තබා ගන්න: ශීතකරණයේ ඇති දර්ශක මගින් සෑම විට ම මුළු අභ්‍යන්තරයේ ම පවතින සැබෑ උෂ්ණත්වය පිළිබිඹු නොකෙරේ.

එමෙන් ම, ශීතකරණය අධික ලෙස පුරවා තැබීමෙන් වළකින්න. වාතය නිසි ලෙස සංසරණය වීමට ඉඩ සැලසීම සඳහා එය 75%ක් පමණ පුරවා තැබීමට උත්සහ කරන්න. රටකජු, තක්කාලි, බෙල් පෙපර්, අල සහ මී පැණි වැනි ද්‍රව්‍ය සිසිල් වියළි ස්ථානයක ගබඩා කිරීමෙන් ඔබට ශීතකරණයේ ඉඩ ඉතිරි කර ගත හැක. මෙම ද්‍රව්‍ය සඳහා ශීතකරණයක් අවශ්‍ය නැත.

නමුත් උෂ්ණත්වය යනු එක ම ගැටලුව නොවේ. හොඳින් ක්‍රියාත්මක වන ශීතකරණයක පවා සැඟවුණු අවදානමක් තිබිය හැක. අධ්‍යයන මගින් පෙන්නුම් කරන්නේ දූෂිත ආහාර හෝ ඇසුරුම් හරහා ශීතකරණ තුළට රෝගකාරක ඇතුළු වී තිබිය හැකි බව ය.

අඩු උෂ්ණත්වයන් බොහෝ බැක්ටීරියා වර්ග වර්ධනය වීම වළක්වන අතර ලිස්ටීරියා මොනොසයිටොජීන් වැනි ඇතැම් බැක්ටීරියා වර්ග අඩු උෂ්ණත්වයේදී විනාශ නොවී වර්ධනය විය හැක.

ගර්භණී කාන්තාවන්ට සහ වැඩිහිටියන්ට විශේෂයෙන් භයානක වන මෙම ලිස්ටීරියා බැක්ටීරියාව, මෘදු චීස්, පදම් කළ හෝ දුම් ගැසූ මාළු (සූෂි ඇතුළුව), සොසේජස්, කලින් ඇසුරුම් කළ පලතුරු, ශීත කළ එළවළු සහ සකස් කළ සැන්ඩ්විච්වල සොයා ගත හැකි ය.

ශීතකරණ දොර විවෘත කර කල්පනකරමින් සිටින කාන්තාවක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔබ ශීතකරණයේ දොර විවෘත කරන සෑම අවස්ථාවක ම උණුසුම් වාතය එය තුළට ඇතුළු වේ. තව ද දිගු වේලාවක් දොර විවෘත කර තබන තරමට, ශීතකරණයේ අභ්‍යන්තර උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයට සමාන වේ.

ආහාර නරක් වීමේ වීමේ අවදානම අවම කිරීම සඳහා ආහාර සුරක්ෂිතතා විශේෂඥයින්ගේ නිර්දේශ අනුගමනය කරන්න:

  • පිසීමට අවශ්‍ය මස් සහ මාළු වැනි ආහාර, පලතුරු හෝ සැන්ඩ්විච් වැනි කෑමට සූදානම් කර තිබෙන ආහාරවලින් වෙන්ව තබා ගන්න.
  • මස් සහ මාළු වැනි නොපිසූ ආහාර ශීතකරණයේ පහළ රාක්කයේ අසුරන්න. මේ ආකාරයෙන් සිදු කරන විට කුමන හෝ දියර වර්ගයක් කාන්දු වුවහොත්, අනෙක් ආහාර සමග මිශ්‍ර වීම වළකී.
  • පරිභෝජනය සඳහා සූදානම් ආහාර ඒවා ශීතකරණයෙන් පිටතට ගැනීමෙන් පැය 04ක් ඇතුළත ආහාරයට ගන්න.
  • ආහාර පිළියෙළ කිරීමට පෙර, අතරතුර සහ පසුව ඔබේ දෑත් නිරන්තරයෙන් සබන් යොදා සෝදන්න.
  • අදාළ අවස්ථාවලදී ඇසුරුම්වල සඳහන් පිසීමේදී අනුගමනය කළ යුතු උපදෙස් පිළිපදින්න.

ඔබේ ශීතකරණය භාවිතා කිරීමේදී අනුගමනය කළ යුතු පුරුදු වැඩිදියුණු කිරීම එතරම් උද්යෝගිමත් දෙයක් ලෙස නොපෙනන නමුත් එය ආහාර වැඩි කාලයක් නැවුම්ව තබා ගැනීමටත්, ශීතකරණය වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක වීමටත් උපකාරී වන අතර වඩාත් ම වැදගත් දෙය නම් ඉන් ඔබගේ සහ ඔබේ පවුලේ සාමාජිකයින්ගේ සෞඛ්‍යය ආරක්ෂා වීම ය.

රාත්‍රී ආහාරයෙන් පසුව ඉතිරි වූ කුකුළු මස් වැනි දෑ නැවත අනුභවයට පෙර අප බොහෝවිට එහි ගන්ධය පරීක්ෂා කර බැලීම සිදු කරයි. නමුත් ඉතිරි වූ ආහාරවලින් එන සුවඳ හොඳ වූ පමණින් ඒවා අනුභවයට සුදුසු යැයි අදහස් නොකෙරේ. සැල්මොනෙල්ලා හෝ ලිස්ටීරියා වැනි බැක්ටීරියා පවතින විට සෑම විට ම අප්‍රසන්න ගන්ධයක් පිට නොකරයි.

ශීතකරණයේ තබා ඇති ආහාර බඳුනක් හොදදැයි ඉඹ බලන පුද්ගලයෙක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශීතකරණයේ ඉතිරි වූ ආහාරවලින් එන සුවඳ හොඳ වූ පමණින් ඒවා අනුභවයට සුදුසු යැයි අදහස් නොකෙරේ.

*ඔලෙක්සි ඔමෙල්චෙන්කෝ යනු ක්ෂුද්‍රජීව විද්‍යාඥවරියක වන අතර එක්සත් රාජධානියේ නොර්විච්හි ජෛව විද්‍යා හා සෞඛ්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයක් වන Quadram ආයතනයේ ලිස්ටීරියා සහ අනෙකුත් රෝගකාරක පිළිබඳව අධ්‍යයනය කරයි. ජුඩිත් එවන්ස් ලන්ඩන් සවුත් බෑන්ක් විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව සහ සැලසුම් පිළිබඳ මහාචාර්යවරියකි.