"කාන්තාවටත් ඕනෑම දෙයක් කරන්න පුළුවන් බව සනාථ කළා" - එවරස්ට් දිනූ ජයන්ති

ජයන්ති එවරස්ට් කඳු මුදුනේ
ඡායාරූප ශීර්ෂ වැකිය, ජයන්ති එවරස්ට් කඳු මුදුනේ
Published

පසුගිය වසරේ (2016) මැයි මස 21 දින ශ්‍රී ලාංකිකයෙකු ඉතිහාසයේ පළමු වතාවට ලෝකයේ උසම කඳු මුදුනට ළඟා විය.

ඒ වාර්තාව තැබුවේ ජයන්ති කුරුඋතුම්පාල විසිනි. සිය රට නියෝජනය කරමින් මුලින්ම කාන්තාවක් එවරස්ට් තරණය කළ සිවු වැනි අවස්ථාව ද එය විය.

පුරුෂයෙකුට පෙර කාන්තාවක් එම ජයග්‍රහණය ලබාගත් අනෙක් රටවල් තුන ක්‍රෝඒෂියාව, දකුණු අප්‍රිකාව සහ පෝලන්තයය.

"කාන්තාවක් වශයෙන් මම හුඟාක් ආඩම්බරයි, මේ වගේ දෙයක් කරන්න පුළුවන් වුන නිසා," ජයන්ති කුරුඋතුම්පාල සඳහන් කළේ 'සියයක් කාන්තාවෝ' (BBC 100 WOMEN) විශේෂාංගය වෙනුවෙන් බීබීසී සිංහල සේවය සමග විශේෂ සංවාදයකට එක්වෙමිනි.

"අපේ සමාජයේ හුඟක් ලිංගිකත්වය මත ස්ථාපිත ආදර්ශ (gender stereotypes) තියෙනවා," ඇය සඳහන් කළාය. "මේකෙන් පේන්නේ, අපිට ඉඩක් දුන්නොත්, කාන්තාවකටත් ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියන එක."

වීඩියෝ ශීර්ෂ වැකිය, "අපේ සමාජයේ හුඟක් gender stereotypes තියෙනවා"

බීබීසී සියයක් කාන්තාවෝ විශේෂාංගය සඳහා තෝරා ගන්නා ලද පළමු ශ්‍රී ලාංකික කාන්තාව ද ඇය ය.

ප්‍රධාන වශයෙන් කාන්තාවන් මුහුණ දෙන ගැටලු හතරක් මේ වසරේ 'සියයක් කාන්තාවෝ' වැඩසටහනේ අවධානයට ලක් වූ අතර, ක්‍රීඩාවේ දී කාන්තාව මුහුණ දෙන පුරුෂාධිපත්‍යය ඒ අතරින් එක ගැටලුවකි.

ක්‍රීඩා ක්ෂේත්‍රයේ පුරුෂාධිපත්‍යය සමස්තයක් වශයෙන් ලොව පුරා බොහෝ රටවල දක්නට ලැබෙන ගැටලුවක් බව පවසන ජයන්ති කුරුඋතුම්පාල, කිසියම් ලෙසකින් තමන්ට කඳු මුදුනට ළඟාවීමට නොහැකි වූයේ නම් කාන්තාවක වීම හේතුවෙන් ඒ උත්සාහය අසාර්ථක වූයේ යයි බොහෝ දෙනා හුවා දැක්වීමට ඉඩ තිබුණු බව ද පෙන්වා දෙන්නීය.

ඉනිමගක් ඔස්සේ කන්ද තරණය කරමින්
යොහාන් පීරිස්ට කඳු මුදුනට ලඟාවීමට නොහැකි විය

ඇය සමග එවරස්ට් කඳු තරණයට සහභාගි වූ මිතුරා, යොහාන් පීරිස්ට කඳු මුදුනට ළඟාවීමට නොහැකි විය.

එය කිසිසේත්ම "පරාජයක් නොවන" බව කන්ද තරණය කිරීමට සමත් වූ ශ්‍රී ලාංකික කාන්තාව අවධාරණය කරන්නීය.

"ඒක පරාජයක් නෙවෙයි. යොහාන් ගත්තේ නිවැරදි තීරණය. යොහාන් තවත් උඩට ගියා නම් එයාගේ ජීවිතය නැතිවෙනවා."

2011 දී මුලින්ම මුණ ගැසුණු ඔවුන් දෙදෙනා, 2012 දී නේපාලයේ 'අයිලන්ඩ් පීක්' නම් කන්ද තරණය කළ අවස්ථාවේ පහළ වූ හැඟීමක් සැබෑ කරගැනීම පිණිස ඔවුන් දෙදෙනාට සිවු වසරක් පුහුණු වීමට සිදු විය.

වසර ගණනාවක් මුළුල්ලේ කාන්තා අයිතිවාසිකම් සුරැකීම සම්බන්ධ ක්‍රියාකාරිනියක ලෙසින් සේවය කරන ජයන්ති කුරුඋතුම්පාල පවසන්නේ, කාන්තාවට සමානව සැලකීම සහ සමාන අයිතිවාසිකම් ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවත් බොහෝ දුර යා යුතුව තිබෙන බවය.

අයිස් කඳු දෙකක් අතර පාලමක්

"සමාජයෙන් සෑහෙන ඉඩක් දෙන්නේ නැහැ. සමානාත්මතාව නැහැ. සමාජයෙන් ඉඩක් දෙන්න අවශ්‍යයි අපිටත් ඉදිරියට එන්න. ඒ සමානාත්මතාව නැතුව අපේ ඉදිරි දැරියන්ට ඉදිරියට එන්න අමාරුයි."

එබැවින් සිය ජයග්‍රහණය ආදර්ශයක් කරගනිමින් සමාජයේ ආකල්ප බැහැර කොට අධිෂ්ඨානශීලීව ඉදිරියට යන මෙන් ඇය අනාගත පරපුරේ ක්‍රීඩිකාවන්ගෙන් ඉල්ලීමක් කරන්නීය.

"තමන් කාන්තාවක් වීම දුර්වලකමක් කියල හිතන්න එපා," යන්න තරුණ පරපුරට ඇයගේ උපදේශය වේ.

"සමාජය කොච්චර කිවුවත් කාන්තාවක් වීම නිසා කරන්න බෑ කියල, ඒවා පිළිගන්න එපා. මොකද කාන්තාවන් හැටියට අපි සෑහෙන ශක්තිමත්. ඒ නිසා මගේ උපදේශය තමයි don't let anyone tell you that you cannot do something because you are a girl," ඇය පවසන්නීය.

ජයන්ති කඳු නැගීමට පුහුණු වෙමින්

"ඔබට සිහිනයක් තියෙනව නම් ඒ සිහිනය කරා යන්න. පුළුවන් තරම් සටන් කරලා ඒ සිහිනය කරා යන්න. අධිෂ්ඨානය සහ කැපවීම තියෙනව නම් කරන්න බැරි දෙයක් නෑ."

යළිත් වරක් එවරස්ට් කඳු මුදුනට ළඟාවීම ඉතා දුෂ්කර කරුණක් වුවත්, විවේක ලැබෙන අවස්ථාවල තවදුරටත් කඳු තරණයේ නිරත වෙන බවත් එදා මෙදා තුර එවරස්ට් කඳු මුදුනට ළඟා වූ එකම ශ්‍රී ලාංකිකයා වැඩිදුරටත් සඳහන් කළාය.

සබැඳි යොමු:

(Image & video copyright: Sherpa Ang Karma, Sherpa Pasang, Jayanthi Kuru-Uthumplala, Johann Peiris & Mahesh Abeysekara)