මුහුදු මට්ටම ඉහළ යාම: ඉන්දීය සාගරයේ මතුවන බලාපොරොත්තුවේ අලුත් දූපත

An aerial view of the emerging island built with sand
ඡායාරූප ශීර්ෂ වැකිය, මුහුදු පතුලෙන් වැලි ඝන මීටර මිලියන ගණනක් පොම්ප කර කෘත්‍රිම හුල්හුමාලේ දූපත සෑදිණි - වැලි ගොඩ කරමින් තැනෙන දූපතේ ගුවන් දර්ශනයක්
Published

මාලදිවයින තරම් වෙනත් කිසිදු රටක් පාරිසරික තර්ජනයකට මුහුණ දෙන්නේ නැහැ.

එහි ඇති සුඛෝපභෝගී වෙරළ නිවාඩු නිකේතන ලෝක ප්‍රකට වන්නට පුළුවන්. නමුත් 1,200ක් තරම් වූ විසිරී ඇති දූපත් සමූහයෙන් 80% ක් ම මුහුදු මට්ටින් මීටර 1 ට වඩා ඉහළින් පිහිටා නැති නිසා ඒවායෙහි පැවැත්මට, ඉහළ නගින මුහුදු ජල මට්ටම තර්ජනයක් වෙලා.

නමුත් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් පෙරළා සටන් කරන්න මාලදිවයින් වාසීන් තීන්දුවකට ඇවිත්. "බලාපොරොත්තුවේ නගරය" (City of Hope) ලෙස නමින් බෞතිස්ම කෙරෙන 21 වෙනි සියවසේ නගරයක් හුල්හුමාලේ හි කෘත්‍රිම දූපතේ ගොඩනගනවා.

භූමිය ගොඩකිරීම

An aerial view of the newly-constructed buildings on the artificial island of Hulhumalé
ඡායාරූප ශීර්ෂ වැකිය, හුල්හුමාලේ කෘත්‍රිම දූපතේ අලුතින් ඉදිකෙරුණු ගොඩනැගිලි

මුහුදු පත්ලේ සිට පොම්ප කෙරුණු ඝන මීටර මිලියන ගණනක් වූ වැලි උපයෝගී කරගනිමින් ගොඩ කෙරුණු භූමිය තිබෙන්නේ මුහුදු මට්ටමට වඩා මීටර 2ක් ඉහළින්.

මෙහි පළමු අදියර ආරම්භ වුණේ 1997 දී. 2019 වසර අග වනවිට හුල්හුමාලේ දූපතේ පදිංචි වී සිටි ජනගහනය 50,000 ට අධිකයි.

නමුත් අලුත් දූපත කෙරෙහි තැබූ අපේක්ෂාව බොහෝ දුර විහිදෙන්නක්. වඩා සාර්ථක ලෙස කෙරෙන නිර්මාණයකට අනුව 2020 වසර මැද වනවිට 240,000 ක් දෙනාට එහි පදිංචිවීමට හැකි වේ යැයි අරමුණු කෙරුණා.

'දේශගුණ විපර්යාස සිහි තබාගෙන' කළ නිර්මාණයක්

Maldives President Mohamed Nasheed, seen signing a paper while wearing diving gear.
ඡායාරූප ශීර්ෂ වැකිය, 2009 ඔක්තෝබර් මාසයේදී එවක ජානාධිපති මොහොමඩ් නෂීඩ් සිය කැබිනට් රැස්වීම මුහුද යට පැවැත්වූයේ දේශගුණ විපර්යාස නිසා මාලදිවයින මුහුණ පෑ ඇති තර්ජනය සිහිගන්වමින්

"හුල්හුමාලේ සංවර්ධනය කිරීමේදී, එහි වාස්තුවිද්‍යාත්මක බව හා ප්‍රජාව කෙරෙහි දේශගුණික විපර්යාසයෙන් එල්ලවන බලපෑම ගැන හොඳට හිතා බලලයි." යැයි "බලාපොරොත්තුවේ නගරය" (City of Hope) අධීක්ෂණය කරන නිවාස සංවර්ධන සංස්ථාවේ ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ අරීන් අහ්මඩ් පැවසුවා.

"උතුරේ සිට දකුණට දිශානත වන ආකාරයෙන් තිබෙන්නේ උෂ්ණත්වයෙන් එල්ල වන බලපෑම අඩු කරන්නයි. වාතය හොඳින් සැරිසැරීමට හැකිවන ලෙසත්, වායුසමන යන්ත්‍ර මත යැපීම අඩු කරන්නත් පුළුවන් වන ආකාරයෙන් වීථි නිර්මාණය කර තිබෙනවා. ඒ වගේම නිවාස සංකීර්ණවල සිට මීටර 100 - 200 තරමේ ඇවිදින දුරකින් පාසල්, දේවස්ථාන වගේම උද්‍යාන ගොඩ නැගිලා තිබෙන්නේ වාහන භාවිතය අඩු කරන්නයි." යනුවෙන් ඔහු පැහැදිලි කළා.

An aerial view of Feydhoo Finolhu island
ඡායාරූප ශීර්ෂ වැකිය, කොරල් දුපත් 1192ක් පුරා මාලදිවයින විහිදී ඇත. බොහොමයක් දූපත් පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර එකහමාරක් තරම් උසකින් - ෆෙයිධූ ෆිනොල්හු දූපතේ ගුවන් දර්ශනයක්

අලුත් නගර සැලැස්මේ කොටස්වලට විදුලි බස් හා පාපැදි සඳහා වූ මංතීරු ඇතුළත්. සූර්ය බලයෙන් බලශක්තිය ජනනය කිරීම හා ජල සුරක්ෂිතතාව ඇති කිරීමට වර්ෂා ජලය රැස් කිරීම ද හුල්හුමාලේ නගරය සැලසුම් කළ අයගේ ඉලක්කයක් වුණා.

කොරල් පර වෙනුවට භූමිය?

ඒත්, විශේෂයෙන් ම කොරල් පර හා නොකිළිටි සුදු පැහැ වෙරළට ප්‍රසිද්ධියක් උසුලන තැනක කෘත්‍රිම දූපතක් ගොඩ නැගීම ම පරිසරයට හානියක් නොවෙයි ද?

Coral reef with Anthias, Pseudanthias squamipinnis in Maldives, Indian Ocean, Meemu Atoll
ඡායාරූප ශීර්ෂ වැකිය, භූමිය ගොඩ කිරීමෙන් කොරල් පරවලට තර්ජනයක් එල්ල විය හැක.

"භූමිය ගොඩ කිරීම ප්‍රශ්නකාරී දෙයක්" යැයි මාලදිවයිනේ පර්යේෂණවල නිරතවීමේ අත්දැකීම් ඇති කොරල් පර දූපත් පිළිබඳ විශේෂඥයෙකු වන, නොර්තම්බ්‍රියා විශ්ව විද්‍යාලයේ භූගෝල හා විද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්ය හෝලි ඊස්ට් පවසනවා.

"කොරල් පර විනාශ කරනවා පමණක් නෙවෙයි, ඉන් නික්මෙන අවසාදිත කොටස් විශාල ප්‍රමාණයක් ඇදී ගිහින් වෙනත් කොරල් පරවල රැඳෙනවා. එයින් සිදුවෙන්නේ ඒවායේ පෝෂණයට, වැඩීමට හා පැතිරීමට බලපෑම් එල්ල කරමින් සූර්ය එලිය පතිත වීම වැළකීමයි"

අතිමහත් අපේක්ෂාව

නමුත් ඉහළ නගින ජනගහනය හමුවේ භූමිය ගොඩකිරීම මාලදිවයින් ජන ජීවිතයට දැන් සරල කරුණක්.

An aerial view of one of the 1200 islands making up the Maldives
ඡායාරූප ශීර්ෂ වැකිය, මූහුදු දියේ ගිලී යාම පමණක් නොවෙයි,වෙරළ ඛාදනය හා ස්වභාවික උවදුරුවලට ද මාලදිවයින මුහුණ පා සිටිනවා

සැනසීමට ඇති එක් කාරණයක් නම්, 2020 ලෝක බැංකු වාර්තාවට අනුව විශේෂයෙන්ම හුල්හුමාලේ ද ඇතුළු "මහා මාලේ කලාපය" තුළ සැලකිය යුතු ස්වභාවික වාසභූමියක් නැහැ. එහි කොරල් පර ද වියැකී ගිහින්.

මූලික වශයෙන් ම මාලදිවයින් වාසීන්ගේ ජන ජීවිතය වැඩිදියුණු කිරීමට හුල්හුමාලේ ඉවහල් වුණත්, දේශගුණික විපර්යාස සිදුවන සමයක මානව වර්ගයාට අලුත් බලාපොරොත්තුවක් බවට පත්වෙන දූපත් ගොඩනැගීමට ද මග විවර කරනවා.

(මේ ලිපිය සම්පාදනය කර තිබෙන්නේ බීබීසී ට්‍රැවල් හි පළ වූ ලිපියක් ඇසුරින්. ඉංග්‍රීසි බසින් පළවූ මුල් ලිපියට මෙතැනින් පිවිසෙන්න පුළුවන්.)

මෙම තොරතුරුද දැනගන්න: