ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වෘත්තීය මෝටර් රථ කාර්මිකයෙකු වීමට බලාපොරොත්තු වන ඔබට අවස්ථාවක්: ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට අයැදුම් කරන්නේ කෙසේ ද?
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
මෝටර් රථ ඉංජිනේරු සහ ඒ ආශ්රිත වෘත්තීන්හි කාර්මික පුහුණු ලබා දෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෘත්තීය පුහුණු ආයතනයක් ලෙස ලංකා-ජර්මානු තාක්ෂණික පුහුණු ආයතනය හැඳින්විය හැකි ය.
1958දී ජර්මානු ෆෙඩරල් ජනරජය සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගත් ගිවිසුමක ප්‍රතිඵලයක් ලෙස වේරහැර ශ්‍රී ලංකා ප්‍රවාහන මණ්ඩල පරිශ්‍රයේ ආරම්භ කර ඇති මෙම ආයතනය, 1974දී මොරටුවට ගෙන යන ලද අතර එය ලංකා-ජර්මානු තාක්ෂණික පුහුණු ආයතනය ලෙස නම් කර තිබේ.
1976 පෙබරවාරි දක්වා ජර්මානු අධ්‍යක්ෂවරයෙකු සහ ඔහුගේ ජර්මානු කාර්ය මණ්ඩලය විසින් එය කළමනාකරණය කරන ලද අතර, පසුව එහි කළමනාකරණය දේශීය කාර්ය මණ්ඩලයක් යටතේ ශ්‍රී ලංකාවට භාර දී තිබේ.
වසර ගණනක් තිස්සේ විවිධ අමාත්‍යංශ යටතේ පැවති මෙම ආයතනය වර්තමානයේ පවතින්නේ අධ්‍යාපන , උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ යි.
මේ වන විට ලංකා-ජර්මානු තාක්ෂණික පුහුණු ආයතනයේ 2026 අධ්‍යයන වසර සඳහා පූර්ණ කාලීන පාඨමාලා සඳහා සිසුන් බඳවා ගැනීමට අයැදුම් පත්‍ර කැඳවීම ආරම්භ කර තිබේ.
ඒ සඳහා මාර්ගගතව අයැදුම් කළ යුතු ය.
අයැදුම්පත් යොමු කිරීමට සැපිරිය යුතු මූලික සුදුසුකම්
ලංකා-ජර්මානු තාක්ෂණික පුහුණු ආයතනයේ නිල වෙබ් අඩවිය හරහා අයැදුම්පත් යොමු කළ යුතු අතර, ජූලි 05 දිනට පෙර අයැදුම් කිරීම අනිවාර්ය වේ.
මෙයට ශිෂ්‍යයන්ට මෙන් ම ශිෂ්‍යාවන්ට ද අයැදුම් කළ හැකි අතර, අයැදුම්පත් යොමු කිරීමේ අවසන් දිනට වයස අවුරුදු 16ත් 22ත් අතර විය යුතු ය.
මේ සඳහා, අයැදුම්කරුවන් අවම අධ්‍යාපන සුදුසුකම ලෙස අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල හෝ දෙමළ භාෂාව සහ ගණිතය ඇතුළුව විෂයන් 06ක් එකවර සමත්ව තිබිය යුතු ය.
එසේ නොමැති නම් ලන්ඩන් සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉංග්‍රීසි භාෂාව සහ ගණිතය ඇතුළුව විෂයන් 06ක් එකවර සමත් වී තිබිය යුතු ය.
තවද, විදුලි/ විද්‍යුත්/ යාන්ත්‍රික යන ක්ෂේත්රයකින් නව නිර්මාණ ඉදිරිපත් කර, නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මගින් පවත්වන පළාත් මට්ටමේ තරගවලින් මුල් ස්ථාන තුන අතරට පැමිණි බවට සහතිකයක් හෝ, ඉහත ක්ෂේත්රවල ජාතික මට්ටමේ තරගවලින් කුසලතා සහතික හෝ ඊට වැඩි ජයග්‍රහණ ලබාගෙන ඇති අයට ඉහත සුදුසුකම් සම්පූර්ණ කිරීම සඳහා සහනයක් ලබා දී තිබේ.
එනම්, සාමාන්‍ය පෙළ විභාගයේදී සමත්විය යුතු විෂයන් අවස්ථා දෙකකට නොවැඩි වාර ගණනකදී සම්පූර්ණ කිරීම කළ හැකි ය.
කෙසේවෙතත්, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය [NAITA] සමග වසර 3කට වැඩි කාලයකට ගිවිසුම්ගත වී සිටින අයට මේ සඳහා ඉල්ලුම් කළ නොහැක.
ඇතුළත් කර ගැනීමේ පරීක්ෂණය
නිල වෙබ් අඩවිය හරහා අයැදුම් කිරීමේදී එහි විභාග ගාස්තු වශයෙන් රු. 1,000ක මුදලක් ගෙවීමට උපදෙස් ලබා දෙන අතර, එහි සඳහන් වන ආකාරයට ගෙවීම සිදු කර ඇති සහ, ඉහත අවම සුදුසුකම් සපුරා ඇති අයැදුම්කරුවන් සඳහා විභාගයක් පවත්වනු ලබයි.
විභාගය සිංහල හා දෙමළ මාධ්‍යයෙන් පවත්වන අතර, මෙම විභාගයේ ප්‍රශ්න පත්‍රය ගණිතය, බුද්ධි පරීක්ෂණය, කාර්මික දැනුම, කාර්මික ඇඳීම්, පරිගණක දැනුම, සහ ඉංග්‍රීසි භාෂාව යන විෂයන් පදනම් කරගෙන පවත්වනු ලබයි.
කොළඹ, මහනුවර, ගාල්ල, බදුල්ල සහ අනුරාධපුරය යන ප්‍රදේශවල විභාග මධ්‍යස්ථාන පිහිටුවනු ලබන අතර, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් අඩු පහසුකම් ඇති ප්‍රදේශ ලෙස නිර්දේශ කර ඇති පළාත් සඳහා අයදුම්කරුවන් තෝරාගැනීමේ ලකුණු මට්ටම් ආයතනය විසින් තීරණය කරනු ලබයි.
සම්මුඛ පරීක්ෂණය
අයැදුම්කරුවන්ට ප්‍රායෝගික යෝග්‍යතා පරීක්ෂණයකට සහ සම්මුඛ පරීක්ෂණයකට ද මුහුණ දීමට සිදුවේ.
එහිදී ප්‍රයෝගික පරීක්ෂණයට ලකුණු 40%ක් ද, සම්මුඛ පරීක්ෂණය සඳහා ලකුණු 50%ක් ද, ලිඛිත පරීක්ෂණය සඳහා ලකුණු 10%ක් ද ලබා දෙයි.
සම්මුඛ පරීක්ෂණයේදී විෂය බාහිර කුසලතා කෙරෙහි ද සැලකිල්ලක් දක්වන අතර, තෝරා ගන්නා අයැදුම්කරුවන් වෛද්‍ය පරීක්ෂණයකට ද යොමු කරනු ලබයි.
වෛද්‍ය පරීක්ෂණය අසමත් වන සිසුන් පාඨමාලාවෙන් ඉවත් කරන බව ලංකා-ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ නිවේදනයේ සඳහන් ය.
පාඨමාලා තෝරාගන්නේ කෙසේ ද?
ලංකා-ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට ඔබව ඇතුළත් කරගැනීමෙන් පසුව ඔබට කැමැත්තෙ අනුපිළිවෙල අනුව ඔබේ තෝරාගැනීම සහ, ලිඛිත විභාගයේ ලකුණු ද, ප්‍රථමික පුහුණු කාලසීමාවේ ඔබ ලබාගත් ලකුණු ද පදනම් ව එක් එක් වෘත්තීය පාඨමාලාව සඳහා ඇතුළත් කරගැනීම සිදු වේ.
එම පාඨමාලා සහ ඒවායේ කාලසීමාව පහත පරිදි වේ.
- මෝටර් රථ තාක්ෂණ ශිල්පී (Automobile Mechanic): අවුරුදු 04
- මිල්රයිට් තාක්ෂණ ශිල්පී (Millwright Fitter): අවුරුදු 04
- වායු සමීකරණ සහ ශීතකරණ තාක්ෂණ ශිල්පී (Refrigeration & Air Conditioning Mechanic): අවුරුදු 03 1/2
- බල විදුලි තාක්ෂණ ශිල්පී (Power Electrician Maintenance): අවුරුදු 03 1/2
- යාන්ත්‍රණ ශිල්පී (Machinist): අවුරුදු 03 1/2
- කර්මාන්තගත මෙකාට්‍රොනික් තාක්ෂණ ශිල්පී (Industrial Mechatronic Technician): අවුරුදු 03 1/2
- ඩීසල් කාර්මික ශිල්පී (Diesel Mechanic): අවුරුදු 03
- වාහන විදුලි ශිල්පී (Electrician - Automobile): අවුරුදු 03
- පෑස්සුම් ශිල්පී (Welder): අවුරුදු 03
- මෝටර් වාහන බොඩි අලුත්වැඩියා සහ පින්තාරු ශිල්පී (Motor Vehicle Body Repairer & Painter): අවුරුදු 03
ආයතනයේ වෘත්තීය පුහුණුව සඳහා තෝරාගනු ලබන සියලු අයදුම්කරුවන් අදාළ පාඨමාලාවේ කාලය අනුව පාඨමාලාව සාර්ථකව හදාරන බවට මෙම ආයතනය සහ ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය සමග ගිවිසුමකට එළැඹිය යුතු ය.
අයැදුම්පත් සම්පූර්ණ කිරීම
මාර්ගගත ක්‍රමය ඔස්සේ අයැදුම් පත්‍රය යොමු කිරීමේදී ඔබ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ඔබේ තොරතුරු ඇතුළත් කළ යුතු ය.
එහි ඔබේ පෞද්ගලික තොරතුරු සහ සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ඇතුළත් කළ යුතු වේ.
ඉන්පසුව සම්පූර්ණ කළ අයැදුම්පත්‍රය බාගත කර එය මුද්‍රණය කර උප්පැන්න සහතිකය, සාමාන්‍ය පෙළ විභාග සහතිකය සහ විශේෂ කුසලතා මත අයැදුම් කරන්නේ නම් සිර ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මගින් නිකුත් කර ඇති සහතිකයේ සහතික කළ ඡායා පිටපත් සමග ලංකා-ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය වෙත තැපෑලෙන් යැවිය යුතු ය.
අයැදුම්පත් එවීමේදී ලියුම් කවරයේ ඉහළ වම් කෙලවරේ, "පූර්ණ කාලීන ආධුනිකයින් බඳවා ගැනීම - 2026" ලෙස සඳහන් කර, ලේඛකාධිකාරී, ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය, නො. 582, ගාලු පාර, ගල්කිස්ස යන ලිපිනයට යැවීම සිදු කළ යුතු ය.
සුදුසුකම්ලත් අයැදුම්කරුවන් සඳහා ලිඛිත විභාගයේ විභාග ප්‍රවේශ පත්‍ර 2026 සැප්තැම්බර් 08 දිනට පෙර ලැබීමට සලස්වන බවත්, ඒ වන විටත් ප්‍රවේශ පත්‍ර නොලැබුණු අය එදින සිට දින 03ක් ඇතුළත 0112605625, 0112605535 හෝ 0112623490 අංක අමතා විමසිය හැකි ය.